අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට එරෙහිව ඉදිරිපත් වී තිබෙන දෝෂාභියෝගය ආශ්රයෙන් මතුවී තිබෙන කථිකාව ශ්රී ලංකාවේ යුක්තිය පසිඳලන ආයතන ක්රමයත් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ගේ හැසිරිමත් දැඩි පරික්ෂෂාවට ලක් කෙරෙන කථිකාවක් බවට හැරෙමින් පවතී.
මතුවී තිබෙන මේ අර්බුදයේ මුල ඇත්තේ ඉතාමත් වැදගත් හා ගරු කටයුතු තනතුරකට නුසුදුසු පුද්ගලයකු පත් කිරිමේ ක්රියාවලිය තුළය.
සරත් එන්. සිල්වා මහතා මේ තනතුරට පත් කෙරෙන අවස්ථාව වන විට ඒ මහතාට එරෙහිව දූෂණ චෝදනා මත ඒ මහතාගේ නම නීතීඥ නාම ලේඛනයෙන් කපාහරින ලෙස ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණය වෙත පැමිණිලි දෙකක් ඉදිරිපත් වී තිබුණු අතර ජනාධිපතිනිය ඒ මහතා එම තනතුරට පත් කරන ලද්දේ ශ්රේෂ්ඨාධිකරණය එම පැමිණිලි දෙක විභාගයට ගෙන තිබුණු අවස්ථාවකය.
සරත් එන්. සිල්වා මහතාට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වන පැමිණිලි දෙකක් ඇති බැවින් සරත් එන්. සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත් කිරිමේ අදහසක් ඇත්නම්, එම පරික්ෂෂණ දෙක අවසන් කරන තෙක් සරත් එන්. සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත් කිරිමෙන් වැළකී සිටින ලෙස විශ්රාම යාමට නියමිතව සිටි අගවිනිසුරු ජී.පී.එස් ද සිල්වා මහතාද ජනාධිපතිනිය වෙත දැනුම් දිමක් කර තිබුණි. ඊට අතිරේකව එච්.එල්. ද සිල්වා, ඊ.ඩී. වික්රමනායක, රාජා ගුණසේකර යන ප්රමුඛ හා ගරු කටයුතු තත්ත්වයෙහිලා සැලකිය හැකි නීතීඥ මහතුන් තිදෙනාද සරත් එන්. සිල්වා මහතා එම තනතුරට පත් කිරිමෙන් වැළකී සිටින ලෙසට ජනාධිපතිනිය වෙත දැනුම් දි තිබුණි. ජනාධිපතිනිය ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ වගඋත්තරකරුවකු බවට පත්ව සිටි එම පුද්ගලයා අගවිනිසුරු ධුරයට පත් කරන ලද්දේ ඒ සියලු කරුණු නොසලකාය. දුෂ්කර තත්ත්වයකට පත්ව සිටි සිය මිතුරා එම තත්ත්වයෙන් ගලවා ගන්නා අතර එමගින් ශ්රේෂ්ඨාධිකරණය තමන්ට පාලනය කළ හැකි තැනකට ගෙන ඒම එහි අරමුණ වූ බවට සැකයක් නැත.
සරත් එන්. සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත් කළ වහාම අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ විෂය භාර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයා එම පත් කිරීම ප්රසිද්ධියේ හෙළා දැක්කේය. ප්රශ්නයේ තිබුණු බරපතලකම කොතෙක්ද යන්න එයින්ම පෙන්නුම් කරයි. ඉන්පසු ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකු වූ මුස්ලිම් කොංග්රස් පක්ෂෂයේ නායක අෂ්රොෆ් මහතාද එය නොමනා පත් කිරීමක් බව ප්රසිද්ධියේම පිළිගත්තේය.
සරත් එන්. සිල්වා මහතාගේ නම නීතීඥ නාම ලේඛනයෙන් කපාහරින ලෙස ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ පැමිණිලි දෙකට ඇතුළත්ව තිබූ චෝදනා සරල නැත. ඒවා ඉතාමත් බරපතලය. මා විසින් ඉදිරිපත් කරන ලද පැමැණිල්ලට ඇතුළත් චෝදනාව වූයේ මහේස්ත්රාත් ලෙනින් රත්නායක තමන් විසින් රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබූ සැකකරුවකුගේ බිරිඳක් කටඋත්තරයක් ලබා ගැනීමේ මුවාවෙන් ගෙන්වාගෙන ඇය දූෂණය කරන ලද බවට හා එම මහේස්ත්රාත්වරයා අධිකරණ සේවයට එන්නට පෙර මුදල් වංචා චෝදනා මත සංස්ථා සේවයෙන් පලවා හරිනු ලැබූවකු බව දැන දැනම අධිකරණ ඇමතිවරයා ඔහු ගැන කරනු ලද විමසීමකදි නීතිපතිවරයා වශයෙන් සරත් එන්. සිල්වා මහතා අධිකරණ ඇමතිවරයාට අසත්ය තොරතුරු ඇතුළත් වාර්තාවක් ලබාදිම මගින් බරපතල වංචාවක් කර ඇති බවය. ඊට අදාළව නීතිපති භාරයේ තිබුණු පොලිස් පරික්ෂෂණ වාර්තා ශ්රේෂ්ඨාධිකරණය භාරයට ගන්නා ලෙස කරන ඉල්ලීමක්ද එම පැමිණිල්ලට ඇතුළත්ව තිබුණි.
