දැන් “රාවය”ට ක්රියා කරන්නට සිදුවී ඇත්තේ දක්ෂිණාංශික අදහස් දරන පාලක පක්ෂයක් ලෙස සැලකිය හැකි එජාප ආණ්ඩුවක් යටතේය. එවැනි ආණ්ඩුවක් යටතේ “රාවය” ක්රියාකරන්නට යන්නේ කෙසේද යන කුහුල “රාවයේ” සමහර පාඨකයන් අතර පවා ඇතිවී තිබෙන බැවින්, “රාවය” ඉදිරියේදි කුමන ප්රතිපත්තියක් මත පිහිටා ක්රියා කරන්නේ ද යන්න පැහැදිලි කිරීමක් කිරීමට මෙය සුදුසු අවස්ථාවකි.
“රාවය” ට තමන්ගේ ම මගක් තිබිය හැකිය. එහෙත් එය වාමාංශික හෝ දක්ෂිණාංශික කිසියම් නිශ්චිත න්යාය වාදයක් වෙනුවෙන් පෙනී සිටින පුවත්පතක් වන්නේ නැත. එය බලයේ සිටින ආණ්ඩුවත් සමග අරගලයකට යොමුවූ අවස්ථාවකදි ඒ අරගලය සාර්ථකව ඉදිරියට ගෙනයාම සඳහා විරුද්ධ පක්ෂ ලෙස ක්රියා කරන අයගේ සහාය ලබාගන්නා අවස්ථා සේ ම, ඒ නිසා විරුද්ධ පක්ෂ “රාවය” කරන අරගලවලින් අනියම් ලෙස ශක්තිමත් වන අවස්ථා ද තිබිය හැකිය. එහෙත් “රාවය” ඒ කිසිම අවස්ථාවක ඒ පක්ෂ දේශපාලනයේ කොටස්කරුවකු ලෙස ක්රියා කරන්නේ නැත. “රාවය” පුවත්පතක් වනවා මිස පක්ෂයක් වන්නේ ද නැත. එය විවිධ දේශපාලන මතවාදයන් සමග වාද විවාද වලට යා හැකි වුවත්, එය මොනම පක්ෂයකටවත් ඓන්ද්රීය ලෙස සම්බන්ධ පුවත්පතක් ලෙස හෝ නව පක්ෂයක් ගොඩනැගීම අරමුණු කරගත් පුවත්පතක් ලෙස සැලකිය නොහැකිය.
“රාවය” ශ්රී ලංකාවේ දේශපාලනයේ දෙවියන් වහන්සේ බවට පත්වී සිටින බවත්, පුද්ගලික වාසි ලැබීමේ අරමුණින් නොවූවත්, තමන් අකමැති ආණ්ඩු පෙරළා දමා නව ආණ්ඩු බලයට පත් කරන තත්ත්වයක් හිමි කරගන සිටින බව පශ්චාත් නූතනවාදින් ලෙස පෙනී සිටින ගුරු කුලයක් මේ මෑතකදි ප්රකාශ කර තිබුණි.
ඔවුන්ට අනුව පොදු පෙරමුණු ආණ්ඩුව පරාජය කළේ “රාවය”යි. ඊට පෙර එජාප පරාජය කොට, පොදු පෙරමුණ බලයට ගත්තේ ද “රාවය”යි.
එම ගුරුකුලය කර තිබෙන විචාරයේ කිසිම ඇත්තක් නැති බව කිව යුතුය. “රාවය”ට කිසිම ආණ්ඩුවක් පෙරළීමේ හෝ බලයට ගැනීමේ හැකියාවක් නැත. එහෙත් ආණ්ඩු වෙනසක් සඳහා සාධාරණ අවශ්යතාවක් මතුවී තිබෙන අවස්ථාවක හා ඒ අපේක්ෂාව ජනතාව තුළ මෝදුවෙමින් තිබෙන අවස්ථාවක “රාවය” අවසාන මොහොත තෙක් බලා නොසිට සමහරවිට බොහෝ වේලාසනින් ඒ ක්රියාවලියට එකතුවෙමින්, ඒ ක්රියාවලිය පෝෂණය කොට ශක්තිමත් කරන ක්රියාමාර්ගයක් ඔස්සේ පෙර ගමන්කරුවන්ගේ කාර්ය භාරය ඉටුකර තිබෙනවා විය හැකිය. එහෙත් එය ජීවිතයත්, මරණයත් අතර කෙරෙන ඉතා දුෂ්කර ක්රියාවලියක් වනවා මිස, රාත්රී භෝජන සංග්රහයක් වැනි අති සරල හෝ විනෝදයට හේතුවන ක්රියාවක් වන්නේ නැත.
