99 ජනාධිපතිවරණය වංචාවෙන් ජයගැනීම සඳහා යොදා ගැනුණු

November 18, 2001
Publication:
Ivan argues that Chandrika Kumaratunga's 1999 victory rested on organised fraud rather than sympathy after the bomb attack. He describes S.B. Dissanayake's push for an early poll, a Samurdhi scheme to seize the poll cards of opposition voters, ballot-box substitution with compliant officials, the removal of the acting Elections Commissioner, and a million forged ballots distributed with underworld and presidential-security help. He ends with practical safeguards for party agents at the coming election.

99 ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ලද ජයග්‍රහණය අව්‍යාජ එකක් නොවන බව හා ඒ තුළ විශාල සැගවුණු වංචාවක් තිබූ බව දන්නේ ඒ වංචාවට සම්බන්ධ සුළු පිරිසක් පමණය. ඒ අවස්ථාවේදි රටේ පැවති ජනප්‍රිය පිළිගැනීම වූයේ ජනාධිපතිවරණයේදි ජනාධිපතිනියට එල්ල වූ බෝම්බ ප්‍රහාරය නිසා එය ඈ කෙරෙහි විශාල අනුකම්පාවක් ඇති කිරීමට හේතුවී ඒ අනුකම්පාව මත අවසාන මොහොතේ ඇය ජයගන්නා ලද බවය. එජාපය ඒ අවස්ථාවේදි හිතූ බව පෙනුණේ ද ඒ ආකාරයටය. අනුකම්පාව නිසා සුළු වාසියක් වෙන්නට ඇතත්, ඉතාමත් සියුම් හා සංවිධානාත්මක ආකාරයකින් ක්‍රියාවට නගන ලද වංචාව ඒ කෙරෙහි බලපෑ ප්‍රධාන සාධකය බව දැන් හෙළිදරව් වෙමින් පවතී.

ජනාධිපතිනිය සිය ධුර කාලය අවසන් වන්නට පෙර ඉක්මන් ජනාධිපතිවරණයකට ගියේ එස්.බී. දිසානායක ඇමතිවරයාගෙන් එල්ල වූ බලපෑම නිසාය. ජනාධිපතිනියට ඊළග ජනාධිපතිවරණයෙන් ජයගත හැකිවනු ඇත්තේ ධුර කාලය අවසන් වන තෙක් නොසිට ඉක්මන් ජනාධිපතිවරණයකට යන්නේ නම් පමණක් බවත්, එසේ නොවෙතොත් පරාජයක් ඇතිවීම වළකා ගත නොහැකි වනු ඇති බවත් එස්.බී. දිසානායක මහතාගේ මතය වී තිබුණ. ජනාධිපතිනිය ඒ මතය නොපිළිගත්තත් එස්.බී. දිසානායක මහතාගෙන් එල්ල වූ දැඩි බලපෑම නිසා කුමක් කළ යුතුද යන්න තීන්දු කරනු පිණිස කැබිනට් ඇමතිවරුන්ගෙන් තෝරාගත් පිරිසක් කැඳවා ඒ ගැන සාකච්ඡා කිරීමට ජනාධිපතිනියට සිදු විය.

ජනාධිපතිනිය තවමත් 94 දි මෙන් මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 65%ක් තරම් ප්‍රමාණයක් ලබාගත හැකි තත්ත්වයක සිටින බව කිංස්ලි ටී. වික්‍රමරත්න මහතාගේ මතය වනවිට, දි.මු. ජයරත්න මහතාගේ ආකල්පය වූයේ ද ජනාධිපතිනියට තිබුණු මහජන විශ්වාසයේ පිරිහීමක් ඇතිවී නැති බවය. එහෙත් බර්ටි ප්‍රේමලාල් මහතාගේ මතය වූයේ ඉක්මන් ජනාධිපතිවරණයකට යාම වාසිසහගත වනු ඇති බවය. එස්.බී. දිසානායක මහතාගේ මතය වූයේ තර්ජන, ගර්ජන හා හොර ඡන්ද දැමීම් යන සියලු දේවලින් පසුත් ලබාගත හැකි උපරිමය වනු ඇත්තේ 51%ක් පමණක් බවය. තමන් රටේ එතරම් පිරිහීුණු තත්ත්වයකට පත්ව ඇති බව ජනාධිපතිනිය නොපිළිගත්තත්, එස්.බී. දිසානායක මහතාගේ බලකිරීම මත ඉක්මන් ජනාධිපතිවරණයකට යාමට අවසානයේදි ජනාධිපතිනිය ද එකග වූවාය. ජනාධිපතිවරණයේදි ස්ථිර ජයග්‍රහණයක් සඳහා දියත් කිරීමට සමෘද්ධි ව්‍යාපාරය පදනම් කොටගත් විශේෂ වැඩපිළිවෙලක් එස්.බී. දිසානායක මහතා සතුව තිබූ අතර, ඒ බව ජනාධිපතිනිය ද දැන සිටියාය.

