17 වැනි සංශෝධනය නොසලකා ක්‍රියා කිරීම

November 4, 2001
Publication:
Ivan argues that state officials and institutions must stay neutral in elections, which the 17th Amendment was meant to guarantee. He lists the caretaker government's pay rises, regularisation of casual staff and teacher promotions, the IGP's refusal to reverse post-dissolution police transfers and the partisan conduct of state media, and says that such wilful breaches by a President who controls both the police and state media would alone justify impeachment and expose officials to prosecution.

ආණ්ඩුවක් තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන මැතිවරණයකදි පුද්ගලයෙකුට හෝ පුද්ගලික ආයතනයකට තමන් කැමති දේශපාලන පක්ෂයකට ද්‍රව්‍යමය වශයෙන් හෝ වෙනත් ආකාරයකින් ආධාර කිරිමේ අයිතියක් ඇතත්, රාජ්‍ය මට්ටමෙන් රාජ්‍ය නිලධාරියෙකුට හෝ රාජ්‍ය ආයතනයකට තමන් කැමති දේශපාලන පක්ෂයකට ද්‍රව්‍යමය වශයෙන් හෝ වෙනත් ආකාරයකින් ආධාර කිරිමේ අයිතියක් නොපවතී. එහිදි රාජ්‍ය මට්ටමෙන් රාජ්‍ය නිලධාරින් හා රාජ්‍ය ආයතන මහජනතාවට තමන් කැමති ආණ්ඩුවක් තෝරා ගැනීමට ඉඩදි දේශපාලන වශයෙන් නිහඬව හා නිෂ්ක්‍රීයව සිටින පිළිවෙතක් අනුගමනය කළ යුතුය.

මෙය පිළිගත් මූලධර්මයක් වුවත්, පොදු පෙරමුණු ආණ්ඩුව පමණක් නොව, මීට පෙර බලයේ සිටි වෙනත් ආණ්ඩු ද මැතිවරණවලදි සිරිතක් වශයෙන් රාජ්‍ය ආයතනවල සම්පත් සිය පක්ෂයේ අභිවෘද්ධිය පිණිස යොදා ගන්නා පිළිවෙතක් අනුගමනය කළේය. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ එහි ප්‍රධාන අරමුණ වූයේ ද මැතිවරණවලදි දක්නට ලැබෙන මෙම වැරදි භාවිතයට නැවතීමේ තිතක් තැබීමය. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වී එය රටේ ප්‍රමුඛ නීතියේ කොටසක් බවට පත්වී ඇතත්, ස්වාධීන මැතිවරණ කොමිසමක් සඳහා නීති සම්පාදනය කිරිමෙන් අපේක්ෂා කළ අරමුණු සපුරා ගැනීමට හැකිවී නැත.

මැතිවරණ කොමිසමට සාමාජිකයන් පත් නොකර තිබෙන තත්ත්වයක් යටතේ කොමිසම සතු බලය මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලැබී ඇතත්, එම නීතිය සමහර අංශවලින් ශක්තිමත් ලෙස බලාත්මක කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා සමත් වී නැත.

ආණ්ඩුව මැතිවරණය ප්‍රකාශයට පත්කිරිමෙන් පසු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ද විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් ද වැඩි කළේය. රාජ්‍ය ආයතනවල තාවකාලික සේවකයන්ගේ සේවා ස්ථිර කළේය. දේශපාලන පලිගැනීම්වලට ලක්වී යෑමේ නියත පදනම මත දහස් ගණනක් ගුරුවරුන්ට උසස්වීම් ලබා දුන්නේය.

දෙපාර්තමේන්තු, සංස්ථා හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අයත් සම්පත් කිසිම පක්ෂයකට ප්‍රවර්ධනය හෝ අවවර්ධනය සඳහා යොදා නොගත යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයා සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දිමක් කර තිබියදිත්, එය නොසලකා බොහෝ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්, ආණ්ඩුවේ දේශපාලනඥයින් ද රාජ්‍ය ආයතනවල සම්පත් සිය මැතිවරණ කටයුතු සඳහා සිත් සේ යොදා ගැනීමට ඉඩදි තිබේ. සියලු රාජ්‍ය මාධ්‍ය ආයතන 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ එන මූලධර්මවලට පටහැනිව පොදු පෙරමුණේ ප්‍රචාරක හොරණෑ ලෙස ක්‍රියාකරමින් සිටී.

