2002.02.07
කුසුම්සිරි බාලපටබැඳි මහතා,
ජනාධිපති ලේකම්,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.
ජනාධිපතිනියට හා ජනාධිපති ආරක්ෂෂක අංශයට එල්ල වෙමින් තිබෙන අපරාධ චෝදනා ගැන
ඔබ විසින් පෙබරවාරි 01 වැනි දින කරන ලද
ප්රසිද්ධ නිවේදනය ගැනයි
මහත්මයාණෙනි,
එදින ඔබ විසින් කරන ලද ප්රසිද්ධ නිවේදනය මගින්;
(අ) ජනාධිපතිනිය රටේ විධායක නායිකාව බවත්;
(ආ) ජනාධිපතිනියගේ ආරක්ෂෂාව රැඳී ඇත්තේ ජනාධිපති ආරක්ෂෂක අංශය මත බවත්;
(ඇ) ජනාධිපතිනිය හා ජනාධිපති ආරක්ෂෂක අංශය මිනීමරුවන් බව කියන හා ජනාධිපති ආරක්ෂෂක අංශය රටේ සිදුවී ඇති භීෂණ ක්රියාවන්ට සම්බන්ධ කරන සංවිධානාත්මක ව්යාපාරයක් ක්රියාත්මක වන බවත්;
(ඈ) ජනාධිපතිනිය හා ජනාධිපතිනියගේ ආරක්ෂෂක අංශය ඉලක්ක කොටගෙන එම සංවිධානාත්මක ව්යාපාරය ගෙන යන්නේ පෞද්ගලික මාධ්ය කිහිපයක් බවත්;
(ඉ) එය රටේ විධායක නායිකාව වශයෙන් ජනාධිපතිනියගේ ආරක්ෂෂාවට එල්ල වී තිබෙන තර්ජනයක් ලෙස සලකන්නට සිදුවන බවත්;
ප්රකාශ කර තිබුණි.
ඔබ එම ප්රකාශයෙන් නම් කර තිබූණු බිහිසුණු සිද්ධීන්ට ජනාධිපති ආරක්ෂෂක අංශය සම්බන්ධ බවට චෝදනා කරන ලද්දේ “රාවය” පුවත් පතත් “සන්ඩේ ලීඩර්” පුවත් පතත් පමණය. ඒ නිසා ඔබේ ප්රකාශය මගින් සමහර පුද්ගලික මාධ්ය එවැනි ව්යාපාරයන් ගෙන යන බව ප්රකාශ කරන විට එයින් අදහස් කරන්නට ඇතිතේ “රාවය” පුවත්පත හා “ලීඩර්” පුවත්පත බවට සැකයක් තිබිය නොහැකිය.
ඔබගේ ප්රකාශය ගැන මට කියන්නට තිබෙන කාරණා සැකෙවින් මෙසේය.
ජනාධිපතිනිය රටේ විධායක නායිකාව බවත්, ත්රිවිධ හමුදාවන්ට අණ දිමේ බලය ඇත්තේ ඇයට බවත් මම පිළිගනිමි. එහෙත් රාජ්ය නායිකාව වශයෙන් ඇයට ලැබී තිබෙන අති විශාල බලය නීතියට අනුකූලව මිස අත්තනෝමතික ලෙස පාවිච්චි කිරිමේ බලයක් ඇයට තිබිය නොහැකිය. රාජ්ය නායිකාව වශයෙන් ඇයට මනා ආරක්ෂෂාවක් ලැබිය යුතු බවද මම පිළිගනිමි. එහෙත් ඇගේ ආරක්ෂෂාව සඳහා සිටින ආරක්ෂෂක අංශය ඇගේ ආරක්ෂෂාව සඳහා මිස තමන්ගේ නොසතුටට හේතුවන පුද්ගලයින් ඝාතනය කිරීම සඳහා හෝ හිංසාවට හා පීඩාවට ලක් කිරීම සඳහා හෝ යොදා ගැනීමේ අයිතියක් ඇයට තිබිය නොහැකිය.
ඇය තමන්ගේ ආරක්ෂෂක අංශය තමන්ගේ ආරක්ෂෂක කටයුතු සඳහා යොදා ගන්නවාට අතිරේකව විරුද්ධවාදින් හිංසාවට ලක් කිරීම සඳහාද යොදාගෙන ඇත්තේය යන්න අප නගන චෝදනාවයි. එහෙත් එය මැතිවරණයෙන් පසුව එල්ල කරන ලද චෝදනාවක් නොව ඊට බොහෝ පෙර කලක සිටම එල්ල කරන ලද චෝදනාවකි.
95 පෙබරවාරී 5 වැනි දින ලසන්ත වික්රමතුංග හා ඔහුගේ බිරිඳ ට කිසියම් සාහසිකයන් පිරිසක් පහර දුන්නේය. ඉන් පසු 98 ජූනි 16 වැනි දින නැවත කිසියම් සාහසිකයන් පිරිසක් ඔහු පදිංචි නිවසට වෙඩි තැබුවේය.