94 ආණ්ඩු පෙරළියේදි ද “රාවය” පෙර ගමන්කරුවකු ලෙස ක්රියා කළේය. එහෙත් 94දි ආණ්ඩු පෙරළියක් ඇතිවූයේ ආණ්ඩු වෙනසක් ඇති කිරිමේ බලවත් අභිලාෂයක් මහජනයා තුළ තිබුණු නිසා මිස, “රාවය”ට ආණ්ඩු වෙනසක් ඇති කිරීම අවශ්ය වූ නිසා නොවේ. 2001 ආණ්ඩු පෙරළියේදි “රාවය” පෙර ගමන්කරුවකු ලෙස ක්රියා කළේය. එහෙත් මහජනතාව පොදු පෙරමුණු ආණ්ඩුව පරාජය කළේ “රාවය”ට වුවමනා වූ නිසා නොව, එය ඔවුන්ගේ අභිලාෂය වූ නිසාය.
අනෙක් අතට “රාවය” ආණ්ඩු වෙනසක් අපේක්ෂා කොට ඒ වෙනුවෙන් ක්රියාකළ හැම අවස්ථාවකම ආණ්ඩු වෙනසක් ඇතිවී නැති බව ද කිවයුතුය. “රාවය” 1988 ජනාධිපතිවරණයේදි එදා රටේ තිබුණු බිහිසුණු තත්ත්වය නොසලකා විපක්ෂයෙන් ඉදිරිපත්වූ අපේක්ෂිකාවට ආධාර කරන පිළිවෙතක් අනුගමනය කළේය. එහෙත් ජයගත්තේ විපක්ෂයේ අපේක්ෂිකාව නොව, ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයා වූ ආර්. ප්රේමදාස මහතාය. නැවත 1999 ජනාධිපතිවරණයේදි “රාවයේ” අපේක්ෂාව වූයේ ජනාධිපතිනිය පරාජය කිරීමයි. එහෙත් තක්කඩිකමින් හෝ ජය ලැබුණේ ඇයටමය. මේ නිසා හැමවිටම “රාවය” අපේක්ෂා කරන ආකාරයට ආණ්ඩු ඇතිවීම හෝ නැතිවීම සිදුවන්නේ යැයි කියන අදහස මිථ්යාවකි.
අනෙක් අතට “රාවය” බලයේ සිටින ආණ්ඩු සමග අරගල කරන තැනකට යොමුවන්නේ පෞද්ගලික මතභේද නිසා වේ යැයි කියන මතයක් ද පවතී. එය ද පදනම් විරහිතය.
“රාවය”ට එජාපය බලයේ සිටියදි එම ආණ්ඩුවේ නායකයන් සමග පෞද්ගලික කෝන්තරයක් නොතිබුණ. එක දිගට දිර්ඝ කාලයක් බලයේ සිටින තත්ත්වයක් යටතේ හා ආණ්ඩුකරණයට අදාළ ඉතාමත් බරපතල වැරදි සිදුවී තිබූ තත්ත්වයක් ඉදිරියේ සමාජ ප්රගමනය සඳහා ආණ්ඩු වෙනසක් ඇති කිරීම අත්යවශ්ය කොන්දේසියක් වී තිබූ අවස්ථාවක ඒ අරමුණ ජයගැනීම සඳහා “රාවය” උපරිම ශක්තිය යොදා ක්රියා කළේය. ඉතාමත් බෙලහීන තත්ත්වයකට ඇද වැටී තිබුණු ශ්රීලනිප ශක්තිමත් කිරීම සඳහා “රාවය” ක්රියා කළේ ආණ්ඩු වෙනසක් ඇති කිරිමේ අරමුණ ජයගැනීම සඳහා ප්රධාන විරුද්ධ පක්ෂය ශක්තිමත් තත්ත්වයකට ගැනීම අත්යවශ්ය වූ නිසාය. එහිදි එම පක්ෂය අභ්යන්තරයේ තිබුණු බෙදිම් ද සැලකිල්ලට ගෙන ක්රියා කිරීමට “රාවය”ට සිදුවූයේය. මව සහ පුතා අතර තිබුණු භේදයේදි මවට ආධාර කරන ප්රතිපත්තියක් අනුගමනය කළේ, මව ඉතාමත් විශිෂ්ට ගණයේ නායිකාවක ලෙස “රාවය” සැලකූ නිසා නොව, ශ්රීලනිප නායකත්වයට අනුර පත්වුවහොත් එම පක්ෂය හීලෑකාරි තත්ත්වයක තබාගැනීමට ආණ්ඩු පක්ෂයට තිබුණු හැකියාව සලකා බලාය. ඉන්පසු මව වෙනුවට දුව කරළියට ගන්නා ව්යාපාරයක නිරතවීමට සිදුවූයේ ද ඉතාමත් අයෝබල තත්ත්වයක සිටි නායිකාවක් ඉදිරියට දමාගෙන ඒ අරමුණ සපුරා ගැනීමේ හැකියාවක් නැති බව පැහැදිලිව පෙනෙන්නට තිබුණු නිසාය.
