ජනාධිපතිනියගේ දෙබිඩි පිළිවෙත

March 3, 2002
Publication:
The editorial argues that the President's opposition to the government's negotiations with the LTTE defies the majority who elected the UNF on a promise of peace talks. It holds that the 2001 result also cancelled her 1999 mandate, so she should either resign or let the new government govern, and warns that telling the world she backs peace while telling supporters she will resist a sell-out could do the country great harm.

සාකච්ඡාමය ක්‍රියාමාර්ගයක් ඔස්සේ ජනවාර්ගික ප්‍රශ්නයට සාමකාමී විසඳුමක් ඇති කරගැනීම සඳහා නව ආණ්ඩුව දරමින් තිබෙන ප්‍රයත්නය සම්බන්ධයෙන් ජනාධිපතිනිය කෙරෙන් පළවෙමින් තිබෙන විරුද්ධවාදි ප්‍රතිපත්තිය මේ රටේ බහුතර මහජනතාවගේ අපේක්ෂාවන්ට පටහැනි ය.

එක්සත් ජාතික පෙරමුණ රටට ඉදිරිපත් කළ ප්‍රධානම මැතිවරණ පොරොන්දුව වූයේ තමන් බලයට පත්වූ පසු ජනවාර්ගික ප්‍රශ්නයට සාමකාමී විසඳුමක් ඇති කරගැනීම සඳහා කොටි සංවිධානය සමග සාකච්ඡාමය ක්‍රියාමාර්ගයකට යොමුවන බව ය. එජා. පෙරමුණේ එම පොරොන්දුව ගැන පොදු පෙරමුණ ඉතාමත් ජාතිවාදි ස්ථාවරයක පිහිටා මහජනතාව හමුවේ බිහිසුණු චිත්‍රයක් මවාපෑව ද එය නොසලකා ජනතාව එජා පෙරමුණ බලයට පත්කිරිමෙන් පෙන්නුම් කෙරෙන්නේ රටට පිළිකාවක් වී ඇති ජනවාර්ගික ප්‍රශ්නයට සාමකාමී විසඳුමක් ඇති කරගන්නවා දැකීම බහුතර මහජනතාවගේ ද අභිලාෂය වී ඇති බව ය.

එජා පෙරමුණට පාර්ලිමේන්තු බලය ලැබී ඇතත්, විධායක ජනාධිපති ධුරය ඇත්තේ පොදු පෙරමුණට ය. ජනාධිපතිනිය තමන්ට තිබෙන ඒ බලය මහජනතාවගේ අපේක්ෂාවන්ට බාධා කරන තත්ත්වයකින් ක්‍රියාත්මක කරයි නම් මහජනතාව තමන්ගේ සාධාරණ අපේක්ෂාවන්ට බාධා කරන ජනාධිපති බලයට එරෙහිව නැගී සිටින තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිය.

2001 මැතිවරණයෙන් මහජනතාව දෙන ලද ජනවරම පොදු පෙරමුණේ පාර්ලිමේන්තු ආණ්ඩුවට පමණක් නොව, පොදු පෙරමුණේ ජනාධිපතිනියට ද එරෙහිව දෙන ලද ජනවරමක් බව ජනාධිපතිනිය අමතක නොකළ යුතුය. එම මැතිවරණයේදි කේන්ද්‍රීය චරිතය බවට පත්ව සිටියේ පොදු පෙරමුණේ පාර්ලිමේන්තු ආණ්ඩුව නොව, ජනාධිපතිනියයි. ඇයට 1999 දි ජනවරමක් ලැබුණේ නම් ඒ ජනවරම 2001 මැතිවරණ ප්‍රතිඵලය විසින් අවලංගු කර ඇති බව ද ඇය අමතක නොකළ යුතු ය. ඇය ප්‍රජාතන්ත්‍රවාදි ජන නායිකාවක් නම් කළ යුතුව තිබුණේ එම ජනවරමට හිස නමමින් සිය ධුරයෙන් ඉවත් වීම ය. නැත්නම් මහජනයාගේ අපේක්ෂාවන්ට බාධාවක් නොවන ලෙස මහජනයා බලයට පත් කළ නව ආණ්ඩුවට බාධාවකින් තොරව සිය වැඩ කටයුතු කරගෙන යාමට ඉඩ දෙන හා ඒ සඳහා අවශ්‍ය නව රාමුවක් ඇති කිරීම පිණිස ක්‍රියාකිරීම ය. එහෙත් ඒ වෙනුවට ඇය කරන්න යන්නේ තමන්ට ලැබී තිබුණ ජනවරම අවලංගු වී ඇත්තේය යන කාරණය නොසලකා තමන්ට ලැබී තිබෙන විධායක බලය අවියක් කොට ගනිමින් මහජනයා බලයට පත් කළ ආණ්ඩුවේ ඉදිරි ගමනට අවහිර කරන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නම් මහජනයා විසින් තමන්ගේ ඉදිරි ගමනට බාධාවක් ලෙස ක්‍රියා කරන ජනාධිපතිනියට එරෙහිව නැගී සිටින තත්ත්වයකට යොමුවීම නොවැළැක්විය හැකි ය.

ජනාධිපතිනිය එක් අතකින් ලෝකයට කියන්නේ තමන් සාමකාමී විසඳුමක්ඇති කරගැනීම සඳහා දරන උත්සාහයන්ට උපරිම ලෙස සහාය දෙන බව ය. ඒ සමග පාක්ෂිකයින්ට කියන්නේ එජා පෙරමුණ රට පාවා දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින නිසා ඒ තත්ත්වයට එරෙහිව තමන් නැගී සිටින බව ය. ජනාධිපතිනියගේ මේ දෙබිඩි ප්‍රතිපත්තිය රට කෙරෙහි අතිවිශාල විනාශයක් ඇති කිරීමට හේතුවිය හැකි ය.