ශ්රී ලංකාවේ නූතන පාර්ලිමේන්තු දේශපාලනය මජර ගලන කුණු වූ තුවාලයක් ලෙස සැලකිය හැකි නම් ඒ තුළ සිටින සියලු දේශපාලන පක්ෂෂ (පොදු පෙරමුණ, එක්සත් ජාතික පක්ෂෂය හා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු) එම කුණු වූ තුවාලයෙන් ගලා යන මජර බී ජීවත් වන ඉහඳ පණුවන් ලෙස සැලකිය හැකි ය.
පොදු පෙරමුණේ පිරිසක් විපක්ෂෂයට එකතු වීම, ඔවුන්ට එරෙහිව ආණ්ඩු පක්ෂෂය නගමින් තිබෙන චෝදනා නැවත ඔවුන් ආණ්ඩු පක්ෂෂයට එල්ල කරමින් තිබෙන චෝදනා, ඒ ගැන එක්සත් ජාතික පක්ෂෂය හා ජනතා විමුක්ති පෙරමුණ කරමින් තිබෙන විචාර රටේ දේශපාලනය කුණු වී තිබෙන තරම මනා ලෙස පෙන්නුම් කරයි.
කලක් එස්.බී. එජාපයේ කෝපයට හේතු වී සිටි ලොකුම දුෂ්ඨයා වූයේ ය. එසේ ම ඔහු ජනාධිපතිනියටත් පොදු පෙරමුණු ආණ්ඩුවටත් සිටි හොඳම වීරයා වූයේ ය. දැන් එක්සත් ජාතික පක්ෂෂයට දුෂ්ඨයා වීරයා වී සිටින විට ආණ්ඩුවට වීරයා දුෂ්ඨයෙකු වී සිටින්නේ ය.
කලක් ජනතා විමුක්ති පෙරමුණට විජය කුමාරතුංග පමණක් නොව ඔහුගේ බිරීඳ චන්ද්රිකා කුමාරතුංග පෙනුණේ ද ජීවත් නොකළයුතු තරමේ ද්රෝහීන් ලෙස ය. චන්ද්රිකා කුමාරතුංග ජනතා විමුක්ති පෙරමුණ දැක්කේ ද අනුකම්පා විරහිතව විනාශ කළ යුතු ව්යාපාරයක් වශයෙනි. එහෙත් අද ඒ දෙපිරිසම කිරීපැණ තරමට යාළු ය.
ජනතා විමුක්ති පෙරමුණට පොදු පෙරමුණ අත්හැර ගිය සියලු දෙනා පෙනෙන්නේ දූෂිත තක්කඩින් ලෙස ය. එහෙත් ආණ්ඩුව තුළ සිටින දූෂිත තක්කඩින් පිළිබඳව ඔවුන් මුළුමණින් නිහඬ ය. මැතිවරණ දූෂණවලදි එස්.බී. රගපෑ භූමිකාව සඳහා ඔවුන් පුන පුනා කථා කරතත්, අනුරුද්ධ රත්වත්ත, මහීපාල හේරත් වැනි අය ගැන මුළුමණින්ම නිහඬය. බැංකු පොලුකාරයින් ගැන කථා කරන විට ඔවුන් කථා කරන්නේ ද යශෝධා ගැන පමණය. ජනාධිපතිනියගේ විශ්වාසවන්තම මිතුරා ලෙස සැලකිය හැකි රොනී පිරිස් ගැන ඔවුන් නිහඬය.
පොදු පෙරමුණෙන් මන්ත්රීවරුන් 9 දෙනෙකු විපක්ෂෂයට ගිය අවස්ථාවේ දි මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ “පොදුජන වරමින් පාර්ලිමේන්තුවට පැමිණ මෙරට අඩු ආදායම් ලාභී ජනතාවගේ ආර්ථික සමෘද්ධිය සඳහා වෙන් කළ මුදල් ගසා කමින් සුවිශාල මාළිගා ඉදිකර ඇති පුද්ගලයින් ද රටේ ස්වාභාවික සම්පත් විනාශ කරමින් ස්වාභාවික වනාන්තර දැව ජාවාරම්කාරයන්ට අලෙවි කරමින් කෝටි ප්රකෝටි ගණනින් ඉපැයූ මුදලින් කොළඹ හතේ පමණක් නොව විදේශයන්හි ද සුඛෝපභෝගී නිවාස මිලදි ගෙන ඇති පුද්ගලයින් ද ඇගලුම් කම්හල්වලට ලබාදිය යුතු ඇගලුම් කෝටා කළු කඩයට විකුණමින් අයුතු ලාභ ලැබූ පුද්ගලයින් ද ජාවාරම්කාරයින්ගේ පාර්ලිමේන්තු නියෝජිතයන් බවට පත්ව ඇති බව ය.”