මැතිවරණය ප්‍රකාශයට පත් කිරිමෙන් පසුව පොලිස්පතිවරයා විසින් කරන ලද සියලුම පොලිස් ස්ථාන මාරු කිරිම් අවලංගු කරන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයා පොලිස්පතිවරයාගෙන් කරන ලද ඉල්ලීම භාරගැනීම පොලිස්පතිවරයා ප්‍රතික්ෂේප කළේය. පොලිස්පතිවරයා කීවේ පොලිසියේ පරිපාලන බලය ඇත්තේ තමාට නිසා පොලිස් නිලධාරින් මාරු කිරිමේ අයිතිය ද ඇත්තේ තමාට බවය. ඉන්පසු මැතිවරණ කොමසාරිස්වරයා ද පොලිස්පතිගේ අර්ථකථනය පිළිගත්තේය.

පොලිසියේ ප්‍රධාන පරිපාලන නිලධාරියා පොලිස්පති වන බවට වාදයක් තිබිය නොහැකිය. ඔහු පොලිසියේ ප්‍රධාන පරිපාලන නිලධාරියා වුවත්, මැතිවරණයක් පවතින අවස්ථාවක මැතිවරණය කෙරෙහි අනිසි බලපෑමක් ඇති කරන කවර පරිපාලන ක්‍රියාවකින් හෝ ඔහු වැළකීමේ බලය මැතිවරණ කොමසාරිස්වරයා සතු ය. 94 මැතිවරණයට පෙරත්, ස්ථාන මාරු කිරිම් විශාල සංඛ්‍යාවක් සිදුවූ බවත්, එහෙත් ඒ අවස්ථාවේදි කිසිදු කෑගැසීමක් සිදු නොවූ බවත් පොලිස්පතිවරයා ප්‍රකාශ කරයි. ඒ 94 දි 17 වැනි සංශෝධනයක් නොතිබුණි. අනෙක් අතට පොලිස් කොමිසමක් ස්ථාපනය කිරීමට හැකි වී නැතත් 17 වන සංශෝධනය යටතේ ඇති කරන පොලිස් කොමිසම යටතේ එතෙක් ස්ථාන මාරු හා විනය පාලනය පිළිබඳ පොලිස්පතිවරයාට තිබූ බලය ඉවත් කොට එම බලය පොලිස් කොමිසම වෙත පවරා ඇති බව ද අමතක නොකළ යුතු ය. එවැනි ප්‍රතිසංස්කරණයක් නීතිගත කිරීමට සියලු දේශපාලන පක්ෂෂ එකග වූයේ ද පොලිස්පතිවරයාට සිරිතක් වශයෙන් විධායකයේ දේශපාලන අතකොලුවක් ලෙස ක්‍රියාකරන්නට සිදු වී ඇත්තේය යන සත්‍යය පොදු පිළිගැනීමකට හේතු වී තිබුණු නිසා ය.

මීට පෙර පැවැති මැතිවරණවල දි ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් පැවති ප්‍රදේශවල සමහර උසස් පොලිස් නිලධාරින් ආණ්ඩු පක්ෂෂයේ ප්‍රාදේශීය දේශපාලන නායකයන්ගේ දේශපාලන අතකොලු ලෙස ක්‍රියාකළ අතර ඒ තත්ත්වය පාලනය කිරීමට පොලිස්පතිවරයා ඵලදායක කිසිවක් ම නොකළේ ය. එයින් ඔප්පු කෙරුණේ ද මැතිවරණවල දි පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය අපක්ෂෂපාත තත්ත්වයක නොපැවති බව ය.

