ආණ්ඩුව තමන් මුහුණ දි සිටින අර්බුදයේ දිග පළල හා ගැඹුර තේරුම් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත. ආණ්ඩුව එය දකින්නේ සරල සංඛ්යා ගැටලුවක් ලෙසය. සරත් එන්. සිල්වාගේ ආධාරයෙන් හෝ වෙනත් ආකාරයකින් ඒ සරල සංඛ්යා ගැටලුව විසඳගත් හැකි වෙතොත් තමන් ඇද වැටී සිටින තත්ත්වයෙන් ගොඩ ඒමට හැකිවනු ඇතැයි ආණ්ඩුව කල්පනා කරයි. එහෙත් ඇතිවී තිබෙන අර්බුදය සරල සංඛ්යා පිළිබඳ අර්බුදයකට වඩා දුරදිග ගිය අර්බුදයකි. සරල දහං ගැටවලින් පමණක් එය ජයගැනීම අසීරුය.
ඇතිවී තිබෙන අර්බුදය රටේ විරුද්ධ පක්ෂ ව්යාපාරවලට නව ප්රබෝධයක් හා ශක්තියක් ලබා දි ඇතත්, ඇතිවී තිබෙන අර්බුදය ඉක්මන් හා තර්කානුකූල අවසානයක් කරා ගෙන යාමට අවශ්ය කරන දැක්මක් ඔවුන්ට තිබෙන බවක් පෙනෙන්නට නැත.
අශ්වයා ජව වේගයකින් ඉදිරියට දුවමින් සිටියත්, ඌ දුවමින් සිටින්නේ පිට උඩ සිටින ජොකියාට අවශ්ය දිසාවකට නොව, අශ්වයාට අවශ්ය දිසාවටය. පිට උඩ සිටින ජොකියා වේගයෙන් දුවමින් සිටින අශ්වයා පිට උඩ නොවැටී රැඳි සිටීමට සමත් වී ඇතත්, තමන්ට අවශ්ය ලෙස අශ්වයා මෙහෙයවීමට සමත් වී නැත.
වේගයෙන් දුවන අශ්වයා හා ඌ පිට උඩ සිටින ජොකියා පිළිබඳ නිදර්ශනය පොදුවේ විරුද්ධ පක්ෂ ව්යාපාරවලටත් විශේෂයෙන් එජාපයට හා ජනතා විමුක්ති පෙරමුණටත් පොදුය.
ජනාධිපතිනිය ජනමත විචාරණයක් ප්රකාශයට පත් කළේ එවැන්නක් කුමන ප්රතිඵලයක් ලබාදෙනු ඇත්ද යන්න පිළිබඳව හරි තක්සේරුවකට යාමෙන් තොරවය. ඉන් ලැබෙන්නට යන්නේ නින්දා සහගත පරාජයක් බව තේරුම් ගත් පසු ඇය එය ඉවත් කරගන්නවා වෙනුවට ඔක්තෝබර් 18 වැනිදා දක්වා කල් දමන ප්රතිපත්තියක් අනුගමනය කළාය. කල් දමන පිළිවෙතක් වෙනුවට ජනමත විචාරණය ඉවත් කර ගත්තේ නම්, ඒ වෙනුවෙන් මෙතෙක් විනාශ කරන ලද පොදු මහජන මුදල් පිළිබඳ ප්රශ්නයකට ද ඇයට මුහුණ දෙන්නට සිදුවන්නේය.
කොමිෂන් සභා පහ නීතිගත කරන්නේ නම්, පරිවාස කාලයක් සඳහා විරුද්ධ පක්ෂයේ සිට ආණ්ඩුවට ආධාර කිරීමට තමන් සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණ කියයි. එහෙත් ආණ්ඩුව මුහුණ දි තිබෙන අර්බුදයේ දිග පළල ජනතා විමුක්ති පෙරමුණ තේරුම් ගෙන ඇති ප්රමාණයට වඩා විශාලය. ජනතා විමුක්ති පෙරමුණේ දහයෙන් පමණක් ආණ්ඩුව කෙළින් කළ නොහැකිය. එය සරල සංඛ්යා ලේඛන ප්රශ්නයකට වඩා එහා ගිය ප්රශ්නයකි. ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ සුළුතරයක් බවට පත්ව සිටිනවා පමණක් නොව, කවර ආකාරයකින්වත් ආණ්ඩු පක්ෂයේ අභ්යන්තර ඒකමතිකභාවය පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට ආණ්ඩුව ඇද වැටී සිටින්නේය. සංඛ්යා ලේඛනවල සුළු වෙනස් කිරීමක් ප්රශ්නයට විසඳුමක් නොවන්නේ ඒ නිසාය.
