ඉතිහාසයේ එක් අවස්ථාවකදි ඇතිවූ සිදුවීමක්, ඊට සමාන ආකාරයකින් ම තවත් අවස්ථාවකදි සිදුවන්නේ කලාතුරකිනි. ජනතා විමුක්ති පෙරමුණ පොදු පෙරමුණ සමග ඇති කරගත් පරිවාස හවුල් ආණ්ඩුව බිඳ වැටුණු ආකාරයේත්, 1964 දෙසැම්බර් වලදි සමසමාජ පක්ෂය ශ්රී ලංකා නිදහස් පක්ෂය සමග ඇති කරගත් හවුල් ආණ්ඩුව බිඳ වැටුණු ආකාරයේත් අපූරු සමාන බවක් පවතී. එසේම ජනතා විමුක්ති පෙරමුණේ ටිල්වින් ද සිල්වා සහෝදරයා ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග මහත්මිය සමග හවුල් වැඩපිළිවෙළක් ඇති කරගත් ආකාරයේ හා ආචාර්ය එන්.එම්. පෙරේරා සහෝදරයා එදා චන්ද්රිකාගේ මව අගමැතිනි සිරිමා බණ්ඩාරනායක මහත්මිය සමග හවුල් වැඩපිළිවෙළක් ඇති කරගත් ආකාරයේත් අපූරු සමාන බවක් පවතී.
1960 ජූලි මැතිවරණයෙන් ජයග්රාහී පක්ෂයට නම් කිරීමට ලැබෙන මන්ත්රීවරුන් 06 දෙනා සමග මුළු පාර්ලිමේන්තු ආසන සංඛ්යාව වන ආසන 151න් ආසන 81ක් ශ්රී ලංකා නිදහස් පක්ෂය හිමිකර ගන්නා විට එක්සත් ජාතික පක්ෂය හිමිකර ගත් ආසන සංඛ්යාව 30කි. පෙඩරල් පක්ෂය ආසන 16ක් ද, සමසමාජ පක්ෂය ආසන 12ක් ද, කොමියුනිස්ට් පක්ෂය ආසන 04ක් ද, මහජන එක්සත් පෙරමුණ ආසන 03ක් ද, ජාතික විමුක්ති පෙරමුණ ආසන 02ක් ද, ලංකා ප්රජාතන්ත්රවාදී පක්ෂය ආසන 02ක් ද, ද්රවිඩ සංගමය එක් ආසනයක් ද හිමිකර ගෙන සිටියේය. ආණ්ඩු පක්ෂයට ආසන 81ක් හිමිවන විට පොදුවේ විපක්ෂයට හිමිව තිබූ ආසන සංඛ්යාව ආසන 70කි.
රටේ අගමැතිනිය වශයෙන් ක්රියා කළ සිරිමා බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තු ආසනයක් නියෝජනය නොකළ අතර, ඇය අගමැතිවරිය ලෙස ක්රියා කළේ උත්තර මන්ත්රී මණ්ඩලයේ නියෝජිතයකු ලෙසය.
1964 වනවිට ආණ්ඩුව අභ්යන්තරයේ අවුල් මතුවෙමින් ආණ්ඩුව බෙලහීන තත්ත්වයකට පත්වෙමින් තිබූ අතර, සමසමාජ, කොමියුනිස්ට් හා මහජන එක්සත් පෙරමුණ සහ වාමාංශික පක්ෂ තුන එකතුවීමෙන් 1963 අගෝස්තු 12 වැනිදා බිහිවී තිබූ වාමාංශික එක්සත් පෙරමුණත්, දක්ෂිණාංශික පක්ෂය ලෙස සැලකිය හැකි එක්සත් ජාතික පක්ෂයත් රට තුළ සිය ශක්තිය වර්ධනය කරගන්නා තත්ත්වයකට යොමුවී තිබුණි.
