යහපත් ආණ්ඩුකරණයක් සඳහා ප්රතිසංස්කරණය කළයුතුව තිබෙන ආයතන අතරින් ප්රමුඛම ස්ථානය ලැබිය යුතුව තිබෙන්නේ අධිකරණයටය. දැනට ඔළුවෙන් හිටුවා තිබෙන අධිකරණය දෙපයින් සිටුවීමෙන් තොරව ඇති කරන වෙනත් කිසිම ප්රතිසංස්කරණයක් ඵලදායී වනු ඇතැයි සිතිය නොහැකිය. 17 වැනි ව්යවස්ථා සංශෝධනය යටතේ ඇති වන ව්යවස්ථාදායක මණ්ඩලය ඉතාමත් අපකීර්තිමත් තත්ත්වයකට පත්ව සිටින අධිකරණ නායකයා තවදුරටත් එම තනතුරේ තබාගනිමින් අධිකරණ සේවා කොමිසමට සෙසු සාමාජිකයන් දෙදෙනා පමණක් පත් කරන ප්රතිපත්තියක් අනුගමනය කරන්නට බලාපොරොත්තු වේ නම්, ඒ මගින් පමණක් අධිකරණයේ යහපත් වෙනසක් ඇතිවනු ඇතැයි සිතිය නොහැකිය. අධිකරණයට අවශ්ය වී ඇත්තේ අධිකරණය නමැති ශරිරයේ ඇති කුණු ලේ ඉවත් කෙරෙන ශල්යකර්මයකි. මතුපිටින් පෙනෙන සරල ප්රතිකාරයක් එහි තිබෙන ප්රශ්නවලට පිළිතුරක් වනු ඇතැයි සිතිය නොහැකිය.
අධිකරණ ශරිරයේ ඇති ලේ කුණු කිරීමට හේතුවන විෂබීජ ඇතිවීම සරත් එන්. සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත්වීමත් සමග ආරම්භ වූ ක්රියාවක් ලෙස සැලකිය නොහැකිය. එය ඊට බොහෝ පෙර කලක සිට පැවති රෝගී තත්ත්වයකි. 1977න් පසු එම විෂබීජවල ව්යාප්තියේ වර්ධනයක් ඇතිවුවත් විෂබීජ පැතිරිමේ ආරම්භය ඇතිවූයේ ඊටත් පෙරාතුවය. අධිකරණ ශරිරයේ ඇති ලේ කුණු කරන තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය හැකි රෝගී තත්ත්වයන් දිගින් දිගටම තිබුණ ද එම විෂබීජවලට එරෙහිව ක්රියාකරන ප්රතිශක්තියක් ද තිබුණු බැවින් ලේ මුළුමණින් කුණු කරන තත්ත්වයට පත්වීමෙන් වැළකී තිබුණි. ඒත් සරත් එන්. සිල්වා මහතා අධිකරණයේ ප්රධානියා බවට පත්කිරීමත් සමග විෂබීජවලට එරෙහිව ක්රියා කිරීමට තිබුණු ප්රතිශක්තිමය හැකියාව බිඳ වැටී ක්රමයෙන් කුණු ලේ එහි ලේ නහරවලින් ගලා යන ප්රධාන ධාරාව බවට පත්ව ඇත්තේය.
තවදුරටත් අධිකරණය “යුක්තියේ දෙවොල ලෙස” සැලකිය නොහැකිය. බාහිර පෙනුම වෙනස් වී නැතත්, අභ්යන්තර ගුණය මුළුමණින් වෙනස්ය. පූජාසනය මත සිටින දෙවියා ද පැරණි අව්යාජ දෙවියා නොව දේව වෙස් ගත් බොරුකාරයෙකි. වෙනදා පූජාසනය වෙත එන බැතිමතුන්ගේ දුක්ගැනවිලිවලට විසඳුම් දිමේදි සලකා බැලුවේ හරි වරද පමණක් වුවත්, දැන් එහි එන පුද්ගලයින්ගේ දේශපාලන පාට ද සැලකිල්ලට ගැනේ. සහන ලබාගත හැකි වී ඇත්තේ කෘතීම දෙවියන්ගේ කල්ලියට අයත් නීතිඥයන් මගින් කරුණු ඉදිරිපත් කෙරේ නම් පමණි. එම ධර්මතාවට නඩු කියන්නට රහසක් නොවන නිසාම එම කල්ලියට අයත් නීතිඥයන් ද ලබාගත හැකි මිල ද දෙගුණ, තෙගුණ වී තිබේ. මේ කල්ලියට අයත් නොවන අය දේවාල කාර්ය මණ්ඩලයේ සේවය කළත් ඔවුන්ට පිළිගැනීමක් හෝ අනාගතයක් නැත. “අපට අවනත වෙනු. නැතිනම් දේවාලයෙන් පිටවී යනු”යි කියන ධර්මතාවක් ක්රියාත්මක වෙමින් පවතී. යුක්තිය දේවාලයේ අරක්ගෙන සිටින මේ කල්ලියේ අඬුපඬු විධායකයේ සිට පාතාල ලෝකය දක්වා විහිද ඇති බැවින් මේ දූෂිත කල්ලියට එකග නොවන අය පවා ඔවුන්ට එරෙහිව නැගී සිටීමට බිය වෙති.