ජනමත විචාරණය කල් දැමීමෙන් පසුව දැන් ජනාධිපතිනියට කළ හැක්කේ කුමක්ද?
අවශ්ය නම්, ඇයට වහා පාර්ලිමේන්තුව කැඳවිය හැකිය. නැතිනම් වහාම කැඳවීමක් නොකොට පාර්ලිමේන්තුව කැඳවීමට ප්රකාශ කර ඇති දිනටම පාර්ලිමේන්තුව කැඳවා අවශ්ය නම්, නැවත පාර්ලිමේන්තුව කල් දමා පාර්ලිමේන්තුවට අවුරුද්දක් සම්පූර්ණ වීමෙන් පසුව මහ මැතිවරණයකට යා හැකිය.
දිගින් දිගට හිතුවක්කාරි ලෙස පාර්ලිමේන්තුව කල් දමන ප්රතිපත්තියක් රටේ පවතින අස්ථාවරභාවය තීව්ර කිරීමට හේතුවී පිලිපීනයේ මෙන් මහජනයා වීථි බසින තත්ත්වයක් පවා ඇතිවිය හැකිය. ඒ කිසිවක් සිදු නොවී පාර්ලිමේන්තු මැතිවරණයකට ගිය ද දැන් තිබෙන තත්ත්වය යටතේ පොදු පෙරමුණ අන්ත පරාජයකට පත්වනු නොවැළැක්විය හැකිය.
මැතිවරණයකින් ලබන අන්ත පරාජයකින් පසුව මුදා හැරෙන ජනතා බලය ඉදිරියේ ජනාධිපතිනියට තවදුරටත් සිය ධුරය පවත්වාගෙන යා හැකි තත්ත්වයක් තිබෙනු ඇතැයි සිතිය නොහැකිය. එසේ තිබුණ ද ඒ සමග ඇතිවන නව පාර්ලිමේන්තුව වඩා ශක්තිමත් ආකාරයකින් ජනාධිපතිනියට එරෙහිව නැගී සිටින තත්ත්වයකට යොමුවනු නොවැළැක්විය හැකිය.
ඒ සියලු කරුණු සලකා බලනවිට ජනාධිපතිනිය ගැලවිය නොහැකි දරුණු දේශපාලන උගුලකට අසුවී සිටින බව පැහැදිලිය. ඇය ප්රඥාවන්ත නම් කළහැකි හොඳම දේ දරදඬු පිළිවෙතක් වෙනුවට නම්යශීලී පිළිවෙතකට යමින් පාර්ලිමේන්තුව කැඳවා විපක්ෂයට තමන් කැමති ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ඉඩ හරීන පිළිවෙතක් අනුගමනය කිරීමය. එහිදී ගොඩ නැගෙන නව ආණ්ඩුව සිය ආරක්ෂාව සඳහා ජනාධිපතිනියගේ තටු කපන ප්රතිපත්තියකට යාම නොවැළැක්විය හැකිය. එවැනි ක්රියාමාර්ගයක් අප්රසන්න විය හැකි වුවත්, එය ඉවසිය යුතුය. ඉවසිය නොහැකි නම් ජනාධිපති ධුරය අත්හැර යා යුතුය.
දැන් තිබෙන තත්ත්වය යටතේ විපක්ෂයට ද එක් පක්ෂයකට හෝ පක්ෂ දෙකකට බර තබන ආණ්ඩුවක් ඇති කළ නොහැකිය. තමන් ඉදිරියේ තිබෙන දුෂ්කර අභියෝග ජයගැනීම සඳහා සර්ව පාක්ෂික එකගතාවක් අත්යවශ්ය වන නිසාම කිසිම පක්ෂයක් බැහැර නොකොට සර්ව පාක්ෂික තාවකාලික ආණ්ඩුවක් ඇතිකර ගැනීම වඩා ඵලදායකය.
