2001.08.27
අධිකරණ සේවා කොමිසමේ සභාපති,
සරත් නන්ද සිල්වා මහතා,
අධිකරණ සේවා කොමිසම,
අලුත්කඩේ,
කොළඹ
මහේස්ත්රාත් ලෙනින් රත්නායක හා දිසා විනිසුරු උපාලි අබේරත්න පිළිබඳ
අධිකරණ සේවා කොමිසම පත් කළ ත්රිපුද්ගල පරීක්ෂණ කමිටු දෙකේ වාර්තා ලබාගැනීම
මහත්මයාණෙනි,
අගවිනිසුරුවරයා වශයෙන් ඔබතුමාට එරෙහිව පවරන්නට යන නඩුවක් සඳහා අවශ්ය ලේඛන දෙකක් ඔබතුමාගෙන්ම ඉල්ලන්නට සිදුවීම ප්රසන්න දෙයක් නොවෙතත්, එම ලේඛන දෙක එම නඩු පැවරීම සඳහා අත්යවශ්ය වන නිසාත්, එම ලේඛන දෙක අධිකරණ සේවා කොමිසම භාරව තිබෙන නිසා හා අධිකරණ සේවා කොමිසමේ සභාපති වශයෙන් එම ලේඛන දෙකේ පිටපත් ඔබතුමාගෙන් ම ඉල්ලා සිටීමට මට සිදුවී තිබේ.
මින් එක් ලේඛනයක් (ලෙනින් රත්නායකට අදාළ වාර්තාව) මා 1999 ජූලි 27 වැනි දින අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලා සිටියත්, කොමිසමේ වැඩ බලන ලේකම්වරයා එම වාර්තාව මා වෙත ලබාදීම ප්රතික්ෂේප කළේය.
මේ වාර්තා දෙකේ පිටපත් ලබාගැනීමට මට සාධාරණ අයිතියක් ඇති නිසා හා, ඒ සඳහා මා කරන ඉල්ලීම ප්රතික්ෂේප කිරීමකට ඉඩක් නොතැබීම පිණිසත් එම වාර්තා දෙක ලබාගැනීමට තිබෙන අයිතිය සනාථ කිරීම සඳහා ඊට අදාළ සිද්ධීන්ගේ කෙටි පසුබිම මෙසේ විස්තර කරමි.
(1) ලෙනින් රත්නායක මහේස්ත්රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාරයට යවන ලැබූ සැකකරුවකුගේ බිරිඳක් කටඋත්තරයක් ලබාගැනීමේ මුවාවෙන් මහේස්ත්රාත්වරයා වෙත ගෙන්වා ගනිමින් ඇය තානායමක් වෙත ගෙන ගොස් දූෂණය කිරීමේ සිද්ධියත්, එම කාන්තාව විසින් මා වෙත පැමිණිලි කරන ලදුව ඇය කියන කතාව විශ්වාසදායක තත්ත්වයක තිබීම නිසා ඇය කියන කතාව සමග ඒ ගැන මහේස්ත්රාත්වරයා කියන කතාවද ඇතුළත් වන ලෙස මාගේ කර්තෘත්වයෙන් පළ කෙරෙන “රාවය” පුවත්පතේ මුල් පුවතක් වශයෙන් (1997 අගෝස්තු 17) පළ කරන ලදි.
(අ) පළවූ එම පුවතට අනුව කාන්තාව මහේස්ත්රාත්වරයාට පාවාදීම සඳහා අතරමැදියන් ලෙස ක්රියා කොට තිබුණේ එම කාන්තාවගේ ස්වාමිපුරුෂයාගේ නඩු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් දෙදෙනෙකි. (ජිනදාස ලේකම්ගේ හා ලොකු තෙන්නකෝන්)
(ආ) මේ දූෂණ සිද්ධියෙන් පසුව පොල්පිතිගම පොලිසියේ ස්ථානයාධිපතිවරයා මෙම දූෂණයට ලක්ව සිටි මෙම කාන්තාව පොලිසියට කැඳවා මහේස්ත්රාත්වරයා පිළිබඳ කතාව කිසිවකුටත් නොකියන ලෙස හා, එසේ ප්රකාශ කර තිබුණොත් එම කාන්තාව මරා දමන බවට තර්ජනය කරන ලද බවද පොලිස් ස්ථානයාධිපතිවරයා එම තර්ජනය කරන ලද අවස්ථාවේදී ඔහු සමග නීතිඥ ජිනදාස ලේකම්ගේද එහි සිටි බවත්, “රාවය” පළ කරන ලද කතාවේ පැහැදිලිව සටහන්ව තිබුණි.
(ඇ) 1997 අප්රේල් 30 වැනි දින මෙම කාන්තාව හා ඇගේ ස්වාමි පුරුෂයා අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා හමුවී මහේස්ත්රාත්වරයා විසින් කරන ලද අතවරය කොමිසමේ ලේකම්වරයාට වාචිකව පැමිණිලි කළ බවත් එම වාර්තාවේ සඳහන් විය.
(2) මහේස්ත්රාත්වරයාට එරෙහිව ඉදිරිපත් කරන ලද පැමිණිල්ල ලිඛිතව ඉදිරිපත් කරන ලෙස අධිකරණ සේවා කොමිෂමේ ලේකම්වරයා ඉල්ලා සිටීමේ ප්රතිඵලයක් වශයෙන් නීතිඥ කල්යානන්ද තිරාණගම දූෂණයට ලක්වූවේ යයි කියන කාන්තාවගෙන් ද, ඇගේ ස්වාමිපුරුෂයාගෙන් ද ලබාගන්නා ලද දිවුරුම් පෙත්සම් දෙකක් ද ඇතුළත් වන ලෙස මේ සිද්ධිය පිළිබඳව මහේස්ත්රාත්වරයාට එරෙහිව 1997 අගෝස්තු 14 වැනි දින අධිකරණ සේවා කොමිසම වෙතත්, ශ්රේෂ්ඨාධිකරණය වෙතත් ලිඛිතව පැමිණිලි කළේය.
