අනුරුද්ධ රත්වත්තෙ අත්අඩංගුවට ගැනීම

February 24, 2002
Publication:
The editorial welcomes the arrest of former deputy defence minister Anuruddha Ratwatte on criminal charges as a necessary step, since the powerful commit crimes because they are never punished. It argues that the President's security division has been used against opponents, that she shares the blame, and that presidential immunity should cover ordinary acts of government, not crimes.

හිටපු බලවත් ඇමතිවරයෙකු අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට සිදුවීම සංතෝෂවීමට හේතුවක් නොවූවත්, අනුරුද්ධ රත්වත්තෙ මහතා තමන්ට ලැබී තිබුණු අතිවිශාල නිල බලය මැතිවරණ කටයුතු සඳහා යොදාගත් සාහසික ස්වරූපය අනුව බලන විට ඒ මහතා නීතිය ඉදිරියට පමුණුවාලීම ඉතා අවශ්‍ය හා වැදගත් ඉදිරි පියවරක් වේ යයි විශ්වාස කරමු.

බලවත් දේශපාලකයින් බරපතල වැරදි කරන අවස්ථාවලදි ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම රටේ දේශපාලනයේ ඇතිවී තිබෙන පිරිහීම කෙරෙහි බලපා ඇති එක් වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකි ය. බලවත් දේශපාලකයින් නීතිය නොසලකා බරපතල වැරදි කරන්නේ ද ඒ වැරදි වෙනුවෙන් නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් කරන ක්‍රමයක් රටේ ක්‍රියාත්මක නොවන නිසා ය. එහෙත් බලවත් පුද්ගලයන් කිහිපදෙනෙකු හෝ නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් කෙරෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වේ නම්, එය අන් සියලුදෙනා කෙරෙහිත් බලපා හැකි බැවින් බලවත් වරදක් කරන්නට පෙර දෙවරක් සිතා බලන තත්ත්වයකට දේශපාලකයන් යොමුවනු ඇතැයි සිතිය හැකි ය.

රටේ රාජ්‍ය නායකයකුට මුක්තිය පිළිබඳ අයිතියක් ලබා දෙනුයේ රාජ්‍ය නායකයා අපරාධකාරි ක්‍රියාවල නො යෙදෙනු ඇතැයි කියන උපකල්පනයේ පිහිටාය. එහෙත් අපේ රටේ රාජ්‍ය නායකයන් මුක්තිය ආවරණයක් කොට ගනිමින් කරන අපරාධ දෙස බලන විට රටේ රාජ්‍ය නායකයාට ලබාදි තිබෙන මුක්තිය පිළිබඳ අයිතිය ඉවත් කිරීම රටේ ආරක්ෂාවට ද හේතු වේ යැයි කිව හැකි ය.

ජනාධිපතිනියට ලබා දි තිබෙන විශේෂ ආරක්ෂක බලකාය (ජනාධිපති ආරක්ෂක අංශය) දේශපාලන විරුද්ධවාදින් හිංසාවට ලක් කරන බලකායක් ලෙස යොදාගෙන ඇතත්, ඒ රස්තියාදුකාර නැඹුරුව නිවැරදි කිරීම සඳහා තවමත් කිසිම ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන නැත.

රාජ්‍ය නායකයා හෝ නායිකාවට විශේෂ ආරක්ෂාවක් තිබිය යුතුය. එහෙත් රාජ්‍ය නායකයා හෝ නායිකාව තමන්ගේ ආරක්ෂාව සඳහා ලැබෙන ආරක්ෂක බලකායක් පටු දේශපාලන අරමුණු මත පිහිටා විරුද්ධවාදින් හිංසාවට හා පීඩාවට ලක් කිරීම සඳහා යොදා ගන්නේ නම් ලැබෙන ප්‍රතිඵලය ඉතා විනාශකාරි බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ වරද නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා අතින් පමණක් නොව, රටේ ප්‍රධාන විධායක නායිකාව ලෙස සැලකිය හැකි ජනාධිපතිනිය අතින් ද සිදුවී ඇති බව කිව යුතු ය.

එවැනි අපරාධවල යෙදෙන රාජ්‍ය නායකයින් නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් කරන ක්‍රමයක් ද රටකට තිබිය යුතු ය. මුක්තියක් ක්‍රියාත්මක විය යුත්තේ එදිනෙදා සිදුවන පාලන කටයුතුවලදි සාමාන්‍යයෙන් සිදුවිය හැකි වැරදි සඳහා පමණ ය. එය අපරාධ සඳහා බලනොපෑ යුතුයි.