ජනාධිපති ආරක්ෂෂක අංශයට අයත් ඩබල් කැබ් රථයක් මා ගමන් ගන්නා වෑන් රථය පසුපස ගමන් ගැනීම සිරිතක් කොටගෙන තිබුණු යුගයක් තිබුණ. 98 අගෝස්තු 4 වැනි දින රාත්රියේ එම රථය මා ගමන්ගත් රථයේ හප්පවා බිහිසුණු අනතුරක් ඇති කිරීමට දරන ලද උත්සාහයකින් අප බේරුණේ මා ගමන් ගත් රිය පැද වූ රියදුරාගේ දක්ෂෂතාවට පින්සිදුවන්නටය. මා එකල පාවිච්චි කළේ මොබිටෙල් සමාගමට සම්බන්ධ ජංගම දුරකථනයකි. සවස් කාලවල මා ගමන් බිමන් යන විටත් නැවත මා සති අන්තයේ නිවසට යන කාල වේලාවලත් ආපසු එන කාල වේලාවලත් මාගේ ජංගම දුරකථනය ක්රියා විරහිත කරන විශේෂ ක්රමයක්ද ක්රියාත්මක විය. මා මේ ගැන මොබිටෙල් සමාගමට වාචිකවත් ලිඛිතවත් පැමිණිලි කළෙමි. ඔවුන් ඒ ගැන පරික්ෂෂණයකද යෙදුණේය. එවැනි දෙයක් සිදුවී ඇති බව පරිගණක දත්ත ආශ්රයෙන් පෙනෙන බවත් එහෙත් ඊට තම සමාගමේ සම්බන්ධයක් නැති බවත් එය තම සමාගමට පරිබාහිරව පිටස්තරින් සිදුවන දෙයක් බවත් ආරක්ෂෂාව සඳහා වෙනත් දුරකථන සමාගමකට සම්බන්ධ වන ලෙසත් සමාගම මට උපදෙස් දුන්නේය. ඒ නිසා මාගේ ජංගම දුරකථනය වෙනස් කොට වෙනත් දුරකථන සමාගමකට සම්බන්ධ ජංගම දුරකථනයකට මාරු වීමට සිදුවිය. 2001 මැයි 23 වැනිදා “රාවය” කාර්යාලයට දුම්බෝම්බ ප්රහාරයක් එල්ල වූ අතර එම වසරේම ජූනි 25 වැනිදා මා ගමන් ගන්නා වාහනය නවතා තිබූ අවස්ථාවක වාහනයට බිත්තරයක බහාලු රසායන ද්රව්ය විශේෂයකින් පහර දෙන ලදි. ඉන් රියදුරාගේ එක් ඇසකට හානි සිදුවිය. මේ ඇතිවූ සිද්ධීන්ට ජනාධිපති ආරක්ෂක අංශයේ සම්බන්ධයක් ඇතිය යන්න අපගේ විශ්වාසයයි.
පුවත්පත් කතුවරුන් දෙදෙනෙකු ඝාතනය කිරිමේ කුමන්ත්රණයක් තිබූ බව පළමුවෙන්ම, රටට කීවේද අප විසින් නොව ජනාධිපතිනිය විසින්මය. ඇය ඒ ගැන පළමුවෙන්ම පැහැදිලි කළේ 2001 නොවැම්බර් 8 වැනිදා රූපවාහිනිය සමග කරන ලද සාකච්ඡාවකදිය.
තමාට එල්ල වූ බෝම්බ ප්රහාරයෙන් පසුව එයට ප්රතිකාර සඳහා එංගලන්තයට ගොස් සිටියදි කැබිනට් ඇමතිවරයෙකු පුවත්පත් කතුවරුන් දෙදෙනෙකු ඝාතනය කිරීම සඳහා ක්රියාකරමින් සිටින බව තමන්ට දැනගන්නට ලැබී තමා සිය දියණියට කථා කොට එම වැඩපිළිවෙල ව්යර්ථ කළ බව ඇය එහිදි ප්රකාශ කළාය.
ඉන්පසු පොදු පෙරමුණේ 2001 මැතිවරණ ප්රකාශය එළිදෑක්වීම වෙනුවෙන් ජනාධිපති මන්දිරයේදි පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදි බුද්ධික වීරසිංහ ජනාධිපතිනියගෙන් ඒ ගැන ප්රශ්න කරන ලදුව ජනාධිපතිනිය ඊට දෙන ලද පිළිතුර “රාවය” වාර්තා කර තිබුණේ මෙසේය.
මාධ්යවේදියා: කර්තෘවරුන් ඝාතනය කිරීමට යෝජනා කළ කැබිනට් ඇමතිවරයා කව්ද කියා මාධ්යවේදින් වශයෙන් අප දැනගත යුතුයි.
ජනාධිපතිනිය: එහෙම කියපු ඇමතිවරයා දැන් අපේ ආණ්ඩුවේ නැහැ. මම වගකීමක් ඇතිව කියන්නේ.
ඇමති මංගල සමරවීර : දැන් “රාවය” තමයි ඒ අය වෙනුවෙන් විශේෂයෙන් පෙනී සිටින්නේ.
