අගවිනිසුරු සරත් සිල්වා මහතාට එරෙහිව ඉදිරිපත් වී තිබෙන දෝෂාභියෝගයේ කටයුතු අවසන් වන තෙක් ඒ මහතා අගවිනිසුරු ධූරයේ කටයුතු කිරිමෙන් වළකන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ වාර්තාකරු ලෙස ක්රියාකරන ඩාටෝ පරම්කුමාරස්වාමි මහතා විදේශ කටයුතු ඇමති මගින් ජනාධිපතිනිය වෙත දැනුම් දිමක් කිරීම අධිකරණ ඇමති බැටී වීරකෝන් මහතාගේ දැඩි විරෝධයට හේතු වී තිබේ. බැටී වීරකෝන් මහතා කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට තබා මොනම ජගතෙකුටවත් අධිකරණයට ඇගිලි ගැසීමට නොහැකි බව ය. අපේ ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුව නම් අධිකරණය කිසිවෙකුටත් ඇගිලි ගැසීමට නොහැකි ස්වාධීන ආයතනයක් වන බව ය.
ආණ්ඩුක්රම ව්යවස්ථාව අපේ රටේ මූලික හා ප්රමුඛ නීතිය වන බව සැබෑවකි. එහෙත් අපේ නීති පොත්වල මොනවා තිබුණත් ජාත්යන්තර ප්රඥප්තියට අත්සන් තබා තිබෙන අවස්ථාවල දි ඒ ගිවිසුම්වල එන කරුණු නොසලකා ක්රියාකිරිමේ හැකියාවක් අපට නැත.
ශ්රී ලංකාව ස්වෛරි රාජ්යයක් වනවා සේ ම එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්යයක් ද වේ. ස්වාධීන රාජ්යයක් ලෙස එය සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම් නොසලකා ක්රියාකිරිමේ හැකියාවක් ශ්රී ලංකාවට නැත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්යන්තර සම්මුතියක් ද ආර්ථික, සාමාජික හා සංස්කෘතික අයිතීන් පිළිබඳ ජාත්යන්තර සම්මුතියක් ද සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්රොටකෝලය ද සම්මත කරගන්නා ලද්දේ 1966 දි ය. මේ සම්මුතීන් තුන බලාත්මක කිරීම ආරම්භ වූයේ 1976දි ය. ඉන් පසු 1980 ජූනිවල දි ශ්රී ලංකාව පළමු සම්මුතීන් දෙකට අත්සන් තබන ලද අතර 1997 ඔක්තෝබර්වල දි ප්රොටකෝලයට ද අත්සන් තැබුවේ ය.
ගිවිසුම් දෙකට අතිරේකව ප්රොටකෝලයට අත්සන් තැබීමත් සමග සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තියට ඇතුළත් කරුණුවලට අදාළ නඩු විභාගයක දි ශ්රී ලංකා ශ්රේෂ්ඨාධිකරණය දෙන තීන්දුවකින් සෑහීමකට පත් නොවන පුද්ගලයකුට ජිනීවාහි මානව හිමිකම් කමිටුව නමින් හැඳින්වෙන ජාත්යන්තර අධිකරණය ඉදිරියට යාමේ හැකියාව ද ලැබුණේ ය. ඒ සමග ශ්රේෂ්ඨාධිකරණයට හිමි උත්තරිතරභාවය අහිමි විය. මානව හිමිකම් කමිටුව දෙන තීන්දුවක් හෝ නිර්දේශයක් බාර ගැනීමට හා පිළිගැනීමට ප්රොටකෝලයට අත්සන් තබා ඇති රාජ්යයන් බැඳී සිටී. මානව හිමිකම් කමිටුව ප්රොටකෝලයට අයත් රාජ්යයන්ගේ පුරවැසියන් ඉදිරිපත් කරන පැමිණිලි විභාග කරන ආයතනයක් වශයෙන් පමණක් ක්රියා නොකරයි. සාමාජික රටක මහා පරිමාණයේ මානව හිමිකම් උල්ලංඝනය කෙරෙන අවස්ථාවක දි රාජ්ය නායකයා වෙත දැනුම් දිම් කිරිම් හා නැවත එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත රපෝර්තු කිරිමේ බලය ද එම කමිටුව සතු ය.
අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ විෂය අයත් වන්නේ ද සිවිල් හා මානව අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තිය යටතට ය. මෙම විශේෂ විෂය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විශේෂ වාර්තාකරුවකු පත්කර තිබෙන අතර දැනට එම විශේෂ වාර්තාකරු ලෙස ක්රියාකරන්නේ මැලේසියානු ජාතිකයකු වූ ඩාටෝ පරම්කුමාරස්වාමි මහතා ය. සාමාජික රාජ්යයක අධිකරණ ස්වාධීනත්වය අනතුරට ලක්ව තිබෙන අවස්ථාවක විදේශ ඇමති මගින් රාජ්ය නායකයා වෙත දැනුම් දිමක් කිරිමේ සේ ම එම දැනුම්දිම නොසලකා ක්රියාකරන්නේ නම් මානව හිමිකම් කමිටුව වෙත රපෝර්තු කිරිමේ බලය ද එම නිලය දරන්නා සතු ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය අධිකරණ ස්වාධීනත්වය සඳහා වන මූලික ප්රතිපත්ති ප්රකාශයක් ප්රකාශයට පත් කරන ලද්දේ 1985 දි ය. එම වසරේ අගෝස්තු 26 වැනි දා සිට සැප්තැම්බර් 6 වැනි දා දක්වා ඉතාලියේ මිලාන් නගරයේ පැවැති සමුළුවක දි එම ප්රතිපත්ති කෙටුම්පත් කරන ලදි.
ඉන්පසු 1993 සැප්තැම්බර් 13-15 දක්වා ආසියාවේ ශාන්තිකර රටවල අගවිනිසුරුවරුන්ගේ සම්මේලනයක් කොළඹ නගරයේ දි පැවැත්විණ. ආසියානු හා ශාන්තිකර කලාපයේ රටවල් සඳහා අධිකරණ ස්වාධීනත්වය සඳහා ප්රතිපත්තියක් කෙටුම්පත් කෙරුණේ එම සම්මේලනයේ දි ය. 1997 අගෝස්තුවල දි ආසියාවේ හා ශාන්තිකර කලාපයේ අගවිනිසුරුවරුන්ගේ 6 වැනි සම්මේලනය චීනයේ බීජින් නුවර පවත්වන ලද අතර 1993 දි කොළඹ දි සකස් කෙරුණ කෙටුම්පත සාකච්ඡාවට ගනිමින් එම කෙටුම්පතේ නව සංශෝධනයන් එහි දි ඇති කරගන්නා ලද අතර අධිකරණයේ ස්වාධීනත්වය සඳහා වන බීජින් ප්රඥප්තිය ලෙස සැලකෙන්නේ එයයි. එම ප්රඥප්තියට අනුකූලව ක්රියාකිරීමට ආසියාව හා ශාන්තිකර කලාපයට අයත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්රොටකෝලයට අත්සන් තබා ඇති සියලු සාමාජික රාජ්යයන් බැඳී සිටින්නේ ය.
පරම්කුමාරස්වාමි මහතා විදේශ කටයුතු ඇමති මගින් ජනාධිපතිනිය වෙත දැනුම් දිමක් කරන ලද පළමු අවස්ථාව මෙය නොවන අතර ජනාධිපතිනිය සරත් එන්. සිල්වා මහතා අගවිනිසුරු ධූරයට පත්කිරීමට තීරණය කරන ලද අවස්ථාවේදිත් ඊට විරෝධය පළ කරමින් ඒ මහතා විදේශ ඇමති මගින් ජනාධිපතිනිය වෙත දැනුම්දිමක් කළේ ය. ඒ විරෝධයට පදනම් වූ කරුණු දෙකක් තිබුණි. සරත් සිල්වා මහතාට එරෙහිව විෂමාචාර චෝදනා මත ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පැමිණිලි දෙකක් පරික්ෂෂණයට ලක්වෙමින් තිබූ අවස්ථාවක පරික්ෂෂණයේ චූදිතයා අගවිනිසුරු ලෙස පත් කිරීම ගැන ය. ශ්රේෂ්ඨාධිකරණයේ සිටි ජේයෂ්ඨයන් නොසලකා කණිෂ්ඨයෙකු පත් කිරීම විරෝධයට හේතු වූ දෙවැනි කරුණ විය. ඒ සියල්ල බීජින් සම්මුතියේ මූලධර්මවලට පටහැනි ය.
