ව්යවස්ථා සභාව යටතට පැවරෙන ආයතන දේශපාලනකරණයෙන් මුදවා යහපත් ආණ්ඩුකරණයක් සහතික කිරීමට හේතුවන ආකාරයට එම ආයතන හරි ගමන් මගකට යොමු කිරීම ව්යවස්ථා සභාව සතු ප්රධාන වගකීමක් ලෙස සැලකිය හැකි ය.
මේ ක්රමය ශ්රී ලංකාවට නවමු අත්දැකීමකි. දේශපාලන ඇගිලිගැසීම්වලින් තොරව ස්වාධීන තත්ත්වයක තිබිය යුතු ආයතන ඕනෑම රටක පවතී. දේශපාලන වශයෙන් බලයට පත්වන රාජ්ය නායකයාට ස්වාධීන තත්ත්වයක තිබිය යුතු එවැනි ආයතන කෙරෙහි බලපෑමට තිබෙන ඉඩකඩ අහුරා එවැනි ආයතනවල ප්රධානීන් හා සාමාජිකයන් පත් කිරීම හා ඒවා නිසි ක්රියාකාරිත්වයක තබාගැනීමේ වගකීම ස්වාධීන පුද්ගලයින්ගෙන් සමන්විත මණ්ඩලයක් අතට පත් කිරීම ඇති කර තිබෙන මේ නව ක්රමයේ ප්රධාන පරමාර්ථය ලෙස සැලකිය හැකි ය.
මෙවැනි ව්යවස්ථා සභාවක සජීවී පැවැත්ම සඳහා ඊට මහජන පිළිගැනීමක් හා විශ්වාසයක් ලැබීම අත්යවශ්ය ය. ඒ සඳහා සම්මත හා ගරු කටයුතු පුද්ගලයින් පිරිසක් එම සභාවට පත්කරගැනීම අත්යවශ්ය ය. එහෙත් එයින් පමණක් එවැනි සභාවකට අවශ්ය මහජන පිළිගැනීමක් හා විශ්වාසයක් ලැබෙන්නේ නැත. මහජන විශ්වාසය හා පිළිගැනීම එහි ක්රියාකාරිත්වය මත රඳ පවතී.
කොතරම් හොඳ පුද්ගලයන් පිරිසකගෙන් සමන්විත වුවත් එය තමන් යටතට වැටෙන ආයතනවල ප්රධානීන් හා සාමාජිකයන් සඳහා පුරප්පාඩු ඇතිවන අවස්ථාවල දි එම පුරප්පාඩු පුරවන ආයතනයක් වශයෙන් පමණක් ක්රියා කරයි නම් ඊට මහජන පිළිගැනීමක් ලැබෙනු ඇතැයි සිතිය නොහැකි ය. එහෙත් එය ඉන් ඔබ්බට යමින් තමන් යටතේ ක්රියාකරන ආයතනවල ක්රියාකාරිත්වය දෙස නිරන්තර පරික්ෂෂාවකින් සිටින හා බරපතල වැරදි සිදුවන අවස්ථාවල දි මැදිහත් වී ඒවා නිවැරදි කරන තත්ත්වයකින් ක්රියා කරයි නම් ඊට විශාල මහජන පිළිගැනීමක් ලැබීම නොවැළැක්විය හැකි ය.
ව්යවස්ථා සභාවේ ආරම්භක ක්රියාකාරිත්වය ඊට තිබෙන ශක්තිය හා සීමා සහිතකම් උරගා බැලෙන ප්රධානම අවස්ථාව ලෙස ක්රියා කරනු ඇත. ව්යවස්ථා සභාව ඉතාම බලවත් ආයතනයක් වුවත් ඊට තිබෙන බලතල, වගකීම් හා යුතුකම් පිළිබඳ පැහැදිලි අර්ථකථනයක් එම ව්යවස්ථා සම්පාදනයට ඇතුළත් නැත. ඒ නිසා ඒ ගැන තීන්දු කිරිමේ වගකීම ලැබී ඇත්තේ ද ව්යවස්ථා සභාවට ය. පුද්ගලයන් පත් කිරීමට හෝ පත් කළයුතු පුද්ගලයන් නිර්දේශ කිරිමේ බලය ඇති ආයතනයකට තමන් පත් කරන හෝ නිර්දේශ කරන පුද්ගලයන් බරපතල වැරදි කරන අවස්ථාවල දි ඉවත් කිරීමේ බලය ද තිබිය යුතු ය. එවැනි බලයක් ඇති බව ව්යවස්ථා සංශෝධනයේ සඳහන් නොවනවා සේ ම එවැනි බලයක් නැති බව ද එහි සඳහන් වන්නේ නැත. ඒ නිසා එය නොපමාව නිරාකරණය කරගත යුතුව තිබෙන ගැටලුවකි.