අධිකරණයේ ඇතිවී තිබෙන මෙම විපර්යාසයේ සමහර මූලික ලක්ෂණ විවාදයට හේතුවී තිබෙන මහේස්ත්රාත් ලෙනින් රත්නායක හා දිසා විනිසුරු උපාලි අබේරත්න සිද්ධීන් ආශ්රයෙන් දැකිය හැකිය.
ලෙනින් රත්නායක මහනුවර, ගලගෙදර ප්රදේශයේ සාමාන්ය පවුලකින් පැවත එන පුද්ගලයෙකි. ඔහුගේ සාමාන්ය පෙළ ප්රතිඵලවලින් පෙන්නුම් කෙරෙන්නේ ඔහුගේ අධ්යාපනික හැකියාවන් ඉතාමත් දිප්තිමත් තත්ත්වයක නොතිබුණු බවය. ඔහු ලබාගෙන තිබෙන සම්මාන සාමාර්ථයන් ගණන තුනකි. ඒ සිංහල භාෂාව, සිංහල සාහිත්ය හා බුද්ධ ධර්මය සඳහාය. ඉතිහාසය, ප්රජාචාරය හා භූගෝල විද්යාව යන විෂයයන්ට ලබාගෙන ඇත්තේ සාමාන්ය සාමාර්ථයන් තුනකි. එහෙත් ඔහු ගලගෙදර මහා විද්යාලයේ සිටි දක්ෂ කථිකයෙකු වූ බව ඔහුගේ සමකාලීනයෝ ප්රකාශ කරති. ඔහුට ලෙනින් යන නාමය පටබැඳී ඇත්තේ ද ඒ නිසාය.
ඔහුගේ පියා ටී.බී. ඉලංගරත්න මහතාගේ දේශපාලන ආධාරකරුවෙකි. ඒ මගින් ඔහු 1974දි ශ්රී ලංකා රක්ෂණ සංස්ථාවේ තුන්වැනි ශ්රේණියේ ලිපිකරුවෙක් වශයෙන් රක්ෂාවක් ලබාගත්තේය. ඔහුගේ මූලික වැටුප රුපියල් 310ක් විය.
ලෙනින් රත්නායක 1980දි විවාහ වන්නේ ද රක්ෂණ සංස්ථා සේවයේම නිරත කාන්තාවක් සමගය. ඇය ඔහුට වඩා තරමක් ඉහළ පවුල් පසුබිමක් සහිත කෙනෙකු වූ අතර එය ඔහු සමාජ ඉනිපෙතේ ඉහළට තබන වැදගත් ඉදිරි පියවරක් වූවා විය යුතුය. ලෙනින් රත්නායකට සරත් එන්. සිල්වා මහතාට නෑකම් කීමේ හැකියාවක් ලැබෙන්නේ ද මේ විවාහය නිසාය.
ලෙනින් රත්නායකට 1980දි උසස්වීමක් ලැබුණු අතර ඔහු දෙවැනි ශ්රේණයේ ලිපිකරුවකු වී නීති දෙපාර්තමේන්තුවේ තුන්වැනි පාර්ශ්වයේ හිමිකම් ලිපි ගොනු භාර ලිපිකරු ලෙස සේවය කළේය. විෂය භාර ලිපිකරුවා වශයෙන් ඔහු තෙවැනි පාර්ශ්වයේ හිමිකම් පිළිබඳ විෂය මනා ලෙස දැන සිටි අතර, ඉක්මනින් පොහොසත් වීමේ අරමුණ ඇතිව ව්යාජ ලෙස තෙවැනි පාර්ශ්වයේ හිමිකම් ඉදිරිපත් කොට තමන් වෙත වන්දි ලබාගන්නා ක්රමයක් ඔහු සංවිධානාත්මක ලෙස ක්රියාවට නංවමින් තිබුණේය. ඔහු කලක් තිස්සේ පවත්වාගෙන යමින් සිටි මේ කූට වැඩපිළිවෙළ සංස්ථා බලධාරින්ට අසුවුයේ ද අහම්බෙනි.
පසුකලක අධිකරණ සේවයට එකතු වන මෙම පුද්ගලයා කොතරම් තීක්ෂණ වංචාකාරයෙක් ද යන්න තේරුම් ගැනීම සඳහා මේ වංචාවට අදාළ සිද්ධීන්හි පසුබිම සොයා බැලීම වැදගත්ය.