ජනාධිපතිනිය : මම ඉතුරු විස්තර කියන්න කැමැති නැහැ. මම ඒ ඇමතිවරයා වගේ පහත් මට්ටමකට වැටෙන්න කැමති නැහැ. දෙසැම්බර් 24 වැනි දින ප්රතිකාර ගැනීම සඳහා ලන්ඩන් නුවරට ගිහින් හිටියේ. ඒ වනවිටත් මම ජීවත්වෙයි ද කියලා මට දොස්තරවරු කියලා තිබුණේ නැහැ. ඒ ගැන අන්තිම වාර්තා වෛද්යවරුන්ගෙන් එන්න තිබියදි මම දන්නෙ මට තව ටිකක් පණ තියෙන බව විතරයි.
මට දුරකථනයෙන් ලැබුණු පණිවුඩයකින් දැන ගන්නට ලැබුණා කොළඹදි කර්තෘවරුන් දෙදෙනෙක් මරන්න හදනවා කියලා. මට වෙච්ච දේ පිට දාලා මරන්න හදනව කියලයි මට දැනගන්න ලැබුණේ. එය දැනගන්න ලැබුණු විගසම මම දුරකතනයෙන් කතා කරලා එය නැවැත්තුවා.
ඒ නිසා ඔබතුමා සම්බන්ධ “රාවය” කර්තෘගෙත් ජීවිතය බේරුණා.”
ඒ අපේ වචන නොව, ජනාධිපතිනියගේම වචනය. එම කුමන්ත්රණයට සම්බන්ධ ඇමතිවරයා ලෙස ජනාධිපතිනිය අදහස් කළේ එස්.බී. දිසානායක මහතාය. ඒ ගැන එස්.බී. දිසානායක මහතා කියන දෙය මෙසේය.
“රාවය” හා “සන්ඩේ ලීඩර්” යන පුවත්පත් දෙක කෙරෙහි ජනාධිපතිනිය පසුවූයේ දැඩි වෛරයකිනි. මෙම පුවත්පත් දෙක කෙරෙහි ඇය තුළ විශාල විරෝධයක් සේ ම, බියක් ද තිබුණා.
මෙම පුවත්පත් දෙක කෙරෙහි පැවති විරෝධය හා වෛරය නිසයි මෙම පුවත්පත් ආයතන දෙක විනාශ කළ යුතු බව ඇය කියා සිටියේ. ඒ ගැන ජනාධිපතිනිය මා සමගත් සාකච්ඡා කළා. “රාවය”ට බෝම්බ ගහලා විනාශ කරනවා කියලා කිව්වම මම ඇහැව්වා වික්ටර් අයිවන් මැරෙයි නේද කියලා. ඇය මෙම පුවත්පත් කර්තෘවරුන් දෙදෙනා කෙරෙහි ඇති කරගෙන තිබූ වෛරය නිසා එම පුවත්පත් ආයතන දෙක විනාශ කිරිමේ සැලැස්මකට ඇය එළඹ සිටියා.
ඇමති මණ්ඩලයේ කිසියම් පිරිසක් මෙම වැඩපිළිවෙලට එරෙහි වී ඔවුන්ගේ මැදිහත්වීම නිසා එය ක්රියාත්මක වීම වැළකුණා.”
(රාවය 2001 නොවැම්බර් 11)
ජනාධිපතිනියට බෝම්බ ප්රහාරයක් එල්ල කෙරුණේ 99 දෙසැම්බර් 18 වැනිදාය. ජනාධිපතිනියගේ පදවි ප්රාප්ති උත්සවය පැවතුණේ ප්රතිකාර සඳහා එංගලන්තයට යන්නට පෙර දෙසැම්බර් 22 වැනිදාය. ඇය එංගලන්තයට ගියේ එම ප්රවෘත්ති සාකච්ඡාව පැවති දින සවසය. පදවි ප්රාප්ති උත්සවය රොයිටර් ප්රවෘත්ති සේවාව වෙනුවෙන් ආවරණය කරන්නට එහි ගිය නිදහස් මාධ්ය ව්යාපාරයේ කැඳවුම්කරු වරුණ කරුණාතිලකට එහිදි ජනාධිපති ආරක්ෂක අංශයේ ප්රධානියා (නිහාල් කරුණාරත්න) තර්ජනාත්මක අනතුරු ඇගවීමක් කළේය. එම තර්ජනාත්මක අනතුරු ඇගවීමෙන් කියවුණු එක් දෙයක් වූයේ ඔවුන්ගේ ප්රහාර ලේඛනයේ මුලටම ලසන්ත වික්රමතුංගගේ නමත්, මගේ නමත් තිබෙන බවය.
ජනාධිපති ආරක්ෂක අංශයේ අධ්යක්ෂ නිහාල් කරුණාරත්න විසින් කරන ලද මෙම අනතුරු ඇගවීම පුවත්පත් කතුවරුන්ගේ හා විධායකයන්ගේ ලෝක සංවිධානය වන ස්විට්සර්ලන්තයේ International Press Institute” ආයතනය 2000 වසර සඳහා පළ කළ World Press Freedom Review නමැති වාර්තාවේ වාර්තා කොට තිබුණේ මෙසේය.
