රටේ පවතින දේශපාලන අඳුරට විදුලිය කපා හැරිමෙන් ඇතිවන අඳුර ද එකතු වෙමින් පවතී. දේශපාලන අස්ථාවරභාවය විසින් රටේ ආර්ථිකයේ පදනම දුර්වල කරමින් තිබෙන අවස්ථාවක විදුලි අර්බුදයක් ද ඊට එකතු වෙමින් ආර්ථිකයේ ඇති වී තිබෙන පිරිහීම වේගවත් කෙරෙමින් පවතී.
විදුලිය කැපීම ආරම්භ වූයේ දිනකට පැය එකහමාරක කාලයක් සඳහා ක්රියාත්මක වන ආකාරයට ය. දැන් එය පැය දෙකහමාරක් දක්වා දීර්ඝ වී තිබෙන අතර එම කාල සීමාව තවදුරටත් වර්ධනය වීමට ද නියමිත ය.
විදුලි අර්බුදයක් තිබියදීත් සීමා කිරීම් බල නොපෑවේ රාත්රියේ ක්රිකට් ගසන දිනවලට හා ජනාධිපතිනියගේ කථා ඇති දිනවලට පමණ ය.
ජනාධිපතිනියගේ කථා ඇති දිනවල ජනතාවට බාධාවකින් තොරව ඇහුම්කන් දීමට අවස්ථාවක් ලබාදීම සඳහා විදුලිය කපා නොහැරිණ. රාත්රියට ගැසෙන ක්රිකට් සඳහා ද ඒ ප්රතිපත්තිය ක්රියාත්මක විය. රටේ තිබෙන වැදගත් හා ප්රමුඛම දේවල් වනුයේ ජනාධිපතිනියගේ කථා හා ක්රිකට් බව ඉන් පෙන්නුම් කරයි. ආර්ථික කටයුතු, විභාග අධ්යයනය යනාදී සියල්ල වැටුණේ නොවැදගත් නොසැලකිය යුතු තැනකටය.
1996 දී විදුලි කප්පාදුවක් ක්රියාත්මක වූ අවස්ථාවේ දී අතිවිශාල මුදලක් වැයකොට ජෙනරේටර් ගෙන්වන ලද අතර ජල විදුලි බලාගාරවල ජලය බිංදුවට හිඳුනත් අනාගතයේ විදුලි කැපීමක් ක්රියාත්මක නොවනු ඇති බවට බලශක්ති ඇමතිවරයා පුන පුනා රටට කියා සිටියේ ය. ඒ කිසිවක් එසේ කියන ලද ඇමතිවරයාට සේ ම රටේ මහජනතාවට ද මතක නැත.
දැන් තිබෙන අර්බුදයට මූලික හේතුව යෝජිත තාප බලාගාරය ඉදිකිරීමට නොහැකිවීම බව කියනු ලැබේ. නොරොච්චෝලේ ඉදිකරන්නට නියමිතව තිබූ තාප බලාගාරයට එරෙහිව කතෝලික පල්ලියෙන් ද, පරිසරවේදීන්ගෙන් ද විරෝධයක් එල්ල වූ බව සත්යයකි. ඒ සියලු දෙනා සමස්ත ලොකු චිත්රය නොසලකා ප්රාදේශීය මට්ටමෙන් පෙනෙන සුළු චිත්රය කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමෙන් වරදක් කර ඇති බවට ද සැකයක් නැත.
එහෙත් වැදගත් ම ප්රශ්නය රටේ පැවති විදුලි අර්බුදය ඉදිරියේ ආණ්ඩුව කුමක් කළේද යන්නයි. ආණ්ඩුව සමස්ත අර්බුදය ඉදිරියේ බකන් නිලාගෙන සිටින ප්රතිපත්තියක් අනුගමනය කළා විනා විසර්ම් ලබාදෙන ක්රියාමාර්ගයක් වෙත යොමුවුණේ නැත. පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පත්වන අවස්ථාව වන විට රුපියල් කෝටි 8000ක් තරම් අතිරේක ධනස්කන්ධයක් විදුලිබල මණ්ඩලය සතුව තිබුණි. අද අතිරේක ධනය වෙනුවට විදුලිබල මණ්ඩලයේ ණයගැතිභාවයේ ප්රමාණය රුපියල් කෝටි 8000ක් පමණ වේ. ආණ්ඩුවේ කාර්යක්ෂෂමතාවයේ ප්රමාණය ඉන් පෙන්නුම් කරයි.