සංස්ථාවේ නීති අංශය තුන්වැනි පාර්ශ්වයේ හිමිකම් පෑමක් සඳහා සකස් කරන ලද ලිපිගොනුවක් (අන්වා/84/148) අංකන අනුමැතිය සඳහා ප්රධාන අභ්යන්තර විගණක නිලධාරියා (ඩී.ආර්. සොන්නාදර) වෙත ඉදිරිපත් කළේය. ඊට අනුව එන්.ඒ.ඒ.ඊ.බී. පෙරේරා යන නීතිඥයා මගින් එවන එන්තරවාසියක් මගින් වන්දි මුදල ඉල්ලා තිබුණේ පේරාදෙණිය, ගොරකදෙණිය “සැනසුම” යන ලිපිනයේ පදිංචි සී. කුමාරසිංහ නමැති පුද්ගලයෙකි. වන්දිය ඉල්ලා තිබුණේ අනුරාධපුර, අලන්කලම රණතුංග හාල් මෝලේ පී.ඊ.එල්. රෂින් නමැති පුද්ගලයාට අයත් 28 ශ්රී 4623 දරන වාහනයේ කුමාරසිංහට අයත් 28 ශ්රී 7068 දරන වාහනය ගැටීමෙන් ඇතිවී තිබුණේ යයි කියන අලාභයක් සඳහාය. කුරුණෑගල මහේස්ත්රාත් අධිකරණයේ රෙජිස්ට්රාර්වරයා විසින් මේ සිද්ධියට අදාළ අංක 2677 දරන නඩුවේ සහතික කළ පිටපතක් ද, ඊටම අදාළව කුරුණෑගල පොලිසියෙන් ලබාගත් පොලිස් වාර්තාවක් ද ලිපිගොනුවට ඇතුළත් විය. අයදුම්කරුවන් ඉල්ලා තිබුණු වන්දිය රුපියල් 25,000කි. සංස්ථාවේ නීති අංශය අනුමත කර තිබුණු වන්දියේ ප්රමාණය රුපියල් 26486.50කි.
සොන්නාදර මහතා අවසාන අනුමැතිය සඳහා තමන් වෙත ලැබුණු ලිපිගොනුවට ඇතුළත් කරුණු නිවැරදිද යන්න සොයා බැලීම සඳහා තමන් යටතේ සිටින විෂය භාර ලිපිකරු (පී. මොහොට්ටි) අතට පත් කළේය. ඔහු ගොනුවට ඇතුළත් ලිපි ලේඛන පරික්ෂා කරන විට තැපෑලෙන් ලැබිය යුතු සමහර ලිපි පවා කවරයක බහා එවන ලද බවට නැවුම් සලකුණු ඇති බව දකින්නට ලැබී ඒ බව ප්රධාන විගණක නිලධාරීයාට දෑනුම් දුන්නේය. ලිපිගොනුවට ඇතුළත් කරුණු තවදුරටත් පරික්ෂා කිරීමට එහිදී තීන්දු විය.
අමුණා ඇති නඩු වාර්තාවේ සහතික පිටපත ව්යාජ එකක් බව කුරුණෑගල අධිකරණයේ රෙජිස්ට්රාර්වරයා වාර්තා කළේය. පොලිස් වාර්තාව ද ව්යාජ එකක් බව කුරුණෑගල පොලිසිය ද වාර්තා කළේය. තමාගේ ලොරිය නිවසක ගැටී ඇතත්, කිසිම වන්දියක් ඉල්ලා නැති බව රෂින්ගෙන් දෑනගත හැකිවිය. වන්දි ඉල්ලූම්කරු පදිංචි ලිපිනයේ සිටින්නේ කුමාරසිංහ කෙනෙකු නොව, එච්.ඒ.එම්. බණ්ඩා (ඔහු ලෙනින් රත්නායකගේ සහෝදරයාය) කෙනෙකු බව ද සොයා ගත හැකිවිය.
අභ්යන්තර විගණක නිලධාරියාගේ වංචාව ගැන සංස්ථාවේ සභාපතිට වාචිකව ද දැනුම් දුන්නේය. වංචාවට සම්බන්ධ පුද්ගලයන් අල්ලා ගැනීම සඳහා හිමිකම් ගෙවීම නිර්දේශ කොට යවා නිකුත් කෙරෙන චෙක්පත සඳහා ගෙවීමෙන් වළකින ලෙසට බැංකුවට රහසේ උපදෙස් දෙන ලෙසට සභාපතිවරයා ප්රධාන විගණක නිලධාරියාට උපදෙස් දුන්නේය.
ඒ අනුව ඔහු ලිපිගොනුවේ සඳහන් වන්දි ඉල්ලීම අනුමත කොට ලිපිගොනුව නීති දෙපාර්තමේන්තුවට ආපසු යැව්වේය. හිමිකම සඳහා රුපියල් 15,000ක චෙක්පතක් නිකුත් විය. හැම දෙයක්මත් තමන් සැලසුම් කරන ලද ආකාරයෙන්ම සිදුවී ඇතැයි සලකා ලෙනින් රත්නායක එම චෙක්පත මරදාන මහජන බැංකුවේ ඇති අංක 1613 දරන සිය ගිණුමට බැර කළේය. තමන් කොටුවී සිටින බව ලෙනින් රත්නායක දැනගත්තේ චෙක්පත මුදල් නොවී තමන් වෙත ආපසු හරවා එවූ පසුය.