(අ) ශ්රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද පැමිණිල්ල අධිකරණ සේවා කොමිෂම වෙත යොමු කරන ලද බව ශ්රේෂ්ඨාධිකරණයේ ලේකම්වරයා 1997 අගෝස්තු 27 වැනි දින නීතිඥ කල්යානන්ද තිරාණගම වෙත ලිඛිතව දැනුම් දෙනු ලැබීය.
(3) ලෙනින් රත්නායක අධිකරණ සේවයට එකතුවන්නට පෙර ශ්රී ලංකා රක්ෂණ සමාගමේ නීති අංශයේ ලිපිකරුවෙකු ලෙස සේවය කොට ඇති බවත්, එහිදී තුන්වැනි පාර්ශ්වයේ හිමිකම් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂණ සංස්ථාවේ පාලන අධිකාරිය 1984.10.01 වැනි දින සිට ක්රියාත්මක වන පරිදි ලෙනින් රත්නායකගේ වැඩ තහනම් කළ බවත්, ඒ සඳහා පැවති විනය පරීක්ෂණයේදී ඔහුට එරෙහිව ඉදිරිපත් වී තිබූ චෝදනා 6ටම ඔහු වරදකරු වී 1984.10.01 දා සිට ක්රියාත්මක වන පරිදි ඔහු සේවයෙන් පහ කරන ලද බව 1985.10.29 වැනි දින ඔහු වෙත දැනුම් දී ඇති බවත්, අදාළ ලේඛන දෙකක ඡායා පිටපත් සමග 1997 සැප්තැම්බර් 07 වැනි දින “රාවයේ” පළ කරනු ලැබීය.
(4) ලෙනින් රත්නායකට එරෙහිව පුවත්පත ස්ත්රී දූෂණ චෝදනාව එල්ල කරන ලද අවස්ථාවේදී එම මහේස්ත්රාත්වරයා එවකට නීතිපති වශයෙන් ක්රියා කළ ඔබ හමුවී ඔබේ උපදෙස් පරිදි “රාවය”ට එරෙහිව සාපරාධී අපහාස නීතිය යටතේ නඩුවක් ආරම්භ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කටඋත්තරයක් දුන්නේය.
(5) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක වෛද්යසේකර මහේස්ත්රාත් ලෙනින් රත්නායක පිළිබඳව පළ කර තිබූ ප්රවෘත්ති පිළිබඳව මගෙන් කටඋත්තරයක් ලබාගත්තේය. මා දන්නා සියලු තොරතුරු ඔහු හමුවේ ප්රකාශ කරන ලද අතර, මා ළඟ තිබූ ලෙනින් රත්නායකගේ වැඩ තහනම දැනුම් දෙන ලිපියේ පිටපතක් හා ඔහු චෝදනා 6ටම වරදකරු කොට, ඔහු සංස්ථා සේවයෙන් නෙරපා හරින ලද බව දැනුම් දෙන ලිපියේ පිටපතක් ද පොලිස් පරීක්ෂකවරයාට ලබා දුන්නෙමි.
(අ) පොලිස් පරීක්ෂකවරයා රක්ෂණ සංස්ථාවට ගොස් ලෙනින් රත්නායක මුදල් වංචා චෝදනාවන් මත සංස්ථා සේවයෙන් නෙරපා හරින ලද පුද්ගලයෙක් ද යන්න සොයා බලා තිබුණි. මා ඒ පිළිබඳව ඉදිරිපත් කරන චෝදනාව සත්යයක් බව ඔහු සොයා ගෙන තිබුණි.
(ආ) දූෂණයට ලක්වූ කාන්තාවගෙන් ද ඔහු කටඋත්තරයක් ලබා ගන්නා ලද අතර, පුවත්පතේ පළවූ සියලු විස්තර ඇය සිය කටඋත්තරයෙන් තහවුරු කොට තිබුණි.
(6) ඉන්පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය පරීක්ෂණ වාර්තාව වැඩිදුර උපදෙස් පතා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කළේය. ලෙනින් රත්නායකට එරෙහිව “රාවය” එල්ල කරන චෝදනා පදනම් විරහිත චෝදනා නොවන බව පරීක්ෂණ වාර්තාවේ පැහැදිලිව තිබියදීත් මොනයම් හේතුවක් නිසා හෝ නීතිපති වශයෙන් ඔබ එම දූෂිත මහේස්ත්රාත්වරයා ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කරන බව දැනගන්නට ලැබී 1998 අගෝස්තු 11 වැනි දින අධිකරණ ඇමති ජී.එල්. පීරිස් මහතා හමුවී ඒ බව ඒ මහතාට වාචිකව පැමිණිලි කොට නීතිපති වෙත ලැබී තිබෙන ලෙනින් රත්නායකට අදාළ පරීක්ෂණ වාර්තාවේ එන නිගමන මොනවාදැයි සොයා බලන ලෙස ඉල්ලා සිටියෙමි.
(7) අධිකරණ ඇමති 1998.08.14 වැනි දින ඒ ගැන ඔබගෙන් ලිඛිත කරුණු විමසීමක් කළේය.
(8) 1998.09.09 වැනි දින ඔබ අධිකරණ ඇමති වෙත යවන රහස්ය වාර්තාවක් මගින් මෙම මහේස්ත්රාත්වරයා අධිකරණ සේවයේ මොහොතක්වත් තබා නොගත යුතු තරම් දූෂිත පුද්ගලයෙකු බව පිළිගැනීමට ඔබ හමුවේ අවශ්ය තරම් කරුණු තිබියදී පරීක්ෂණ වාර්තාවේ එන කරුණු විකෘති කරමින් හා වසන් කරමින් ඔබ දූෂිත මහේස්ත්රාත්වරයා ආරක්ෂා කරන පිළිවෙතක් අනුගමනය කළේය.