“ජනාධිපතිනියගේ ජයග්රහණයෙන් කෙටි කලකට පසුව ජනාධිපති ආරක්ෂක අංශයේ අධ්යක්ෂ පොලිස් අධිකාරි කරුණාරත්න විසින් “සන්ඩේ ලීඩර්” පුවත්පතේ කර්තෘ ලසන්ත වික්රමතුංග ඔවුන්ගේ ප්රහාරක ලේඛනයේ පළමු තැන ගන්නා බවත්, ඊළගට සිටින්නේ “රාවය” පුවත්පතේ කර්තෘ වික්ටර් අයිවන් බවත් නිදහස් මාධ්ය ව්යාපාරයේ වරුණ කරුණාතිලකට කියා තිබුණි. මෙම ප්රකාශය කර කෙටි කලකට පසුව රජයේ ජේයෂ්ඨ ඇමතිවරුන් “සන්ඩේ ලීඩර්” ප්රධාන කර්තෘ ලසන්ත වික්රමතුංග හා “රාවය” ප්රධාන කර්තෘ වික්ටර් අයිවන් එල්ටීටීඊය සමග කුමන්ත්රණයක යෙදි ඇති බවට චෝදනා කළ අතර, රජයේ පුවත්පත් ඒ චෝදනාව මත පිහිටා ලිපි පළ කළහ.”
(පිටුව 143)
මෙම ප්රවෘත්ති සාකච්ඡාවෙන් පසුව ප්රතිකාර සඳහා එංගලන්තය බලා ගිය ජනාධිපතිනිය නැවත ශ්රී ලංකාව බලා ආවේ ජනවාරි 02 වැනිදාය. ජනවාරි 3 වැනිදා ජනාධිපතිනිය පැය තුනක කාලයක් තරම් දිර්ඝ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගිවෙමින් තමන් මැදිහත්වී දිවි ගලවා ගත්තේ යැයි කියන පුවත්පත් කර්තෘවරුන් දෙදෙනාට එහිදි දිගින් දිගටම පහර දුන්නා පමණක් නොව, ඇය මරා දැමීම සඳහා දියත් වූ එල්ටීටීඊ කුමන්ත්රණයට අප දෙදෙනාගේ ද සම්බන්ධයක් ඇති බවට ද අනියම් ලෙස ඉගි කළාය. සංස්කරණයට ලක් කිරීමකින් තොරව ප්රසිද්ධියට පත් කළ පිටපතේදි සාකච්ඡාව අවසානයේ ජනාධිපතිනිය පැත්තක සිටින එස්.බී. දිසානායක ඇමතිවරයා අමතා “මේ ඇති නේද එස්.බී.” යයි කියන ප්රකාශයක් ද ඇතුළත්ව තිබුණි.
ජනාධිපතිනියගේ මෙම රූපවාහිනී සාකච්ඡාව ගැන කණස්සල්ල පළ කරන නිවේදනයක් International Press Institute” සංවිධානය ප්රකාශයට පත් කළේය. එය එම ආයතනය ජනවාරි 20 වැනි දින ජනාධිපතිනිය වෙත යවන ලද ලිපියක් වූ අතර ඒ ලිපියේ ද ලසන්ත වික්රමතුංග හා මා මුල් කරගෙන ආණ්ඩුවේ ඇතැම් පිරිසක් ඉදිරියට ගෙන යමින් තිබුණු කුමන්ත්රණකාරි ව්යාපාරය ගැන අනතුරු ඇගවීමක් ද ඇතුළත් විය.
ඒ අදාළ කොටස මෙසේය.
“මෙම ප්රකාශයට පෙර ජේයෂ්ඨ ඇමතිවරුන් හා වෙනත් රාජ්ය නිලධාරින් විසින් ස්වාධීන මාධ්යයන්ට විරුද්ධව ඒකාග්ර වෛර ව්යාපාරයක් අරඹා තිබුණු අතර, ඒ හේතු කොටගෙන පසුව ස්වාධීන පුවත්පත් දෙකක ජේයෂ්ඨ කතුවරුන් දෙදෙනෙකුට එනම් “සන්ඩේ ලීඩර්” පුවත්පතේ ලසන්ත වික්රමතුංගට හා “රාවය” පුවත්පතේ වික්ටර් අයිවන්ට විරුද්ධව රජයට අයත් මාධ්ය විසින් ඒ දෙදෙනා ජනාධිපතිනිය හා රජය බලයෙන් පහකර දැමීම සඳහා එජාපය ද එල්ටීටීඊ සංවිධානය ද කරන ලද කුමන්ත්රණයකට සම්බන්ධ වූවා යයි චෝදනා කරන ලදි.