ආණ්ඩුවේ ජනමාධ්‍ය ආයතනවල ප්‍රධානීන් රගපාමින් සිටින්නේ ද පොලිස්පති රගපාමින් සිටින දේශපාලන භූමිකාවට සමාන භූමිකාවකි. ඔවුන් පොලිස්පතිවරයා මෙන් මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝගවලට ප්‍රසිද්ධියේ විරෝධය පළ කිරිමෙන් වැළකී එම නියෝග පිළිපැදිමෙන් වැළකී සිටින මැතිවරණවල දි සියලු ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු මූලධර්ම ඇතුළත් ප්‍රතිපත්ති රාමුවක් ඇතිකරගත හැකි නම් එය ඉතා වැදගත් ය. එහෙත් පෞද්ගලික ජනමාධ්‍ය ආයතනයකට තමන් තෝරාගත් පක්ෂෂයක ප්‍රවර්ධනය සඳහා ක්‍රියාකිරීමේ අයිතියක් ඇතත් රජයේ ජනමාධ්‍ය ආයතනයකට එසේ ක්‍රියා කිරිමේ අයිතියක් නැත. නිදර්ශනයක් වශයෙන් කිසියම් පුද්ගලික රූපවාහිනී ආයතනයකට මැතිවරණ නීති උල්ලංඝණය නොකෙරෙන ආකාරයට එජාපය වෙනුවෙන් ද තවත් පුද්ගලික රූපවාහිනී ආයතනයකට පොදු පෙරමුණ වෙනුවෙන් ද ක්‍රියාකළ හැකි ය. එහෙත් කිසිම ආණ්ඩුවේ ජනමාධ්‍ය ආයතනයකට මැතිවරණයක දි කිසියම් පක්ෂෂයක ප්‍රවර්ධනය හෝ අවවර්ධනය වෙනුවෙන් ක්‍රියාකළ නොහැකි ය. ඔවුන් එහි දි මුළුමණන්ම මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු යැයි ද ඊට හේතුව ආණ්ඩුවේ ජනමාධ්‍ය ආයතන පුද්ගලික ජනමාධ්‍ය ආයතනවලට වෙනස්ව පොදු මහජන ආයතනයක් වන නිසාත් ඒවා පොදු මහජන මුදලින් නඩත්තු වන ආයතන වන නිසාත් ය.

පොලිස්පතිවරයාගේ හා ආණ්ඩුවේ ජනමාධ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ හිතුවක්කාරි ක්‍රියාකලාපය ආණ්ඩුවේ උවමනාව අනුව සිදුවන්නක් බවට සැකයක් තිබිය නොහැකි ය. ඒ මගින් පෙන්නුම් කෙරෙන්නේ තමන්ගේ ද සහාය ඇතිව සම්මත කරගන්නා ලද 17 වැනි සංශෝධනය ඇතුළත් රටේ මූලික නීතිය ලෙස සැලකිය හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලධර්ම පිළිපැදිමට රටේ විධායක ජනාධීපතිවරිය සේ ම මැතිවරණය අවසන් වන තෙක් බාරකාර ආණ්ඩුවක් ලෙස ක්‍රියා කරන පොදු පෙරමුණ ආණ්ඩුව ද සූදානම් නැති බව ය. එවැනි වරදක් අති සරල වරදක් ලෙස සැලකිය නොහැකි අතර ජනාධීපතිනියට දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඒ වරද පමණක් වුවත් ප්‍රමාණවත් ය. පොලිස්පතිසේ ම ආණ්ඩුවේ ජනමාධ්‍ය තිබෙන්නේ ද ඍජු ලෙස ජනාධිපතිනිය යටතේ ය.

මෙලෙස රටේ මුලික නීතිය නොසලකා ක්‍රියාකරමින් සිටින දේශපාලකයන් සේ ම රාජ්‍ය නිලධාරින් ද ඒ නිසා තමන්ට මුහුණ දිමට සිදුවිය හැකි බරපතල ප්‍රතිවිපාක තේරුම් ගෙන තිබෙන බවක් පෙනෙන්නට නැත. මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරිමෙන් පසුව රජයට රාජ්‍ය සංස්ථාවකට හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයකට අයත් නිශ්චල හෝ චංචල දේපළක් දේශපාලන කටයුතු සඳහා යොදා ගන්නා දේශපාලකයින් සේ ම දේශපාලනඥයන්ට එසේ ක්‍රියා කරන්නට ඉඩ හැරිම මගින් එම දේපළ බාරව සිටින හෝ දේපළ පාලනය බාරව සිටින රාජ්‍ය නිලධාරින් මැතිවරණ නීතිය යටතේ එන දූෂණ ගණයේ වැරදිවලට සේ ම අල්ලස් හෝ දූෂණ විමර්ශන නීතිය යටතේ වන දූෂණ ගණයේ වැරදිවලට ද වරදකරුවන් කළ හැකි ය. එවැනි වැරදිවලට වරදකරුවකු වන පුද්ගලයකුට බරපතල සිර දඬුවම් පැනවිය හැකිවා සේ ම ඔවුන්ගේ ප්‍රජා අයිතිවාසිකම් ද අහිමි කළ හැකි ය. සමහර විට ඒ සියලු දෙනා ම ඉල්ලා සිටින්නේ ද එයම විය හැකි ය.