බලය තීන්දු කිරිමේ අයිතිය ඇත්තේ මහජනතාවට ය

November 11, 2001
Publication:
Ivan argues that voters, not intimidation, must decide who governs, and that a caretaker government using state power and resources for its own campaign betrays the constitutional compact. He condemns the PA's disregard of the 17th Amendment and warns that leaders unable to accept defeat gracefully cannot be trusted with graver national problems.

රටේ පවතින දේශපාලන ක්‍රමයට කවර සීමාසහිතකම් තිබුණත් පාර්ලිමේන්තු මැතිවරණයක දි බලයට පත්විය යුත්තේ කුමන පක්ෂෂයක්ද යන්න අවසාන වශයෙන් තීන්දු කරන්නේ මහජනතාව ය. මහජනතාව දෙනු ලබන එවැනි තීන්දුවකට හිස නැමීමේ එකගත්වයක් තරග බිමේ සිටින හැම දේශපාලන පක්ෂෂයකටම ඇත්තේ ය.

නිදහස් හා සාධාරණ ඡන්දයක් යන්නෙන් සිවිල් යුද්ධයක් අදහස් වන්නේ නැත. තමන් පත්කළ යුත්තේ කුමන ආණ්ඩුවක්ද යන්න නිදහසේ තීරණය කිරිමේ ඉඩකඩ මහජනතාවට ලැබිය යුතුය. ඊට එරෙහිව මහජනයා බියගන්වන ප්‍රතිපත්තියක් කවර පක්ෂෂයක් හෝ අනුගමනය කරන්නේ නම් එය දේශපාලන අපරාධයක් ලෙස සැලකිය හැකි ය.

මැතිවරණයක් ප්‍රකාශයට පත්ව තිබෙන අවස්ථාවක එතෙක් බලයේ සිටි ආණ්ඩුව තාවකාලික භාරකාර ආණ්ඩුවක් බවට පත්වන අතර මැතිවරණය නිදහස් හා සාධාරණ තත්ත්වයක තබා ගැනීමේ මූලික වගකීම පැවරෙන්නේ එම භාරකාර ආණ්ඩුවට ය. එහි දි එම භාරකාර ආණ්ඩුව මැතිවරණයේ දි තමන්ගේ වාසිය පිණස තමන් අත තාවකාලික ලෙස තිබෙන රාජ්‍ය බලය හෝ රාජ්‍ය සම්පත් යොදා ගනී නම් එය නීතියට පටහැනි වනවා පමණක් නොව ආණ්ඩුක්‍රමය සඳහා මහජනතාව සමග ඇති කරගෙන තිබෙන සම්මුතියට ද්‍රෝහි වීමක් ලෙස ද සැලකිය හැකි ය.

17 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ එක් ප්‍රධාන අරමුණක් වූයේ ද මැතිවරණ ක්‍රියාවලිය නිදහස් හා සාධාරණ තැනකට ගැනීමය. 17 වැනි සංශෝධනය සම්මත කරගෙන තිබියදි එහි එන මූලික විධිවිධාන නොසලකා ආණ්ඩුව මැතිවරණ කටයුතු සඳහා උපරිම මට්ටමකින් රාජ්‍ය බලය හා රාජ්‍ය සම්පත් යොදා ගනිමින් සිටී. මෙය ඉතාමත් නින්දා සහගත තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත.

තමන්ට ජනතාවගේ අනුමැතියක් නැත්නම් ඒ සමග තමන්ට ආණ්ඩු කිරිමේ අයිතිය ද අහිමිවන බව පොදු පෙරමුණු ආණ්ඩුවේ නායක නායිකාවන් තේරුම් ගත යුතු ය. වියරු වැටුණු පිළිවෙතක් අනුගමනය කිරීම ඊට තිබෙන පිළිතුරක් නොවේ. පරාජයක් ඇති වෙතොත් එම පරාජය බාරගැනීමට අවශ්‍ය කරන හික්මීමක් නැත්නම් ඒ නිසා ඊළගට ඇතිවිය හැකි ප්‍රතිඵල ඉතාමත් භයානක විය හැකි ය. මැතිවරණයකදි ආණ්ඩුවක් තෝරාගැනීම වැනි මූලික ප්‍රශ්නයක දි පවා පිළිගත් මූලධර්මවලට අනුකූලව ක්‍රියාකිරිමේ හැකියාවක් නැති නම් මේ පිරිස්වලට රටේ වඩා බරපතල ප්‍රශ්න විසඳිය හැකි වනු ඇත්තේ කෙසේද?