ජනතා විමුක්ති පෙරමුණේ පරිවාස වැඩපිළිවෙළට ඇතුළත් දේශපාලන හා එම එකගතා ගිවිසුමට ඇතුළත් සීමා මොනවා වුවත්, පොදු පෙරමුණ සමග ඇති කරගෙන තිබෙන එකගතා ගිවිසුම අනුව සැප්තැම්බර් 24 වැනි දිනට පෙර 17 වැනි ආණ්ඩුක්රම සංශෝධනයට ඇතුළත් ව්යවස්ථාදායක මණ්ඩලය හා ස්වාධීන කොමිෂන් සභා හතර නීතිගත කොට ස්ථාපිත කරගත හැකි වේ නම්, එය ශ්රී ලංකා දේශපාලන සංස්කෘතිය නව වෙනසක් සඳහා තැබෙන ඉතා වැදගත් ආරම්භක පියවරක් ලෙස ක්රියාකරනු නොඅනුමානය.
ඊට ඇතුළත් ව්යවස්ථාදයක සභාව හා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම පිළිබඳ අදහස දේශපාලන පක්ෂ අතරින්ආ අදහසකට වඩා සිවිල් සමාජය කෙරෙන් ආ අදහසකි. රටේ ආරක්ෂාව හා පැවත්ම නොසලකා දේශපාලනඥයන්ට හිතුවක්කාරි ලෙස ක්රියා කිරීමට තිබෙන ඉඩ උපරිම මට්ටමකින් ඇහිරිම ඒ වැඩපිළිවෙලේ අරමුණයි. දේශපාලන පිරමිඩයේ මුදුණත පිරිසිදු කොට එය සවිමත් කිරීම ඒ වැඩපිළිවෙලේ හරය ලෙස සැලකිය හැකිය.
ඇතැම් උගත් විචාරකයන්, ගොඩනගන්නට යන ස්වාධීන කොමිෂන් සභා ක්රමය මීට පෙර ගොඩ නගන ලද ස්වාධීන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සමග සසඳමින් ස්වාධීන අල්ලස් හා විමර්ශන කොමිසම අසාර්ථක වී මෙය පමණක් සාර්ථක වන්නේ කෙසේදැයි ප්රශ්න කරති. 17 වැනි ආණ්ඩුක්රම සංශෝධනය මගින් ගොඩනගන්නට යන යාන්ත්රණය ස්වාධීන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට සමාන නැත. එය ඊට මුළුමණින් වෙනස්ය. පළමු කොට ඒ මගින් ගොඩ නගන යාන්ත්රණයේ ස්වභාවය තේරුම් ගැනීම ඉතා වැදගත් ය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 17 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයට ඇතුළත්, ගොඩ නගන්නට ආරම්භ කරන ව්යවස්ථා සභාව පහත සඳහන් පුද්ගලයන් 8 දෙනෙකුගෙන් සමන්විත වේ.
1. කථානායක
2. අගමැති
3. විපක්ෂ නායක හා
පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වල නායකයන්ගෙන් විමසා අගමැති හා විපක්ෂ නායකයා විසින් ඒ්කාබද්ධව නම් කරනු ලබන්නා වූ සමාජයේ විශිෂ්ට හා ප්රමුඛ තත්ත්වයක් දරන්නා වූ පුද්ගලයන් පස් දෙනෙකුගෙනි.
ස්වාධීන තත්ත්වයක තිබිය යුතු සියලු ආයතනවල හා ප්රමුඛ වැදගත්කමක් ඇති ධුරවලට සුදුසුම පුද්ගලයින් පත් කිරීම හෝ නිර්දේශ කිරිමේ බලය ලැබෙන්නේ ව්යවස්ථාදායක සභාවටය. රාජ්ය නායකයාට සිය අභිමතය අනුව සුදුසු හෝ නුසුදුසු ඕනෑම පුද්ගලයෙකු පත්කිරීමට ලැබී තිබෙන අයිතිය අහිමි කොට සුදුසුම පුද්ගලයන් පමණක් එවැනි අංශවලට හෝ ධුරවලට පත් කළ හැකි ක්රමයක් ඇති කිරීම එහි ප්රධාන අරමුණයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ව්යවස්ථා සංශෝධන කෙටුම්පතට අනුව පහත සඳහන් අංශවල සභාපතිවරුන්, සාමාජිකයන් හා නිලධාරින් පත්කිරිමේ බලය ලැබෙන්නේ ව්යවස්ථාදායක සභාවටය.