ඒ අනුව සෑම සමෘද්ධි නියාමකයෙකු විසින් ම සමෘද්ධිලාභීන් අතරින්පොදු පෙරමුණට ඡන්දය පාවිච්චි නොකරන 25 දෙනෙකු හඳුනා ගනිමින් ඔවුන්ගේ පෝලින් කාඩ් ලබාගත යුතුවිය. ඒ විසිපස් දෙනා ඡන්දය දිම පිණස ඡන්ද මධ්‍යස්ථානයට ඒම ද වැළකිය යුතුය. ඒ මගින් පොදු පෙරමුණට නොලැබෙන ඡන්ද ලක්ෂ 5ක් පොදු පෙරමුණට ලබාගැනීම එහි ඉලක්කය විය.

ඊට අතිරේකව ක්‍රියාවට නගන ලද තවත් වැඩපිළිවෙලක් තිබුණි. එජාපයට වාසිදායක ලෙස ඡන්ද පාවිච්චි කෙරෙන ඡන්ද මධ්‍යස්ථාන එක්තරා ප්‍රමාණයක් හඳුනාගනිමින් ඒ ඡන්ද මධ්‍යස්ථානවලින් කච්චේරීවලට එන ඡන්ද පෙට්ටි වෙනුවට පොදු පෙරමුණට වාසිදායක ලෙස සකස් කෙරුණ ඡන්ද පෙට්ටි ආදේශ කිරීම, ඒ සඳහා යොදා ගැනුණු ඊළග වැඩපිළිවෙල විය. ඒ වැඩපිළිවෙල ක්‍රියාවට නැගුණේ එවැනි සියුම් වැඩපිළිවෙලක් පවත්වාගෙන යාමට අවශ්‍ය නිලධාරී සහාය තිබූ දිස්ත්‍රික්කවල පමණය. ඡන්ද මධ්‍යස්ථානයේ ඇති පෙට්ටිවල අංක සහිතව පොදු පෙරමුණට වාසිදායක ලෙස ඡන්ද පුරවන පෙට්ටි කල් තියා සූදානම් කර තබා ඡන්ද මධ්‍යස්ථානයේ අදාළ ඡන්ද පෙට්ටි සඳහා පාවිච්චි කර ඇති නියමිත ඡන්ද සංඛ්‍යාව කුමක්දැයි අවසාන මොහොතේදි දැනගැනීමෙන් පසුව ඒ සංඛ්‍යාවට ගැලපෙන ලෙස ඡන්ද පෙට්ටි සකස් කොට එම ඡන්ද පොළ මධ්‍යස්ථානයෙන් එන පෙට්ටිවලට ඒ පෙට්ටි ආදේශ කිරීම, ඒ සඳහා යොදා ගැනුණ ක්‍රමය විය. ගණන් කිරිමේ මධ්‍යස්ථානවලට එන විරුද්ධ පක්ෂ නියෝජිතයන් ඡන්ද මධ්‍යස්ථානවල පෝලිම් නියෝජිතයන් ලෙස සේවය කළ යුතු නොවන තත්ත්වයක් යටතේ හා ඡන්ද මධ්‍යස්ථානයෙන් එන ඡන්ද පෙට්ටිවලට අදාළ වාර්තාවන් පෝලිම් නියෝජිතයන් විසින් ගණන් කිරිමේ මධ්‍යස්ථානවලට එන පක්ෂ නියෝජිතයන්ට ලබාදෙන ක්‍රමයක් ක්‍රියාත්මක නොවූ තත්ත්වයක් යටතේ නිලධාරින්ගේ සහාය ලැබුණු හැම තැනකදිමත් මේ කූට වැඩපිළිවෙල සාර්ථක ලෙස ඉදිරියට ගෙනයාමේ හැකියාව ලැබුණි.

ඡන්ද කොමසාරිස්වරයා රෝගාතුරව රෝහල් ගතවී සිටියදි අරුන්දව චෙල්වම් මහතා මැතිවරණ කොමසාරිස්වරයා වශයෙන් පත් කෙරුණත්, අරුන්දව චෙල්වම් මහතාට සිය කැමැත්තෙන් ඉල්ලා අස්වන ලෙසට කෙරුණු බලකිරිම් මත ඒ මහතා වැඩ බලන මැතිවරණ කොමසාරිස් ධුරයෙන් ඉවත් වූ අතර වංචාසහගත වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමට අවශ්‍ය රැකවරණය ලබාදෙන පිටස්තර පුද්ගලයකු වැඩ බලන මැතිවරණ කොමසාරිස් ධුරයට පත්කිරීමට ආණ්ඩුව සමත් විය. “රාවය” පුවත්පත ඊට එරෙහිව සිය විරෝධය පළකිරිමෙන් නොනැවතී එම පත්කිරීමට එරෙහිව අධිකරණය ඉදිරියට ද ගියේය. පුදුමයකට මෙන් එජාපයේ නීතිඥ කණ්ඩායම එම නඩුවේදි “රාවය”ට එරෙහිව ජනාධිපති විසින් කරන ලද එම පත් කිරීම ආරක්ෂා කරන ස්ථාවරයක පිහිටා ක්‍රියා කළේය. එය එසේ වූයේ ඇයි ද යන්න තේරුම් ගත නොහැකිය.