සිය ක්රියාකාරිත්වය තීන්දු කිරිමේ දි මෙවැනි ආයතන ක්රමයක් ඇති කිරීම කෙරෙහි බලපෑ ප්රජාතන්ත්රවාදී අභිලාෂයන් මොනවාදැයි ව්යවස්ථා සභාව පළමු කොට තේරුම් ගත යුතු ය. මේ ආයතනවලට පුද්ගලයන් පත් කිරිමේ ක්රියාවලිය පමණක් නොව රටේ පොදු යහපතට හේතුවන ගමන් මගකට එම ආයතන යොමු කිරීම මෙවන් ක්රමයක් ඇති කිරීමට බලපෑ අපේක්ෂෂාව විය. ව්යවස්ථා සභාවේ ක්රියාකාරීත්වය එම අභිලාෂයන්ට අනුකූල විය යුතු ය.
ව්යවස්ථා සභාව ආරම්භක අවස්ථාවේ දි ම පටු සීමාවක හිරකර තැබීම ආණ්ඩුවේ අපේක්ෂෂාව වී තිබෙන බව ද පෙනී යයි. සමහර ආයතනවලට අලුතෙන් සාමාජිකයන් පත් කිරිමේ බලය ලබා දි ඇතත් තවත් සමහර ආයතනවලට අලුතෙන් පත් කිරිමේ බලය ලබා දි නැත. එසේ ම කොමිෂන් සභාවලට අලුතෙන් සාමාජිකයන් තෝරා පත් කිරිමේ බලය ලබාදි ඇතත් කොමිෂන් සභා තුනක සිටින ලේකම්වරුන් ද අල්ලස් හෝ දූෂණ කොමිසමේ සිටින අධ්යක්ෂෂ ජනරාල්වරයා ද තවදුරටත් එම තනතුරු දරන්නන් බවට පත් කර ඇත්තේ ය. ලබා දි තිබෙන බලතල හා ඇතිකර තිබෙන සීමා අතර බරපතල නොගැළපීමක් පවතී.
1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභා පනත අනුව ජනාධිපතිවරයා එම කොමිෂමේ අධ්යක්ෂෂ ජනරාල් පත්කළ යුත්තේ කොමිෂමේ සාමාජිකයන්ගෙන් විමසා ය. තමන්ට අවශ්ය අධ්යක්ෂෂ ජනරාල්වරයකු නිර්දේශ කිරිමේ බලය එම කොමිෂමේ කොමසාරිස්වරුන්ට තිබුණු බව ඉන් පෙනී යයි. එහෙත් එම කොමිසම අලුතෙන් සාමාජිකයන් තෝරා පත්කර ගැනීමේ දි ව්යවස්ථා සභාවේ හා පත් කරන කොමිෂන් සභාවේ කැමැත්ත අකමැත්ත නොසලකා දැනට අධ්යක්ෂෂ ජනරාල් ධූරය දරන පුද්ගලයා තවදුරටත් ඒ තනතුරේ තබා ගන්නට බල කිරීම කවර මට්ටමකින්වත් යුක්ති සහගත විය නොහැකි ය. අනෙක් අතට එම තනතුර පූර්ණ කාලීන තනතුරකි. එහෙත් වර්තමාන අධ්යක්ෂෂ ජනරාල්වරයා එම තනතුර දරන අතර නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේ සොලිසිටර් ජනරාලවරයකු ලෙස ද ක්රියා කරයි. මෙය පරස්පර විරෝධී තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. අනෙක් කොමිෂන් සභාවල ලේකම්වරුන් තවදුරටත් එම තනතුරුවල තබාගත යුතුද නැතිනම් වඩා සුදුසු වෙනත් පුද්ගලයන් එම තනතුරුවලට පත්කළ යුතුද යන්න තීන්දු කිරිමේ බලය ද ව්යවස්ථා සභාවට ලැබිය යුතු ය.
ව්යවස්ථා සභාව විසින් පළමුවෙන් ම කළ යුතු කාර්යයක් වනුයේ සභාව යටතට වැටෙන ආයතනවල හා ප්රධාන තනතුරු සතු වගකීම් පිළිබඳව නිසි අර්ථකථනයකට යාම ය. අද හැම තැනකම ඇත්තේ අන්තෝජටා බහිජටා තත්ත්වයකි. මානව හිමිකම් කොමිසමේ සභාපති මානව හිමිකම් නඩු විමසන ආයතනයක ප්රධාන විධායකයා ලෙස ක්රියා කරයි. ඒ සමග ඔහු මානව හිමිකම් උල්ලංඝණය කිරිම්වලට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ පැවරෙන සමහර නඩුවල දි මානව හිමිකම් උල්ලංඝණය කර ඇති බවට චෝදනා එල්ල වී ඇති චෝදනා ලාභීන් වෙනුවෙන් ද පෙනී සිටියි. මෙම පරස්පර විරෝධී ස්වභාවය නීතිපති, මැතිවරණ කොමසාරිස්, විගණකාධිපති යන අයවලුන්ගේ ක්රියාකාරිත්වය තුළ ද දැකිය හැකි ය.