ඔබේ ප්රකාශයන්ගෙන් ද එම පුවත්පත් කතුවරුන් දෙදෙනාට විරුද්ධව එල්ල කරනු ලැබ ඇති තහවුරු නොකරන ලද ප්රකාශිත චෝදනාවන්ගෙන් ද පෙන්නුම් කෙරෙන්නේ ඔබේ රජය විවේචනාත්මක ජනමාධ්ය මෙල්ල කිරීම සඳහා ඇතැම්විට ශ්රී ලංකාවේ අදහස් පළකිරිමේ නිදහස තවදුරටත් සීමා කිරිමේ නව නීති හඳුන්වාදිම සඳහාත්, ව්යාජ හේතුවක් වශයෙන් 1999 දෙසැම්බර් 18 වැනිදා ඔබ ඝාතනය කිරීමට දරන ලද ප්රයත්නය පාවිච්චි කරමින් සිටින බවය.”
ද්රවිඩ කොංග්රසයේ නායක කුමාර් පොන්නම්බලම් මහතා ඝාතනය කෙරෙන්නේ ද විවාදයට හේතුවූ ජනාධිපතිනියගේ මෙම රූපවාහිනී සංවාදයෙන් දින දෙකකට පසුව එනම් ජනවාරි 05 වැනිදාය. ජනවාරි 07 වැනි දින මා අමතා දුරකතනයෙන් කතා කළ ජනාධිපතිනියට සම්බන්ධකම් ඇති පුද්ගලයෙක් 18 වැනිදා සිදුවූ බෝම්බ සිද්ධියට සම්බන්ධ කොට මා හා ලසන්ත වික්රමතුංග අත්අඩංගුවට ගැනීම සඳහා වැඩපිළිවෙලක් ඇති බව කියා, හිතුවක්කාරි නොවී වහාම ටික දිනකට හෝ ලසන්ත සමග ශ්රී ලංකාවෙන් පිටවන ලෙස ඉල්ලා සිටියේය. ඒ බව ලසන්ත වික්රමතුංගට ද දුරකථනයෙන් දැනුම් දුන්නෙමි. දුරකතනයෙන් මා අමතා කථා කළ පුද්ගලයා කී කතාව සනාථ කරමින් 18 වැනිදා ජනාධිපති ඝාතන කුමන්ත්රණයට සම්බන්ධ සති අන්ත පුවත්පත් කතුවරුන් දෙදෙනෙකු ළගදිම අත්අඩංගුවට ගැනීමට නියමිත බව 9 වැනිදා ආණ්ඩුවේ රූපවාහිනී සේවා දෙක හා ගුවන් විදුලි සේවා දෙක ඔවුන්ගේ ප්රවෘත්ති ප්රකාශ මගින් ප්රකාශ කර සිටියේය.
ජනාධිපතිනියට සම්බන්ධ පුද්ගලයා මා වෙත කරන ලද අනතුරු ඇගවීම බැරෑරුම් කොට සැලකිය යුතු බව එම ප්රවෘත්ති ප්රකාශය නිසා මට තේරුම් ගත හැකිවිය. මා තාවකාලිකව ශ්රී ලංකාවෙන් පිටවී යාමේ අදහසින් 9 වැනි ඉරිදා කොළඹට පැමිණි වරුණ කරුණාතිලක සමගත්, ලසන්ත වික්රමතුංග සමගත් ඒ ගැන සාකච්ඡා කළෙමු. ඒ සමග ඒ පිළිබඳ විස්තර තානාපති කාර්යාලවලට ද දැනුම් දුන්නෙමු.
ටික කලක් සඳහා වහාම රටින් පිටවීමට මුලින් තීරණය කරගෙන සිටියත්, රටේ සිට එළඹෙන ඕනෑම තත්ත්වයකට මුහුණ දිය යුතු යැයි අපි අවසානයේදි තීරණය කළෙමු. 10 වැනි බදාදා දේශීය හා විදේශීය ජනමාධ්යකරුවන් සම්බන්ධ කරගත් පුවත්පත් සාකච්ඡාවක් කැඳවා අපට මුහුණ දෙන්නට සිදුවී තිබෙන අවදානම් සහගත තත්ත්වය ගැන ඔවුන්ට කරුණු විස්තර කළෙමු.
ඉන්පසු අදහස් ප්රකාශ කිරිමේ නිදහස වෙනුවෙන් ක්රියාත්මක වන ප්රධාන පෙළේ ජාත්යන්තර සංවිධානයක් වන එංගලන්තයේ ආටිකල් නයින්ටීන් සංවිධානය ජනමාධ්ය ඇමති මංගල සමරවීර වෙත ඒ ගැන ලිඛිත දැනුම් දිමක් කළේය. එය පුවත්පත්වල ද පළ විය.
අප දෙදෙනාගේ ආරක්ෂාවට අදාළව එල්ල වී තිබුණු තර්ජනය පිළිබඳව ඊට ඇතුළත්ව තිබුණු කරුණු මෙසේය.