1. ශ්රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් හා අගවිනිසුරු
2. අභියාචනාධිකරණයේ විනිසුරුවන් හා එහි සභාපති
3. නීතිපති
4. අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන්
5. විගණකාධිපති
6. මැතිවරණ කොමසාරිස් ජෙනරාල් හා මැතිවරණ කොමිසමේ සාමාජිකයන්
7. රාජ්ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන්
8. පොලති හා පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයන්
9. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සාමාජිකයන් හා එම කොමිෂමේ අධ්යක්ෂ ජනරාල්
10. පාර්ලිමේන්තු මහ ලේකම්
11. පාර්ලිමේන්තු කොමසාරිස්
12. මුදල් කොමිෂන් සභාවේ සාමාජිකයන්
13. ඡන්ද කොට්ඨාශ බෙදා වෙන්කිරිමේ කොමිෂන් සභාවේ සාමාජිකයන්
14. මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජිකයන්
අවශ්යයෙන්ම ව්යවස්ථා සභාව යටතට ආ යුතු ජාතික වැදගත්කමක් ඇති තනතුරු ගණනාවක් මේ කෙටුම්පතට ඇතුළත් කර නැත. ඒ අඩුව වහාම සම්පූර්ණ කරගැනීම අවශ්යය. ව්යවස්ථා සභාව යටතට ආයුතු අනෙකුත් වැදගත් තනතුරු මෙසේය.
(1) රාජ්ය ව්යවසාය කොමිෂමේ සාමාජිකයන් (2) ජාතික අධ්යාපන කොමිසමේ සාමාජිකයන් (3) විශ්ව විද්යාල ප්රතිපාදන කොමිෂමේ සාමාජිකයන් (4) විදුලි සංදේශ නියාමක කොමිෂමේ සාමාජිකයන් (5) පුවත්පත් මණ්ඩලය අහෝසි කරන තෙක් පුවත්පත් මණ්ඩලයේ සාමාජිකයන් (6) දේශීය ආදායම් බදු කොමසාරිස් (7) මහ බැංකු අධිපති (8) රේගු අධ්යක්ෂ ජනරාල් (9) මහා භාරකරු
ව්යවස්ථාදායක සභාව යටතට වැටෙන කොමිෂන් සභාවල සාමාජිකයන්ගේ හෝ ආයතනවල ප්රධානීන්ගේ ධුර දැරීම ව්යවස්ථාදායක සභාව ක්රියාත්මකවීම ආරම්භ වීමත් සමග අහෝසි වී දැනට ධුර දරන්නන් හෝ පිටස්තරයන් අතරින් හොඳම හා පුහුණු පුද්ගලයන් අලුතෙන් තෝරාපත් කිරිමේ හා නිර්දේශ කිරිමේ බලය ව්යවස්ථාදායක සභාවට ලබාදිම අත්යවශ්ය වුවත්, ඒ සඳහා වන ප්රතිපාදනයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන කෙටුම්පතට ඇතුළත්ව නැත. එය එම කෙටුම්පතට ආවේණක ලොකුම දුර්වලතාව ලෙස ද සැලකිය හැකි ය.
ව්යවස්ථාදායක සභාව අලුතෙන් ඇති කරන කොමිෂන් සභා හතරේ සාමාජිකයන් පමණක් තෝරා පත් කොට අනෙකුත් ආයතනවල ධුරවලට අත ගසන්නට යන්නේ කවදා හෝ ඒවාහි පුරප්පාඩු ඇතිවන අවස්ථාවලදි පමණක් නම්, ගොඩ නගන ව්යවස්ථාදායක සභාව කෙරෙහි මහජන උනන්දුවක් හෝ විශ්වාසයක් ඇතිවනු ඇතැයි සිතිය නොහැකිය. ඒ වෙනුවට ඒ සියලු දෙනාගේ ධුර දැරිම අහෝසි වී සුදුසුම පුද්ගලයන් අලුතෙන් තෝරා පත් කරන ක්රමයක් ක්රියාත්මක වේ නම් එය ව්යවස්ථාදායක සභාවේ අවංකභාවයට හා ශක්තිය උරගා බැලීමට ලක් කෙරෙන ඉතා වැදගත් අවස්ථාවක් වනු ඇති අතර, නුසුදුසු පුද්ගලයන් ඉතා වැදගත් හා ප්රමුඛ තනතුරු හොබවන තත්ත්වයක් තුළ පිරිහී බිඳ වැටෙමින් තිබෙන ආයතන ක්රමය නැවත අලුතෙන් ගොඩ නගා ශක්තිමත් කිරීමටත්, ඒවා නැවත මහජනයාගේ විශ්වාසය දිනාගන්නා ආයතන ක්රමයක් බවටත් පත් කිරිමේ හැකියාව ලැබෙන්නේය.