වැඩ බලන මැතිවරණ කොමසාරිස්වරයා ඡන්ද දූෂණ අවම කිරීම සඳහා වයඹ පළාත් සභා මැතිවරණයෙන් පසුව යොදා ගෙන තිබූ විධි විධාන ලිහිල් කළේය. ඡන්ද මධ්‍යස්ථානවලට යවන නිලධාරින් කල්තියා හඳුනාගත හැකි ක්‍රමයක් ද ඇති කර දුන්නේය.

මේ වැඩපිළිවෙල සඳහා තෝරාගත් නිලධාරින්ගේ පක්ෂපාතීත්වය දිනාගැනීමේ සියුම් වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක විය. තෝරාගත් පුද්ගලයන්ට කරුණු ඉදිරිපත් කෙරුණේ එකග වීමෙන් වැළකී සිටීමට ඉඩක් නොලැබෙන ආකාරයටය. හිතට එකග නොවූවත්, එකග වනවා හැර වෙනත් විකල්පයක් ඔවුන් ඉදිරියේ නොතිබුණේය. අකමැත්තෙන් හෝ ක්‍රියාවලියට එකතුවීමෙන් පසුව ඔවුන් ඒ වැඩපිළිවෙල උද්යෝගයෙන් ඉදිරියට ගෙන යන පිරිසක් බවට පත්වූ අතර, පෙරළා ඒ වෙනුවෙන් ඔවුන්ට සංතෝෂ විය හැකි තරමට වරප්‍රසාද ද ලැබුණේය.

ඡන්ද පාවිච්චි කිරීම සඳහා යොදාගෙන තිබූ ඡන්ද පත්‍රිකාවලට සමාන ඡන්ද පත්‍රිකා දශ ලක්ෂයක් ද මුද්‍රණය කෙරුණේය. ඒ සඳහා යොදා ගැනුණු කඩදාසිය ඡන්ද පත්‍රිකා සඳහා යොදා ගැනෙන ආරක්ෂිත කඩදාසිය නොවූවත්, බැලු බැල්මට වෙනසක් ඇති බව හඳුනාගත නොහැකි තත්ත්වයක ඒවා තිබුණ. ඡන්ද පෙට්ටි ආදේශ නොකරන ඡන්ද මධ්‍යස්ථාන හා ප්‍රදේශ සඳහා හොර ඡන්ද ලෙස පාවිච්චි කිරීමට එම ඡන්ද පත්‍රිකාව යොදාගන්නා ලදි.

කොළඹ දිස්ත්‍රික්කයට වෙන් කළ හොර ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව 200,000කි. ගම්පහ, ගාල්ල, මාතර, කළුතර හා රත්නපුරය යන දිස්ත්‍රික්ක සඳහා එක් දිස්ත්‍රික්කයක් සඳහා පත්‍රිකා ලක්ෂයක් වෙන් කෙරිණ. මාර්ග බාධක වලදි පරික්ෂා කිරීමට ඉඩක් නොලැබෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ ලිපියක් සමග පොහොර මලුවල බහාලු ඡන්ද පත්‍රිකා තෝරාගත් දිස්ත්‍රික්කවලට බෙදා හරින ලදි. ගාලු දිස්ත්‍රික්කයේ පංගුව යවන ලද්දේ පාතාල ලෝකයේ සුප්‍රකට පුද්ගලයන් දෙදෙනා ලෙස සැලකිය හැකි අජිත් පෙරේරා හා මොරටුව සමන් යන අය ඇතුළත් තුන්දෙනෙකුගේ කණ්ඩායමක් ලවාය. කොළඹ මෙහෙයුම සිදුකරන ලද්දේ ජනප්‍රිය චීන අවන්හලක උඩ තට්ටුවේ සිටය. එය ජනාධිපති ආරක්ෂක අංශය විසින් කරන ලද අතර, මියගිය බැද්දගානේ සංජීව එහි ප්‍රමුඛ තත්ත්වයක් ගෙන ක්‍රියා කළේය. කොළඹ දිස්ත්‍රික්කයට ඡන්ද පත්‍රිකා දෙලක්ෂයක් වෙන්කර තිබුණත්, පාවිච්චි කළ දල සංඛ්‍යාව 140,000කට ආසන්නය.

