17 වැනි සංශෝධනයට ආවේණික බරපතල සීමිතකම් තිබියදිත්, ව්යවස්ථාදායක මණ්ඩලයක් හා ස්වාධීන කොමිෂන් සභා ක්රමයක් නීතිගත කරවා ගැනීමට හැකිවීම රටක් වශයෙන් තබන ලද ඉතා වැදගත් ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකිය.
ඒ සමස්ත ක්රියාවලිය තුළ වූ සීමිතකම් ද ඉතා විශාලය. එය ජනතාවගේ සංවාදයට ලක්කිරීමකින් තොරව නීතිගත වූ ව්යවස්ථා සංශෝධනයක් ලෙස සැලකිය හැකිය. ජනතාව ව්යවස්ථාදායක මණ්ඩලයක් හා ස්වාධීන කොමිෂන් සභා ක්රමයක් ගැන නාමික වශයෙන් දැන සිටියා මිස, ඒවා මොනවාද යන්න ගැන ජනතාවට වැටහීමක් නොතිබුණි. ඒ ගැන ජනතාවට වටහා දිම සඳහා වන ක්රියාවලියක් ද නොතිබුණි. අඩුම වශයෙන් කෙටුම්පත ව්යවස්ථානුකූල ද යන්න සලකා බැලීම පිණිස ශ්රේෂ්ඨාධිකරණයට යවන්නට පෙර කෙටුම්පත මහජනතාවට ප්රසිද්ධ කිරීමක්වත් සිදු නොවීය. එය ශ්රේෂ්ඨාධිකරණය විසින් ද අඩුවෙන්ම සලකා බැලු ව්යවස්ථා සංශෝධනය ලෙස සැලකිය හැකිය. එය ඒ වෙනුවෙන්ම සකස් කෙරුණ විශේෂ හා පුළුල් විනිශ්චය මණ්ඩලයක් අතට පත් නොකෙරුණේය. වෙනත් නඩු සලකා බැලීමට පත් කර තිබූ ත්රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ කරුණු සලකා බැලුණේද අනෙකුත් නඩු සලකා බැලුණු අතරතුර කාලයේදිය. මෙම ව්යවස්ථා සංශෝධනයට ආවේණික නරකම ලක්ෂණය ලෙස සැලකිය හැක්කේ එය පාර්ලිමේන්තුවේ විවාදයට ලක්වූයේ ද සම්මත වූයේ ද අවසාන කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොතිබියදිය. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවසාන කෙටුම්පතකින් තොරව ව්යවස්ථා සංශෝධන ඉතිහාසයේ ව්යවස්ථාවක් සංශෝධනය කෙරුණු පළමු අවස්ථාව ද මෙය විය හැකිය.
මෙම ව්යවස්ථා සංශෝධන ක්රියාවලියට ප්රධාන විරුද්ධ පක්ෂය වශයෙන් එජාපයෙන් ලැබුණු දායකත්වය ද ඉතාමත් දුර්වල මට්ටමක පැවතුණි. 17 වැනි සංශෝධනය සඳහා එම පක්ෂය ඉදිරිපත් කළ ප්රථම කෙටුම්පත පොදු පෙරමුණේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කළ ව්යවස්ථා සංශෝධනයට ඇතුළත් මෙම විෂයට අදාළ යෝජනාවලින් ඔබ්බට නොගිය ඉතාමත් දුර්වල කෙටුම්පතක් විය. විද්වතුන්ගේ සංගමය ඉදිරිපත් කළ කෙටුම්පත ඊට වඩා ශක්තිමත් තත්ත්වයක පැවති අතර, එජාපයේ කෙටුම්පතට එල්ල වූ දැඩි විවේචන සලකා එම පක්ෂය විද්වතුන්ගේ සංගමය ඉදිරිපත් කළ කෙටුම්පත මත පදනම් වූ නව කෙටුම්පතක් ඉදිරිපත් කළේය. ව්යවස්ථාදායක මණ්ඩලයේ සංයුතිය හැර අනෙක් සියලු කාරණාවලදි එය විද්වතුන්ගේ සංගමයේ කෙටුම්පතේ කාබන් කොපියක් විය. එම කෙටුම්පත තුළ ද දුර්වලකම් රාශියක් තිබුණත්, එය එම විෂය පිළිබඳ විශේෂඥ මට්ටමේ අයගේ සාකච්ඡාවට ලක් නොකරන තත්ත්වයක් ඉදිරියේ එහි ඇති අඩුපාඩුකම් හා වැරදි නිවැරදි කිරීමක් ද සිදු නොවීය.
