රටේ ප්රධාන විධායකයා ලෙස ක්රියාකරන ජනාධිපතිනිය රටේ පැවැත්ම සමග සෙල්ලම් කරන තත්ත්වයකට යොමු වී සිටින බව පෙනේ. රටේ අතිවිශාල ආර්ථික කඩාවැටීමක් ඇති වී තිබෙන අතර පවතින දේශපාලන අස්ථාවරභාවය ආර්ථිකයේ ඇති වී තිබෙන බිඳවැටීම වේගවත් කිරීමට හේතු වී තිබේ.
රටේ පවතින දේශපාලන කටයුතු අනුව පාර්ලිමේන්තුවේ සහාය නැතිව විධායක ජනාධිපතිවරයාට පමණක් රට පාලනය කළ නොහැක. නීති සම්පාදන බලය සේ ම මූල්ය පාලන බලය ඇත්තේ ද පාර්ලිමේන්තුවට ය.
ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවක දි එය විවාදයට ගැනීමට ඉඩක් නොලැබෙන පරදි පාර්ලිමේන්තුව කල් දැමීමේ අයිතියක් ජනාධිපතිනියට තිබිය නොහැකි ය. ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැතිනම් බහුතර බලයක් ඇති විපක්ෂෂයට ආණ්ඩුවක් පිහිටුවාලීමට ඉඩ දෙනවා වෙනුවට පාර්ලිමේන්තුවේ සැසිවාරය කල් දැමීම මගින් ජනාධිපතිනිය රට දේශපාලන වශයෙන් අරාජික තත්ත්වයකට පත් කළා ය.
ආණ්ඩුව මුහුණ දි සිටින්නේ සරල අංක ගණිත ගැටලුවකට වඩා වැඩි ප්රශ්නයකට බව ජනාධිපතිනිය තේරුම්ගත යුතු ය. විපක්ෂෂය පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇති කණ්ඩායම බවට පත්ව සිටිනවා පමණක් නොව ආණ්ඩුවේ ඒකමතිකභාවය බිඳවැටී ආණ්ඩු පක්ෂෂයේ විශාල කණ්ඩායමක් ද විපක්ෂෂය සමග පොදු වැඩපිළිවෙළකට එකතුවන තත්ත්වයක් ඇති වී තිබේ. එහි සරල තේරුම වනුයේ ජනාධිපතිනියගේ නායකත්වය යටතේ පවත්නා පොදු පෙරමුණු ආණ්ඩුවේ පාලනය මුළුමණින් අවසන් වී ඇති බව ය. එය තේරුම් ගැනීමට ඡන්ද විමසීමක් අවශ්ය වන්නේ නැත.
මේ ඇති වී තිබෙන තත්ත්වය වෙනස් කළ නොහැකි ය. ඒ සඳහා ජනාධිපතිනිය මෙතෙක් දරා තිබෙන සියලු උත්සාහයන් අසාර්ථක වීමෙන් පෙනී යන්නේ ද ආණ්ඩු බලය අත්හරිනවා හැර වෙනත් විකල්පයක් ජනාධිපතිනිය ඉදිරියේ නැති බව ය.
ආණ්ඩු බලය අහිමිවන අවස්ථාවක දි බලයේ සිටින පිරිස බලය අත් නොහරි නම් බලයට තරග කරන කණ්ඩායම් අතර ගැටුමක් ඇති වී රටේ අරාජික තත්ත්වයක් ඇතිවීම ද නොවැළැක්විය හැකි ය.
වහාම පාර්ලිමේන්තුව රැස්කරවා බහුතර බලයක් ඇති විපක්ෂෂයට ආණ්ඩුවක් ඇතිකර ගැනීමට ඉඩ හැරිම ජනාධිපතිනියගේ වගකීමකි. ඒ වගකීම ඇය ඉටු නොකරයි නම් ඒ නිසා ඇතිවිය හැකි ප්රතිවිපාකවල වගකීම ඇය බාරගත යුතු ය.