ඉන්පසු “රාවය” චන්ද්රිකා ආණ්ඩුව සමග ආරාවුල් ඇති කරගැනීම කෙරෙහි ද බලපෑවේ පෞද්ගලික කරුණු නොව පොදු කරුණුය. මහජන ඡන්දයෙන් බලයට පැමිණි මහජනතා බලය නොසලකා ඉතාමත් ප්රජාතන්ත්ර විරෝධී ආකාරයකින් රාජ්ය බලය සමග එකතු කළ බාහු බලය මත විශ්වාසය තබා ක්රියා කරන තත්ත්වයකට යොමුවීම, ඇතිවූ මතභේද වලට බලපෑ ප්රමුඛ සාධකය ලෙස සැලකිය හැකිය.
පොදු පෙරමුණ බලයට පත්වීමෙන් පසුව පවත්වන ලද සමූපාකාර ඡන්දවලදි අත්තනගල්ලේ දි එක් කණ්ඩායමක නාමයෝජනා වැළැක්වීමට පී.එස්.ඩී. බලය යොදාගත් ආකාරය ද, ඒ කණ්ඩායම් නායකයාගෙන් අසන්නට ලැබුණු විට ඇතිවූයේ පුදුමයකි. කණ්ඩායමේ නායකයා මහලු වියට පත් පුද්ගලයෙකි. ඔහු ගම්පහ දිස්ත්රික්කයේ සමූපාකාර ව්යාපාරයේ පුරෝගාමී පුද්ගලයෙකු වූ අතර, සිය දුක් ගැනවිල්ල හැඬූ කඳුළෙන් යුතුව විස්තර කළේය. සිද්ධිය නොලියන බවට සහතිකයක් ද ලබා ගත්තේය. ඒ ගැන ජනාධිපතිනියට දැනුම් දුන් විට ඇය එය වරදක් ලෙස සැලකූ බවක් පෙනෙන්නට නොතිබුණ. එය පොදු පෙරමුණු ආණ්ඩුව ගමන් කරන්නට යන්නේ කවර දිසාවකට ද යන්න පෙන්නුම් කළ ප්රථම අවස්ථාව විය. ඉන්පසු 1997 පළාත් පාලන මැතිවරණවලින් පෙනී ගියේ ද ජනතාව කෙරෙහි තබන විශ්වාසය අතහැර රාජ්ය බලය සමග එකතු කළ බාහු බලය මත පදනම් වූ රස්තියාදුකාර ක්රමයකට පොදු පෙරමුණු ආණ්ඩුව යොමුවූ තිබුණු බවය. වයඹ පළාත් සභා මැතිවරණය බලහත්කාරයෙන් ජයගැනීම සඳහා වන සැලැස්මක් ගැන දැනගන්නට ලැබී, එවැනි බලහත්කාරි වැඩපිළිවෙලකට යොමුවීමෙන් වැළකී සිටින ලෙස ජේයෂ්ඨ ඇමතිවරයකුගෙන් ඉල්ලා සිටි විට ඔහුගෙන් ලැබුණු ක්ෂණික පිළිතුර වූයේ බලය රැකගැනීම සඳහා කරන අරගලයේදි ඕනෑම ආණ්ඩුවක් එවැනි දේකට යොමුවීම ස්වාභාවික බවය. එහි අවසාන ප්රතිඵලය වූයේ “රාවය” ආණ්ඩුව සමග අතිවිශාල ආරාවුලකට පැටලීමය. වයඹ බලහත්කාරයෙන් ජය ගත්තත්, එම වැඩපිළිවෙල රටට හෙළිදරව් කිරීම සඳහා සංවිධානාත්මකව ක්රියා කිරීම ගැන ආණ්ඩුව “රාවය” සමග ද, නිදහස් මාධ්ය ව්යාපාරය සමග ද වෛරසහගත ආකල්පයකින් ක්රියා කරන තත්ත්වයකට තල්ලුවී ගියේය. රටේ ක්රියාත්මක වන මාධ්ය මාෆියාවක් පිළිබඳ න්යායවාදය මංගල සමරවීර කෙරෙන් ප්රකාශ වන්නට වූයේ ද එහි ප්රතිඵලයක් වශයෙනි.