ආණ්ඩුව තමන් විසින් සකස් කරන ලද කෙටුම්පත සඳහා එජාප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ කෙටුම්පත පාදක කොට ගන්නා විට ඒ තුළ තිබුණු වැරදි හා අඩුපාඩුකම් ද සිය වාසිය පිණිස දක්ෂ ලෙස යොදා ගත්තේය. නිදර්ශනයක් වශයෙන් පිහිටුවන නව ව්යවස්ථාදායක මණ්ඩලය යටතට එන නව කොමිෂන් සභා හතරට අතිරේකව ඒ යටතට එන දැනට ක්රියාත්මක තත්ත්වයක තිබෙන අනෙකුත් ආයතනවල ප්රධානීන් හා සාමාජිකයන් නැවත පත්කිරිමේ බලය ව්යවස්ථාදායක සභාවට ලබාදිම අත්යවශ්ය වුවද ඒ සඳහා වන ප්රතිපාදනයන් එජාපය සකස් කළ කෙටුම්පතට ඇතුළත් නොවූ අතර, එය ආණ්ඩුව විසින් දැනට පත් කරගෙන සිටින දේශපාලන හෙංචයියන් තවදුරටත් එම තනතුරුවල රඳවා තබා ගැනීමට ඉඩ දෙන ක්රමයක් වූ නිසා ආණ්ඩුව ද සිය කෙටුම්පතට ඒ සඳහා වන ප්රතිපාදනයන් ඇතුළත් කිරිමෙන් වැළකී සිටියේය.
ආණ්ඩුව සිය කෙටුම්පත පදනම් කොටගෙන නව කෙටුම්පතක් සකස් කරන විට එජාපය ආණ්ඩුව සකස් කරන කෙටුම්පත පිළිබඳව මනා සෝදිසියකින් නොසිටීම, මේ ව්යවස්ථා සම්පාදන ක්රියාවලියේදි විරුද්ධ පක්ෂයේ ප්රධාන පක්ෂය වශයෙන් එජාපය අතින් සිදුවූ බරපතලම වරද ලෙස සැලකිය හැකිය. පුදුමයකට මෙන් ආණ්ඩුව සිය කෙටුම්පත ශ්රේෂ්ඨාධිකරණයේ විමර්ශනයට යවන ලද අවස්ථාවේදි එජාපය අඩුම වශයෙන් මේ විෂය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති නීතිඥ මණ්ඩලයක්වත් ශ්රේෂ්ඨාධිකරණය වෙත නොයැවීය. අවසාන වශයෙන් සකස් කළ කෙටුම්පතකින් තොරව 17 වැනි සංශෝධනය විවාදයට ගැනීම හා එය සම්මත කරගැනීමට සහාය දිම පාර්ලිමේන්තු විෂය ක්ෂේත්රයේදි පාර්ලිමේන්තු විෂය පිළිබඳ වැඩිම පළපුරුද්දක් ඇති පක්ෂයක් වශයෙන් එජාපය කරන ලද බරපතලම වරද ලෙස සැලකිය හැකිය. තිබෙන අඩුපාඩුකම් මග හරවා ගනිමින් මෙම සංශෝධනයට එජාපය සහාය දිය යුතුව තිබුණත්, අවසාන වශයෙන් සකස් කළ කෙටුම්පතක් නොතිබුණේ නම්, අවසාන කෙටුම්පත සකස් කොට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමේ ක්රියාවලිය පසු දිනට කල් දම්මවා ගැනීමේ යුතුකමක් එජාපයට තිබුණේය.