අපේ රටට අද අවශ්ය වී තිබෙන ඉතා වැදගත්ම දෙයක් වනුයේ මේ සියලු ප්රමුඛ තනතුරු දරන්නන් සඳහා ඔවුන් වෙත පැවරෙන වගකීම් හා යුතුකම් පිළිබඳව නව අර්ථකතනයක් ලබාදිමය.
රටේ අල්ලස් කොමිසමක් ඇතත්, කොමිසමේ ප්රමුඛ අවධානය යොමුවී ඇත්තේ මෝරුන් කෙරෙහි නොව, හාල්මැස්සන් කෙරෙහිය. එය මෙතෙක් සිය දැලට හසුකර ගත් ලොකුම මාළුවා ලෙස සැලකිය හැක්කේ තිලාන් විජේසිංහ පමණය. අල්ලස් කොමිසමේ ප්රධාන අවධානය යොමුවිය යුත්තේ පුංචි මිනිසුන් කෙරෙහි නොව ජනාධිපති, කැබිනට් ඇමතිවරුන්, ප්රධාන පෙළේ රාජ්ය නිලධාරින් වැනි ප්රමුඛ අය කෙරෙහිය. එහෙත් අපේ රටේ අල්ලස් කොමිසමට අද දක්වා එකම දේශපාලනඥයෙකුවත් අල්ලා ගැනීමට නොහැකිවීමෙන් පෙනී යන්නේ එම කොමිසම සිය ආරක්ෂාව හා පැවැත්ම සඳහා පොඩි මිනිසුන්ට පමණක් දැල එලමින් සිටින ප්රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බවය.
විගණකාධිපතිවරයා ද මේ දේශපාලන ක්රමය තුළ ඉතා වැදගත් භූමිකාවක් රගපායි. පුද්ගලිකකරණය දූෂණයෙන් පිරි ඇතත්, මෙතෙක් පුද්ගලිකකරණය කරන ලද කිසිම ආයතනයක් පිළිබඳව සිය නිරික්ෂණ ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට විගණකාධිපතිවරයා සමත් වී නැත. පුද්ගලික අංශයට කිසියම් කොටස් ප්රමාණයක් විකුණා ඇති, එහෙත් තවදුරටත් රජයට කොටස් හිමිකමක් ඇති ආයතන ගැන සොයා බැලීමේ වගකීමක් විගණකාධි පතිවරයාට ඇතත්, එම වගකීම ඔහු සිය කැමැත්තෙන් අත්හැර දමා ඇති බව දැකිය හැකිය. එම ආයතනය පුංචි පුංචි ආයතන ගැන සිය අවධානය පවත්වාගෙන යන බව පෙනෙන්නට ඇතත්, වඩා වැදගත් කොට සැලකිය හැකි බිලියන ගණනින් අරමුදල් ඇති ජනාධිපති අරමුදල වැනි ආයතනවල සිදුවන කටයුතු ගැන කිසිදු සොයා බැලීමක් නොකරයි.
අධිකරණයේ හා නීතිපතිගේ වගකීම් ගැන ද ඉක්මණන් අර්ථකතනයකට යා යුතුය. ගමේ සිරිසේන හා පියදාස අතර ඇති ආරාවුලකදි පමණක් අධිකරණය ස්වාධීන වීම ප්රමාණවත් නැත. දේශපාලන ආරාවුල්වලදි ද ස්වාධීනව ක්රියාකිරිමේ හැකියාවක් එයට තිබිය යුතුය. එය බාහිර ආටෝපයෙන් පමණක් නොව, අභ්යන්තර ගුණයෙන් ද ගෞරවනීය විය යුතුය. පාලක පක්ෂයේ කීකරු ගෝලයකු ලෙස ක්රියාකරන අධිකරණයක් ස්වාධීන විය නොහැකිවා සේ ම ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමය හා මහජන අයිතිවාසිකම් ආරක්ෂා කරන ආයතනයක් ලෙස ක්රියා කළ නොහැකිය.