වාමාංශික එක්සත් පෙරමුණේ පැවැත්ම හා ඔවුන්ගේ ඉල්ලීම් 21 ව්යාපාරය ශ්රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවේ පැවැත්මට තර්ජනයක් වී තිබුණු අතර, එම වාමාංශික ව්යාපාරය බිඳ දැමීම හෝ එම ව්යාපාරය ආණ්ඩුවේ කොටස්කාරයකු කරගැනීම ආණ්ඩුවේ පැවැත්ම සඳහා අත්යවශ්ය කොන්දේසියක්ව පැවතුණි. බණ්ඩාරනායක මැතිනිය ඉන් පළමු මාර්ගය වෙනුවට දෙවැනි මාර්ගය තෝරා ගත්තාය. වාමාංශික එක්සත් පෙරමුණ වෙනුවට ආණ්ඩුවේ හවුල්කරුවකු කරගනු ලැබූයේ වාමාංශික එක්සත් පෙරමුණ තුළ සිටි විශාලතම පක්ෂය ලෙස සැලකිය හැකි ලංකා සමසමාජ පක්ෂය පමණය. බණ්ඩාරනායක මැතිනියගේ දුව ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය ජනතා විමුක්ති පෙරමුණ සමග ඇති කර ගන්නා පරිවාස හවුලේ කපුවා ලෙස මංගල සමරවීර ක්රියාකරන විට ශ්රී ලංකා සමසමාජ හවුලේ කපුවා ලෙස ක්රියා කරන්නේ ටී.බී. ඉලංගරත්නය. මේ හවුලේදි ද ආණ්ඩුවට එකතු වන සම සමාජ මන්ත්රීන් සංඛ්යාව 10කි. එය ජනතා විමුක්ති පෙරමුණෙන් ආණ්ඩුවට එක්වන සංඛ්යාවට සමානය.. සමසමාජ පක්ෂය ශ්රීලනිප ආණ්ඩුවට එකතු වන්නේ ජනතා විමුක්ති පෙරමුණ කළ ආකාරයටම ආණ්ඩුව බෙලහීන තත්ත්වයකට පත්ව තිබූ අවස්ථාවකය. සමසමාජ පක්ෂය මැතිනිය සමග හවුල් ආණ්ඩු කතාවලට යන්නේ ද ජනතා විමුක්ති පෙරමුණ ඇගේ දුව සමග හවුල් ආණ්ඩු කතාවලට ගිය ආකාරයට සමාන ආකාරයකටය. එනම් සමසමාජ පක්ෂයේ ආචාර්ය එන්.එම්. පෙරේරා බණ්ඩාරනායක මැතිනිය සමග හවුල් කතා අරඹන්නේ ද එකල ඇතිව තිබූ අවුල් තුළ මැතිනිය විසින් මාස හතරක කලක් පාර්ලිමේන්තු සැසි වාරය කල් දමා පාර්ලිමේන්තුව වසා තිබූ අවස්ථාවකය. ජනතා විමුක්ති පෙරමුණේ ටිල්වින් ද සිල්වලා, විමල් වීරවංශලා මැතිනියගේ දුව සමග පරිවාස හවුලක් සඳහා කතා කරන්නට යන්නේ ද ඇය මාස දෙකක කාලයක් සඳහා පාර්ලිමේන්තු සැසි වාරය කල් දමා පාර්ලිමේන්තුව වසා තිබූ තත්ත්වයක් යටතේය. ජනතා විමුක්ති පෙරමුණ පොදු පෙරමුණ සමග එකතුවීමට පරිවාස වැඩපිළිවෙළක් යොදා ගත්තා සේ ම, සමසමාජ පක්ෂය ද ශ්රීලනිපය සමග හවුලක් ඇති කර ගැනීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් යොදා ගත්තේය. ඊට ඒජන්සි හවුස් පාලනය, පරිපාලන රෙගුලාසි අනුව රජයේ සංයුක්ත මණ්ඩලයට ඇතුළත් වන සෑම ආයතනයක් සඳහාම කම්කරු උපදේශක මණ්ඩල පිහිටුවීම, බඩු සැගවීම, කළුකඩ වෙළෙදාම මුලිනුපුටා දැමීම සඳහා බලතල සහිත ජනතා මණ්ඩල පිහිටුවීම, සමාජවාදයට බර තබන ආර්ථික සැලසුමක් පිහිටුවීම, අල්ලස් හෝ දූෂණ චෝදනා පරික්ෂණ සඳහා දිර්ඝ කාලයක් ගැනීම වැළැක්වීම පිණිස විශේෂ උසාවි ඇති කරන අතර, එවැනි චෝදනාවලට වැරදිකරුවන් වන අයට බරපතල දඬුවම් දිමට අවශ්ය නීති පැනවීම යනාදි කරුණු ඇතුළත් වේ.
සමසමාජ පක්ෂයේ අපේක්ෂාව වූයේ ද බෙලහීන තත්ත්වයකට පත්ව තිබූ ශ්රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවේ හවුල්කරුවකු වෙමින් එම බෙලහීන ආණ්ඩුව සමාජවාදි මාවතට ඇද ගෙන යාමය. ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂාව ද ඊට සමාන විය.
ජනතා විමුක්ති පෙරමුණ චන්ද්රිකා සමග ඇති කර ගන්නා පරිවාස හවුල තුළ, සමසමාජ පක්ෂය සිරීමා සමග ඇති කරගත් පරිවාස හවුල තුළ දක්නට නොතිබුණු බරපතල විසංවාදයක් ද තිබුණි.
බණ්ඩාරනායක මැතිනිය 1960 මාර්තු හා ජූලි මැතිවරණවලදි ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා හැඳින්වූයේ, සිය සැමියා නොමරා මැරූ එන්.එම්. වශයෙනි. ඇය ඉන් අදහස් කළේ සමසමාජ පක්ෂය බණ්ඩාරනායක මහතා ආණ්ඩු බලයට පැමිණ පසු ඉදිරියට ගනු ලැබූ කෙළවරක් නැති තරමට වැඩ වර්ජන ව්යාපාර මගින් සිය සැමියා පීඩාවට පත් කරන ලද බව පමණය. එහෙත් චන්ද්රිකා කුමාරතුංග මහත්මිය පරිවාස කාලය ඇතිකර ගන්නේ ඇගේ සැමියා ඇත්තටම මරා දමන ලැබූ ව්යාපාරයක් සමගය. ඇගේ මව ද දේශපාලන වශයෙන් මරා දැමීමට හේතුවූ ප්රජා අයිතිය අහෝසි කිරිමේ වැඩපිළිවෙළට ක්රියාකාරි ලෙස දායක වූ පක්ෂයක් සමගය.