යම් පමණකට අංගවිකල වූ තත්ත්වයකින් හෝ මෙවැනි ප්රතිසංස්කරණ වැඩපිළිවෙළක් නීතිගත කරවා ගැනීමේ හැකියාව ලැබුණේ ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත්වීම නිසාය. ඒ සඳහා යම් ගෞරවයක් ජනතා විමුක්ති පෙරමුණට ලැබිය යුතුය. එහෙත් මේ ව්යවස්ථා සංශෝධන ක්රියාවලියේදි එම පක්ෂය රගපෑ භූමිකාව පරිණත හා ප්රශස්ථ මට්ටමක නොතිබුණි. ජනතා විමුක්ති පෙරමුණ සිය පරිවාස ආණ්ඩු වැඩපිළිවෙළින් පොරොන්දු වූ ව්යවස්ථා සංශෝධන වැඩපිළිවෙළ කෙසේ හෝ නීතිගත කරවා ගැනීමට උත්සාහ කළා විනා, එම යෝජනා නීතිගත කරන විට ඒවා තුළ තිබිය යුතු ගුණාත්මක අගය ආරක්ෂා කරගනිමින් ඒවා නීතිගත කරවා ගැනීමේ අවශ්යතාව ගැන ජනතා විමුක්ති පෙරමුණ නිසි සැලකිල්ලක් දැක්වූ බවක් පෙනෙන්නට නැත. සමහරවිට ආණ්ඩුව එකග කරවා ගැනීම සඳහා ප්රතිසංස්කරණ ක්රියාවලිය අංගවිකල තත්ත්වයකට පත් කරන යෝජනාවලට පවා ජනතා විමුක්ති පෙරමුණ එකග වූයේය. අගමැති හා විපක්ෂ නායකයා වැනි අයට ව්යවස්ථාදායක මණ්ඩලය තුළ නියෝජනයක් ලැබෙන්නේ නම්, මුළු රටේම ඡන්දයෙන් තේරි පත්වූ ජනාධිපතිනියගේ නියෝජිතයකු එහි සිටීම වරදක් වන්නේ කෙසේදැයි ප්රශ්න කරන තත්ත්වයකට පවා ජනතා විමුක්ති පෙරමුණ තල්ලුවී ගියේය.
අපේ රටේ පමණක් නොව, ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමයක් ක්රියාත්මක වන හැම රටකම රාජ්ය නායකයා හෝ නායිකාව සෘජු ලෙස හෝ අනියම් ලෙස තේරි පත්වන්නේ මහජන ඡන්දයෙනි. එහෙත් රාජ්ය නායකයා ප්රධාන විධායකයා වන නිසාම ස්වාධීන තත්ත්වයක තබාගත යුතු ආයතනවල ස්වාධීනතාව ආරක්ෂා කිරීම සඳහා එවැනි ආයතනවලට ප්රධානීන් හා සාමාජිකයන් පත් කිරීමට රජයේ නායිකාවට තිබෙන අයිතිය සීමා කරන ක්රමයක් බොහෝ රටවල ක්රියාත්මක වේ. ඇමරීකන් ජනාධිපති තෝරා පත්කර ගන්නේ ද මහජනයාය. එහෙත් සමහර තනතුරු සඳහා පුද්ගලයන් තෝරාපත් කිරිමේදි ජනාධිපතිවරයා කොංග්රසයේ අනුමැතිය ද ලබාගත යුතුය. එවැනි පත්කිරිම් සඳහා ඇමරිකන් ජනාධිපතිවරයා කොංග්රසයට එවන නම් කොංග්රසය විධිමත් ලෙස පරික්ෂා කරන අතර, ජනාධිපති නිර්දේශ කරන නම් ප්රතික්ෂේප කෙරෙන අවස්ථා බහුලව පවතී. ඇති කරන්නට යන ව්යවස්ථාදායක මණ්ඩල ක්රමය යටතේ ස්වාධීන තත්ත්වයක තිබිය යුතු ආයතන සඳහා ප්රධානීන් හා සාමාජිකයන් නිර්දේශ කිරිමේ බලය ඇත්තේ ව්යවස්ථාදායක මණ්ඩලය ඒ නිසාම ඒ තුළ ප්රධාන විධායකයාගේ අතක් තිබෙන්නට ඉඩ හැරිය යුතු නැත. ජනතා විමුක්ති පෙරමුණ එවැනි කාරණාවලදි තිබෙන අනවබෝධය නිසා හෝ, කෙසේ හෝ තමන් පොරොන්දු වූ දෙය ලබාදිමට ඇති උනන්දුව නිසා හෝ ජනාධිපතිනිය ඇතුළු ආණ්ඩුව සතුටු කිරීම සඳහා හෝ ව්යවස්ථා සංශෝධනයේ හරය ආරක්ෂා කරනු වෙනුවට එහි හරය විකෘති කරන ප්රතිපත්තියක් අනුගමනය කළේය. අධිකරණ සේවා කොමිසම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ කෙරෙන් ප්රකාශ වූ ප්රතිපත්තිය ද ඊට සමාන විය. කෙටුම්පත සම්පාදනය කළ ආචාර්ය ජයම්පති වික්රමරත්න මහතා එක් අතකින් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින විට, තවත් අතකින් සිය හිතමිත්ර අගවිනිසුරුවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියේය. එහිදී තමන්ගේද සහාය ඇති දෝෂාභියෝගයට ලක්ව සිටින අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් මුදු පිළිවෙතක් මිස දැඩි පිළිවෙතක් ජනතා විමුක්ති පෙරමුණ කෙරෙන් ප්රකාශ නොවීය. මාර්ක් ප්රනාන්දු, ආචාර්ය ඒ.ආර්.බී. අමරසිංහ වැනි ජේයෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනා අධිකරණ සේවා කොමිෂමෙන් බැහැර කොට එය අගවිනිසුරුවරයාට පාලනය කළ හැකි තත්ත්වයක තැබීම ජයම්පති වික්රමරත්න මහතාගේ අභිලාෂය වනවිට ජවිපෙරමුණ ඊට එරෙහිව යන ප්රතිපත්තියක් අනුගමනය කරනවා වෙනුවට එය අනුමත කරන ප්රතිපත්තියක් අනුගමනය කළේය.