(අ) මෙම මහේස්ත්රාත්වරයා අධිකරණ සේවයට එන්නට පෙර රක්ෂණ සංස්ථාවේ ලිපිකරුවකු වශයෙන් සේවය කරමින් සිටියදී, තෙවැනි පාර්ශ්වයේ හිමිකම් වංචා කිරීමේ සිද්ධියක් මත සංස්ථා සේවයෙන් පහ කරනු ලැබූ පුද්ගලයකු බව පිළිගැනීමට තරම් කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වාර්තාවට ඇතුළත්ව තිබියදී ඔබ යවන රහස්ය වාර්තාවෙන් අධිකරණ ඇමතිවරයාට කීවේ “රත්නායක බණ්ඩාරට එරෙහිව සාපරාධී වරදක් කළ බවට කිසිදු පැමිණිල්ලක් රක්ෂණ සංස්ථාව විසින් කර නොමැති” බවය.
(ආ) ස්ත්රී දූෂණ චෝදනාව ගැන කීවේද “දූෂණයට ලක්වී යැයි කියන ඩබ්.බී.එම්. කමලාවතී තමා විසින්ම මහේස්ත්රාත්වරයාගේ හැසිරීම පිළිබඳව කිසිදු අවස්ථාවකදී පැමිණිල්ලක් ඉදිරිපත් කර නැති බව”ය. ඔබ එහි වැඩිදුරටත් කියා තිබෙන පරිදි “ඇගේ චෝදනාව කරන ලද්දේ 24.10.1997 වැනි දිනදී මහේස්ත්රාත්වරයා විසින් නගන ලද සාපරාධී අපහාස කිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පැවැත්වූ අවස්ථාවේදී ඇගේ ප්රකාශය සටහන් කරගන්නා විටදීය.”
අධිකරණ ඇමතිවරයා නොමග යැවීම පිණිස මේ සියල්ල ඔබ මෙසේ කියා ඇත්තේ මහේස්ත්රාත්වරයාට අදාළ සිද්ධිය පිළිබඳව කිසිවකුටත් කතා නොකරන ලෙස පොල්පිතිගම පොලිස් ස්ථානයාධිපතිවරයා තමා පොලිස් ස්ථානයට ගෙන්වා තර්ජනය කරන ලද බව හා ඉන්පසු ඇය ස්වාමිපුරුෂයා සමග 1997 අප්රේල් 30 වැනි දින අධිකරණ සේවා කොමිෂමේ ලේකම්වරයා හමුවී මහේස්ත්රාත්වරයාට එරෙහිව පැමිණිලි කරන ලද බව ඒ සිද්ධිය පිළිබඳ පළවූ පුවතේ පැහැදිලිව සඳහන්ව තිබියදී හා ඉන්පසු අගෝස්තු 14 වැනි දින නීතිඥ කල්යානන්ද තිරාණගම ඒ පිළිබඳව ශ්රේෂ්ඨාධිකරණයටත්, අධිකරණ සේවා කොමිසමටත් විධිමත් පැමිණිල්ලක් කර තිබියදීය.
(9) අධිකරණ ඇමතිවරයා වෙත ඔබ යවන ලද රහස්ය වාර්තාව නීතිපති ධුරය වැනි ඉතා වැදගත් තනතුරක් උසුලමින් සිටි ඔබේ දූෂිත ස්වභාවය පෙන්නුම් කරන කදිම කැඩපතක් විය. මෙම මහේස්ත්රාත්වරයා අධිකරණ සේවයට ඒමට පෙර මුදල් වංචා චෝදනාවක් මත සංස්ථා සේවයෙන් පහ කරනු ලැබූ පුද්ගලයෙකු වී නම් එවැනි පුද්ගලයෙකු අධිකරණ සේවයට එකතු වූයේ කෙසේද යන්න සොයා බැලීමේ වගකීමක් ඔබට තිබුණි. එසේම එම මහේස්ත්රාත්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කළ පුද්ගලයෙකුගේ බිරිඳගෙන් කටඋත්තරයක් ලබාගැනීමේ මුවාවෙන් තමා වෙත ගෙන්වා ගනිමින් ඔහු තමා දූෂණය කළේ යයි කාන්තාවක් චෝදනා නගන අවස්ථාවකදී එම චෝදනාවේ ඇති බරපතලකම සලකා එහි ඇත්ත නැත්ත සොයා බැලීමේ වගකීමක් ඔබට තිබුණි. නීතිපති ධුරය දැරු ඔබ අධිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා ක්රියාකරනවා වෙනුවට ඔබට එම මහේස්ත්රාත්වරයාට තිබුණු ඥාති සම්බන්ධය නිසාත්, විවිධ අවස්ථාවලදී ඔබේ කටයුතු විවේචනය කිරීම නිසා මා කෙරෙහි ඇති කරගෙන තිබූ විරෝධය නිසාත් ඔබ එම දූෂිත මහේස්ත්රාත්වරයා ආරක්ෂා කරගැනීම සඳහා අධිකරණ ඇමතිවරයාට සත්ය වසන් කරන පිළිවෙතක් අනුගමනය කළේය. ඔබේ ඒ හැසිරීම නිසා ඔබ ද ලෙනින් රත්නායක තරම්ම දූෂිත පුද්ගලයෙකු විය හැකිය යන්න මා තුළ ඇතිවූ හැඟීම විය. ඒ නිසාම ඔබ පිළිබඳව ද කරුණු සොයා බලන තත්ත්වයකට යොමුවීමට මට සිදුවිය.