වයඹ ඡන්ද මංකොල්ලය පදනම් කොටගෙන “රාවය” ජනාධිපතිනිය ගැනත්, ඇගේ ආණ්ඩුවේ ගමන් මග ගැනත් විශ්ලේෂණයක යෙදුණේය. ජනාධිපතිනියගේ කෝපයට හේතුවී යැයි කියන එම විශ්ලේෂණයෙන් උපුටා ගත් කොටසක් මෙසේය.
“මින් මතු පොදු පෙරමුණට ප්රජාතන්ත්රවාදයක් ගැන කතා කළ නොහැකිය. බලය බෙදාහැරිමක් ගැන කතා කළ නොහැකිය. එජාපයේ තියෙන දූෂණ ගැන කතා කළ නොහැකිය. පාරදෘශ්යභාවයක් ගැන කතා කළ නොහැකිය. සුදු නෙළුමක් ගැන පිරිසිදු පාලනයක් ගැන කතා කළ නොහැකිය. මනුෂ්යත්වය රජ කරන සමාජයක් ගැන කතා කළ නොහැකිය.
දැඩි පක්ෂ හැගීම් වලින් තොරව, කරුණු සලකා බලන මහජනයාට දැන් පොදු පෙරමුණු ආණ්ඩුව පෙනෙනු ඇත්තේ ද රටේ සාරය උරාබීම පිණිස ප්රජාතන්ත්රවාදි වෙස් මුහුණු පැළඳ ගෙන මහජනයා මුළා කොට බලයට පැමිණි චෞර කාන්තාවක් පෙරටු කොටගත් දේශපාලන සොර මුළක් ලෙසය. 25 වැනිදා සිට ජාත්යන්තර ප්රජාව පොදු පෙරමුණු ආණ්ඩුවක් දෙස බලනු ඇත්තේ ද දැඩි පිළිකුලකින් යුතුවය.”
(ඊළගට විය හැක්කේ කුමක්ද: “රාවය” 1997 පෙබරවාරි 07)
ඒ “රාවය” එදා ජනාධිපතිනියත්, ඇගේ පොදු පෙරමුණු ආණ්ඩුවේ ගමන් මගත් දුටු ආකාරයයි. එතැන් සිට “රාවය”ට ක්රියා කරන්නට සිදුවූයේ තමන් චෞර ආණ්ඩුවක් ලෙස සැලකූ ආණ්ඩුවක් සමගය. ඒ අරගලය ජීවිතයත්, මරණයත් අතර අරගලයක් විය හැකි බව “රාවය” දැන සිටියේය. තමන්ට සටන් කරන්නට සිදුවූයේ පිළිගත් ප්රජාතන්ත්රවාදි ගුණධර්ම නොසැලකූ චෞර පාලනයක් සමග වුවත්, “රාවය” කිසිවිටකත් තමන් පිළිගන්නා ප්රජාතන්ත්රවාදි රාමුවෙන් පිට පැන ක්රියා නොකළේය. එය හිංසාකාරි ආණ්ඩුවකට එරෙහිව අවිහිංසාව මත පදනම් වී කෙරුණු දුෂ්කර අරගලයක් විය. ඒ අරගලයෙන් “රාවය”ට ජීවිතය රැකගැනීමට හැකිවුයේ ඒ වාසනාව නිසා පමණය. පොදු පෙරමුණු ආණ්ඩුවට එරෙහිව කරන අරගලයෙන් එජාපයට වාසි ලැබෙන බව “රාවය” දැන සිටි අතර, එය වැළැක්වීමේ වුවමනාවක් ද “රාවය”ට නොතිබුණ. ලස්සන, මනෝරාජික විශ්වාසයක් මත පිහිටා චෞර පාලනයක පැවැත්ම අනියම් ලෙස ආරක්ෂා කරන පිළිවෙතකට වඩා, ඊළග ප්රධාන පක්ෂය බලයට ඒමට බාධා නොකරන පිළිවෙතක් රටේ යහපතට හේතුවේය යන්න “රාවයේ” විශ්වාසය විය.