පරීවාස ආණ්ඩුවක් සඳහා කෙරුණු ගනුදෙනුවේදි ජනතා විමුක්ති පෙරමුණ රගපෑ භූමිකාව ද දේශපාලන වශයෙන් බලන විට පරිණත හා මැදහත් තත්ත්වයක නොතිබුණි. සෘජු ලෙස ආණ්ඩුව සමග ගනුදෙනුවකට යනවා වෙනුවට ඒ වැඩපිළිවෙළ විරුද්ධ පක්ෂයට දෑනුම් දෙමින් ඔවුන්ගෙන් ඊට සහාය ඉල්ලා සිටින අතර, ඊට ඔවුන් එකග නොවේ නම් පමණක්, තනිව ආණ්ඩුව සමග ගනුදෙනු කරන තත්ත්වයකට යමින් එහිදීද විරුද්ධ පක්ෂ හතුරු බලවේගයක් ලෙස නොසලකා මිතුරු බලවේගයක් ලෙස සලකා ක්රියා කළේ නම් සියලු පක්ෂවලට අයත් මැදිහත් ජනයාගේ ගෞරවය ජනතා විමුක්ති පෙරමුණට හිමිවන්නට ඉඩ තිබුණේය. එහෙත් ආණ්ඩුව සමග පරිවාස වැඩපිළිවෙළකට යාමත් සමග ආණ්ඩුව පිළිබඳව කරන විවේචන මුළුමණින් අත්හිටුවා විරුද්ධ පක්ෂවලට දැඩි ලෙස පහර දෙන පිළිවෙතකට තල්ලුවීම නිසා විරුද්ධ පාක්ෂිකයන් ඉදිරියේ ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් පෙනුමක් වෙනුවට කඩා වැටෙන්නට නියමිත ආණ්ඩුවකට මුක්කු ගසන පෙනුමක් ලබා ගත්තේය.
ආණ්ඩුව පමණක් මේ සමස්ත සංශෝධන ක්රියාවලියේදි ඉතාමත් දක්ෂ සියුම් හා සටකපට ආකාරයකින් ක්රියා කළ බව පෙනී යයි. සමස්ත ප්රතිසංස්කරණ ක්රියාවලියේ හදවත ලෙස සැලකිය හැකි ව්යවස්ථාදායක මණ්ඩලය තමන්ට සියුම් ලෙස පාලනය කළ හැකි තත්ත්වයක තබා ගැනීම, ආණ්ඩුවේ දේශපාලන ආරක්ෂකයා වී සිටින අගවිනිසුරුවරයා ආරක්ෂා කරගැනීම, ඉදිරි මැතිවරණය සඳහා ස්වාධීන රූපවාහිනිය, “ලක්හඬ” හා ලේක්හවුසිය තමන්ගේ දේශපාලන වුවමනාවන් සඳහා යොදා ගත හැකි තැනක තබා ගැනීම සහ අරමුණු සපුරා ගනිමින් ඉල්ලා සිටින දේශපාලන ප්රතිසංස්කරණ ලබාදිම ආණ්ඩුවේ අරමුණ වී තිබුණු බව පෙනේ. එජාපයේ ආකල්පය වී ඇත්තේ දැන් ව්යවස්ථාදායක සභාව ආණ්ඩුවට පාලනය කළ නොහැකි තත්ත්වයක පවත්නා බවය. එහි ඇත්ත නැත්ත ඉක්මණන් උරගා බැලීමකට ලක්වීමට නියමිතය. මෙම ව්යවස්ථා සංශෝධනයෙන් අපේක්ෂිත ප්රතිසංස්කරණ අරමුණ රටට ලැබෙනු ඇත්තේ ද යන්න තීරණය වනු ඇත්තේ ද එහිදීය.