(10) ඔබ විවාහක එක් දරු පියකුව සිටියදී, විවාහයෙන් දික්කසාද නොවී ඔබ මිත්රයෙකු ලෙස ඇසුරු කළ රසායන ඉංජිනේරුවකුගේ බිරිඳක් සිය නිවසේ තබා ගනිමින්, ඇය සමඟ අනාචාර ජීරිතයක් ගත කිරීම සලකා ඔබ හා තම බිරිඳ සම පාර්ශ්වකරුවන් කරමින් රසායන ඉංජිනේරුවරයා පවරන ලද දික්කසාද නඩුවකදී අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස ක්රියාකරමින් සිටි ඔබ ඒ නඩුව විභාග කළ දිසා විනිසුරුවරයාගේ (උපාලි අබේරත්න) ආධාර ඇතිව නීතියට පටහැනිව හා අගතිගාමී ලෙස රසායන ඉංජිනේරුවරයා පීඩාවට ලක් කෙරෙන ආකාරයෙන් හා ඔබ දෙපළගේ වාසියට හේතුවන තීන්දු ගණනාවක් ලබාගෙන ඇති බව සොයා ගැනීමට මට හැකිවූ අතර ඒ සිද්ධියේ සියලු තතු හෙළිදරව් කරන විස්තරාත්මක වාර්තාවක් 1998 ඔක්තෝබර් 18 වැනිදා “රාවය” පුවත්පතේ පළ කළෙමි.
(11) රසායන ඉංජිනේරුවරයා ඔබට එරෙහිව හා ඔබ සමග අනාචාර ජීරිතයක් ගත කළ සිය බිරිඳට එරෙහිව පවරන ලද නඩුවේදී ඔබේ බලපෑම මත නඩුව විභාග කළ දිසා විනිසුරු උපාලි අබේරත්න ක්රියාකර තිබුණු නීති විරෝධී ආකාරය ගැන රසායන ඉංජිනේරුවා 1994 සැප්තැම්බර් 24 වැනි දින ලිඛිතව අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කළේය. එවකට අගවිනිසුරු ධුරය ඉසිලු ජී.පී.එස්. ද සිල්වා මහතාට පැමිණිලිකරු සමග තිබුණු පුද්ගලික දැනහැඳුනුම්කම නිසා එම පැමිණිල්ල ගැන කෙරෙන පරීක්ෂණයට තමා සම්බන්ධ නොවී අගවිනිසුරුවරයා ඒ වගකීම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් දෙදෙනා ලෙස ක්රියා කළ තිස්ස බණ්ඩාරනායක හා මාක් ප්රනාන්දු යන ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා වෙත පැවරීය. ඔවුන් දෙදෙනා රසායන ඉංජිනේරුවරයාගේ පැමිණිල්ලේ පිටපතක් 1994 නොවැම්බර් 8 වැනිදා දිසා විනිසුරු උපාලි අබේරත්න වෙත යවමින් ඒ ගැන ඔහුගේ නිරීක්ෂණ ලිඛිතව ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියේය. දිසා විනිසුරුවරයා නොවැම්බර් 11 වැනි දින සිය ලිඛිත නිරීක්ෂණ ඉදිරිපත් කරන ලද අතර, එම නිරීක්ෂණ සලකා බැලීමෙන් පසු තිස්ස බණ්ඩාරනායක හා මාර්ක් ප්රනාන්දු මහත්වරු දිසා විනිසුරුවරයා කොමිසම වෙත ගෙන්වා ඔහු විසින් එවන ලද නිරීක්ෂණ ගැන ඔහුගෙන් ප්රශ්න කළේය. ඉන්පසු එම විනිසුරුවරුන් දෙදෙනා දිසා විනිසුරු උපාලි අබේරත්නට එරෙහිව බරපතල චෝදනා පත්රයක් සකස් කොට 1996 පෙබරවාරි 12 වැනි දින එම චෝදනා පත්රය දිසා විනිසුරුවරයා වෙත යවමින් චෝදනා පත්රයේ සඳහන් විෂමාචාර චෝදනා මත සේවයෙන් පහ නොකිරීමට හේතු ඇතොත් එක් මාසයක කාලයක් තුළ එය ලිඛිතව දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියේය.
මේ විනිසුරුවරුන් දෙදෙනාට තවදුරටත් කොමිසමේ සාමාජිකයන් ලෙස ක්රියාකරන්නට ඉඩ දුනහොත් ඔබට එරෙහිව පවරන ලද අනාචාර නඩුවේදී නීති විරෝධී ලෙස ඔබගේ ආරක්ෂාව සඳහා ක්රියා කළ දිසා විනිසුරු උපාලි අබේරත්නට අධිකරණ සේවය අත්හැර යන්නට සිදුවන බව තේරුම් ගනිමින් ජනාධිපතිනිය සමග ඔබට තිබුණු සමීප සම්බන්ධතාව ප්රයෝජනයට ගනිමින් එම විනිසුරුවරුන් දෙදෙනා අධිකරණ සේවා කොමිසමෙන් ඉවත් කොට ඔබට පාලනය කළ හැකි පුද්ගලයන් දෙදෙනෙකු ඒ වෙනුවට පත් කරවා ගත්තේය.
දිසා විනිසුරුවරයාට සිය නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ 1996 මාර්තු 12 වැනිදාටය. ඔබ ශ්රේෂ්ඨාධිකරණයේ සිට නීතිපති ධුරයට පත්වූයේ එම වසරේ මාර්තු 1 වැනිදාය. ඒ සමග බොහෝ දුරට අවසන් වී තිබුණු උපාලි අබේරත්න පරීක්ෂණය ද යටපත් විය.