එජාප ආණ්ඩුව ගැන
නව ආණ්ඩුව ප්රකාශ කර තිබෙන ප්රජාතන්ත්රවාදය හා සාමය සඳහා වන අපේක්ෂා සමග “රාවය”ට ද එකග විය හැකිය. ඒ හා සමාන වන අපේක්ෂා හා ඒ සඳහා වන න්යාය පත්රයක් 1994දි පොදු පෙරමුණට තිබුණේය. ඔවුන්ට ඒ න්යාය පත්රය වැදගත් වූයේ බලයට ඒම සඳහා පමණය. එහෙත් බලය ලැබීමෙන් පසුව මහජනතාවට පොරොන්දු වූ එම න්යාය පත්රය පසෙක ලා පටු ආත්ම ලාභය මුල් කරගත් වෙනත් දේශපාලන න්යාය පත්රයක් වෙනුවෙන් පෙනී සිටියේය. පොදු පෙරමුණු ආණ්ඩුව වැඩ වරද්දා ගත් ප්රධාන තැන වූයේ එයයි. ඒ වරද නව ආණ්ඩුව අතින් සිදු නොවිය යුතුය. සමාජ හා ප්රජාතන්ත්රවාදි අපේක්ෂාවන් වෙනුවෙන් ඇපකැපවීමෙන් ක්රියා කරන තාක් ආණ්ඩුවට එරෙහිව යාමේ හැකියාවක් “රාවය”ට නැත.
එක් ඇමතිවරයෙක් එක් වාහනයකට පමණක් සීමා විය යුතු බවට හා ආරක්ෂාව අවශ්යම අය අතිරේක වශයෙන් එක් ආරක්ෂක වාහනයකට පමණක් සීමා විය යුතු බවට ඇති කරගෙන තිබෙන ප්රතිපත්තිය ප්රශංසනීයයි. එහෙත් ලස්සන කතාවට ගැලපෙන ලෙස ක්රියාවන් පාලනය කරගත නොහැකි වෙතොත්, නව ආණ්ඩුවේ නායකයා ඇතුළු සියලු දෙනා මහජනයා ඉදිරියේ විහිළුකාරයින් පිරිසක් බවට පත්වනු නොවැළැක්විය හැකිය. දේශපාලනයේදි කතාව හා ක්රියාව අතර ගැලපීමක් මහජනයා බලාපොරොත්තු වේ. තමන් බලයට පැමිණි පසු පැජරෝ සංස්කෘතිය අවසන් කරන බවට පොදු පෙරමුණේ නායිකාව ප්රකාශ කළ විට, එම ප්රකාශය ජනතාව අතර මහත් ආශ්වාදයක් ඇති කිරීමට හේතුවිය. එහෙත් බලයට පැමිණීමෙන් පසු පැජරෝ වෙනුවට ඉන්ටර්කූලර් පාවිච්චි කරන තත්ත්වයකට ගියවිට ආශ්වාදය පිළිකුලක් බවට මාරු වූයේය. පොරොන්දු වී ඊට පටහැනි දෙයක් කරනවාට වඩා, කරන්නට බැරි දෙයක් පොරොන්දු නොවී සිටීම යහපත්ය. අසීමිත ආශාවන් තිබිය හැකි වුවත්, තිබෙන හැකියාවේ ප්රමාණයට ඒවා පාලනය විය යුතුය. එක් වාහනයක් පමණක් පාවිච්චි කළයුතු බවට ප්රසිද්ධියේ උපදෙස් දි, ඊට වෙනස් හැසිරිමක් ප්රකාශ වේ නම් මහජනයා තුළ කලකිරීමක් ඇතිවීම නොවැළැක්විය හැකිය. හැමදෙයක්ම අකුරටම පාලනය කිරීම පහසු නැතත්, පාලනයක් ඇති බව මහජනයාට පෙනෙන්නට තිබිය යුතුය.