ඒ සමග ඔහු සංස්ථා සේවයෙන් ඉල්ලා අස්වන බවට සංස්ථාව වෙත ලිඛිතව දැනුම් දුන්නේය. එම ඉල්ලා අස්වීම භාර නොගන්නා බවටත්, සිදුකරන්නට ගිය වංචාව වෙනුවෙන් වහාම ක්රියාත්මක වන පරීදි ඔහුගේ වැඩ තහනම් කරන බවත් සංස්ථාව ලෙනින් රත්නායකට පෙරළා ලිඛිතව දැනුම් දුන්නේය.
ඉන්පසු චෝදනා පත්රයක් සකස් කොට එය ලෙනින් රත්නායකට යවා දින 14ක් ඇතුළත ඊට පිළිතුරු දෙන ලෙස ඉල්ලා තිබුණත්, ඔහු ඊට පිළිතුරු නොදෙන තත්ත්වයක් ඉදිරියේ ඔහුට එරෙහිව පැවරෙන විනය පරික්ෂණයකට සහභාගී වන ලෙස ඔහුට සංස්ථාව දැනුම් දුන්නේය. දැන්වූ දින විනය පරික්ෂණයට සහභාගී නොවූ තත්ත්වයක් ඉදිරියේ විනය පරික්ෂණය වෙනත් දිනයකට කල් දමා එය ඒකපාක්ෂිකව පවත්වා චෝදනා 6ටම ඔහු වැරදිකරු කරමින් ඔහු සේවයෙන් පහ කරන ලද බව 1985 ඔක්තෝබර් 24 වැනි දින සංස්ථාව ඔහු වෙත දැනුම් දුන්නේය.
සේවයෙන් පහ කරන ලද ලෙනින් රත්නායක තමන් එවැනි හිමිකම් වංචා කර ඇත්දැයි සොයා බැලීම සඳහා ප්රධාන අභ්යන්තර විගණක නිලධාරිවරයා ඔහු විෂය භාර ලිපිකරු ලෙස ක්රියා කළ කාලසීමාවට අයත් නිරාකරණය කරන ලද ලිපිගොනු 25ක් පරික්ෂා කළේය. ඉන් හිමිකම් 7ක්ම ව්යාජ බව සොයාගත හැකිවිය. එම හිමිකම් 7න් පමණක් ඔහු කූට ලෙස උපයා ගෙන තිබුණු මුදල් ප්රමාණය රුපියල් 59,875ක් විය.
ලෙනින් රත්නායක විසින් කලක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබෙන මෙම වංචාවන් පිළිබඳව වංචා විමර්ශන අංශයට පැමිණිලි කරන ලෙසට සංස්ථා සභාපතිවරයා හා ප්රධාන අභ්යන්තර විගණන නිලධාරිවරයා බලධාරින් වෙත ලිඛිතව උපදෙස් දි තිබුණත්, මොනයම් හේතුවක් නිසා හෝ ඒ ගැන පොලිස් හෝ වංචා විමර්ශන අංශයට පැමිණිලි කිරීමක් සිදුවී නැත. එම සංස්ථාවේ වසර 10කට වැඩි කාලයක් සේවයේ නිරත පුද්ගලයකු වශයෙන් එවැන්නක් සිදුවීම වැළැක්වීමට අවශ්ය සම්බන්ධකම් ඔහුට තිබුණා විය යුතුය. ඔහුගේ බිරිඳ සේවය කළේ ද එම සංස්ථාවේමය.
සංස්ථා සේවයෙන් නෙරපා හරින අවස්ථාව වනවිට මේ තක්කඩියා දිගින් දිගට සංස්ථාවෙන් කරන ලද මුදල් වංචා මත ලක්ෂපතියකු බවට පත්ව සිටියා විය හැකිය. ඉන්පසු මේ තක්කඩියා සිය අපකීර්තිමත් ඉතිහාසය වසන් කරමින් 1987 ජූලි 5 වැනිදා ශ්රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන්නේය. ඉන්පසු 1991 වසරේ පැවති නීතිඥ සංගමයේ නිලවරණයේදි ලේකම් ධුරයට තරග කළ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතාගේ නිලවරණ සංවිධායකයා ලෙස ක්රියාකරන ලද්දේ ලෙනින් රත්නායකය. මෙය බලයේ සිටි එජාප ආණ්ඩුවට සම්බන්ධ බලවත් පිරිසකට සමීප වීමට කරන ලද ඉතා වැදගත් ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකිය. 1994 වර්ෂයේදි මේ තක්කඩි මිනිසා අධිකරණ සේවයට එකතු වන්නේ එසේ ඇති කරගන්නා සම්බන්ධකම් ඔස්සේය. අධිකරණ සේවයට ඇතුළත් කරගැනීම සඳහා ඔහු රෙකමදාරුකරන්නෙක් ලෙස ක්රියා කරන්නේ නීතිපති තිලක් මාරපන මහතා සහ නීතිඥ ඩබ්ලිව්.කේ. ප්රේමරත්න මහතාය. ඒ සඳහා මේ පුද්ගලයා චරිත සහතික ලබාගත්තේ ජනාධිපති නීතිඥ ඩී.එස්. විජේසිංහ හා ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන යන අයගෙනි.