ප්රජාතන්ත්රවාදී ප්රතිසංස්කරණ නීතිගත කිරීම අපහසු නොවනු ඇතත්, දුෂ්කරම අභියෝගය වනු ඇත්තේ සාමය සඳහා කොටි සංවිධානය සමග එකගත්වයක් ඇති කරගැනීමය. කොතරම් දුෂ්කර වුවත්, එසේ ඇති කරගන්නා එකගතාවකින් තොරව රටේ ස්ථාවරභාවය ඇති කළ නොහැකිය.
ගොඩ නැගෙන නව තාවකාලික ආණ්ඩුවට කළ හැකි හොඳම දේ පාර්ලිමේන්තුව ව්යවස්ථාදායක සභාවක් බවට හරවා දකුණු අප්රිකාව කළා සේ පළමුව ප්රශ්නවලට විසඳුම් සොයන තැනකට යනවා වෙනුවට හැම වැදගත් අංශයකම තිබිය යුතු මූලධර්ම හඳුනාගන්නා තැනකට යාමය. මූලධර්ම හඳුනා ගැනීමෙන් පසු ඒ මූලධර්මවලට ගැලපෙන ප්රතිපත්ති හා නීති ඇති කරගත හැකිය. නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් ඇති කරගැනීම හෝ තිබෙන ආණ්ඩුක්රම ව්යවස්ථාවේ අයහපත් අංග ඉවත් කොට නව යහපත් අංග ඇතුළත් කොට එය සංශෝධනය කරගැනීම හෝ කළ හැකිය.
දකුණු අප්රිකාව කළේ අවශ්ය කරන මූලික මූලධර්ම හඳුනාගනිමින් හා ඒ මූලධර්ම සඳහා පොදු එකගතාවක් ඇති කරගනිමින් මැතිවරණයකින් පසුව සියලු පක්ෂ එක්වී වසර 05ක කාලයක් සඳහා සර්ව පාක්ෂික ජාතික ආණ්ඩුවක් ඇති කරගැනීමේ එකගතාව මත මැතිවරණයකට ගොස් වෙන් වෙන් ව තරග කොට මැතිවරණයෙන් පසුව සියලු දෙනා එකට එකතු වී පාර්ලිමේන්තුව ව්යවස්ථාදායක සභාවක් බවට හරවා ගනිමින් හඳුනාගෙන තිබුණු මූලධර්ම මත නව ආණ්ඩු ක්රම ව්යවස්ථාවක් සම්පාදනය කිරීමය.
වාර්ගික අර්බුදය පිළිබඳව ද විසඳුමක් සඳහා යෝජනා රැගෙන කොටි සංවිධානය සමග සාකච්ඡා කරන තැනකට යනවාට වඩා වාර්ගික ප්රශ්නයට අදාළ මූලධර්ම හඳුනාගනිමින් ඒ මූලධර්ම සඳහා පොදු එකගතාවක් ඇතිකර ගනිමින් කොටි සංවිධානය සමග සාකච්ඡාවට යමින් විසඳුමක් සඳහා නැවත ඔවුන්ගේ ද අදහස් සැලකිල්ලට ගනිමින් හඳුනාගත් මූලධර්ම මත පිහිටා විසඳුමක් ඇති කරගැනීම සඳහා ක්රියා කළ හැකිය.
රටේ පවතින අස්ථාවරභාවය ජයගත හැකි වනු ඇත්තේ සාමය හා ප්රජාතන්ත්රවාදය යන ඉලක්ක දෙකම සපුරා ගත හැකි වේ නම් පමණය. සාමය මත ප්රජාතන්ත්රවාදය රඳ පවත්නා සේ ම ප්රජාතන්ත්රවාදය මත සාමය රඳ පවතී. සාමය ජයගැනීම සඳහා ප්රජාතන්ත්රවාදය පරදුවට නොතැබිය යුතුවා සේ ම, ප්රජාතන්ත්රවාදය ජයගැනීම සඳහා සාමය ද පරදුවට නොතැබිය යුතුය.