ප්රමාණය හා ගුණය අනුව බලන විට ඇති කර තිබෙන ඇමති මණ්ඩලය ඉතා ප්රශස්ත මට්ටමක තිබෙනවා යැයි කිව නොහැකිය. ඇමති මණ්ඩලයේ ප්රමාණය මීට වඩා කුඩා විය යුතුව තිබුණත්, පක්ෂ ගණනාවක් එකතු කොට ආණ්ඩුවක් ඇති කිරිමේදි කුඩා ඇමති මණ්ඩලයක් ඇති කරගැනීම ද පහසු දෙයක් වන්නේ නැත. අමාත්යංශ ලේකම්වරුන් පත් කිරිමේ ක්රියාවලිය තුළ ද යහපත් ලක්ෂණ සේ ම, අයහපත් ලක්ෂණ ද පවතී. විශ්රාම ගිය හා පිටස්තර පිරිසක් කරළියට ගැනීම පරිපාලන සේවකයන් අතර අසහනයක් ඇති කිරීමට හේතුවී තිබේ. පරිපාලන සේවයේ නියුතු පුද්ගලයන් තෝරා ගැනීමේදි ද සියලු දෙනාම පිළිගත් ක්රමවේදයක් පාවිච්චි නොකිරීම පිළිබඳ විවේචනයක් පවතී. කීර්තිමත් ඉතිහාසයක් ඇතත්, වයසට ගිය කෙනෙකු හෝ දෙදෙනෙකු ලේකම්වරුන් ලෙස පත් කිරීම ගැන ද විවේචනයක් පවතී. එවැනි සීමිතකම් තිබුණත්, ලේකම්වරුන් ලෙස පත් කළ අයගෙන් බහුතරයක් යහපත් තත්ත්වයක පවතී.
කරන කිසිවක් සර්ව සම්පූර්ණ තත්ත්වයක තිබිය නොහැකිය. අඩුපාඩුකම් තිබිය හැකි වුවත්, කරන දේවල් නැවත සමාලෝචනයකට ලක් කරන ක්රියාමාර්ගයක් ඔස්සේ එවැනි වැරදි නිවැරදි කරගත හැකිය.
“රාවය”ට වඩාත් ම සංවේදි කාරණය වන්නේ ජන ජීවිතයේ අවංකභාවය, ප්රජාතන්ත්රවාදය හා සාමයට අදාළ කාරණාවන්ය. රටේ තිබෙන සියලු ප්රශ්න අතර සාමය ඇති කරගැනීම ප්රධාන වන අතර, ඒ ඉලක්කය ජයගත හැකිවනු ඇත්තේ සියලු ජන වර්ගවල පිළිගැනීමට හා ගෞරවයට හේතු වන ලෙස ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ඇති කරගත හැකිවේ නම් පමණය. අනෙකුත් අංශවල කොතරම් අඩුපාඩුකම් තිබුණත්, එම අභියෝගය ජයගත හැකි වේ නම්, රටට යහපත් කාලපරිච්ඡේදයක් උදාවනු නොඅනුමානය.
බල දේශපාලනයේදි වෛර සාධකය ඉවත් කිරීමට හේතුවන ප්රතිපත්තියක් ක්රියාවට නැංවීම ආණ්ඩුවේ වගකීමය. විරුද්ධ පක්ෂවල අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු අතර, ඔවුන්ට ගෞරවයෙන් සලකන ප්රතිපත්තියක් අනුගමනය කළ යුතුය.