සමසමාජ පක්ෂය ශ්රීලනිපය සමග හවුලක් ඇතිකර ගත්තේ සිය පක්ෂය සමග කෙරුණු දැවැන්ත අභ්යන්තර කථිකාවක් ඔස්සේය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ පරිවාස හවුලක් ඇතිකර ගැනීමේදි පක්ෂ අභ්යන්තරයේ ඒ සමාන දේශපාලන කථිකාවකට ගිය බවක් පෙනෙන්නට නැත.
ශ්රී ලංකා නිදහස් පක්ෂය සමග හවුල් ආණ්ඩුවක් ඇතිකර ගැනීමේ යෝජනාව සමසමාජ මධ්යම කාරක සභාවේ සාකච්ඡාවට ලක්වූ අවස්ථාවේදි එම යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළේ මධ්යම කාරක සභිකයන් 21 දෙනෙකු පමණය. සභාගයට යන්නේ නම් සමසමාජ පක්ෂය වශයෙන් නොව වාමාංශික එක්සත් පෙරමුණ වශයෙන් පමණක් යායුතුයි කියන යෝජනාව වෙනුවෙන් ලැබුණු ඡන්ද සංඛ්යාව 8කි. ශ්රී ලංකා නිදහස් පක්ෂය සමග කිසිදු අන්දමක සභාගයකට නොයා යුතු යැයි කියන අදහස වෙනුවෙන් පාවිච්චි වූ ඡන්ද සංඛ්යාව 14කි.
මධ්යම කාරක සභාවෙන් නිසි අනුමැතියක් ලබාගැනීමට නොහැකිවීම නිසා හවුල් ආණ්ඩුවකට යාමේ අදහසට අනුමැතිය ලබාගැනීම සඳහා විශේෂ පක්ෂ සම්මේලනයක් කැඳවීමට ආචාර්ය එන්.එම්. පෙරේරා මහතාට සිදුවූ අතර, 1964 ජූනි 6 සහ 07 යන දිනවල කොළඹ නව නගර ශාලාවේ පැවති සම්මේලනයේදි හවුල් ආණ්ඩුවකට පක්ෂව ඡන්ද 507ක් ලැබෙන විට විපක්ෂව ඡන්ද 176ක් ලැබීමෙන් යෝජනාව සම්මත විය. සභාග වැඩපිළිවෙලට එකග නොවීම නිසා සමසමාජ පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායමට අයත් මන්ත්රීවරුන් දෙදෙනාගෙන් (එඩ්මන්ඩ් සමරක්කොඩි හා මෙරිල් පෙරේරා) පක්ෂය අත්හැරියේය.
කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන වැනි තවත් පිරිසක් ඇමතිකම් ලබාගැනීම වර්ජනය කළේය. ආණ්ඩුව සමග සභාගයකට යනවා නම් තනි සමසමාජ පක්ෂෂය වශයෙන් නොව වාමාංශික එක්සත් පෙරමුණ වශයෙන් යා යුතු බව ඔවුන්ගේ මතය විය. ඇතිකරගත් සභාග ආණ්ඩුව ඊට වෙනස් වූ නිසා ඔවුන් ඇමතිකම් භාර ගැනීම ප්රතික්ෂෙෂ්ප කළේ ය.
එහෙත් පරීවාස ආණ්ඩු වැඩ පිළිවෙලේ දි එවැනි ප්රජාතන්ත්රවාදී කතිකාවක් ජනතා විමුක්ති පෙරමුණ තුළ තිබූ බවක් පෙනෙන්නට නැත. පක්ෂෂයේ එතෙක් පිළිගත් ගමන් මගට පටහැනි ගමනක දි පක්ෂෂයක අභ්යන්තරයේ මතබේද ඇතිවීම නොවැළැක්විය හැකි ය. බෙදීම් හා වෙන්වීම් ඇති වීම ද නොවැළැක්විය හැකි ය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ තුළ ඒ සඳහා කිසිම බෙදිමක් ඇති වූ බවක් පෙනෙන්නට නැත. පාර්ලිමේන්තු කණ්ඩායමට අයත් මන්ත්රීවරුන් දහ දෙනා ද ඒකමතික තත්ත්වයක පිහිටා ක්රියාකළහ. එය ස්වාභාවික නැත. ඉන් පෙන්නුම් කරන්නේ පක්ෂෂයක් වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ අභ්යන්තර ප්රජාතන්ත්රවාදයක් නොපවත්නා බව ය.
