නීති විරෝධී ලෙස මැතිවරණ කටයුතු සඳහා යොදා ගත් වාහන විශාල සංඛ්යාවක් අතුරුදහන් වී ඇති බව කියනු ලැබේ. ඒවා සොයා ගැනීම සඳහා මහජන සහාය පතා පුවත්පත් දැන්වීම් ද පළ කෙරේ.
රාජ්ය ආයතනවලින් වාහන අතුරුදහන් වී ඇති නම් පළමුවෙන්ම සිදුවිය යුත්තේ පුවත්පත් දැන්වීම් පළ කොට මහජනයාගේ සහාය ඉල්ලා සිටීම නොව, ඒ රාජ්ය ආයතනවල වාහන භාරව සිටි නිලධාරියාට එරෙහිව නීතිමය වශයෙන් පියවර ගැනීමය. වාහන ලබා දුන්නේ කාටද යන්න දන්නේ ඔවුන්ය. ඔවුන් යටතේ තිබෙන වාහන අතුරුදහන් වී ඇත්නම් ඊට වගකිව යුත්තේ ද ඔවුන්ය. ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසා මහජනයාගෙන් තොරතුරු ඉල්ලා සිටීම විකාරයකි.
සපුමල් කුමාරයාගේ හොලිකොප්ටර බිල පිළිබඳව පවත්වාගෙන යන විවාදය ද විකාරයකි.
ආණ්ඩුවේ අනුමැතිය නැතිව ගුවන් හමුදාව ඔහු වෙනුවෙන් හෙලිකොප්ටරයක් සපයනු ඇතැයි සිතිය නොහැකිය. මේ ගනුදෙනුව සිදුවී ඇත්තේ ආණ්ඩුවේ අනුමැතියෙන් තොරව නම්, ඊට ගුවන් හමුදා ප්රධානියා වගකිව යුතුය. එහෙත් ඇත්තටම සපුමල් කුමාරයා තෙල්දෙණියට කැන්දා ගෙන යාමට හෙලිකොප්ටරයක් දෙන්නට වුවමනා වූයේ ආණ්ඩුවටය. හිටපු ආරක්ෂක ඇමතිවරයාට උපරිම ආරක්ෂාවක් ලබාදිම ඒ වුවමනාව පිටුපස තිබුණු චින්තනය විය. එහෙත් ඔහු කෙරෙහි දක්වන ලද සැලකිලි ගැන මහජනයා ප්රශ්න කරන්නට වූ විට ආණ්ඩුව ඒ වගකීම බන්ධනාගාරයේ ප්රධානියා පිට දමා අත සෝදා ගත්තේය. මහජනයා ගොනාට අන්දන්ට සිතනවාට වඩා ඒ ගැන තමන් සිතන ආාකරය මහජනයාට කීවේ නම් වඩා නරකද?