මැතිවරණ දේශපාලනයේදි මැතිවරණ කටයුතු සඳහා කවර මට්ටමකින්වත් රාජ්ය සම්පත් යොදා ගැනීමෙන් ද, මැර බලය යොදා ගැනීමෙන් ද ආණ්ඩුව වැළකී සිටිය යුතුය. ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉතාමත් ආදර්ශවත් ආකාරයකින් පැවැත්වීම මගින් නව මැතිවරණ සංස්කෘතියකට මුල පිරීය හැකි ය.
තවමත් තර්කානුකූල අවසානයකින් කෙළවර වී නැති අධිකරණ අර්බුදය ද “රාවය”ට සංවේදි විෂයකි. එය “රාවය”ට පමණක් නොව අධිකරණයේ ස්වාධීනත්වය හා නීතියේ ආධිපත්යය ගැන උනන්දුවක් දක්වන ජනතාවට සංවේදි විෂයකි. එම අර්බුදයට නව ආණ්ඩුව විසඳුම් ලබාදෙන්නට යන ආකාරය දෙස අපි විමසිල්ලෙන් බලා සිටිමු.
දූෂණයට තිබෙන ඉඩකඩ පාලනය කිරීමට ගන්නා ක්රියාමාර්ග ද “රාවය”ට වැදගත් ය. පුංචි මිනිසුන් වෙත අවධානය යොමු කරන ක්රමයක් වෙනුවට මහජන මුදල් සමග ගනුදෙනු කරන ප්රධාන පුද්ගලයන් කෙරෙහි අවධානය යොමු කරන ක්රමවේදයක් ඇතිකළ යුතු වේ යයි අපි විශ්වාස කරමු.
පොදු පෙරමුණ ගැන
ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයක පැවැත්ම සඳහා ශක්තිමත් ක්රියාකාරි දේශපාලන විරුද්ධ පක්ෂෂයක පැවැත්ම අත්යාවශ්ය වේ යයි අපි විශ්වාස කරමු. ඒ නිසා ම ආණ්ඩු පක්ෂෂයව සිටිය දි පොදු පෙරමුණ රාවයෙන් බැට කන තත්ත්වයකින් ක්රියා කළත් ඒ බව නොසලකා, විරුද්ධ පක්ෂෂ ව්යපාරයක් වශයෙන් ඔවුන්ගේ සාධාරණ අයිතිවාසිකම් ආරක්ෂෂා කරන පිළිවෙතක් “රාවය” අනුගමනය කරනු ඇත. විශේෂයෙන් ම විරුද්ධ පක්ෂෂ ව්යාපාරයන් හිංසාවට, පීඩාවට හෝ මර්දනයට ලක් කරන පිළිවෙතක් අපි අනුමත නොකරමු.
ඒ සමග පොදු පෙරමුණට ශක්තිමත් විරුද්ධ පක්ෂෂ ව්යාපාරයක් වශයෙන් පවතින්නට නම් ශ්රී ලංකා නිදහස් පක්ෂෂය හා පොදු පෙරමුණ වැඩවසම් අධානග්රාහී නායකත්වයේ වෙනසක් ඇතිකර ගැනීම ද අත්යාවශ්ය වනු ඇතැයි අපි විශ්වාස කරමු.
පසුගිය කාලය පුරා පොදු පෙරමුණු ආණ්ඩුව මෙහෙයවන ලද්දේ පක්ෂෂයක් විසින් හෝ පෙරමුණක් විසින් නොව විශේෂිත දේශපාලන කල්ලියක් විසිනි. ඒ කල්ලිය සමන්විත වූයේ ජනාධිපතිනිය, සරත් නන්ද සිල්වා, මංගල සමරවීර, අනුරුද්ධ රත්වත්ත, සරත් අමුණුගම, කුසුම්සිරි බාලපටබැඳි, විජේදාස රාජපක්ෂෂ, ශ්රීපති සූරියආරච්චි වැනි පිරිසකගෙනි. පොදු පෙරමුණු ආණ්ඩුවේ රස්තියාදුකාර පාලන රටාවට සේ ම එය ලැබූ පරාජය කෙරෙහි වඩාත් ම වගකිවයුතු පුද්ගලයන් වනුයේ ඔවුන් ය. මේ කල්ලිය ඉතාමත් දූෂිත වනවා පමණක් නොව ඍජු ලෙස හෝ අනියම් ලෙස ඔවුන්ගේ අත්වල ලේ තැවරි ඇතැයි ද අපි විශ්වාස කරමු. ඔවුන් අතර සිටින මහා පරිමාණයේ දූෂණවලට හා සාහසික අපරාධවලට වගකිවයුතු සියලු දෙනා නීතිය ඉදිරියට පමුණුවාලීම අත්යාවශ්ය වේ යයි ද අපි විශ්වාස කරමු.