සමසමාජ පක්ෂෂය ශ්රී ලංකා නිදහස් පක්ෂෂය සමග හවුල් ආණ්ඩුවක් ඇතිකර ගැනීමේ දි සමසමාජ පක්ෂෂය ඇමතිකම් ලබාගැනීමත්, ජනතා විමුක්ති පෙරමුණ පොදු පෙරමුණ සමග පරිවාස ආණ්ඩුවක් ඇතිකර ගැනීමේ දි ඇමතිකම් ලබා නොගැනීමත්, ඒ පක්ෂෂ දෙකේ හවුල් ආණ්ඩු ගමන් මගේ තිබෙන කැපී පෙනෙන වෙනසක් ලෙස සැලකිය හැකි ය.
මතුපිටින් බලන විට එය ආකර්ශනීය දෙයක් ලෙස පෙනිය හැකි වුවත් ගැඹුරින් කරන කරුණු සලකා බැලීමක දි මේ දෙපක්ෂෂය තුළ ගොනු වී සිටි නායක මට්ටමේ පුද්ගලයින්ට ආවේණික පරතරය (පළපුරුදු බව, උගත්කම හා පරිපාලනමය හැකියාව) ඒ කෙරෙහි බලපා තිබෙන බව දැකිය හැකි ය.
සමසමාජ පක්ෂෂ නායකයින් ඉතා පළපුරුදු පැසුණු අත්දැකීම් ඇති උගත් හා පරිපාලන හැකියාවන්ගෙන් අනූන පිරිසක් වූහ. 1964 දි පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු දෙනා අතුරින් මුදල් ඇමති කමට වඩාත්ම සුදුසු පුද්ගලයා වූයේ ආචාර්ය එන්.එම්. පෙරේරා ය. ඔහු ආර්ථික විෂයෙහි විශාරදයෙකු වූවා සේ ම ව්යවස්ථා සම්පාදන විෂයෙහි ද විශාරදයෙකු විය. ඔහු මුදල් ඇමතිකමෙන් බැබලූණු පුද්ගලයකු නොවූ අතර මුදල් ඇමතිකම ඔහු නිසා බැබලූණේ යයි කිව හැකි ය. ආචාර්ය ජයන්ත කැලේගම මහතා වරක් ප්රකාශ කර තිබෙන පරිදි මෙතෙක් මුදල් ඇමතිකමට පත් සියලු මුදල් ඇමතිවරුන් අතරින් තමාගේ ම අයවැය ලේඛනයක් සම්පාදනය කර ඉදිරිපත් කිරිමේ හැකියාව තිබූ එකම පුද්ගලයා ආචාර්ය එන්.එම්. පෙරේරා ය. අන් අය කරන්නේ මහා භාණ්ඩාගාරයේ හා මහ බැංකුවේ නිලධාරින් පිළියෙළ කර දෙන අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමණ ය. එන්.එම්. පෙරේරා පමණක් නොව සමසමාජ නායක මට්ටමේ හැම දෙනාම පාහේ උගත් පළපුරුදු දක්ෂෂයෝ වූහ.
එහෙත් එවැනි දක්ෂෂ පරපුරක් බිහි කිරීමට තවමත් ජනතා විමුක්ති පෙරමුණ සමත් වී නැත.
1931 රාජ්ය මන්ත්රණ සභාව නියෝජනය කළ එකම වාමාංශික නියෝජිතයා වූයේ දොස්තර එස්.ඒ. වික්රමසිංහ මහතා පමණ ය. ඉන් පසු 1936 දි පිලිප් ගුණවර්ධන මහතා හා ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා ය. ඔවුන්ට තිබුණු පාර්ලිමේන්තු නියෝජනය ඉතා කුඩා වුවත් පාර්ලිමේන්තුව තුළ ඔවුන් නගන ලද හඬ ඉතා බලවත් ය. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කිසියම් පරිපූර්ණ තැනකට ගෙනඒම සඳහා හා සම්ප්රදායක් ඇති කිරීම සඳහා වැඩිම දායකත්වයක් ලැබී ඇත්තේ ද ඔවුන්ගෙනි. ඔවුන්ගේ දක්ෂෂතාව රැඳී තිබුණේ නවීනත්වය තුළ පමණක් නොවේ. මතුවන ඕනෑම ප්රශ්නයක් ගැඹුරින් විග්රහ කිරිමේ හැකියාවක් ඔවුන්ට තිබුණේ ය. සරත් මුත්තෙට්ටුවේගම මහතා කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ එකම වාමාංශික නියෝජිතයා වී සිටියත් තනි පුද්ගලයකු වශයෙන් ඔහු නගන හඬ මුලු රටටම ඇසුණේ ය. ඔහුගේ කතාවල තිබුණු අර්ථ පූර්ණභාවය නිසා ම ඉතාමත් මතභේදයට හේතුවන විවාදවල දි පවා පාර්ලිමේන්තුවේ කිසිවෙක් තමාට බාධා නොකරන තත්ත්වයේ තබා ගැනීමට ඔහු සමත්ව තිබුණේ ය. ජනතා විමුක්ති පෙරමුණේ විමල් වීරවංශ වැනි අය දක්ෂෂ කථිකයින් ලෙස සැලකිය හැකි වුවත් යමක් ගැඹුරින් විශ්ලේෂණය කිරිමේ හැකියාවේ දි දුබල ය. ගැඹුරු විශ්ලෙෂණාත්මක හැකියාවක් සඳහා අවශ්ය කරන පිරුණු බවක් ඇතිකර ගැනීමට තවමත් ඔවුන් සමත් වී නැත.