12. ලෙනින් රත්නායක පරීක්ෂණ වාර්තාව යටපත් කිරීමේ සිද්ධිය ගැනත්, ඔබට එරෙහිව පවරා තිබුණු අනාචාර නඩුවේදී වාසිදායක තීන්දුවක් ලබාගැනීම හා උපාලි අබේරත්නට එරෙහිව අධිකරණ සේවා කොමිසම ආරම්භ කර තිබූ පරීක්ෂණය යටපත් කිරීමට නිල බලය යොදාගැනීම ගැනත් අධිකරණ ඇමති සහභාගි වූ පුවත්පත් සාකච්ඡා ගණනාවකදී අධිකරණ ඇමතිගෙන් ප්රශ්න කරන තත්ත්වයක් ඇතිවූ අතර ඒ නිසා හෙම්බත් තත්ත්වයකට පත්ව සිටි අධිකරණ ඇමතිවරයා ඒ ගැන ජනමාධ්යවේදීන් නගන ප්රශ්නවලට පිළිතුරු දීමේ හැකියාවක් තමන්ට නැති බව ප්රකාශ කරමින් කැබිනට් තීන්දු දැනුම් දෙන ප්රවෘත්ති සාකච්ඡාවකට ඔබ ගෙන්වා දීමට පොරොන්දු වෙමින් අසන්නට තිබෙන ඕනෑම ප්රශ්නයක් එහිදී ඔබගෙන්ම අසන ලෙස මගෙන් ඉල්ලා සිටියේය.
13. ඔබ සහභාගි වූ එම පුවත්පත් සාකච්ඡාව පැවතියේ 1998 ඔක්තෝබර් 29 වැනිදාය. පුවත්පත් සාකච්ඡාවට සහභාගි වූ ජනමාධ්ය ඇමති මංගල සමරවීර ඔබට එහිදී උපරිම ආරක්ෂාවක් ලබාදීම සඳහා ක්රියා කළත්, මා ඇතුළු ජනමාධ්යවේදීන් ගණනාවක් රසායනික ඉංජිනේරුවරයා ඔබට එරෙහිව පවරන ලද නඩුවේදී වාසිදායක තීන්දුවක් ලබාගැනීම සඳහා ඔබ ඔබේ නිල බලය යොදාගෙන තිබෙන ආකාරය ගැනත්, අධිකරණ සේවයේ නිරත විනිසුරුවරයෙකුට නොගැලපෙන ලෙස ඔබ පවත්වාගෙන යන අනාචාර ජීරිතය ගැනත් ඔබගෙන් දීර්ඝ වශයෙන් ප්රශ්න කරන ලදි. එහිදී ඔබගෙන් අසන ලද ප්රශ්නවලට හා ඒවාට ඔබ විසින් දෙන ලද පිළිතුරු වලට ජනමාධ්ය මගින් ද විශාල ප්රසිද්ධියක් ලබා දෙන ලදි.
ඔබට එරෙහිව පවරන ලද නඩුව යටපත් කිරීමට හෝ වාසිදායක තීන්දුවක් ලබාගැනීම සඳහා ඔබ ඔබේ නිල බලය අයුතු ලෙස යොදා නොගත් බව ප්රකාශ කරමින් බලය අනිසි ලෙස යොදාගෙන ඇති බව ඔප්පු කළහොත් නීතිපති පදවියෙන් ඉවත් වන බව ද ඔබ එදා ප්රකාශ කර සිටියේය.
14. ඉන්පසු ඔබ හමුවී සාකච්ඡා කිරීමට දිනයක් හා වේලාවක් ලබාගනිමින් මා මගේ කර්තෘ මණ්ඩලයේ තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග 1998 නොවැම්බර් 23 වැනි දින නීතිපතිගේ නිල කාර්යාලයේදී ඔබ හමුවූවෙමි. ලෙනින් රත්නායකට අදාළව අධිකරණ ඇමතිවරයාට දෙන ලද රහස්ය වාර්තාවේ එන නිරීක්ෂණ පොලිස් පරීක්ෂණ වාර්තාවේ එන නිරීක්ෂණවලට ගැලපේ නම්, දැන් එම පොලිස් පරීක්ෂණ වාර්තාව ඇත්තේ ඔබ භාරයේ වන නිසා එම පරීක්ෂණ වාර්තාව ගෙන්වා එය මට පෙන්වා ඔප්පු කරන ලෙසත්, ඒ බව ඔප්පු කළහොත් මා ඔබගෙන් ප්රසිද්ධියේ සමාව ගැනීමට සූදානම් බවත් මම ඔබට ප්රකාශ කළෙමි. එහෙත් මා විසින් අසන ලද එම නිශ්චිත ප්රශ්නයට සාධාරණ පිළිතුරක් දීමට ඔබ අසමත් විය.
15. “රාවය” ලෙනින් රත්නායක මහේස්ත්රාත්වරයාට එරෙහිවත්, උපාලි අබේරත්න දිසා විනිසුරුවරයාට එරෙහිවත්, නීතිපති වශයෙන් ඔබට එරෙහිවත් දිගින් දිගට චෝදනා නගන තත්ත්වයක් ඉදිරියේ ඒ ගැන කුමක් කළයුතුද යන්න තීන්දු කරනු පිණිස නීතිඥ සංගමය 1998 නොවැම්බර් 28 වැනි දින නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන්ගේ සම්මේලනයක් කැඳවීය. එච්.එල්. ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් ඒ මහතාගේ නිවසේදී පැවති එම සම්මේලනයේ දී “රාවය” නගමින් තිබෙන චෝදනා පිළිබඳව සාකච්ඡා කොට මහේස්ත්රාත්වරයාට හා දිසා විනිසුරුවරයාට එරෙහිව එල්ල කෙරෙමින් තිබෙන චෝදනා ගැන අගවිනිසුරුවරයා පරීක්ෂණයකට යා යුතු බවත්, එම පරීක්ෂණයේදී ඔවුන් වැරදිකරුවන් වුවහොත් ඔවුන් සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කළ යුතු බවත්, “රාවය” ඒ දෙදෙනාට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා පදනම් විරහිත බව සනාථ වුවහොත් “රාවය”ට එරෙහිව නීතිමය වශයෙන් ක්රියාකළ යුතු බවටත්, විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව එල්ල කරන චෝදනා පරීක්ෂණයෙන් සනාථ වුවහොත් ඔවුන් දෙදෙනා ආශ්රයෙන් නීතිපති වශයෙන් ඔබට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා ගැන ද සොයා බැලිය යුතු බවත් තීරණය කොට එම තීරණ වහාම අගවිනිසුරුවරයා වෙත දැනුම් දීමට තීරණය විය.
16. නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන්ගේ සම්මේලනය අග්රවිනිශ්චයකාරවරයාගෙන් කරන ලද මේ ඉල්ලීමේ ප්රතිඵලයක් වශයෙන් අධිකරණ සේවා කොමිසම මහේස්ත්රාත් ලෙනින් රත්නායකට එරෙහිවත්, දිසා විනිසුරු උපාලි අබේරත්නට එරෙහිවත් එල්ල වී තිබෙන චෝදනා පරීක්ෂා කිරීම සඳහා නොවැම්බර් අවසානයේදී අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල කමිටු දෙකක් පත් කළේය. මේ පරීක්ෂණ කමිටු දෙක ලැබෙන විට මහේස්ත්රාත් ලෙනින් රත්නායකට දෙවැනි ස්ත්රී දූෂණ චෝදනාවක් ද එල්ල වී තිබුණි. 1997 අගෝස්තු 17 වැනිදා සිට ඒ දක්වා එම සිද්ධීන් පිළිබඳව “රාවයේ” පළ කොට තිබූ කතු වැකි ගණන 05කි. මුල් ප්රවෘත්ති ගණන 07කි. ලිපි හා අතිරේක ප්රවෘත්ති සංඛ්යාව 35කි.
17. ලෙනින් රත්නායකට එරෙහිව එල්ල වී තිබුණු චෝදනා පරීක්ෂා කිරීමට පත් කළ ත්රිපුද්ගල පරීක්ෂණ කමිටුව ඉදිරියට මා ද, ලෙනින් රත්නායක ද, ඔහු විසින් දූෂණයට ලක් කරන ලද කාන්තාවන් දෙදෙනා හා ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් ද, නිල කාමරයේ සිදුවී යැයි කියන ස්ත්රී දූෂණ සිද්ධියේදී දූෂණයට ලක්වූ කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා, අනෙක් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා ද, සංස්ථා මුදල් වංචාවට අදාළ ලිපිගොනු හා ඒවාට අදාළ නිලධාරීන් ද, එම මුදල් වංචාව පිළිබඳව පරීක්ෂණයක යෙදුණු පොලිස් පරීක්ෂකවරයෙක් ද පරීක්ෂණ කමිටුව වෙත කැඳවා ඔවුන්ගෙන් සාක්ෂි ලබා ගත්තේය. පරීක්ෂණ කමිටුව “රාවය” මහේස්ත්රාත්වරයාට එරෙහිව එල්ල කර තිබුණු සියලු චෝදනාවලට මහේස්ත්රාත්වරයා වරදකරු කළේය.. එය සිදුවූයේ 1999 ජූලිවලදීය.
18. දිසා විනිසුරු උපාලි අබේරත්නට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා පරීක්ෂා කිරීමට පත් කළ ත්රිපුද්ගල පරීක්ෂණ කමිටුව ද දිසා විනිසුරුවරයාට එරෙහිව එල්ල වී තිබෙන සියලු චෝදනාවලට ඔහු වරදකරු කළේය.
19. පරීක්ෂණ කමිටු දෙක මේ විත්තිකරුවන් දෙදෙනා සියලු චෝදනාවලට වරදකරු කිරීම ඔවුන් ආශ්රයෙන් ඔබට එරෙහිව එතෙක් මා එල්ල කරමින් තිබුණු සියලු චෝදනා සනාථ කිරීමට සමානය. පරීක්ෂණ කමිටුව ලෙනින් රත්නායකට එරෙහිව එල්ල වී තිබුණු චෝදනාවලට ඔහු වරදකරු කිරීම මගින් ඔබ අධිකරණ ඇමතිවරයාට ඒ පිළිබඳව යවන ලද රහස්ය වාර්තාවේ එන සියලු නිගමන බොරු කළේය. උපාලි අබේරත්න පිළිබඳ පරීක්ෂණයේ නිගමන ද ඒ පිළිබඳ ඔබ ප්රකාශ කර තිබූ ස්ථාවරය බොරු කළේය.
20. ලෙනින් රත්නායක සිද්ධියේදී නීතිපති වශයෙන් ඔබ ක්රියා කර තිබෙන නීති විරෝධී හා වෘත්තීය සදාචාරයට පටහැනි ක්රියා කලාපය සලකා ඔබේ නම නීතිඥ නාමලේඛනයෙන් කපා හරින ලෙස ඉල්ලා මා ඔබට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය වෙත පැමිණිලි කරන ලද්දේ එහි ප්රතිඵලයක් වශයෙනි. එම පැමිණිල්ල ඉදිරිපත් කරන ලද්දේ 1999 අගෝස්තු 12 වැනිදාය. ඉන්පසු රසායන ඉංජිනේරුවරයා ද, දිසා විනිසුරු උපාලි අබේරත්නගේ ක්රියාකලාපය මුල්කර ගනිමින් ඔබේ නම නීතිඥ නාමලේඛනයෙන් කපා හරින ලෙස ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණය වෙත තවත් පෙත්සමක් ඉදිරිපත් කළේය.