ජනාධිපතිවරණ පෙත්සමේ දි මැතිවරණ කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිපති කථා කළේ ද ජනාධිපතිනියගේ පාර්ශවය වෙනුවෙනි. මැතිවරණ පෙත්සම්වල දි සිදු වී ඇති දූෂණ නොසලකා ජයග්රාහකයාගේ පැත්ත ගෙන ක්රියා කිරිමේ අයිතියක් මැතිවරණ කොමසාරිස්වරයාට ද නොතිබිය යුතු ය. මෙවැනි නඩුවල දි නීතිපතිගේ භූමිකාව සේ ම මැතිවරණ කොමසාරිස්වරයාගේ භූමිකාව ද මැදිහත් එකක් විය යුතු ය.
අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමට කොතරම් බලතල ලබා දි තිබුණත් ඔවුන් ක්රියා කරන්නේ නිසි අරමුණකින් තොරව නම් එය ද තේරුමක් නැති ආයතනයක් බවට පත්වන්නේ ය. හැම විට ම එවැනි ආයතනයක ප්රධාන අවධානය යොමුවිය යුත්තේ පුංචි පුංචි මිනිසුන් කෙරෙහි නොව බලවතුන් කෙරෙහි ය. රටේ ප්රධාන විධායක මණ්ඩලය ලෙස සැලකිය හැකි ඇමති මණ්ඩල සාමාජිකයන්, දෙපාර්තමේන්තු ප්රධානීන් එම ආයතනයේ ප්රධාන ඉලක්කය විය යුතු ය. වත්කම් හා බැරකම් නීතිය යටතට වැටෙන පුද්ගලයන්ගේ වත්කම් හා බැරකම් ප්රකාශ විමර්ශනය කිරීම එම කොමිසම වෙත පැවරි තිබෙන ප්රධාන වගකීමක් වුවත් කොමිසම යටත් පිරිසෙයින් ඒ වගකීමවත් ඉටු නොකළේ ය.
විගණකාධිපතිවරයා ඉටු කරමින් තිබෙන කාර්යභාරය ද ඉතාමත් දුර්වල තත්ත්වයක පවතී. ජනාධිපති අරමුදල තමන් විසින් විගණනය නොකරන ලද බව ඔහු විසින් ම පිළිගත්තේ ය. වෙනත් සිදුවී ඇති සියලු පුද්ගලිකකරණයන් සිදු වී ඇත්තේ ඔහුගේ පරීක්ෂෂාවට ලක් කිරීමකින් තොරව ය. මේ සෑම වැදගත් ආයතනයක් කෙරෙන් ම ප්රකාශ වී ඇති වැරදි ගමන් මග නිවැරදි කිරීම ව්යවස්ථා සභාවේ වගකීමකි. ඒ සෑම ආයතනයකම යුතුකම් හා වගකීම් පිළිබඳව නිසි ආරම්භයක් ලබා දෙමින් ඊට ගැළපෙන නිසි ක්රියාකාරීත්වයක් සහතික කරවා දිම ව්යවස්ථා සභාවේ වගකීමකි.
අධිකරණ සේවා කොමිසමට පුද්ගලයන් පත් කිරීම ව්යවස්ථා සභාවේ හොඳ නරක තීන්දු කරන වැදගත් ම අවස්ථාවක් වනු නොවැළැක්විය හැකි ය. කරන්නට තිබෙන සියලුම ප්රතිසංස්කරණ අතර වඩාත්ම ප්රමුඛ වන්නේ ද අධිකරණයයි. ව්යවස්ථා සභාව අධිකරණ සේවා කොමිසමක් පත් කරන්නට යන්නේ අධිකරණයේ ප්රධානියාට එරෙහිව දෝෂාභියෝගයක් එල්ල වී තිබෙන අවස්ථාවක දි ය. දෝෂාභියෝගයක් එල්ල වී තිබිය දිත් එම පරික්ෂෂණය අවසන් වන තුරු අගවිනිසුරුවරයා විනිශ්චය කටයුතුවලින් හා පරිපාලන කටයුතුවලින් ඉවත් වන ප්රතිපත්තියක් අනුගමනය කර නැත. ඒ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ විෂය භාර පරම් කුමාරස්වාමි මහතා ජනාධිපතිනිය වෙත දැනුම් දිමක් ද කර ඇතත් ඒ ගැන ජනාධිපතිනිය සේ ම අගවිනිසුරුවරයා ද නිහඬ ය. දෝෂාභියෝගයට ලක් වී සිටින අගවිනිසුරුවරයා ඉවත් කිරිමේ බලයක් ව්යවස්ථා සභාවට නැතත් දෝෂාභියෝගයේ පරික්ෂෂණ කටයුතු අවසන් වන තෙක් විනිශ්චය හා පරිපාලන කටයුතුවලින් ඔහු ඉවත් කොට තැබීමේ වගකීමත් ව්යවස්ථා සභාවට ඇත්තේ ය. අධිකරණ සේවා කොමිසමට පුද්ගලයන් පත් කිරිමේ දි දෝෂාභියෝගයට ලක්වී සිටින අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් සභාව කුමන ප්රතිපත්තියක් අනුගමනය කරන්නට යන්නේද යන ප්රශ්නය දෙස මුළු රටම බලා සිටින්නේ ය.