“එල්ටීටීඊය හා වෙනත් පුද්ගලයින් ද සමග ජනාධිපතිනිය බලයෙන් පහකිරිමේ කුමන්ත්රණයට නිදහස් පුවත්පත් දෙකක කතුවරුන් ද සම්බන්ධ යැයි රජයේ මාධ්ය චෝදනා නගා ඇතැයි වාර්තා විය. “රාවය” කර්තෘ වික්ටර් අයිවන් හා “සන්ඩේ ලීඩර්” කර්තෘ ලසන්ත වික්රමතුංග යන අයගේ සබඳතා පොලිස් පරික්ෂණවලදි හෙළිවී ඇති බවත් රජයේ මාධ්ය ප්රකාශ කළේය.”
“කෙසේ වෙතත් අපට දැනගැනීමට ලැබී ඇති පරිදි රජයේ මාධ්යයන්ගෙන් මෙම බරපතල චෝදනාව නැගීම හැර එසේ චෝදනා නගන විට අදාළ මාධ්යවේදින්ගෙන් පොලිසිය ප්රශ්න කිරීමක් පවා සිදු කොට නොතිබුණු අතර, අද දක්වාත් එවැන්නක් සිදුවී නොමැත.”
“එවැනි කුමන්ත්රණයක් පැවතියේ නම් ඒ පිළිබඳව සිදු කරන නිසි පොලිස් පරීක්ෂණයකට ආටිකල් 19 සංවිධානය පූර්ණ සහාය පළ කරයි. සාපරාධී අපරාධයකට අදාළ සාක්ෂි ඇත්නම් සැකකරුවන් අධිකරණය හමුවට ගෙනා යුතුයි. එහෙත් අපට හැගෙන්නේ මෙම කුමන්ත්රණ කථාව ප්රසිද්ධියට පත් කොට ඇත්තේ රජයේ ප්රතිපත්තිවලට විරුද්ධව හා එම ප්රතිපත්ති විවේචනය කරන පුද්ගලයින්ව හිර කිරීම හා බිය වැද්දිම සඳහාය.”
“රාවය” පුවත්පත් ආයතනයට හා “සන්ඩේ ලීඩර්” පුවත්පත් ආයතනයට පහර දි විනාශ කිරිමේ සැලැස්මක් ඇති බවට 99 දෙසැ. මැද වනවිට අප දැනගෙන සිටියේය. තොරතුරු ලැබුණු මාර්ගවල තිබුණු විශ්වසනීය බව නිසාත්, එහි ඇති බැරෑරුම් කමත් සලකා හදිසි පහරදිමක් ආවරණය වන ලෙස “රාවය” ආයතනයේ යන්ත්ර සූත්ර හා පුද්ගලයින් රක්ෂණය කිරීමට අපට සිදුවූ බව ද ඔබගේ දැනගැනීම සඳහා ප්රකාශ කරමි. මෙම විශේෂ රක්ෂණ ආවරණය ලබාගත්තේ 99 දෙසැම්බර් 15 වැනිදාය. ජනාධිපති ආරක්ෂක අංශය යොදා මෙම පුවත්පත් ආයතන දෙක විනාශ කිරීම සඳහා සකස් කර තිබූ සැලැස්ම කුමක්ද යන්න අපට පසුකලකදි එස්.බී. දිසානායක මහතාගෙන් ද විස්තර දැනගැනීමට ලැබුණු බව ද ඔබගේ දැනගැනීම සඳහා ප්රකාශ කරමි.
1999 ජූලි 15 වැනි දින එක්සත් ජාතික පක්ෂයේ විරෝධතා ව්යාපාරයක් වාර්තා කරන්නට ගිය ජනමාධ්යවේදින්ට ජනාධිපති ආරක්ෂක අංශය මගින් එල්ල කරන ලද ප්රහාරය ජනාධිපතිනියගේ අනුමැතිය ඇතිව ජනමාධ්ය ඇමති මංගල සමරවීර විසින් මෙහෙයවන ලද්දක් බව අපට ඒ කාලයේදිම ආණ්ඩුවට සම්බන්ධ ප්රබල ඇමතිවරුන් තිදෙනෙකු මගින් දැනගන්නට ලැබී තිබුණ. එම ප්රහාරය සිදුවුණේ සවසය. එදින උදේ පළවූ පුවත්පත්වල ජනමාධ්ය ඇමති මංගල සමරවීර විසින් නිකුත් කළ නිවේදනයක් පළවී තිබුණු අතර, ඒ නිවේදනයෙන් කියා තිබුණේ ආණ්ඩුවට එරෙහිව ක්රියාත්මක වන මාධ්ය මාෆියාවක් රටේ ඇති බවත්, “ලීඩර්” කර්තෘ ලසන්ත වික්රමතුංගත්, “රාවය” කර්තෘ වික්ටර් අයිවනුත්, “ලක්බිම” කර්තෘ බන්දුල පද්මකුමාරත් ඒ මාධ්ය මාෆියාව මෙහෙයවන ප්රධානීන් බවත්ය. එම නිවේදනය හා සවස ඇතිවූ පහරදිම අතර පැහැදිලි සම්බන්ධයක් ඇතැයි අපි විශ්වාස කළෙමු. ජනාධිපති ආරක්ෂක අංශයේ පිරිසක් ජනමාධ්යවේදින්ට පහර දෙන අවස්ථාවක් ඇතුළත් ඡායාරූපයක් “රාවයේ” ඡායාරූප ශිල්පියා විසින් ගනු ලදුව එය ප්රසිද්ධියට පත්කිරිමෙන් පසුව පහරදිමට සම්බන්ධ ජනාධිපති ආරක්ෂක අංශයේ පුද්ගලයන් හඳුනාගනු ලැබූවත් ඔවුනට එරෙහිව නීතිය ක්රියාත්මක වීමක් සිදුවූයේ නැත. බුද්ධික වීරසිංහගේ කැමරා උපකරණ සමග අතුරුදහන් වූ ජංගම දුරකතනය පසුකලක වෙනත් පුද්ගලයෙකු අත තිබියදි සොයා ගත්තේය. ඔහුට එම ජංගම දුරකතනය ජනාධිපති ආරක්ෂක අංශයේ සේවයේ නියුතු සංජීව නමැති පුද්ගලයෙකුගෙන් ලැබුණු බව ඔහු පොලිසියට ප්රකාශ කර තිබුණත්, පොලිසිය එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඔහු අධිකරණය ඉදිරියට පැමිණුවේ නැත.