ඒ මගින් මංගල සමරවීර ඇමතිවරයා කියන්නේ පොදු පෙරමුණෙන් ඉවත්ව ගිය හිටපු ඇමතිවරුන් තිදෙනාම හොර තක්කඩින් බව ය.
තවත් දිනෙක රූපවාහිනී සාකච්ඡාවක දි මංගල සමරවීර ඇමතිවරයා කිව්වේ අහසින් ගමන් කරන්නෙකුට උඩරට කඳුකරයේ මාළිගා දෙකක් දැකිය හැකි බවත් ඉන් එකක් නුවර දළදා මාළිගාව බවත් අනෙක් මාළිගාව ඇත්තේ හගුරන්කෙත බවත් ය. එස්.බී. දිසානායක මහතා විවාදයට හේතු වී තිබෙන සිය නිවෙස ගැන කීවේ තමන් හගුරන්කෙත නිවසක් ඉදිකළ බව සත්යයක් බවත් එහෙත් තමාට නයිල් ගග ඉවුරේ සුඛෝපභෝගී මාළිගා නැති බවත් කාමර 4කින් යුතු සිය නිවස ඉදිකිරීමට තමාට ලක්ෂෂ 150ක් වියදම් වූ බවත් ය.
ඉන් පසු මංගල සමරවීර කීවේ ලක්ෂෂ 150ක් වැය වී ඇතැයි කියන එස්.බී. දිසානායක මහතාගේ හගුරන්කෙත නිවස ඉදිකිරීමට අඩුම වශයෙන් රුපියල් ලක්ෂෂ 600කට වඩා වැයවන බවත් රුපියල් 17,000ක වැටුපක් ලබන ඇමතිවරයකු ගෙයක් සාදන්න රුපියල් ලක්ෂෂ 600ක් වැය කළේ කෙසේද යන්න ප්රශ්නයක් බවත් ය.
එස්.බී. දිසානායකගේ මාළිගාව ගැන චෝදනා කරන ජනාධිපතිනිය ඇතුළු ආණ්ඩු පක්ෂෂයේ සියලු දෙනාට එස්.බී., ආණ්ඩුව අත්හැර යන තුරු ඒ මාළිගාව ප්රශ්නයක් වූයේ නැත. 2000 ජනාධිපතිවරණය පැවති කාලයේ දි ජනාධිපතිනිය ද ඒ මාළිගාවට ගියා ය. මංගල සමරවීර ඇතුළු බොහෝ ඇමතිවරුද අවස්ථා ගණනාවක එහි ගොස් කා බී ප්රීති වූහ. එහෙත් ඒ කිසිවෙකුට ඒ කාලයේ එය ප්රශ්නයක් නොවී ය.
තමන් සමග සිටින තෙක් දූෂණයට ඉඩ දෙන හා වෙන්වීමක් ඇතිවුවහොත් පමණක් ඒ දූෂණ පසුපස හඹා යන ධර්මතාවක් රටේ ක්රියාත්මක වන බව ඉන් පෙනී යයි.
වෙන්ව ගිය ඇමතිවරුන් ජනාධිතිනියට එරෙහිව ඉදිරිපත් කරන චෝදනා ද ඉතාමත් බරපතල ය. ඇගේ ප්රමාදය ගැන එස්.බී. කරන විග්රහය මෙසේ ය.
“චන්ද්රිකා කුමාරතුංග ජනාධිපතිනිය වෙලාවට වැඩ කිරීමට නොදනී. කාලය කළමනාකරණය කිරීමට නොදනී. ප්රමාදය විනාඩි 10ක් 15ක් නොව පැය 3ක් හෝ 4කි. මහරැජිණටත්, ඇමරිකාවේ ජනාධිපතිටත් ඉන්දියාවේ අගමැතිටත් ප්රමාද වී ගොස් ඇය ලෝක වාර්තා තබා ඇත. එහෙත් ඇය ප්රමාද වන බව නොපිළිගනී.
ජනාධිපතිනියගේ අමාත්යාංශ ප්රගති සමාලෝචන රැස්වීම් හැමදාම කල් තබන කාලය මරන විකාරයකි. උදේ 10ට වෙලාව දුන්නොත් රැස්වීම්වලට එන්නේ සවස 4.00ට ය. සවස 4.00ට වෙලාව දුන්නොත් එන්නේ රාත්රී 10.00ට ය. නිලධාරින් ටයි කෝට් දාගෙන රටේ නායිකාව හමුවීමට ගොස් පැය 5-6ක් ඇය ප්රමාද වන විට සාකච්ඡා පවත්වන මානසිකත්වයක නිලධාරීන් නැත. සාකච්ඡා සිදුවන්නේ ද නැත. ජනාධිපතිනිය සුපුරුදු ලෙස ඇගේ තීක්ෂෂණ බුද්ධිය හා කාර්යාක්ෂෂමතාව ගැන සම්පූර්ණයෙන් අසත්ය වූ ආත්ම වර්ණනා දේශනයක් පවත්වා සභාව අවසන් කරයි.”
