එක්සත් ජාතික පෙරමුණ මේ මැතිවරණයෙන් ජය ගත්තත් සිය සොහොයුරිය ඔවුන්ට ආණ්ඩුවක් පිහිටුවන්නට ඉඩ නොදෙන බවත්, පාර්ලිමේන්තුව දිගින් දිගට කල් තබා ඉන් පසු පාර්ලිමේන්තුව විසුරුවා ඔවුන් හති වැටෙන තෙක් මැතිවරණ පවත්වන බවත් අනුර බණ්ඩාරනායක මහතා ප්රකාශ කර තිබේ.
ජනාධිපතිනියගේ සහෝදරයා වන අනුර බණ්ඩාරනායක මහතා සමහර විට සිය සීයාගේ වැඩවසම් මහන්තත්වය ඔලුවට ගනිමින් ශ්රී ලංකාව බණ්ඩාරනායකවරුන්ගේ වැඩවසම් නින්දගමක් ලෙසත්, මේ රටේ ජනතාව එම නින්දගමේ වෙසෙන ප්රවේණිදාසයන් ලෙසත් සලකා එසේ කතා කරනවා විය හැකි ය.
එහෙත් මේ රට බණ්ඩාරනායකවරුන්ගේ නින්දගමක් ලෙස හෝ රටේ ජනතාව ඒ නින්දගමේ වෙසෙන ප්රවේණිදාස පිරිසක් ලෙස සැලකීමට මේ රටේ ජනතාව සූදානම් නැති බව අනුර බණ්ඩාරනායක මහතා තේරුම් ගත යුතු ය. උරුමය අනුව රාජ්ය පාලකයා තේරි පත්වන ක්රමය අවලංගු වී දැන් බොහෝ කල් ය. ඒ ක්රමය යළි ස්ථාපනය කළ නොහැකි ය. දැන් පරමාධිපත්ය බලය ඇත්තේ වැඩවසම් මහමුදලිවරුන්ගේ මුණුපුරන්ට නොව මහජනතාවට ය. මහජනතාව තෝරාපත්කර ගන්නා ආණ්ඩුවක් පිහිටුවීමට බණ්ඩාරනායකවරුන් ඉඩ නොදෙන්නේ නම් එහි සරල තේරුම වනුයේ මහජනයාගේ පරමාධිපත්ය බලය පිළිගැනීමට බණ්ඩානායකවරුන් සූදානම් නැති බව ය.
මහජනයාගේ පරමාධිපත්ය බලය පිළිගැනීමට බණ්ඩාරනායකවරුන් සූදානම් නැත්නම් ඒ ගැන තමන් කුමක් කළ යුතු ද යන්න ඒ අවස්ථාවට බුද්ධිමත් මහජනයා තීරණය කරනු ඇත. එහෙත් අනුර බණ්ඩාරනායක මහතා තමන්ට උරුමයෙන් ලැබී ඇති වැඩවසම් කට පියාගෙන සිටීම වැදගත් ය. පවතින ප්රජාතන්ත්රවාදි දේශපාලන ක්රමය අනුව ආණ්ඩු තෝරා පත්කර ගැනීමේ ක්රියාවලිය මහමුදලිවරුන් තෝරාපත් කෙරුණු ක්රියාවලියට වඩා වෙනස් ය. දැන් පාලක පක්ෂෂය කවුරුන් විය යුතු ද යන්න පමණක් නොව ඉතිහාසයේ කසළ ගොඩට දැමිය යුතු දේශපාලකයන් කවුරුන් විය යුතු ද යන්න ද තීරණය කරන්නේ මහජනතාව ය.