රසායන ඉංජිනේරු ජයසේකර මහතා ඉදිරිපත් කර තිබුණු පැමිණිල්ලට ඇතුළත් චෝදනාවල ස්වභාවයද ඉතා බරපතල විය. සරත් එන්. සිල්වා මහතා විවාහක එක් දරු පියෙකුව සිටියදි ඔහු තමාගේ විවාහක බිරිඳ අඹුව කොටගැනීම ආශ්රයෙන් සරත් එන්. සිල්වා මහතාට එරෙහිව පවරන ලද නඩුවේදි අභියාචනාධිකරණයේ සභාපති වශයෙන් එම නඩුවෙන් තමන්ට වාසිදායක තීන්දුවක් ලබා ගැනීම සඳහා නඩුව විභාග කළ දිසා විනිසුරුවරයා කෙරෙහි බලපාන ආකාරය ඊට ඇතුළත් විය.
සරත් එන්. සිල්වා මහතාට එරෙහිව එම පැමිණිලි දෙක ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර මෙම අපකීර්තිමත් සිද්ධීන් දෙකට අදාළ අධිකරණ නිලධාරින් දෙදෙනාට එරෙහිව අධිකරණ සේවා කොමිසම පත් කළ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල පරික්ෂෂණ කමිටු දෙකක් චෝදනා විභාග කොට එම අධිකරණ නිලධාරින් දෙදෙනා සියලු චෝදනාවලට වරදකරු කොට තිබුණේය. ඒ නිසා සරත් එන්. සිල්වා මහතාට එරෙහිව ඉදිරිපත් කරන ලද එම පැමිණිලි දෙක පදනම් විරහිත බොරු චෝදනා ඇතුළත් පැමිණිලි දෙකක් ලෙස සැලකිය නොහැකිය.
සරත් එන්. සිල්වා මහතා අගවිනිසුරු ධූරයට පත්වීමෙන් පසුව තමන්ට එරෙහිව කෙරෙමින් තිබුණු එම පරික්ෂෂණ දෙකේ කටයුතු ඉදිරියට ගෙන යාමට ඉඩ නුදුන්නා පමණක් නොව, එම පරික්ෂෂණ දෙක භාරව ක්රියා කළ විනිසුරුවරුන් දෙදෙනා තමාගේ ප්රධානත්වයෙන් අසුන් ගන්නා විනිශ්චය මණ්ඩලවලට පත් කර ගැනීම මගින් තමන් තුළ ඇති අගතිගාමී බව ප්රදර්ශනය කිරීමට තමන් බිය නොවන බවද ප්රදර්ශනය කළේය. අගවිනිසුරු ධූරයට සරත් එන්. සිල්වා මහතාගේ වලංගුභාවය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් තුන තමන්ට එරෙහිව පවරන ලද නඩුවක් සම්බන්ධයෙන් ඒ මහතාට අපක්ෂෂපාතීව හා සාධාරණව ක්රියාකිරිමේ හැකියාවක් තිබේද යන්න උරගා බැලුණු දෙවැනි අවස්ථාව විය. අගවිනිසුරුවරයා යම් පමණකට හෝ සාධාරණ පුද්ගලයකු වී නම් එය තමාට එරෙහිව පවරන ලද නඩුවක් බව සලකා විනිශ්චය මණ්ඩලය නම් කිරිමේදි අගතියක් ඇති නොවන ලෙස හා අගතිගාමී බව පිළිබඳව සැකයක් ඇති වීමට ඉඩක් නැති ලෙස ක්රියාකළ යුතුව තිබුණි. පෙත්සම්කරුවන් පූර්ණ විනිශ්චය මණ්ඩලයක් හෝ එසේ නොවේ නම්, ජ්යේෂ්ඨත්වයේ අනුපිළිවෙල අනුව පත් කළ විනිශ්චය මණ්ඩලය ඉල්ලා සිටිවිට කණෂ්ඨම විනිසුරුවරයාගේ සිට ආරෝහණ ක්රමයට හත් දෙනෙකුගෙන් යුත් විනිශ්චය මණඩලයක් නම් කළේය. එය වඩාත්ම ජේයෂ්ඨ විනිසුරුවරුන් තිදෙනා එම විනිශ්චය මණ්ඩලයෙන් ඉවත් කිරීම සඳහා යොදා ගැනුණු උපාය මාර්ගයක් විය.