“සටන” කර්තෘ රෝහණ කුමාර ඝාතනයට ලක් කෙරුණේ ද ජනාධිපතිනියත්, ජනාධිපති මාධ්ය උපදේශක සනත් ගුණතිලකත් මුල් කොටගෙන චැනල් නයින් ගනුදෙනුව පිළිබඳව උණුසුම් කතාබහක් රටේ පැවති අවස්ථාවකය. ඔහු චැනල් නයින් අපවාදය පදනම් කොටගෙන “කොමි-සනා” නමින් කැසට් පටියක් ද නිෂ්පාදනය කොට තිබුණ. රෝහණ කුමාර ඝාතනය පිටුපස සිටින ප්රධාන පුද්ගලයා ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කරන බැද්දෙගාන සංජීව බවත්, ඒ ඝාතනය සඳහා යොදා ගත් මෝටර් රථය පිළිබඳව විස්තරත්, එම ඝාතනය සිදු කිරීමට පෙර බැද්දගානේ සංජීව විසින් ඔහු ඝාතනය කිරීමට දරන ලද අසාර්ථක උත්සාහයක් පිළිබඳව විස්තරත්, ඝාතනය පිළිබඳව ආරම්භ කෙරුණු පොලිස් පරික්ෂණයේදි පරික්ෂකයන්ගේ අවධානය සංජීව වෙත යොමු වූ විට ඉහළින් ලැබුණු නියෝගයක් මත පරීක්ෂණය යටපත් කෙරුණු ආකාරයත් පිළිබඳ විස්තරත් අපි මීට පෙර ප්රසිද්ධ කර ඇත්තෙමු.
රෝහණ කුමාර ඝාතනයේ වගකීම භාරගත් තාර අජිත් අත්අඩංගුවට ගත්තේ බැද්දගාන සංජීවගේ නිවසේ සිටියදිය. එම ඝාතනය සඳහා යොදා ගත් මෝටර් රථය පදවන ලද්දේ බැද්දගානේ සංජීව බව තාර අජිත් සිය පාපොච්චාරණයේ පැහැදිලිව සඳහන් කර තිබියදි, පොලිසිය බැද්දගානේ සංජීව අත්අඩංගුවට නොගත්තේ ඇයි ද යන මූලික ප්රශ්නයට පිළිතුරු දිය යුත්තේ ද අප විසින් නොව, ජනාධිපතිනිය හෝ ඇය වෙනුවෙන් කථා කරන ඔබ විසිනි. මේ ඝාතනයේදි වෙඩි තැබීමට පෙර රෝහණ කුමාරගේ මුහුණට අල්ලන ලද ඩ්රැගන් වර්ගයේ විදුලි පහන සංජීවගේ නිවසේ තිබියදි සොයා ගන්නා ලදුව, දැනට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරේ තිබෙන බව ද ඔබගේත්, ජනාධිපතිනියගේත් වැඩිදුර දැනගැනීම සඳහා ප්රකාශ කරමි.
කුමාර් පොන්නම්බලම් ඝාතනයේදි වෙඩික්කාරයා ලෙස ක්රියා කළේ එම්.ඒ. කමල්සිරි කාංලිග වංශ හෙවත් මොරටුව සමන් බවත්, ඔහුගේ සහායකයා ලෙස ක්රියා කළේ පොලිස් උප සේවා බලඇණයේ ආර්.පී.සී. කෙනෙකු වන එන්.පී. සුගත් බවත්, කුමාර් පොන්නම්බලම් මහතාට වෙඩි තැබීමෙන් පසුව ඔහු පරිහරණය කළ අංක 072-250205 දරන ජංගම දුරකතනය සුගත් රණසිංහ විසින් මතක සටහනක් ලෙස තමන් වෙත තබාගෙන සිටින බවත්, කුමාර් පොන්නම්බලම් ඝාතනයෙන් ටික කලකට පසුව “රාවය” හෙළිදරව් කළේය.