ඔවුන්ට ආවේණික සීමාසහිතකම් දෙස බලන විට ඇමති තනතුරු ලබාගන්නා ප්රතිපත්තියකට ගියේ නම් එය ඔවුන්ගේ හැකියාවන්ගේ ඇති සීමිතකම් ප්රදර්ශනය කරන අවස්ථාවක් වන්නට ඉඩ තිබුණි. විෂය දැනුමේ දි හා කළමනාකරණ හැකියාවන්හි දි සියලු ඇමතිවරුන් අතරින් සමසමාජ ඇමතිවරුන් කැපී පෙනෙන තත්ත්වයක් හිමිකරගෙන සිටියේ ය.
එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඇමති තනතුරු ලබාගත්තේ නම් එවැනි තත්ත්වයක් හිමිකර ගනු ඇතැයි සිතිය නොහැකි ය. ඒ අර්ථයෙන් සමසමාජ නායකයන් ඇමති තනතුරු ගැනීමත්, ජවි පෙරමුණේ නායකයන් ඇමති තනතුරු නොගැනීමත් යන පරස්පර විරෝධී ප්රතිපත්ති දෙක ම ඔවුන් සඳහා නිවැරදි පියවරයන් ලෙස සැලකිය හැකි ය.
සමසමාජ පක්ෂෂය ශ්රීලනිප සමග ඇතිකරගත් සභාගය ඔවුන්ගේ දේශපාලන විශ්වාසයන්ට අනුවත් එකල පැවැති ලෝක දේශපාලන රටාවට අනුවත් ගැළපෙන දෙයක් වුවත් ජනතා විමුක්ති පෙරමුණේ පරිවාස වැඩ පිළිවෙළේ එවැනි ගැළපීමක් ඇති බවක් පෙනෙන්නට නැත.
සමසමාජ පක්ෂෂය සමාජවාදි දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී සිටි ව්යාපාරයකි. ශ්රී ලංකා නිදහස් පක්ෂෂයේ ඇතැම් දේශපාලන ආකල්පයන් ද සමසමාජ දේශපාලන වුවමනාවන් සමග යම් පමණකට ගැළපුණේ ය. ශ්රීලනිපය එදා ජනසතු ප්රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටි පක්ෂෂයක් වන අතර ඇමරිකාවෙන් එල්ල වෙමින් තිබුණු දැඩි දේශපාලන බලපෑම් නොසලකා තෙල් සමාගම් ජනසතු කරන ප්රතිපත්තියක් නිසා ලෝක අධිරාජ්ය විරෝධී බලවේගයන් අතර කීර්තියක් දිනාගෙන සිටි පක්ෂෂයක් විය. එම බලවතුන් දෙදෙනා අතර කෙරෙන සීතල යුද්ධයේ දි එම පක්ෂයේ වැඩි පක්ෂෂපාතිත්වය හිමිවූයේ ලෝක සමාජවාදි කඳවුර පෙරටු කරගත් අධිරාජ්ය විරෝධී කඳවුරට ය. තමන් සතු දේශපාලන ආකල්පවලට ගැළපෙන මේ සියලු කරුණු නිසා සමසමාජ පක්ෂෂය ශ්රීලනිපය සමග ඉදිරියට යාමට කල්පනා කිරීම තර්කානුකූල විය.
එහෙත් ජනතා විමුක්ති පෙරමුණ පොදු පෙරමුණ සමග පරිවාස ගිවිසුමක් අතිකරගන්නා අවස්ථාව වන විට ලෝක දේශපාලන රටාව වෙනස් වී තිබුණා සේ ම ශ්රීලනිපය ද සමාජවාදයට බර තබන සිය පැරණී ගමන් මග වෙනස් කොට ආකල්පවල දි එජාපය දරන ආකල්පවලට සමාන ආකල්ප දරන පක්ෂෂයක් බවට පත්වී තිබුණා පමණක් නොව කිසිම පැකිළීමකින් තොරව එජාපය ගමන් කරමින් තිබුණු විවෘත වෙළෙඳපොළ මාවතේ ම ගමන් ගන්නා තවත් ධනේෂ්වර පක්ෂෂයක් බවට පත්ව තිබුණේ ය. මව විසින් පලවා හරින ලද ෂෙල් සමාගම නැවත රටට කැන්දාගෙන විත් තිබුණේ දුවය. ලෝක බැංකු ප්රතිපත්තිවල දි එජාපය පවා ඒ සමග හෙට්ටු කරන ප්රතිපත්තියක පිහිටා ක්රියා කළත් පොදු පෙරමුණ කිසිදු හෙට්ටු කිරීමකින් තොරව ලෝක බැංකුව පෙන්වන මාවතේ ඉතාමත් කීකරු ශිෂ්යයෙකු ලෙස ගමන් කළේ ය. ඒ අර්ථයෙන් සමසමාජ පක්ෂෂයට ශ්රීලනිප සමග හවුලක් ඇතිකර ගැනීමට සාධාරණ දාර්ශනික හේතු තිබුණත් ජනතා විමුක්ති පෙරමුණට පොදු පෙරමුණ සමග එවැනි පරීවාස වැඩ පිළිවෙළක් සාධාරණය කිරීම සඳහා දාර්ශනික හේතු තිබෙන බවක් පෙනෙන්නට නැත.
