ව්‍යවස්ථාව උල්ලංඝණය කරන සියලු දෙනා නීතිය ඉදිරියට ගෙනා යුතු ය

October 28, 2001
Publication:
The editorial accuses the caretaker government of obstructing the 17th Amendment's election provisions through mass recruitment, police transfers and promotions for teachers who would serve as polling officers. It notes that the Inspector General of Police has refused the Elections Commissioner's order to cancel transfers and that state media ignore his directions, and demands that all who violate the Constitution be punished.

17 වැනි සංශෝධනයට ඇතුළත් ස්වාධීන මැතිවරණ කොමිසමට ලැබී තිබෙන බලතල බලාත්මක වීම වැළැක්වීමට ආණ්ඩුව උපරිම උත්සාහයක යෙදි සිටින බව පෙනේ.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කිරිමෙන් පසු මහජනතාව තමන් කැමති ආණ්ඩුවක් තෝරා ගන්නා තෙක් බලයේ සිටින ආණ්ඩුව භාරකාර ආණ්ඩුවක තත්ත්වයට පත්වන්නේ ය. එහිදි එදිනෙදා පාලන කටයුතුවලින් පිටස්තරව මැතිවරණය කෙරෙහි බලපෑමක් ඇති කිරීමට හේතුවන ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමෙන් වැළකීම භාරකාර ආණ්ඩුවක් අනුගමනය කළ යුතු මූලික ප්‍රතිපත්තියක් වුවත්, ආණ්ඩුව ඒ කිසිවක් නොසලකා භාරකාර ආණ්ඩුවක් නොකළ යුතු හැමදෙයක්මත් කරමින් සිටින බව ද දැකිය හැකි ය.

ආණ්ඩුව තොග ගණනින් රාජ්‍ය ආයතනවලට පුද්ගලයන් බඳවා ගනිමින් සිටින අතර, මැතිවරණය ප්‍රකාශයට පත්කිරිමෙන් පසු ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරින් විශාල පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදිමෙන් නොනැවතී, දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් ලෙස සලකා ගුරු සේවයේ විශාල පිරිසකට උසස්වීම් ද ලබා දුන්නේ ය. උසස්වීම් ලබාදි සිටින මේ ගුරුවරුන් ජේ‍යෂ්ඨ ඡන්ද පොළ නිලධාරින් ලෙස මැතිවරණ රාජකාරිවලට අනුයුක්ත කිරීම එහි සැගවුණු අරමුණ වී තිබෙන බව ද පෙනෙන්නට තිබේ.

මැතිවරණය ප්‍රකාශයට පත්කිරිමෙන් පසු සිදුකර ඇති සියලු පොලිස් ස්ථාන මාරු අවලංගු කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා විසින් පොලිස්පතිවරයා වෙත කර තිබෙන දැනුම්දිම පිළිපැදිම පොලිස්පතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙන අතර, රාජ්‍ය මාධ්‍ය ආයතන ද මැතිවරණ කොමසාරිස්වරයා කර තිබෙන දැනුම් දිම් නොසලකා පොදු පෙරමුණේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ක්‍රියාකරමින් සිටී.

මෙය ඉතාමත් නරක තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. මේ සියලු දෙනා ආණ්ඩුවේ අනුග්‍රහය ඇතිව උල්ලංඝණය කරමින් සිටිනුයේ රටේ උත්තරිතර නීතිය ලෙස සැලකෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන විධි විධානයන් ය. පටු දේශපාලන අරමුණු මත පිහිටා නීතියට පටහැනිව ක්‍රියාකරමින් සිටින පොලිසියත් ඇතුළු සියලු දෙනා නීතිය ඉදිරියට පමුණුවා ඔවුන්ට දඬුවම් කළ යුතු ය. ඒ සියලු දෙනා නීතියට ගරු කරන තැනකට ගෙන ඒමට හැකිවනු ඇත්තේ එසේ කිරිමෙන් පමණ ය.