ජේ.ආර්. ජයවර්ධන බලයට පත් වූ හා බලය පවත්වාගෙන ගිය යුගයේ ලෝකයට වඩා චන්ද්රිකා බලයට පත් වූ හා බලය පවත්වාගෙන යන යුගයේ ලෝකය වෙනස් ය. ජේ.ආර්. බලයට පත් වන අවස්ථාව වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් අධිකරණ ස්වාධීනත්වය පිළිබඳව ප්රඥප්තියක් නොතිබුණි. ආසියානු හා ශාන්තිකර කලාපයේ රටවල් සමග බීජින් සම්මුතියක් ද නොතිබුණි. ජේ.ආර්. ජයවර්ධන අධිකරණ ස්වාධීනත්වය සමග සෙල්ලම් කළේ එවැනි හිස් අවකාශයක් තිබුණු යුගයක දි ය. එහෙත් චන්ද්රිකා කුමාරතුංග මහත්මිය අධිකරණ ස්වාධීනත්වය සමග සෙල්ලම් කරන්නට ගියේ ඒ සඳහා පිළිගත් ලෝක හා කලාපීය ප්රඥප්තියක් තිබියදි බව ද නොසලකා ය.
දූෂණ චෝදනා එල්ල වූ පුද්ගලයකුට එරෙහිව පරික්ෂණයක් කරන අවස්ථාවක දි එම පරික්ෂෂණය පවත්වන ආයතනයේ ප්රධානියා ලෙස දූෂණ චෝදනා එල්ල වූ පුද්ගලයා පත් කරන තත්ත්වයක් ඉදිරියේ පරික්ෂණයට කුමක් වනු ඇත්දැයි බැටී වීරකෝන් වැනි සමසමාජ නායකයකුට තේරුම් ගැනීමට අමාරු වුවත් එහි හොඳ නරක තේරුම් ගැනීමේ අමාරුකමක් සාමාන්ය ජනතාවට නැත. සරත් සිල්වා මහතා අගවිනිසුරු ධූරයට පත්වන අවස්ථාවේ දි ඒ මහාතාට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයේ සිදු කෙරෙමින් තිබුණු පරික්ෂෂණ දෙකට කුමක් වීද යන්න අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා හා ජනාධිපතිනියට අතිරේකව දන්නවා නම් දන්නවා ඇත්තේ ද අධිකරණ ඇමති වශයෙන් බැටී වීරකෝන් මහතා පමණ ය. සරත් එන්. සිල්වා මහතා අගවිනිසුරු ධූරයට පත් කිරිමේ සිට අද දක්වා රගපා තිබෙන දේශපාලන භූමිකාව බැටී වීරකෝන් මහතාට ආස්වාද ජනක ක්රියාවලියක් විය හැකි වුවත් එය ලෝකයා දකින්නේ පිළිකුලෙනි.
එජාප පාලන යුගයේ දිත් අධිකරණයේ ස්වාධීනත්වයට එරෙහිව කෙරෙන ඇගිලි ගැසීම් තිබුණත් ඒ ඇගිලි ගැසීම්වලට එරෙහිව සිය ස්වාධීනත්වය රැක ගැනීම සඳහා වන අරගලයක් ද අධිකරණය තුළ තිබුණේ ය. එම අරගලය අධිකරණයේ ස්වාධීනත්වය පෝෂණය කරමින් අධිකරණය මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවූ ආයතනයක් බවට වර්ධනය වී තිබුණි. එහෙත් පොදු පෙරමුණට සරත් එන්. සිල්වා කෙනෙකුගෙන් පමණක් ඒ සමස්ත ක්රියාවලියම ආපසු හැරවීමට හැකිවිය. පොදු පෙරමුණේ යුගය අධිකරණයේ අඳුරුම යුගයයි. මීට වඩා අඳුරු යුගයක් නොතිබුණා සේ ම ඇතිවිය ද නොහැකි ය.