21. මා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ල අගවිනිසුරුවරයා විසින් සියලු ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වෙත යොමු කරන ලද අතර, එය විභාගයට ගන්නවාට ශ්රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් තිදෙනෙකු විරුද්ධ වනවිට හත්දෙනෙකු පක්ෂ විය. ඒ අනුව මා විසින් ඔබට එරෙහිව ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ විමර්ශන කටයුතු ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු අමීර් ඉස්මයිල් මහතා වෙත ද රසායන ඉංජිනේරුවරයා ඉදිරිපත් කළ පැමිණිල්ලේ විමර්ශන කටයුතු ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ශ්රියානි බණ්ඩාරනායක මහත්මිය වෙත ද භාර දෙනු ලැබීය.
22. 1999 සැප්තැම්බර් 16 වැනි දින අගවිනිසුරු ධුරය ඉසිලු ජී.පී.එස්. ද සිල්වා මහතා විශ්රාම යන ලද අතර, ජනාධිපතිනිය විසින් ඔබ අගවිනිසුරු ධුරයට පත් කරන ලද්දේ ඔබට එරෙහිව එම පැමිණිලි දෙක විභාගවෙමින් තිබෙන අවස්ථාවකදීය. ඒ වනවිට මාගේ පැමිණිල්ල විමර්ශනය කරමින් සිටි අමීර් ඉස්මයිල් මහතා ඔබේ නම නීතිඥ නාමලේඛනයෙන් කපා නොහැරීමට හේතු ඇතොත්, ඊට හේතු ලිඛිතව දැනුම් දෙන ලෙස ඔබ වෙත දැනුම් දීමක් ද කර තිබුණි. ඔබට එරෙහිව විභාග වන පැමිණිලි දෙකක් ඇති බැවින් අගවිනිසුරු ධුරයට පත්කරන්නට යන්නේ ඔබ නම්, මේ පැමිණිලි දෙකේ පරීක්ෂණ කටයුතු අවසන් කරන තෙක් ඔබ අගවිනිසුරු ධුරයට පත්කිරීමෙන් වැළකී සිටින ලෙස ඒ වනවිට අගවිනිසුරුවරයා ද ජනාධිපතිනිය වෙත දැනුම් දීමක් ද කර තිබුණි. ජනාධිපතිනියට ඇගේ කිට්ටු හිතවතකු වූ ඔබ අගවිනිසුරු ධුරයට පත්කිරීමට අවශ්ය වූයේ ඔබ වැටී සිටි දුෂ්කර තත්ත්වයෙන් ඔබ ආරක්ෂා කරගන්නවාට අතිරේකව ඔබ ශ්රේෂ්ඨාධිකරණයේ ප්රධානියා බවට පත්කර ගැනීම මගින් එතෙක් ඇගේ පාලනයෙන් පිටස්තරව තිබූ ශ්රේෂ්ඨාධිකරණය ඇගේ පාලනයට නතු කරගැනීමට අවශ්ය වූ නිසාය. ජනාධිපතිනිය ඔබ ඒ අවස්ථාවේදී එම තනතුරට පත් කිරීම අධිකරණ ස්වාධීනත්වයේ පිළිගත් මූලධර්මවලට පටහැනි වූවා සේ ම, ජනාධිපතිනිය ඔබ එම තනතුරට පත් කළත්, ඔබ තුළ යම් පමණක හෝ අවංකභාවයක් තිබුණේ නම්, එම පත්වීම භාර නොගැනීමේ යුතුකමක් ඔබට ද තිබුණි.
23. ඔබ ශ්රේෂ්ඨාධිකරණයේ ප්රධානියා බවට පත්වී සිටින තත්ත්වයක් තුළ ඔබට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ පැමිණිලිවලට යන කල දසාව කුමක්ද යන්න තේරුම් ගැනීම අමාරු දෙයක් නොවීය. ඔබේ පත්කිරීම අභියෝගයට ලක් කරමින් ශ්රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට සිදුවූයේ ඒ නිසාය. ඒ සමග රසායන ඉංජිනේරුවරයා හා “ටයිම්ස්” පුවත්පතේ සේවය කරන නීතිඥයෙකු ද ඔබේ පත්වීම අභියෝගයට ලක් කරමින් තවත් මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළේය.
24. ඔබ අගවිනිසුරු ධුරය දරන තත්ත්වයක් යටතේ ඔබට එරෙහිව පවරන නඩුවක් සඳහා ඔබ කැමති විනිශ්චය මණ්ඩලයක් පත්කිරීමේ සදාචාරාත්මක අයිතියක් ඔබට නොතිබුණත්, ඔබ ඒ බව නොසලකා එම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා ඔබට අවශ්ය විනිශ්චය මණ්ඩලයක් පත් කළේය.
25. ඔබට එරෙහිව ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට සාධාරණ නඩු විභාගයක් නොලැබෙනු ඇති බව තේරුම් ගත් පසු ඔබ අගවිනිසුරු ධුරයේ කටයුතු කරමින් සිටින ආකාරය ගැන විමසිල්ලෙන් බලා සිටින අතර, ඔබට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් කැමති කරවා ගැනීමේ දුෂ්කර වෑයමක නිරත වීමට සිදුවිය. ඔබ ද ඔබට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත්වීම වළකා ගැනීම සඳහා උපරිම මට්ටමෙන් ඔබේ නිල බලය පාවිච්චි කරන පිළිවෙතක් අනුගමනය කරන ලද අතර, ඔබට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට උනන්දුවක් දක්වන මන්ත්රීවරුන්ට ඔවුන්ගේ හිතවතුන්ට හා ඔවුන්ගේ පක්ෂ නායකයන්ට කතා කරන පිළිවෙතක් ඔබ අනුගමනය කළේය.