ඉතාමත් දූෂිත ආකාරයකින් බලයට පැමිණි ආණ්ඩුවක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ විසින් ම විග්රහ කරන ආණ්ඩුවකට තවත් වසරක කාලයක පැවැත්ම සඳහා ආධාර දෙන තත්ත්වයකින් ක්රියා කිරීම ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද බරපතල ම දේශපාලන වරද ලෙස සැලකිය හැකි ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරිමෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ විසින් නිකුත් කරන ලද නිවේදනයෙන් පවා ප්රකාශ කර ඇත්තේ පොදු පෙරමුණ ඉතාමත් දූෂිත ලෙස බලයට පැමිණි ආණ්ඩුවක් ලෙස ය. පොදු පෙරමුණ බලයට පැමිණ තිබුණේ ඉතාමත් දූෂිත ආකාරයකින් නම් අවස්ථාවක් ලැබුණු වහාම මහජනතාවට තමන් කැමති ආණ්ඩුවක් තෝරා ගැනීමට අවස්ථාවක් උදාකර දිම ජනතා විමුක්ති පෙරමුණේ යුතුකම විය යුතුව තිබුණි. එහෙත් ජවිපෙ සිය පරිවාස වැඩ පිළිවෙළ මගින් බිඳවැටෙන්නට නියමිතව තිබූ දූෂිත ආණ්ඩුවක ආයු කාලය තවත් එක් අවුරුදු කාලයක් සඳහා දිර්ඝ කිරීමට උත්සාහ කළේ ය. එහෙත් සමසමාජ පක්ෂෂය, ජවි පෙරමුණ මෙන් දූෂිතව බලයට පැමිණ ආණ්ඩුවක් සමග හවුලකට නොගියේ ය. එය බෙලහීන තත්ත්වයකට පත්ව තිබුණු ආණ්ඩුවක් වුවත් දූෂිතව බලයට පැමිණ ආණ්ඩුවක් නොවී ය.
මේ සභාග ආණ්ඩු දෙක බිඳ වැටුණු ආකාරය ද බොහෝ දුරට එක සමාන ය.
ජවිපෙ, පොදු පෙරමුණ සමග පරිවාස වැඩ පිළිවෙළකට යන අවස්ථාව වනවිට පොදු පෙරමුණු ආණ්ඩුවේ අභ්යන්තර බෙදීම් ඇතිවී තිබුණා සේ ම සමසමාජ පක්ෂෂය ශ්රීලනිප සමග සභාගයකට යන අවස්ථාව වන විටත් ශ්රීලනිප ආණ්ඩුව අභ්යන්තරයේ බෙදීම් ඇති වී තිබුණි. ජවි පෙරමුණේ පරිවාස වැඩ පිළිවෙළ ආණ්ඩුව අභ්යන්තරයේ තියුණු බෙදීම් උග්ර කිරීමට හේතු වූවා සේ ම සමසමාජ පක්ෂෂයේ ආගමනය ද ආණ්ඩුව අභ්යන්තරයේ පැවති බෙදීම් උග්ර කළේ ය. ශ්රී ලංකා සමසමාජ සභාග ආණ්ඩුවෙන් ලැබුණු ඇමති තනතුරෙන් ඉවත් වෙමින් එම ආණ්ඩුවේ බිඳවැටීමක් සඳහා වන පළමු වෙඩිමුරය තබන ලද පුද්ගලයා වූයේ ජනතා විමුක්ති පෙරමුණේ අග්රගණයේ හිතවතා බවට පත්ව සිටින මංගල සමරවීර මහතාගේ පියා වන මහානාම සමරවීර මහතා ය.