ජනාධිපතිනියගේ ප්රමාදය මුළු රටටම රහසක් නොවූවත් ඇමති මංගල සමරවීර කියන්නේ මෙතෙක් රටේ පහළ වූ සියලු නායකයින් අතරින් වඩාත්ම කාර්යක්ෂෂම නායිකාව ඇය බව ය. සුළු සුළු ප්රමාද තිබිය හැකි වුවත් රටේ අභිවෘද්ධිය පිණිස විශාල වෙහෙස මහන්සියක් දරන බව ය.
රටේ ජනාධිපතිනිය සියලු වැදගත් ආයතන තමන් අත තබාගෙන සිටින්නේය යන්න ඇයට එරෙහිව ඔවුන් ඉදිරිපත් කර ඇති තවත් චෝදනාවකි.
ඒ ගැන එස්.බී. කරන විග්රහය මෙසේ ය.
“ජනාධිපතිනිය අමාත්යාංශ රැසක් තමන් අත තබාගෙන සිටී. රටේ වැදගත්ම අමාරුම ලොකුම අමාත්යාංශය වූ මුදල් ක්රමසම්පාදන හා ආරක්ෂෂක අමාත්යාංශය ඇය යටතේ ය. නාගරික සංවර්ධන, නිවාස, මහජන උපයෝගිතා සමෘද්ධි, ක්රීඩා හා ජනමාධ්ය අමාත්යාංශය ඇය යටතේ ය.
මීට අමතරව ඇමතිවරුන්ට කැපී පෙනෙන වැඩක් කළ හැකි සෙවණ අරමුදල, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල, සංස්කෘතික අරමුදල වැනි ඒවා ද ඇය යටතේ ය. රාජ්ය ආයතන 80ක් පමණ ඇය යටතේ පාලනය වන අතර හිල්ටන් හෝටලයත්, සත්තු වත්තත්, ඇය යටතට ගෙන ඇත. මීටත් අමතරව විශාල පෝලිමේ තිබේ. මාස හය හතක් ප්රමාද වී අතුරුදහන් වන ලිපිගොනු අනන්තය. අප්රමාණ ය. රාජ්ය නායිකාවට අවශ්ය චිත්ත විවේකය වෙනුවට සන්සුන් බව වෙනුවට ජනාධිපති මනස අවුල් ජාලයකි. එය යකාගේ කම්මලටත් අන්තය.”
සියලු වැදගත් විශාල ටෙන්ඩර් හා පෞද්ගලීකරණ ක්රියාවලිය ජනාධිපතිනිය තමා වටා සිටින හිතමිතුරන් කිහිප දෙනෙකු සමග මෙහෙයවමින් සිටින බවට එල්ල වී තිබෙන චෝදනා, ජනාධිපතිනියට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා අතර තිබෙන බරපතලම චෝදනාව ලෙස සැලකිය හැකි ය. එස්.බී. දිසානායක මහතා ප්රකාශකර තිබෙන ආකාරයට ජනාධිපතිනියගේ කැබිනට් සංදේශ ඇමති මණ්ඩලය තුළ සාකච්ඡාවට ලක් කෙරෙන්නේ නැත. සිරිතක් වශයෙන් කැබිනට් සාකච්ඡා අවසාන වන අවස්ථාවේ දි ජනාධිපතිනියගේ කැබිනට් සංදේශයක් හෝ දෙකක් ඇති බව අගමැතිවරයා ප්රකාශ කරන අතර ඒවා සාකච්ඡාවට ලක් කිරීමකින් තොරව අනුමත කරන ධර්මතාවක් කැබිනට් මණ්ඩලය තුළ ක්රියාත්මක වේ.