නීතිපති ආණ්ඩුවේ ප්රධාන නීති උපදේශකයා වනවා සේ ම, ජන සංහිඳියාවේ (Public Interest) භාරකාරයා ලෙස ද ක්රියා කරයි. එහෙත් නීතිපති හුදෙක් ආණ්ඩුවේ නීති උපදේශකයා වශයෙන් මිස, ජන සංහිඳියාවේ භාරකරයා ලෙස ක්රියාකරන බවක් පෙනෙන්නට නැත. ඡන්ද පෙත්සමකදි මැතිවරණ දූෂණ චෝදනා එල්ල වී තිබෙන්නේ පාලක පක්ෂයට නම්, ඒ දූෂණ චෝදනාවල සත්ය පදනමක් ඇති බව පෙනේ නම්, එවැනි නඩුවකදි වගඋත්තරකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමේ අයිතියක් නීතිපතිට තිබිය නොහැකිය. අගවිනිසුරු මුල් කොටගෙන ඇතිවූ ආරාවුලේදි ද අධිකරණයේ ගෞරවයට හේතුවන තීන්දුවක් වෙනුවෙන් මිස දූෂණ චෝදනා එල්ල වී තිබූ අගවිනිසුරු වරයාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමේ යුතුකමක් ඔහුට නොතිබුණේය. නීතිපතිගේ වගකීම විය යුත්තේ රජයට වාසිදායක තීන්දු ලබාගැනීම සඳහා ක්රියාකිරීම නොව, නිවැරදි තීන්දු ලබාගැනීම සඳහා අධිකරණයට සහාය වීමය.
මැතිවරණ කොමසාරිස්ගේ වගකීම් පිළිබඳව ද නව අර්ථකථනයකට යා යුතුය. ඔහුට ලැබී තිබෙන බලතල ප්රමාණවත් නොවනවා විය හැකි වුවත්, ලැබී තිබෙන බලතල පවා උපරිම මට්ටමකින් නැතත්, නිර්භීත ආකාරයකින් ප්රයෝජනයට ගන්නා බවක් පෙනෙන්නට නැත. මැතිවරණ පෙත්සම්වලදි සිදුවූ මැතිවරණ දූෂණයන්ට අදාළ නිල තොරතුරු තිබෙන පුද්ගලයා වශයෙන් ඔහුගේ වගකීම විය යුත්තේ අධිකරණය ඉදිරියේ බලයේ සිටින පාලක පක්ෂය ආරක්ෂා කිරීම නොව, තමන් අත තිබෙන නිල තොරතුරු අධිකරණයට ලබාදෙමින් නිවැරදි තීන්දුවක් ගැනීමට අධිකරණයට සහාය වීමය.
ව්යවස්ථාදායක සභාව තමන් තෝරා පත් කරන පුද්ගලයන් සඳහා ඔවුන් වෙත පැවරෙන වගකීම් පිළිබඳව පූර්වකථනයක් ලබාදෙනවාට අතිරේකව ඔවුන් ඔවුන් වෙත පැවරෙන වගකීම් හරියාකාරව ක්රියාත්මක කරන්නේද යන්න සොයා බලන ක්රමයක් පවත්වාගෙන යාම ද ඉතා වැදගත්ය. ප්රමුඛ තනතුරක් දරන පුද්ගලයෙකු බලවත් වරදක් කරන අවස්ථාවකදි ඒ ගැන ව්යවස්ථාදායක සභාවට පැමිණිලි කළ හැකි ක්රමයක් සේ ම, ලැබෙන පැමිණිලි ගැන කරුණු සොයා බලන ක්රමයක් ද තිබිය යුතුය. එහෙත් ඒ සඳහා වන ප්රතිපාදනයක් ද එම කෙටුම්පතට ඇතුළත් ව නැත.
තිබෙන ඒ අඩුපාඩුකම් සම්පූර්ණ කරගනිමින් ශක්තිමත් ව්යවස්ථාදායක සභාවක් හා යෝජිත ස්වාධීන කොමිෂන් සභා හතර ද ඇති කරගනිමින් සියලුම ප්රමුඛ තනතුරු සඳහා සුදුසුම පුද්ගලයන් තෝරා පත් කරන ක්රමයක් ක්රියාත්මක කිරීමට ව්යවස්ථාදායක සභාව සමත් වෙතොත්, එය රටේ පොදු යහපත පිණිස සිදුවන ඉතා වැදගත් විප්ලවයක් වනු නොඅනුමානය.