පොදු පෙරමුණු ආණ්ඩුව ඉතිහාසයට එකතු වනු ඇත්තේ නායකත්වයේ උද්දච්චකම, අකාර්යක්ෂමතාව හා දූෂිත බව නිසා විනාශයට ගිය ආණ්ඩුවක් වශයෙනි. දේශපාලන නායකයකුගේ පැවැත්ම කෙරෙහි බලපාන ප්රධානම සාධකය වනුයේ ගෞරවයයි. ගෞරවය බිඳ වැටීමේ ප්රමාණයට සමානුපාතික ප්රමාණයට නායකයාගේ පැවැත්ම ද බිඳ වැටෙන්නේය.
චන්ද්රිකා කුමාරතුංග ජනාධිපතිනිය කෙරෙහි ආරම්භක අවස්ථාවේදි මහජනතාව ඇති කරගෙන තිබු අපේක්ෂාවන්ගේ ප්රමාණය ඉතා විශාල විය. ඇය හදිස්සියේම අහසින් කඩා වැටුණු නායිකාවක් වුවත්, ඇගේ නොපළපුරුදු බව නොසලකා ඇගෙන් සාධාරණ පාලනයක් අපේක්ෂා කළේය. වෛර දේශපාලනය වෙනුවට මහත්මා දේශපාලනයක් අපේක්ෂා කළේය. රාජ්ය පාලනයට කාන්දු වී තිබුණු දූෂිත බව අහෝසි කරනු ඇතැයි මහජනතාව ඇගෙන් අපේක්ෂා කළේය. රාජ්ය හිංසනයට නැවතීමේ තිතක් තබනු ඇතැයි මහජනතාව අපේක්ෂා කළේය. ජනවාර්ගික යුද්ධය අවසන් කොට ඇය රටට සාමය ලබාදෙනු ඇතැයි මහජනතාව අපේක්ෂා කළේය.
ඇය බලයට ආවේ මහජනතාවගේ ලේ කඳුළු හා ප්රජාතන්ත්රවාදී බලාපොරොත්තු මත්තේය. එහෙත් බලය ලැබී ටික කලකින් ඇය ඒ සියල්ල අමතක කළාය. ඇය නිදහසින් පසු බලයට පැමිණි උද්දච්චතම පාලකයා ලෙස සැලකිය හැකිය. රට ගැන අබමල් රේණුවක හෝ හැගීමකින් තොරව රට තමන්ගේ වැඩවසම් නින්දගමක් ලෙස සලකා ක්රියාකළ පාලකයා ලෙස ද සැලකිය හැකිය. තරුණ කැරැල්ලක් නොවීම හේතු කොටගෙන මහා පරීමාණයේ භීෂණයට ගිය නායිකාවක් නොවූවත්, කෘරවීමේ අවශ්යතාවක් ඇතොත් ඒ හැකියාව තමන් තුළ නොමඳව ඇති බව මැතිවරණවලදි යොදාගත් බිහිසුණු හා කුරිරු ප්රතිපත්තිවලින් මනා ලෙස පෙන්නුම් කර තිබුණාය. ඇගේ සියලු දුර්ගුණ අතර වඩාත්ම කැපී පෙනෙන දුර්ගුණය ලෙස සැලකිය හැක්කේ අකාර්යක්ෂමතාවයි. ඇය තමන් අකාර්යක්ෂමවීමෙන් නොනැවතී රාජ්ය යන්ත්රය පමණක් නොව මුළු මහත් රටමත්, අකාර්යක්ෂම තත්ත්වයකට ගෙන ආවාය.
ඇය තෝරා ගත් ඇගේ කැබිනට් සගයන් පළපුරුදු හා මනා දක්ෂයින් නොවිය හැකි වුවත්, නායිකාවට අවංක අවශ්යතාවක් තිබුණේ නම්, ඒ සියලු දෙනා යහපත්ව ක්රියාකරන තත්ත්වයකට යොමු කිරිමේ හැකියාවක් තිබුණි. එහෙත් නායකයකු වශයෙන් ඔවුන් වෙත ආදර්ශමත් වීමට ඇය අසමත් විය. තෝරා ගත් තම හෙංචයියන් කිහිපදෙනෙකුට මහා පරිමාණයෙන් රට ගසාකෑමට ඉඩ දෙන ප්රතිපත්තියක් මත පිහිටා ක්රියාකිරීම නිසා සිය දේශපාලන සගයින් දූෂණයට යොමුවීම පාලනය කිරීමට තිබෙන හැකියාව නැති කරගත්තාය. ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්රේමදාස වැනි පාලකයන් යටතේ පවා රටේ දූෂණයක් තිබුණත්, විශාල සංවර්ධනයක් ද තිබුණි. දූෂණයන් හැර කිසිම සංවර්ධනයක් ඇති නොවූ එකම යුගය ලෙස සැලකිය හැක්කේ චන්ද්රිකාගේ පාලන යුගයයි. නිදහස් වෙළෙඳ පොළ බලවේගයන්ගේ ස්වාභාවික ව්යාප්තිය විසින් ඇති කරන ලද සංවර්ධනයක් හැර එම යුගයේදි වෙනත් කිසිම සංවර්ධනයක් ඇති නොවීය. රට මුහුණ දි තිබෙන විදුලි අර්බුදය රට ඇද වැටී තිබෙන කාලකණ්ණභාවයේ තරම පෙන්නුම් කරන හොඳම දර්ශකය ලෙස සැලකිය හැකිය. චන්ද්රිකා පාලනය ආරම්භක අවස්ථාව වනවිට විදුලිබල මණ්ඩලය සතුව තිබූ ඉතිරිකිරිම්වල ප්රමාණය රුපියල් කෝටි 8000ක් වනවිට, අද විදුලිබල මණ්ඩලයේ ණයගැතියා ගේ ප්රමාණය ද රුපියල් කෝටි 8000කි. අද මහජනතාවට නින්දට යන්නට පෙර විදුලි ආලෝකයෙන් ජීවත් විය යුතු කාලය ජීවත් වන්නට සිදුවී තිබෙන්නේ අඳුරේය.
ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමයක් තුළ පරමාධිපත්යය බලය හිමිවිය යුත්තේ මහජනතාවටය. මැතිවරණවලදි තමන් කැමති පක්ෂයකට නිදහසේ ඡන්දය දිම එම බලයයි. එම බලය මහජනයා අභ්යාස කරන ප්රධාන මාර්ගයයි. චන්ද්රිකා කුමාරතුංග පාලනය ඉතාමත් සාහසික ප්රතිපත්තියක් අනුගමනය කර ඇත්තේ ද මේ විෂයයේදිය. 1997 පළාත් පාලන මැතිවරණයේ සිට පැවති හැම ඡන්දයක්මත් ජය ගත්තේ මැර බලයෙන් හා තක්කඩිකමිනි. 2000 ජනපතිවරණයේදි සේ ම, පාර්ලිමේන්තු මැතිවරණයේදි ලැබූ ජයග්රහණය පිරිසිදු ජයග්රහණයක් ලෙස සැලකිය නොහැකි අතර, දෙවැනි වර ලැබූ ජයග්රහණයෙන් පසු අවුරුද්දක තරම් කාලයක් යන්නට ප්රථම ආණ්ඩුවේ ඇද වැටීමක් ඇතිවීම කෙරෙහි බලපෑ එක් වැදගත් හේතුවක් ලෙස සැලකිය හැක්කේ ද එම ජයග්රහණයන්ට ආවේණික අන්ත දූෂිතභාවයයි.
විධායක ජනාධිපති ක්රමයක් තුළ පවා රටේ ප්රධාන විධායක මණ්ඩලය ලෙස සැලකෙන්නේ කැබිනට් මණ්ඩලයයි. රට පාලනය ඒක පුද්ගල රංගනයක් වූවා මිස, කැබිනට් මණ්ඩලයේ සාමූහික පාලනයක් නොවීය. ජනාධිපතිනිය මංගල සමරවීර වැනි එක් පුද්ගලයෙකු හෝ දෙන්නෙකු හැර වෙනත් කිසිවකු විශ්වාස නොකළාය. සියලු වගකීම් බදාගැනීමක් සිදුවූවා මිස, බෙදාගැනීමක් සිදු නොවීය. නූතන ලෝකයේ කවර තරම් දක්ෂ පාලකයකු වුවත්, රාජ්ය නායකත්වය සමග මුදල් විෂය සියතට ගත්තේ නැත. ඉතාමත් කාර්යක්ෂම මුදල් ඇමති කෙනෙකුට වුවත්, එම ඇමති ධුරයේ දෛනික කටයුතු සඳහා පමණක් දිනකට පැය හත අටක් ගත කරන්නට සිදු වන්නේය. ජනාධිපතිනිය එම විෂය පිළිබඳ හරී අවබෝධයක් නැති කෙනෙකු වී සිටියදිත්, එය සියතට ගනිමින් රටේ මූල්ය කළමනාකරණය පමණක් නොව, රාජ්ය කළමනාකරණය ද අවුලක් බවට පත්කර ගත්තාය. සිය කැබිනට් සගයින්ට ඔවුන් නැති තැන ඔවුන් විවේචනය කරන ප්රතිපත්තියක් අනුගමනය කිරීම මගින් වැඩි දෙනෙකුගේ ගෞරවයට හේතු නොවන හා හාස්යයට හේතුවූ නායිකාවකගේ තත්ත්වයට පත්වෙමින් ඔවුන් කෙරෙහි වන සිය ග්රහණය අහිමි කරගන්නා තත්ත්වයකට පත්වූවාය.