ඇමරිකවේ ඉවාන්ස් ඉන්ටර්නැෂනල් සමාගමට නීත්යනුකූලව ලැබිය යුතුව තිබුණු ටෙන්ඩරයක් අවසාන මොහොතේ වෙනත් සමාගමකට ලබාදිම හේතුකොටගෙන ඉවාන්ස් ඉන්ටර්නැෂනල් සමාගමට රුපියල් කෝටි 25ක වන්දියක් ගෙවීමට ලංකාණ්ඩුවට සිදුවිය. ලොකෝමෝටිව් ටෙන්ඩරයත් ජනාධිපතිනිය මැදිහත් වී අවසාන මොහොතේ ප්රංශ සමාගමකට ලබාදිම ආශ්රයෙන් මතු වූ අර්බුදයක් නිසා මුදල් අමාත්යාංශයේ බී.සී. පෙරේරා මහතාට සිය තනතුර ද අත්හැර යාමට සිදුවිය. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට අදාළව ටෙන්ඩර් ක්රියාවලිය ද විවාදයට හේතු වී තිබුණි. කොළඹ කටුනායක අධිවේගී මාර්ග ටෙන්ඩරය පිටුපස සිටින ප්රධාන පුද්ගලයා බවට චෝදනා එල්ල වී තිබුණේ රොනී පිරිස්ට ය. දැන් එය හොඳින් තහවුරු වූ සත්යයක් බවට පත් වී තිබේ.
රොනී පිරිස් ජනාධිපතිනියගේ විශ්වාසවන්තම මිතුරා ය. විජය කුමාරතුංග ඝාතනයෙන් පසුව ජනාධිපතිනිය ආරක්ෂෂාව සඳහා විදේශගත වී සිටි කාලයේ ඇයට ආධාර කළ ප්රධාන පුද්ගලයා ය. 1994 දි පොදු පෙරමුණ බලයට එන තෙක් ම ඔහු ශ්රී ලංකාවේ කිසිම ව්යාපාරික කටයුත්තකට සම්බන්ධ පුද්ගලයකු නොවී ය. එහෙත් දැන් ඔහු ශ්රී ලංකාවේ කෙරෙන මහා පරිමාණයේ ටෙන්ඩර් ගනුදෙනු පිටුපස සිටින ප්රධාන පුද්ගලයකු බවට පත්ව තිබේ. කියන්නෑම් සමාගම මහජන බැංකුව මගින් රොනී පිරිස්ට අයත් බ්ලු ක්ලාස් ඉන්ටර්නැෂනල් සමාගම නමට මුදල් බැර කරන ලද සිද්ධියක් හෙළිදරව් වී ඇති අතර කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට කොන්ත්රාත්කාර සමාගම ලෙස ක්රියා කරන කියන්නෑම් සමාගම පිටුපස සිටින ප්රධාන අතරමැදියා ඔහු බව ඉන් මනා ලෙස තහවුරු විය.
ලංකා බැංකුවේ ලන්ඩන් ශාඛාව මේ පුද්ගලයාට ස්ටර්ලින් පවුම් 650,000ක (රුපියල් ලක්ෂෂ 845) ණයක් ලබා දි තිබෙන අතර එම ණය ආපසු නොගෙවා සිටින තත්ත්වයක් තිබියදි බැංකුවට අයවිය යුතු ලක්ෂෂ 150ක පොලියක් කපා හැරෙන ආකාරයට එම ණය මුදල ප්රතිලේඛන ගත කරවා ගැනීමට ද ඔහු සමත් වී සිටී.
හිරු ගුවන් විදුලි සේවය පවත්වාගෙ යන ඒබීසී පුද්ගලික සමාගමේ ප්රධාන හිමිකරුවා ද රොනී පිරිස් ය. එම සමාගම සතු මුළු කොටස් 8562673කින් කොටස් 3425068ක් රොනී පිරිස්ට අයත් බ්ලු ක්ලාස් ඉන්ටර්නැෂනල් සමාගම සතු ය. එම කොටස් අයිතියෙන් පමණක් 1999 වසර සඳහා හිමිකරගෙන තිබෙන ලාභය රුපියල් 15789568කි.
ජනාධිපතිනියට එරෙහිව කැරලිකාර කණ්ඩායමක් ඉදිරිපත් කරන චෝදනා ඉතාමත් බරපතල වුවත් ඒ සියලු බරපතල වැරදි ඉදිරියේ අවුරුදු 7ක් නිහඬව බලා සිටියේ ඇයිද යන්න ප්රශ්නයක් පවතී. ජනාධිපතිනිය තමාට අවශ්ය මහා පරිමාණයේ ටෙන්ඩර් කැබිනට් සාකච්ඡාවකට ඉඩ නොතබා කැබිනට් මණ්ඩලය ලවා අනුමත කරවා ගැනීමට සමත් වී නම් හා ඒ හැම අවස්ථාවකදි ම බරපතල වරදක් සිදුවන බව දැන දැනම කැබිනට් මණ්ඩල සාමාජිකයන් නිහඬව ඊට ඉඩ හරින ප්රතිපත්තියක් අනුගමනය කළේ නම් එවැනි ඇමති මණ්ඩලයක් සැලකිය හැක්කේ නපුංසක ඇමති මණ්ඩලයක් වශයෙන් පමණ ය.