මේ කිසිවකුත් මේ පුද්ගලයා නොම්මර එකේ තක්කඩියකු බව නොදැන සිටියා විය හැකිය. එහෙත් ඒ සියලු දෙනාට ලැබෙන බලවත්කම නිසාම මේ තක්කඩියාට අපහසුවකින් තොරව අධිකරණ සේවයට එකතුවීමට අවස්ථාවක් ලැබෙනවා පමණක් නොව, ඒ නිසාම පුහුණුව අවසන් කළ වහාම ජේයෂ්ඨ විශාල පිරිසක් අභිබවා දිසා විනිසුරුවරයකුගේ වැඩ ආවරණය කෙරෙන ආකාරයට මහව අධිකරණ කලාපයට පත්වීමක් ලබාගැනීමට ද සමත් වන්නේය.
ඉන්පසු මේ පුද්ගලයා තමන්ට හුරු පුරුදු තක්කඩිකම් කරන්නට වූයේ විනිශ්චයකාර ධුරය ආධාරකයක් කරගනිමිනි. තමන් සාමාන්ය මහේස්ත්රාත්වරයකුට වඩා බලවත් පුද්ගලයකු බව පෙන්නුම් කිරීම සඳහා මහව විජයබා විද්යාලයේ පවත්වනු ලැබූ පුස්කොළ ප්රදර්ශනයක් සඳහා නීතිපති සරත් එන්. සිල්වා මහතා එම උත්සවයේ ප්රධාන අමුත්තා වශයෙන් කොළඹින් මහවට ගෙන්වා ගත්තේය. ඒ වනවිටත් නීතිපති සරත් එන්. සිල්වා සමග සමීප සම්බන්ධතාවක් නොතිබුණේ නම්, ඔහු විසින් සංවිධානය කරන ලද එවැනි උත්සවයක් සඳහා නීතිපති වැන්නෙකු සහභාගි වනු ඇතැයි සිතිය නොහැකිය. ඉන්පසු එම ප්රදේශයේ තමන් විසින් සංවිධානය කරන ලද නිල ව්යාපාර සඳහා ප්රධාන අමුත්තා ලෙස අගවිනිසුරු ජී.පී.එස්. ද සිල්වා මහතා සහභාගි කරවා ගත්තේය.
ප්රදේශයේ භික්ෂූන් වහන්සේලාගේ සහාය දිනාගැනීම පිණිස විත්තිකරුවන්ට දඩ නියම කරන අවස්ථාවලදි ආණ්ඩුවට දඩ මුදල් නියම කරන ක්රමයක් වෙනුවට, තෝරාගත් පන්සල්වලට ද්රව්යමය වශයෙන් විවිධ භාණ්ඩ ලබාදිය යුතු ක්රමයක් පවත්වාගෙන ගියේය.
ආගමට බර, දැහැමි විනිසුරුවරයෙකු ලෙස පෙනී සිටිමින් අයථා ලෙස මුදල් ඉපැයීම හා උපරිම මට්ටමින් වනචරකමේ යෙදිම සඳහා විනිසුරු තනතුර ආධාරකයක් කොට ගත්තේය. ඔහුට මේ අරමුණ වෙනුවෙන් ප්රදේශයේ සමීප නීතිඥයින් කිහිපදෙනෙකු ද, සමහර පොලිස් නිලධාරින් හා බන්ධනාගාර නිලධාරින් ද උපරිම ලෙස ආධාර කළෝය.
හෙළිදරව් වී ඇති පළමු ස්ත්රී දූෂණ සිද්ධියේදි කාන්තාව මහේස්ත්රාත්වරයාට පාවා දෙන පිම්පියන් ලෙස ක්රියාකර තිබුණේ නීතිඥයන් දෙදෙනෙකි. ඔවුන්ගේ ස්වමි පුරුෂයන්ට එරෙහිව පවරා තිබූ නඩුවලදි ඔවුන්ගේ නීතිඥයන් ලෙස ක්රියාකරමින් ඔවුන් සතුව තිබූ සියලු මුදල් මේ නීතිඥයන් දෙදෙනා නීතිඥ ගාස්තු වශයෙන් ලබාගෙන තිබුණා පමණක් නොව, නීති විරෝධී ආකාරයකින් ඇප නොදි දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරයේ තබාගෙන සිටි සිය ස්වාමිපුරුෂයා නිදහස් කරගැනීමට අවශ්ය නම්, මහේස්ත්රාත්වරයාට දුරකතනයෙන් කතා කරන ලෙස කාන්තාව පොළඹවා ගෙන තිබුණේ ද ඉන් එක් නීතිඥයෙකි. රක්ෂිත බන්ධනාගාරයේ සිටි සිරකරුවාට, නීති විරෝධී ආකාරයකින් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා ගෙන සිටින විනිසුරුවරයා විසින් තමන් නිදහස් කිරීම සඳහා වන කටඋත්තරයක් ලබාගැනීමේ මුවාවෙන් සිය බිරිඳ ඔහු වෙත ගෙන්වා ගෙන ඇයව දූෂණය කොට ඇති බව ඇගෙන් දැනගන්නට ලැබුණුවිට සිරකරුවා ඒ නිසා තමන් තුළ ඇතිවූ වෛරය පහකර ගත්තේ බන්ධනාගාරයේ සිට උසාවියට එනවිට සගවා ගෙන රැගෙන ආ පල් කරන ලද අසූචි බෑගයක් එම තක්කඩි මහේස්ත්රාත්වරයාගේ ඔලුවේ හැලීමෙනි. එහි ඊළග ප්රතිඵලය වූයේ මහේස්ත්රාත්වරයා එහි සිටි බන්ධනාගාර නිලධාරින් සමග එක්ව ඔහුට පොලු වලින් පහර දි අත්පා බිඳ දැමීමය.