මොරටු සමන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව සුගත් රණසිංහ සැගවී සිටියදි අපරාධ පරික්ෂණ බියුරෝවේ පොලිස් පරික්ෂක නුවන් වෙදසිංහ වෙත දුරකතනයෙන් කරන ලද්දේ යැයි කියන පාපොච්චාරණයකට අනුව කුමාර් පොන්නම්බලම් පරිහරණය කළ ජංගම දුරකතනය අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව අපරාධ පරික්ෂණ බියුරෝව ප්රකාශ කළත්, සුගත් රණසිංහගේ භාරවීමෙන් පසුව කුමාර් පොන්නම්බලම් ඝාතනය ගැන පොලිසිය ඔහුගෙන් කටඋත්තරයක් ලබානොගත්තේ ඇයිද යන ප්රශ්නයට ද පිළිතුරු දිය යුත්තේ ජනාධිපතිනිය විසින් හෝ ජනාධිපතිනියගේ ලේකම් වශයෙන් ක්රියා කරන ඔබ විසිනි. කුමාර් පොන්නම්බලම් ඝාතනය කොට ඔහුගේ ජංගම දුරකතනය රණසිංහ විසින් ලබාගැනීමෙන් පසුව එම දුරකතනයෙන් රණසිංහ පළමුවෙන්ම කතා කළේ කාටද යන්න සොයා බැලුවේ නම්, එම ඝාතනය පිටුපස තිබුණු දේශපාලනය කුමක් ද යන්න සොයා ගැනීමට හැකිවනු ඇති බව ද ප්රකාශ කරමි.
රූකාන්ත හා චන්ද්රලේඛාට හිංසා කිරිමේ සිද්ධිය සිදුවූයේ ද ජනාධිපතිනියගේ රූපවාහිනී සාකච්ඡාවේ උණුසුම රටේ පැවති අවස්ථාවකය. මේ බිහිසුණු සිද්ධියෙන් පසුව මේ දෙදෙනා සිය දරුවන් සමග සැගවී සිටියදි රූකාන්තගෙන් ලැබුණු ආරාධනයක් අනුව ඔහු සැගවී සිටි ස්ථානයට ගොස් මම ඔහු හමුවුණෙමි. ඔහු එහිදි, ඒ අවස්ථාවේදි ප්රසිද්ධ නොකළ යුතුයි යන පොරොන්දුව මත සිද්ධියේ අභ්යන්තර කතාව මට හෙළි කළේය. ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කරන පුද්ගලයෙකු ජනාධිපති ආරක්ෂක අංශයේ පිරිසක් රූකාන්තගේ නිවසට එන්නට නියමිත බව ඔහු දන්නා පොලිස් අධිකාරිවරයෙකුට දුරකතන පණිවුඩයක් මගින් දැනුම් දුන්නේය. පොලිස් අධිකාරිවරයා රූකාන්තට සම්බන්ධකම් තිබූ පුද්ගලයෙකි. ඔහු රූකාන්තට දුරකතනයෙන් කතා කොට ජනාධිපති ආරක්ෂක අංශයේ කණ්ඩායමක් ඔහුගේ නිවසට ඒමට නියමිත බව දැනුම් දි වහාම ඒ ස්ථානයෙන් පිටවී යන ලෙස දැනුම් දුන්නේය. එහෙත් අවාසනාවකට ඔහු සිටියේ ක්ෂණික තීන්දුවක් ගැනීමට බැරි තරමට බීමත්වය. රූකාන්ත පිටවී ඇත්දැයි දැනගැනීම පිණිස පොලිස් අධිකාරිවරයා නැවත රූකාන්තට කතා කළේය. ඉන්පසු වහාම පිටවී යාමට රූකාන්ත අදිටන් කරගත්තත් එය ක්රියාවට නගන්නට පෙර මාර සේනාව රූකාන්තගේ නිවසට කඩා වැදුණේය.
අප ජනාධිපතිනියට හා ජනාධිපති ආරක්ෂක අංශයට චෝදනා කරන්නේ පදනම් විරහිතව නොවන බව මේ කරුණු අනුව ඔබට තේරුම් යා යුතුය. රෝහණ කුමාර ඝාතනය ඇතුළු සිදුවූ සාහසික සිද්ධීන් රාශියකට ජනාධිපති ආරක්ෂක අංශය සම්බන්ධ බව අපට ඔප්පු කළ හැකිය. ඒ නිසාම ඒ සිද්ධීන්ට ජනාධිපතිනියගේ ද සම්බන්ධයක් ඇතැයි යන විශ්වාසයක් අප තුළ පවතී. එය සත්යයක් නොවේ නම්, ඒ බව කරුණු සහිතව ඔප්පු කිරිමේ වගකීම පැවරෙන්නේ ජනාධිපතිනියටය. ඒ සඳහා පැවැත්වෙන සාධාරණ විධිමත් පරික්ෂණයකට මුහුණ දිමට ජනාධිපතිනිය සූදානම් නම් ඊට සම්බන්ධ වීමට අපිත් සූදානම්ය
වික්ටර් අයිවන්
රාවය කර්තෘ