ජනාධිපතිනියගේ භෞත චිකිත්සක ඔස්ට්රේලියානු ජාතික මයික් චම්ලි මහතාට රාජගිරියේ ලේක් ඩ්රයිව් ප්රදේශයේ පිහිටි කෝටි ගණනක් වටිනා අක්කර දෙකක ඉඩමක් කිසිදු ගෙවීමකින් තොරව ලබා දිමේ සිද්ධියක් සාකච්ඡාවට ලක්වෙමින් පවතී. පුවත්පත් ප්රකාශ කර තිබෙන ආකාරයට මේ ඉඩම ගොඩකරදිම සඳහා පමණක් ඉඩම් ගොඩ කිරිමේ සංස්ථාව රුපියල් ලක්ෂෂ 50 ක් වැය කර තිබේ.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනත් තමා රටේ රජු ලෙස සලකා ක්රියා කිරිමේ අයිතියක් තිබුණේ නම් ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මියටද තමන් රටේ රැජිණ ලෙස සලකා ක්රියා කිරිමේ අයිතියක් තිබිය යුතුය. තිබුණු පැරණ වැඩවසම් ක්රමය අනුව රටේ භූපති වූයේ රජතුමා ය. රාජ්යයේ සියලු ඉඩම් රජතුමාට අයත් බව ඉන් අදහස් විය. රජ කාලයේද රජවරුන් තමන්ට ප්රතිකාර කරන රාජ්යයේ වෛද්යවරුන්ට ඉඩම් පවරාදෙන ප්රතිපත්තියක් අනුගමනය කළහ. ජනාධිපතිනිය සිය භෞත චිකිත්සකයා සම්බන්ධයෙන් අනුගමනය කර ඇත්තේ ද ඊට සමාන ප්රතිපත්තියකි.
රජවරු දානශීලී විය යුතුය. රජවරුන් ද සිය සමීප සේවකයන්ට උපරිම ලෙස ආධාර කරන ප්රතිපත්තියක් අනුගමනය කළහ. ජනාධිපතිනියද මයික් චම්ලි මහතාට පමණක් නොව නීතිය නොසළකා තමන් වෙනුවෙන් තමන් කියන දේ කළ විශ්වාසවන්ත නිලධාරින්ට ඔවුන්ට තමන්ගේ ම ගෙවල් දොරවල් තිබියදිත් රජයේ වියදමෙන් කොළඹ නගරයේ ඉදිකළ සුඛෝපභෝගී නිවාස ලබාදෙන ප්රතිපත්තියක් අනුගමනය කළාය. ජනාධිපති අරමුදල පරිහරණය කිරිමේදි ද ආධාර ලැබිය යුතු ප්රවේණිදාස තත්ත්වයේ රෝගීන්ට නිශ්චිත ආධාර මුදලක් ලබාදෙන ප්රතිපත්තියක් අනුගමනය කරන විට ලේ නෑකම් හෝ දේශපාලන නෑ කම් අනුව ඒ නියමිත රාමුවෙන් බැහැරව මිලියන ගණනින් ආධාර කරන ප්රතිපත්තියක් අනුගමනය කළාය. රටක රැජිණක් අනුගමනය කරන එවැනි ප්රතිපත්තියක් ගැන ප්රශ්න කිරිමේ අයිතියක් රටේ ප්රවේනිදාසයන් ලෙස සැළකිය හැකි පුරවැසියන්ට තිබිය නොහැකිය.
ඒ අර්ථයෙන් ජනාධිපතිනියගේ භෞත චිකිත්සක මයික් චම්ලි මහතාට කර තිබෙන ප්රදානයද අවශ්යයෙන්ම කළ යුතු රාජ්ය ප්රදානයක් ලෙස සලකා නිහඬවී සිටීම සුදුසුය.
බෝලේ එහාට මෙහාට දෑමීම
විශාල ගණන් බැලීමකින් පසුව අවසානයේ සීඅයිඩී ය පසුගිය සෙනසුරාදා ජනරාල් අනුරුද්ධ රත්වත්ත 4 වැනි තට්ටුවට කැඳවා උඩතලවින්න සමූල ඝාතනය ගැන හා මැතිවරණ කාලයේ නුවර ප්රදේශ සිදුවූ ප්රචණ්ඩ ක්රියා කාරකම් ගැන ගෞරව සම්ප්රයුක්ත ආකාරකින් ඔහු ප්රශ්න කළේය. සී.අයි.ඩී ය කලක් මේ ඇමතිවරයා සළකන ලද්දේ රටේ යුධ රජු ලෙසය. එවැනි තත්ත්වයක් යටතේ අනුරුද්ධ ඔහුගෙන් ප්රශ්න කරන මේ අවස්ථාවේදි රජෙකු ලෙස හැසිරිමත් සී.අයි.ඩී.ය අනුරුද්ධ ඉදිරියේ ප්රවේණිදාස පිරිසක් ලෙස හැසිරිමත් ස්වාභාවිකය.
අනුරුද්ධ සී.අයි.ඩී. යට කැඳවූයේ ද කැමැත්තකින් නොව නොකරම බැරි තත්ත්වයක් යටතේය. නුවරට කරන ලද කැඳවීම නිශ්ප්රභා වූයේ ද සී.අයි.ඩී.ය වැදගත් වීම නිසාය. මහයියාවේ නිවස පරික්ෂෂා කරන්නට ගිය අවස්ථාවේද නිවස ඇතුළත පරික්ෂෂා කොට වටපිටාව පරික්ෂෂා කිරිමෙන් පමණක් සීඅයිඩී ය සෑහීමකට පත්වූයේය. තමන් යුව රජු ලෙස සැලකූ මේ පුද්ගලයා සී.අයි.ඩී යට ගෙනා පසු ඔහුගෙන් ඇසිය යුතු ප්රශ්න ගැන ප්රශ්නාවලියක්ද සකස් කර තිබුණු අතර ඒ ප්රශ්නාවලිය කල්තියා හිටපු නියෝජ්ය ආරක්ෂෂාක ඇමතිවරයා අතට පත් වූ බවටද රාවයක් පවතී.
ඔහු පිළිතුරු දි තිබෙන ආකාරයට ඔහු අතින් නුවර මදුරුවකුටවත් වරදක් වී නැත. තලවින්න සමූහ ඝාතනයද මුස්ලිම් කොංග්රසයට විරුද්ධ මුස්ලිම් කණ්ඩායමකගේ ම ක්රියාවකි. කුරාකුහුඹුවකුටවත් වරදක් කර නැති මේ අහිංසක මිනිසා විත්තිකරුවකු කරන්නේ කෙසේදැයි සී.අයි.ඩී.ය ඉතාමත් සාධාරණ ආකාරයකින් කල්පනා කළ විය යුතුය. ඔවුන් කළේ බෝලේ නීතිපතිට පාස්කොට බලා සිට ඔහු කියන්නේ කුමක්දෑයි බලා සිටින පිළිවෙතක් අනුගමනය කිරීමය. මින් පසු කොතරම් සාක්ෂෂි තිබුණත් නීතිපතිගේ අවසරය නැතිව කිසිම පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට හෝ නඩු පැවරිමේ හැකියාවක්ද සී.අයි.ඩී යට තිබිය නොහැකිය. අනුරුද්ධ රත්වත්ත නිසා අලුත් සම්ප්රදායක් නිර්මාණය වී ඇතැයි සිතා රට වැසියන්ටද සන්තෝෂ විය හැකිය.