ඔහු රෝහල් ගත කළ පසුව මහනුවර රෝහලේ අධිකරණ වෛද්යවරයා (දොස්තර යූ.එස්. කොරසගල) සිරකරුවා මහේස්ත්රාත් ගැන කියන කතාවෙන් විශ්මයට පත්වී ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මහනුවර පළාත භාර සම්බන්ධීකරණ නිලධාරිවරයාට (එම්.එෆ්. මොහිදින්) ඒ බව දැනුම් දුන්නේය. ඒ සමග ඔහු ඒ පිළිබඳව පරික්ෂණයක් ආරම්භ කරන ලද අතර, එම පරික්ෂණය සිදුවෙමින් පැවැතියේ ද මානව හිමිකම් කොමිසමේ සාමාජිකයකු ලෙස ක්රියා කළ විශ්රාමලත් මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ටී. සුන්දරලිංගම් මහතාගේ අධීක්ෂණය යටතේය.
මහේස්ත්රාත්වරයාට අසූචි වලින් පහරදිමේ සිද්ධිය නිසා රක්ෂිත බන්ධනාගාරයේ සිටි සිරකරුවාගේ සියලු නඩු වෙනත් විනිශ්චයකාරවරයකු ඉදිරියට පත්කරන ලදුව අවුරුද්දකුත් දින 11ක කාලයක් එක දිගට ලෙනින් රත්නායක විසින් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා ගෙන සිටි සැකකරුගේ සියලු නඩුවලට ඇපදි මුදා හැරියේය. ඉන්පසු ඔහු සිය බිරීඳ සමග අධිකරණ සේවා කොමිසමට පැමිණ කොමිසමේ ලේකම්වරයා ඉදිරියේ මහේස්ත්රාත්වරයාට එරෙහිව වාචිකව පැමිණිලි කළේය. පැමිණිල්ල ලිඛිතව භාර දෙන ලෙස කොමිසමේ ලේකම්වරයා ඔහුගෙන් ඉල්ලා සිටියේය.
ඉන්පසු නීතිඥ කල්යානන්ද තිරාණගම විසින් මහේස්ත්රාත් අතින් දූෂණයට ලක්ව සිටි කාන්තාවගෙන් ද ඇගේ ස්වාමිපුරුෂයාගෙන් ද ලබාගන්නා ලද දිවුරුම් පෙත්සම් දෙකක් හා ශ්රී ලංකා මානව හිමිකම් කොමිසමේ මහනුවර පළාතේ සම්බන්ධීකරණ නිලධාරියා විසින් එම සිද්ධිය පිළිබඳව එතෙක් කරන ලද පරික්ෂණයේ නිරික්ෂණ ඇතුළත් වාර්තාවක් ද ඇතුළත් කොට 1997 අගෝස්තු 14 වැනි දින අධිකරණ සේවා කොමිසම වෙතත්, ශ්රේෂ්ඨාධිකරණය වෙතත් විධිමත්ව පැමිණිලි කළේය. එම පැමිණිල්ලේ පිටපතක් ජනාධිපතිනිය වෙත ද යවන ලදි. ශ්රේෂ්ඨාධිකරණය වෙත යවන ලද පැමිණිල්ල සුදුසු පියවර ගැනීම සඳහා අධිකරණ සේවා කොමිසම වෙත යොමු කරන ලද බව ශ්රේෂ්ඨාධිකරණ රෙජිස්ටාර්වරයා කල්යානන්ද තිරාණගම වෙත අගෝස්තු ලිඛිතව දැනුම් දුන්නේය. කල්යානන්ද තිරාණගමගේ පැමිණිල්ල මහේස්ත්රාත්වරයාට එරෙහිව කරන ලද පැමිණිල්ලක් පමණක් නොවීය. එම ස්ත්රී දූෂණ සිද්ධියේදි මහේස්ත්රාත්වරයාට පිම්පිකම් කළ නීතිඥයින් දෙදෙනාට එරෙහිව ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් ද වූයේය.