ජනතා විමුක්ති පෙරමුණ ගැන
අපට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය ගැන විවේචනයක් ඇතත් ප්රචණ්ඩ විප්ලවයකින් බලය අල්ලාගත යුතුයි කියන අදහස අතහැර ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමයට එකතු වී සිටීම ගැන අපි සතුටු වෙමු. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මතවාද විවේචනයට ලක්විය යුතු වුවත් ඔවුන් අතින් සිදු වී ඇති අතීත වැරදි පදනම් කොටගෙන ඔවුන් නැවත ප්රජාතන්ත්රවාදි ප්රවාහයෙන් ඉවතට තල්ලු නොකළ යුතුය යන්න අපේ මතයයි.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන හැසිරිම ගැන “රාවය”ට තමන්ගේ ම වන මතයක් ඇති අතර ඒ මතය ඉදිරියේදි ප්රකාශ කිරීමට අපි බලාපොරොත්තු වෙමු. ජනතා විමුක්ති පෙරමුණට අදාළව “රාවයේ” පළ වූ පුවතක් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ “රාවය”ට එරෙහිව පුවත් පත් මණ්ඩලයට කරන ලද පැමිණිල්ලක් වෙනුවෙන් පුවත් පත් මණ්ඩලය දෙන ලද තීන්දුවක් “රාවයේ” පළ නොකිරීම ගැන ජනතා විමුක්ති පෙරමුණ “රාවය” ගැන කරන ප්රසිද්ධ විවේචනයක් පවතී. ඊට අදාළ සිද්ධිය දිගු ලිපියකට පාදක කරගත යුතු කරුණක් වුවත් ඒ ගැන කෙටි අදහසක් පළ කිරීමට මෙය උචිත අවස්ථාවක් වේ යයි සිතමු.
පුවත්පත් මණ්ඩලයේ ඇසුණු එම නඩුව කෙරෙහිත් නැවත පුවත්පත් මණ්ඩලය ඒ ගැන දෙන ලද තීන්දුව කෙරෙහිත් මංගල සමරවීර ඇමතිවරයා බලපෑ බව අපි දනිමු. එය ස්වාභාවික යුක්තියට හා නීතියට පටහැනිව මංගල සමරවීර ඇමතිවරයාගේ උවමනාව මත පුවත්පත් මණ්ඩලයේ සභාපති විජේදාස රාජපක්ෂෂ මහතා විසින් නිර්මාණය කරන ලද නඩු තීන්දුවකි. එක් අතකින් “රාවය” දුෂ්කර තත්ත්වයකට පත්කරන අතර අනෙක් අතට ජනතා විමුක්ති පෙරමුණ සතුටු කිරීම මංගල සමරවීරගේත්, විජේදාස රාජපක්ෂෂගේත් උවමනාව විය. තීන්දුව කෙරෙහි මංගල සමරවීර බලපා තිබුණු ආකාරය ගැන යම් පමණක අවබෝධයක් විමල් වීරවංශ මහතාට ද තිබුණේ යයි අපි විශ්වාස කරමු.
එය ස්වාභාවික යුක්තියට හා නීතියට පටහැනිව මංගල සමරවීර ඇමතිවරයාගේ උවමනාව මත නිර්මාණය කරන ලද නීති විරෝධී තීන්දුවක් වූ නිසා ම ඒ නීති විරෝධී තීන්දුවට හිස නොනමා එම තීන්දුවට අභියෝග කිරීමට අපට තියෙන අයිතිය අපි පාවිච්චි කළෙමු. දැන් එය ඇත්තේ ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ ය. මංගල සමරවීරගේ වුවමනාව මත නීතියට පටහැනිව නිල බලය පාවිච්චි කිරීමට එරෙහිව විජේදාස රාජපක්ෂෂ මහතාට එරෙහිව නඩු පැවරිමට ද අපි බලාපොරොත්තු වෙමු.