එම ආණ්ඩු පෙරළිය කෙරෙහි පාදක වූ හේතුව පුවත් පත් පනත ය. පුවත් පත් පනත 1964 සැප්. 20 වැනි දා අධිකරණ ඇමති විසින් උත්තර මන්ත්රී මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර පනතට පක්ෂෂව ඡන්ද 17ක් ද, විරුද්ධව ඡන්ද 4ක් ද ලැබීමෙන් එය උත්තර මන්ත්රී මණ්ඩලයේ දි සම්මත විය. එම පනත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරුණේ ඔක්තෝබර් 6 වැනි දා ය. එහි දි ජේ.ආර්. ජයවර්ධන විසින් අටවන ලද උගුලකට ආණ්ඩු පක්ෂෂය හසුවූයේ ය. ස්ථාවර නියෝග අනුව උත්තර මන්ත්රී මණ්ඩලයෙන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරෙන පනතක් එය ඉදිරිපත් කිරීම හා දෙවන වර කියවීමට දිනයක් නියම කිරීම පාර්ලිමේන්තු මන්ත්රීවරයකු භාරගත යුතුය. මේ පනත බාර ගැනීමට ජේ.ආර්. ජයවර්ධන විසින් කල්තියා සිය මන්ත්රීවරයකු වූ ලක්ෂෂ්මන් රාජපක්ෂෂ මහතා පනතේ යෝජිතයා ලෙසත් නයින මරීක්කාර් ස්ථිර කරන්නා ලෙසත්, විවාදයට ගත යුතු දිනය පෙබ. 02 වැනි දා ලෙසත් පාර්ලිමේන්තු ලේකම්වරයාට දැනුම් දිමක් කර තිබුණේ ය. ස්ථාවර නියෝග පිළිබඳව මනා අවබෝධයකින් තොරව ක්රියාකළ ආණ්ඩු පක්ෂෂය පනත දෙවන වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දි රිති ප්රශ්නයක් මතු කරමින් එහි අයිතිය ලක්ෂෂ්මන් රාජපක්ෂෂ මහතාට ලැබිය යුතු බව පෙන්වා දුන් අතර කථානායකවරයා එය පිළිගැනීම නිසා එම ප්රශ්නය මුල්කරගෙන අර්බුදකාරි තත්ත්වයක් පාර්ලිමේන්තුවේ ඇතිවිය.
ජේ.ආර්. ජයවර්ධන විසින් සිය යෝජකයා මගින් එය විවාදයට ගත යුතු දිනය වශයෙන් 1965 පෙබ. 2 වශයෙන් සඳහන් කර තිබුණේ එම පනත නීතිගත කිරීම හැකි තරම් කල් දැමීම සඳහා ය. එහෙත් ආණ්ඩුවට එය ඉක්මණන් නීතිගත කිරීමට අවශ්ය වූ අතර ජේ.ආර්.ගේ න්යාය ජයගැනීම සඳහා 1964 ඔක්. 7 වැනි දිනට න්යාය පත්රයට ඊට පෙර දින ගනු ලැබූ තීන්දු සියල්ල අවලංගු කෙරෙන ආකාරයට සභානායක නමින්වූ යෝජනාවක් න්යාය පත්රයට ඇතුළත් කළේ ය. ඒ අනුව පනතේ යෝජකයා වනුයේ රාජපක්ෂෂ වෙනුවට කම්කරු ඇමති මයිකල් සිරිවර්ධන ය. දෙවැනි වර විවාදයට ගත යුතු දිනය ද 1964 ඔක්. 13 වැනි දා ලෙස වෙනස් කර තිබුණි. 7 වැනි දා සවස එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේ දි විරුද්ධ පක්ෂෂය ඊට එරෙහිව නැගී සිටියේ ය. 7 වැනිදා රැස්වීමේ දි ගන්නා ලද තීරණයක් වෙනස් කිරීමට අලුත් යෝජනාවක් ඉදිරිපත් කිරීම නීති විරෝධී බව කථානායක තීන්දු කිරීම නිසා පුවත් පනත ආශ්රයෙන් අර්බුදකාරි තත්ත්වයක් ඇති වූ අතර එම තත්ත්වය ජය ගැනීම සඳහා ආණ්ඩුව පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමුවේ ය. පැරණි යෝජනා අවලංගු වන තත්ත්වයක් ඇති කොට අලුත් යෝජනාවක් ලෙස පනත ඉදිරියට ගෙන හැකි ඉක්මනින් පනත නීතිගත කිරීම ආණ්ඩුවේ අරමුණ විය.
එහෙත් සැසිවාරය කල් දැමීම නිසා ආණ්ඩු පක්ෂෂයට අලුතෙන් රාජාසන කතාවක් ඉදිරිපත් කරන තත්තවයකට යන්නට සිදුවිය. ඒ රාජාසන කතාවේ දි ආණ්ඩු පක්ෂෂයේ කලකිරීමට පත්ව සිටි පිරිසක් විරුද්ධ පක්ෂෂයට එකතු කර ගැනීම මගින් ආණ්ඩුව පරාජය කිරීමට ජේ.ආර්. ජයවර්ධන සැලසුම් කළේ ය. රාජාසන කතාවට ඉදිරිපත් කරන ලද ස්තුති යෝජනාව පිළිබඳ විවාදය අවසානයේ පැවති ඡන්ද විමසීමේ දි සී.පී. ද සිල්වා මහතා ප්රමුඛ ආණ්ඩු පක්ෂෂයේ මන්ත්රීවරුන් 14 දෙනෙකු විරුද්ධ පක්ෂෂය සමග ඡන්දය දිම නිසා ආණ්ඩු පක්ෂෂය එක් ඡන්දයකින් පරාජය විය.