එහෙත් අධිකරණ සේවා කොමිසම මෙම මහේස්ත්රාත්වරයාට එරෙහිව ස්ත්රී දූෂණ චෝදනාවක් නගමින් ඉදිරිපත් කෙරුණු විධිමත් පැමිණිල්ලක් තමන් ඉදිරියේ තිබියදි හා ඒ ගැන “රාවය” පුවත්පත දිගින් දිගට හඬ නගන ප්රතිපත්තියක් ඉදිරියේ නිහඬව බලා සිටින පිළිවෙතක් අනුගමනය කළා මිස, තමන් යටතේ සිටින මේ මහේස්ත්රාත්වරයාට එරෙහිව ඉදිරිපත්වී තිබෙන චෝදනාවේ ඇත්ත නැත්ත සොයා බලන පිළිවෙතක් අනුගමනය කළේ නැත. අඩුම වශයෙන් මේ මහේස්ත්රාත්වරයා තුන්වැනි පාර්ශ්වයේ හිමිකම් වංචා කිරිමේ චෝදනාවක් යටතේ රක්ෂණ සංස්ථාවෙන් පළවා හරින ලද පුද්ගලයෙක් බවට චෝදනා එල්ල වී තිබියදි හා ඒ සිද්ධියට අදාළ ලෙනින් රත්නායකගේ වැඩ තහනම් කෙරෙන ලිපිය හා චෝදනා 6ටම ඔහු වැරදිකරු කරමින් සේවයෙන් ඉවත් කෙරෙන ලිපිය පුවත්පතේ පළකර තිබියදිත් මේ පුද්ගලයා කරුණු වසන් කරමින් අධිකරණ සේවයට පැමිණියෙකුය යන්න ගැනවත් අධිකරණ සේවා කොමිසම සොයා බැලීමක යෙදුණේ නැත. කවරාකාරයකින් හෝ කොමිසම පරික්ෂණයකට යාම වළකන තත්ත්වයක තබා ගැනීමට මේ දූෂිත මහේස්ත්රාත්වරයා සමත් වී තිබුණු අතර, ඒ වනවිටත් අධිකරණ සේවා කොමිසම කොතරම් දූෂිත තත්ත්වයකට පත්ව තිබුණේද යන්න ඉන් මනා ලෙස පෙන්නුම් කරයි.
මේ සිද්ධියේ දි මානව හිමිකම් ආරක්ෂකයා ලෙස සැලකෙන නීතිපති (සරත් නන්ද සිල්වා) රගපෑ භූමිකාව ද ඉතාමත් දූෂිතය. “රාවය” පුවත්පත මහේස්ත්රාත්වරයාගේ ස්ත්රී දූෂණ සිද්ධිය පළ කෙරුණු අවස්ථාවේදි එම ස්ත්රී දූෂක තක්කඩි මහේස්ත්රාත්වරයා ආරක්ෂාව සොයා යන පළමු පුද්ගලයා වූයේ නීතිපතිය. දූෂණයට ලක්වූවේ යැයි කියන කාන්තාව කියන කතාව පමණක් නොව, මහේස්ත්රාත්වරයා කියන කතාව ද පුවත්පතේ පළවී තිබුණේය. ඒ සමග මෙම කාන්තාව හා ඇගේ ස්වාමිපුරුෂයා මේ සිද්ධිය පිළිබඳව අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට පැමිණිලි කරන ලද බවට එම කතාවේ පැහැදිලිවම සඳහන් වී තිබුණි. එවැනි තත්ත්වයක් ඉදිරියේ මෙම මහේස්ත්රාත්වරයාට එරෙහිව අධිකරණ සේවා කොමිසම වෙත ස්ත්රී දූෂණ චෝදනාවක් පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේද යන්න සොයා බැලීමේ වගකීමක් නීතිපතිට තිබුණේය. එහෙත් ඔහු ඒ වෙනුවට කළේ තමන්ගේ හිතවත් හා ඥාති මහේස්ත්රාත්වරයාගේ ආරක්ෂාව සඳහා පුවත්පතට එරෙහිව පරික්ෂණයක් ආරම්භ කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කිරීමය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්රාත්වරයා අතින් දූෂණයට ලක්වූවේ යයි කියන කාන්තාවගෙන් කටඋත්තරයක් ගන්නවාට අතිරේකව රක්ෂණ සංස්ථාවේ මුදල් වංචාවට අදාළව මහේස්ත්රාත්වරයාට එරෙහිව එල්ල කර තිබුණු චෝදනාව ගැන ද සොයා බැලුවේය. එය සත්යයක් බව තහවුරු වී තිබුණු අතර, දූෂණයට ලක්වූ කාන්තාව ද එම සිද්ධිය පිළිබඳව විස්තරාත්මක කටඋත්තරයක් ලබා දි තිබුණාය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර උපදෙස් පතා එතෙක් කරන ලද පරික්ෂණයේ වාර්තාව නීතිපති වෙත යැවීය. එම පරික්ෂණ වාර්තාව පිළිබඳව අධිකරණ ඇමතිවරයා නීතිපතිගෙන් ලිඛිත විමසීමක් කරන ලදුව නීතිපති ඒ ගැන අධිකරණ ඇමතිවරයාට රහස්ය වාර්තාවක් ලියා යැවීය.