මෙවැනි වංචාවකට මේ මැතිවරණයේදි ඉඩක් නොතැබීමට අවශ්‍ය නම් ගත හැකි ආරක්ෂක පියවර සමහරක් මෙසේය.

(1) ඡන්ද මධ්‍යස්ථානවලට පෝලිම් නියෝජිතයන් ලෙස හා ගණන් කිරිමේ මධ්‍යස්ථානවලට යවන පක්ෂ නියෝජිතයන් ඔවුන් වෙත පැවරෙන වගකීම් පිළිබඳව හොඳින් දැනුවත් කළ යුතුය.

(2) පෝලිම් නියෝජිතයන් ඡන්ද පොළ මධ්‍යස්ථානවලට ගිය පසු ඡන්ද නිලධාරින් ලෙස සේවය කරන අයගේ නාමලේඛනයක් ලබාගත යුතුය. ඡන්ද පෙට්ටිවල අංක සටහන් කරගත යුතුය. ලැබී තිබෙන ඡන්ද පත්‍රිකා සහිත පොත්වල ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව හා අනුක්‍රමික අංක සටහන් කරගත යුතුය. විරෝධයට ලක්වන හා සැකයට හේතුවන හැම දෙයක්ම මධ්‍යස්ථාන බාර නිලධාරියාට පැමිණිලි කරමින් ඒ පැමිණිලි සටහන් කරගන්නා ලෙස ඉල්ලා සිටිය යුතුය. ඡන්ද පෙට්ටිවලට ස්ටිකර ඇලවූ පසු අන් පක්ෂවල ස්ටිකර සමග අලවන ලද ස්ටිකර සංඛ්‍යාව සටහන් කරගත යුතුය.

ඒ සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් එම ඡන්ද පෙට්ටි ගණන් ගැනීමේ මධ්‍යස්ථානයේ සිටි පක්ෂ නියෝජිත කණ්ඩායම් ප්‍රධානියා අතට පත් කළ යුතුය.

(3) ඡන්ද ගණන් ගන්නා මධ්‍යස්ථානයට යන්නට ප්‍රථම මැතිවරණ කොමසාරිස්වරයාගේ නිසි අවසරයක් ඇතිව එම මධ්‍යස්ථානය හා ඊට සම්බන්ධ ගොඩනැගිලි හොඳින් පරික්ෂා කොට අතිරේක ඡන්ද පෙට්ටි හෝ වෙනත් සැකයට හේතුවන දේවල් ඇද්දැයි පරික්ෂා කළ යුතුය.

(4) ඡන්ද ගණන් කිරීම සඳහා යන නියෝජිතයන් බීමත්කමින් තොරවිය යුතුය. ගණන් ගැනීමේ මධ්‍යස්ථානවලට එන ඡන්ද පෙට්ටිවලට අදාළ පෝලිම් නියෝජිතයන්ගේ වාර්තා ගණන් ගැනීම් මධ්‍යස්ථානයේ සිටින කණ්ඩායමේ නායකයා අත තිබිය යුතුය. ඡන්ද පෙට්ටි විවෘත කිරීමට පෙර එම වාර්තාවල එන තොරතුරු සමග එම පෙට්ටි ගැලපේදැයි හොඳින් පරික්ෂා කළ යුතුය. ගණන් ගන්නා මධ්‍යස්ථානවල සිටින නිලධාරින්ගේ නාමලේඛනයක් ලබාගත යුතුය.

ඡන්ද පෙට්ටි විවෘත කළ පසු ගණන් ගැනීම ආරම්භ කිරීමට පෙර සියලු ඡන්ද පත්‍රිකා අව්‍යාජ ඡන්ද පත්‍රිකා දැයි හොඳින් පරික්ෂා කළ යුතුය. අව්‍යාජ ඡන්ද පත්‍රිකාවේ ජලමුද්‍රාව හැරුණු විට මුදල් නෝට්ටුවල තිබෙන ආකාරයේ කෙන්දක් තිබේදැයි විදුලි පන්දමක ආධාරයෙන් බලන්න.

විරෝධය පෑමක් හෝ පැමිණිලි කිරීමට අවශ්‍ය සෑම විටකම එම ස්ථානයේ නිලධාරින් අතර සිටින ප්‍රධානියාට පැමිණිල්ල ඉදිරිපත් කරමින් එය සටහන් කරගන්නා ලෙස ඉල්ලා සිටින්න.

පරිගණක භාවිතයකට ඉඩ නොතබා සියලු ගණන් කිරිම් අතින් කරන දෙයක් ලෙස පවත්වාගෙන යමින් ඒ ප්‍රතිඵල සඳහා මධ්‍යස්ථාන ප්‍රධානියා ගේ සහතිකයක් ලබාගන්න.