26. ඔබ ජනාධිපතිනිය වෙනුවෙන් නිශ්චිත දේශපාලන කාර්ය භාරයක් ඉටුකරමින් සිටින අගවිනිසුරුවරයෙකු බව 2000 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ඉදිරියට ගෙනා 17 වැනි ව්යවස්ථා සංශෝධනයේ දී ඔබ කෙරෙන් පළවූ අගතිගාමී හැසිරීමෙන් විරුද්ධ පක්ෂවලට සැකයකින් තොරව තේරුම් ගැනීමට හැකිවූ අතර, එම තත්ත්වය ඔබට එරෙහිව ඉදිරියේ දී දෝෂාභියෝගයක් ගෙන ඒමට අවශ්ය ශක්තිමත් පදනමක් ලබාදුන්නේය.
27. ඔබ දේශපාලන කාර්ය භාරයක යෙදී සිටින පුද්ගලයෙකු විනා අගවිනිසුරු ධුරය වැනි ගරු කටයුතු තනතුරක් දරන්නට සුදුසු පුද්ගලයෙකු නොවන බව විරුද්ධ පක්ෂවල මන්ත්රීවරුන් විශාල පිරිසක් 2001 ජනවාරි කාලසීමාව වනවිට පිළිගන්නා තත්ත්වයකට පැමිණ සිටියේය. ඔබට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ යුතු බවට ඔවුන් තම පක්ෂ නායකයන්ට බලකරන තත්ත්වයකට යොමුවී සිටියේය. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ඔබ ද උපරිම මට්ටමෙන් නිල බලය ද ආණ්ඩුව සතු ජනමාධ්යවලට ද යොදා ගත්තේය.
28. ඔබට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරියට ඒම වළකා ගැනීමට ඔබ දරන ලද සියලු උත්සාහයන් අසාර්ථක වී එක්සත් ජාතික පක්ෂය ඔබට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට පැහැදිලිව තීන්දුවක් ගෙන ඒ සඳහා වන කෙටුම්පත සකස් කරමින් තිබූ අවස්ථාවක ඔබ කළේ ඔබේ හිතවත් නීතිඥ කණ්ඩායමක් ලවා දෝෂාභියෝගයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරවා ගනිමින් ඔබේ වාසියට හේතුවන තීන්දුවක් ලබාගත හැකි ආකාරයේ විනිශ්චය මණ්ඩලයක් පත් කරමින් එම විනිශ්චය මණ්ඩලය ලවා ඉදිරිපත් වන්නට නියමිතව තිබුණු දෝෂාභියෝගය කථානායකවරයාට භාරගත නොහැකි වන ආකාරයට අතුරු තහනම් නියෝගයක් පනවා ගැනීමය. දෝෂාභියෝගයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් සඳහා ක්රියාකරමින් තිබෙන බව දැනගන්නට ලැබුණු වහාම එජාපය කඩිමුඩියේ දෝෂාභියෝගයට විරුද්ධ පක්ෂ මන්ත්රීවරුන් 77ගෙන් අත්සන් ලබාගනිමින් එය කථානායකවරයා වෙත 2001 ජූනි 06 වැනිදා භාර දෙන ලද අතර, කථානායකවරයා වෙත අතුරු තහනම පනවන ලද්දේ ද එදිනමය. අතුරු තහනමට ආණ්ඩු පක්ෂයේ සියලු දෙනා එකහඬින් සහයෝගය දෙනු ඇතැයි ඔබ විශ්වාස කරන්නට ඇතත්, ඊට වෙනස්ව ආණ්ඩු පක්ෂය අභ්යන්තරයෙන් ද ඊට විරෝධයක් මතුවී එය පාර්ලිමේන්තුව හා අධිකරණය අතර ඇතිවන මහා ගැටුමක් දක්වා වර්ධනය වූයේය. කථානායකවරයා අතුරු තහනම භාර ගැනීම ප්රතික්ෂේප කිරීමත් සමග ඔබ කළේ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත්ව තිබූ විශ්වාසභංග යෝජනාව හේතුවක් කරගනිමින් පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කරන තැනකට ජනාධිපතිනිය යොමු කිරීමය. පාර්ලිමේන්තුව වසා තබන තත්ත්වයක් ඇති කොට ඔබට එරෙහිව ඉදිරිපත්වී තිබෙන දෝෂාභියෝග පරීක්ෂණය යටපත් කිරීම ඔබගේ අරමුණ වූ බව පැහැදිලිය. එහෙත් ජනාධිපතිනියගේ එම මෝඩ ක්රියාව තිබුණු අර්බුදය වඩා විශාල කිරීමට හේතුවිය.
29. මේ තත්ත්වයන් යටතේ අගවිනිසුරු වශයෙන් ඔබට එරෙහිවත්, ඔබට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ විමර්ශනය කෙරෙන පැමිණිලි දෙකක් තිබියදී පටු දේශපාලන අරමුණු මත ඔබ අගවිනිසුරු ධුරයට පත් කරන ලද ජනාධිපතිනියට එරෙහිවත් ඔබට එරෙහිව ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් නිෂ්ප්රභා කරමින් ශ්රේෂ්ඨාධිකරණය දෙන ලද තීන්දුවට එරෙහිවත් ජිනිවාහී මානව හිමිකම් කොමිසම ඉදිරියේ නඩු පැවරීමට මා ක්රියාකරමින් තිබෙන අතර, ඒ සඳහා අවශ්ය ලේඛන දෙකක් ලෙස සැලකිය හැකි ඔබ ප්රධානත්වයෙන් පවත්වාගෙන යන අධිකරණ සේවා කොමිසම භාරයේ ඇති ලෙනින් රත්නායක හා උපාලි අබේරත්න යන අයවලුන්ට අදාළ ත්රිපුද්ගල පරීක්ෂණ කමිටු දෙකේ වාර්තාවල පිටපත් නොපමාව මා වෙත ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි.මෙයට,
විශ්වාසී,
වික්ටර් අයිවන්