සිය මිත්ර හා ඥාති මහේස්ත්රාත්වරයා අධිකරණ සේවයේ එක් මොහොතක්වත් තබා නොගත යුතු තරම් අධම හා දූෂිත පුද්ගලයෙකු බව තේරුම් ගැනීමට නීතිපති ඉදිරියේ අවශ්ය තරම් කරුණු තිබියදිත්, ඔහු සත්ය වසන් කරමින් එම රහස්ය වාර්තාව මගින් එම දූෂිත හා අධම මහේස්ත්රාත්වරයා ආරක්ෂා කළේය.
ඉන්පසු මේ අධම මහේස්ත්රාත්වරයාට එරෙහිව දෙවැනි ස්ත්රී දූෂණ චෝදනාවක් ද ප්රසිද්ධියේ එල්ලවීම නිසා එතෙක් පවත්වාගෙන ආ නිහඬතාව අවසන් කරමින් මහේස්ත්රාත්වරයාට එරෙහිව එල්ල වී තිබෙන ප්රසිද්ධ චෝදනා පරික්ෂා කිරීම සඳහා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල පරික්ෂණ කමිටුවත් පත්කිරීමට අධිකරණ සේවා කොමිසමට සිදුවූයේය. ඒ පළමු ස්ත්රී දූෂණ චෝදනාව ප්රසිද්ධ වී වසරකුත් දින 11කට පසුවය. පරික්ෂණ කමිටුව සාක්ෂි සලකා බලා මහේස්ත්රාත්වරයාට එරෙහිව එල්ල වී තිබුණු චෝදනා හතරටම (ස්ත්රී දූෂණ චෝදනා දෙකට, රක්ෂණ සංස්ථාවේ තෙවැනි පාර්ශ්වයේ හිමිකම් වංචා චෝදනාව හා එම සිද්ධීන් යටපත් කොට අධිකරණ සේවයට ඇතුළත්වීම) වරදකරු කළේය.
ඉන්පසුත් අධිකරණ සේවා කොමිසම සමස්ත අධිකරණ සේවයම නින්දාවට ලක් කළ මේ අධම පුද්ගලයාට එරෙහිව දැඩි ප්රතිපත්තියක් අනුගමනය කළේ නැත. සිදුවූයේ එම අධම පුද්ගලයාට තවදුරටත් වැඩ නොකර පඩි ලබාගනිමින් තමන්ට ලැබී තිබුණු නිල රථය ද තවදුරටත් තමන් වෙත තබාගත හැකි ආකාරයට ඔහු අනිවාර්ය නිවාඩු යැවීමය. ඉන්පසු ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරිමේ වගකීම නීතිපති දෙපාර්තමේන්තුවට පවරනු ලැබූවත්, අනිවාර්ය නිවාඩු යවන ලද දින සිට අද දක්වා වසර දෙකකටත් වැඩි කාලයක් ගතවී ඇතත්, තවමත් එම අධම පුද්ගලයාට එරෙහිව චෝදනා ගොනු කිරීමක් කළේ නැත.
ඒ වෙනුවට සිදුවී ඇත්තේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ එන විධිවිධානයන්ට පටහැනිව ලෙනින් රත්නායකට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා පරික්ෂා කිරීම සඳහා විශ්රාම ගිය මහාධිකරණ විනිසුරුවරයෙකු (සරත් ගුණතිලක මහතා) තවත් ඒක පුද්ගල පරික්ෂණ කමිටුවක් පත් කිරීමය. මෙය ත්රිපුද්ගල පරික්ෂණ කමිටුවේ නිගමනයන්ගෙන් පසුව අධිකරණ සේවා කොමිසම ගනු ලැබූ තීරණයට මුළුමණින් පටහැනි ක්රියාවකි. අධිකරණ සේවා කොමිසම නීතිපති දෙපාර්තමේන්තුවට නියම කර තිබුණේ ලෙනින් රත්නායකට එරෙහිව චෝදනා ගොනු කොට ඔහුට නඩු පැවරිම සඳහා ක්රියා කරන ලෙසය. එහෙත් දැන් ඒ වෙනුවට සිදුවෙමින් පවතින්නේ ඊට වෙනස් ව්යවස්ථා විධිවිධානවලට ද පටහැනිව යන ආකාරයේ ක්රියාවකි. රටේ අගවිනිසුරුවයා අධිකරණ සේවා කොමිසම හා නීතිපති දෙපාර්තමේන්තුව කොතරම් දූෂිත තත්ත්වයකට පත්ව තිබේද යන්න ඒ එක සිද්ධියෙන් පමණක් වුවත් හොඳින් පෙන්නුම් කරන්නේය.