රාජාසන කතාවේ දි තමන් පරාජය කිරීමට සංවිධාන වැඩ පිළිවෙළක් තිබෙන බව අවසාන මොහොත දක්වා ආණ්ඩුව දැන සිටියේ නැත. එන්.එම්. පෙරේරා සිටියේ එංගලන්තයේ ය. බර්නාඩ් සොයිසා සිටියේ කැනඩාවේ ය. තමන් පාර්ලිමේන්තුවට එමින් සිටි රථයේ රෝදයේ හුළං යාම නිසා ආණ්ඩු පක්ෂෂයේ පස්සර මන්ත්රී අමරානන්ද රත්නායක මන්ත්රීවරයාට කලට වේලාවට පාර්ලිමේන්තුවට එන්නට නොහැකිව තිබුණේ ය.
ජනතා විමුක්ති පෙරමුණ පොදු පෙරමුණ සමග ඇතිකරගෙන තිබුණු පරිවාස ආණ්ඩුව බිඳ වැටුණේ ද මීට සමාන ආකාරයකට ය. විශ්වාස භංගය විවාදයට ගැනීමට ආණ්ඩුව ඉක්මන් දිනයක් දෙන බව දෙන විට විශ්වාසභංගයෙන් තමාට ජයගත හැකි වනු ඇතැයි ආණ්ඩුවේ අවංක තක්සේරුව වී තිබුණි. ආණ්ඩුව මුස්ලිම් කොංග්රසය දෙනු ලැබූ සංඥාවලට සේ ම අභ්යන්තර කැරැල්ලට සම්බන්ධ වී සිටි සමහර අය යවනු ලබන සංඥාවලට ද රැවටී සිටියේ ය.
තමන්ගේ තත්ත්වය ඉතාමත් අයහපත් බව ආණ්ඩුව දැනගත්තේ 8 වැනිදා එක් අයෙකුගෙන් ඇරඹුණු විරුද්ධ පක්ෂයට එකතු වන පෙරහැර 9 වැනිදා දෙදෙනෙකු දක්වා වර්ධනය වීමෙන් පසුවය. ආණ්ඩුව විශ්වාසභංගයට මුහුණ දුන්නේ නම් පෙරහැරට එකතු වන සංඛ්යාව වඩා විශාල වී ආණ්ඩුව දැන් සිටින තත්ත්වයටත් වඩා දුර්වල තත්ත්වයකට වැටෙන්නට ඉඩ තිබුණි. ඒ තත්ත්වය යටතේ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා හැර අනුගමනය කරන්නට වෙනත් විකල්පයක් ආණ්ඩුවට නොතිබුණි.
මේ ආණ්ඩු පෙරළි දෙකේදිම මුදල් ප්රධාන යම් කාර්ය භාරයක් ඉටු කළේය. එහෙත් ආණ්ඩුව අභ්යන්තරයේ පැවති අතෘප්තිය බිඳ වැටීම කෙරෙහි බලපෑ ප්රධාන සාධකය විය.
මේ ආණ්ඩු පෙරළි දෙකම පාර්ලිමේන්තු කුමන්ත්රණ ලෙස සැලකිය හැකිය. එහෙත් ඒවා මහජන මතය බලහත්කාරයෙන් කොල්ලකන ලද අවස්ථා ලෙස සැලකිය නොහැකිය. 64 පාර්ලිමේන්තු කුමන්ත්රණය වන අවස්ථාව වනවිට මහජන මතය තිබුණේ ශ්රී ලංකා සමසමාජ හවුල් ආණ්ඩුවට පක්ෂව නම්, ඉන් පසුව පවත්වනු ලබන මහ මැතිවරණයෙන් ජය ලැබිය යුතුව තිබුණේ ශ්රී ලංකා සමසමාජ හවුලටය. 1960 ජූලි මැතිවරණයෙන් ශ්රීලනිපය තනිව ලබාගත් ආසන සංඛ්යාව 75කි. එජාපය 30කි. එහෙත් 1965 මාර්තු මැතිවරණයෙන් එජාප ආසන 66ක් දිනාගන්නා විට, ශ්රීලනිපය හිමිවූයේ ආසන 41ක් පමණ. ලංකා සමසමාජ පක්ෂයේ ආසන සංඛ්යාව ද 12 සිට 10 දක්වා පහත වැටී තිබුණි.
64 පාර්ලිමේන්තු කුමන්ත්රණය ක්රියාත්මක වන අවස්ථාව වනවිට බලයේ සිටි ශ්රී ලංකා සමසමාජ හවුල් ආණ්ඩුව කෙරෙහි පැවති මහජන විශ්වාසය බිඳ වැටී නව ආණ්ඩුවක් ඉල්ලා සිටින තත්ත්වයකට පත්ව සිටි බව ඉන් පෙන්නුම් කරයි. ඒ ධර්මතාව අද රටේ පවත්නා තත්ත්වයට ද ගැලපෙන්නේය.