සරත් එන්. සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසුව මූලික අයිතිවාසිකම් නඩු විෂය පථය උපරිම මට්ටමකට පටු කළේය. ඒ සමග ආණ්ඩුවේ හිතුවක්කාරි ක්රියාකාරකම්වලට අදාළව ආණ්ඩුවේ අවාසියට තීන්දු දිමේ හැකියාවක් ඇති බව පෙනෙන පෙත්සම් තමා ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් අතට ගත හැකි ආකාරයට විනිශ්චය මණ්ඩල පත් කරන ක්රමයේ වෙනසක් ඇති කළේය. එමගින් සාධාරණත්වය ඉටුකර ගැනීම පිණිස ශ්රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් අත්හිටුවන්නේ අවසාන වශයෙන් අධිකරණය මගින්ද පොඩි පට්ටම් කර දමන ක්රමයක් ඇති කළේය.
සරත් එන්. සිල්වා මහතාට එරෙහිව එල්ල වී තිබෙන සියලු බරපතල චෝදනා අතරින් වඩාත්ම බරපතල හා ඇදහීමටත් බැරි තරම් වන චෝදනාව ලෙස සැලකිය හැක්කේ රෝහණ කුමාර පදනම් කොට ගෙන එල්ල වී තිබෙන චෝදනාවය.
රෝහණ කුමාර, නඩු හබ රාශියකට පැටලී සිටින නමගිය වංචාකාරයෙකි. පොලිස් පරික්ෂණවලින් හෙළිදරව් වී ඇති පරිදි පාතාල ලෝකයේ නම ගිය අපරාධකරුවන්ට සමීප සම්බන්ධකම් ඇති පුද්ගලයෙකි. විනිශ්චයකාරවරුන් පුහුණු කරන ආයතනයේ භාරකරු ලෙස හා එහි පැවැත්වෙන උත්සව වලට ආහාර සපයන්නා ලෙස ක්රියා කළේ රෝහණ කුමාරය. රෝහණ කුමාරගේ සියලු නඩු කටයුතු වෙනුවෙන් ක්රියාකරන නීතිඥයා වූයේ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්රමරත්න මහතාය. ජයම්පති වික්රමරත්න මහතා හා අගවිනිසුරුවරයා අතර ඉතාමත් සමීප බවක් තිබුණු බව ඒ දෙදෙනාගේ දුරකතන බිල්පත් අනුව පෙනී යයි. රෝහණ කුමාර හා ජයම්පති වික්රමරත්න අතර සේ ම, රෝහණ කුමාර හා අගවිනිසුරුවරයා අතර ද සමීප සම්බන්ධකම් තිබුණු බව ඒ තිදෙනාට අයත් දුරකතන බිල්පත් අනුව පෙනී යයි. පහළ අධිකරණයේ විනිශ්චයකාරවරුන්ට එරෙහිව ලැබෙන ඇතැම් පැමිණිලි ගැන සොයා බැලීමේ වගකීම් අගවිනිසුරුවරයා පවරා තිබුණේ ද මේ රෝහණ කුමාරටය.
පොලිස් පරික්ෂණවලින් හෙළිදරව් වී තිබෙන ආකාරයට පේරාදෙණිය රංජිත් බණ්ඩාර විජේකෝන් ඝාතනයේ මොළකාරයා ලෙස ක්රියා කොට ඇත්තේ රෝහණ කුමාරය. රංජිත් බණ්ඩාර විජේකෝන්ට වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා ඒ අවස්ථාවේදි ඔහු පරිහරණය කළ පිස්තෝලය හා ජංගම දුරකතනය සමග අත්අඩංගුවට ගන්නා ලද අතර, ඝාතකයා ලෙස ක්රියා කළ නුපුල් කුමාර තමන් පරිහරණය කළ 077-794681 දරන ජංගම දුරකතනයෙන් රෝහණ කුමාරටත්, රෝහණ කුමාර සමග මෙම ඝාතනය පිටුපස සිටින ඊළග තැනැත්තිය ලෙස සැලකෙන ලක්ෂ්මී කුසුමලතාටත් දිගින් දිගට කතා කර ඇති බව පොලිස් පරික්ෂණවලදි තහවුරු වී තිබේ. රෝහණ කුමාර පරිහරණය කළ 077-794681 දරන ජංගම දුරකතනයේ බිල් වලින් ද රෝහණ කුමාර ඝාතකයාට ඝාතනයට පෙර දින 10 වතාවක් ද, ඝාතනය සිදුවූ උදයේ සිව් වතාවක් ද, කතා කර ඇති අතර, ඔහු ආචාර්ය ජයම්පති වික්රමරත්න මහතාට ද ඝාතනය සිදුවූ දින 2 වතාවක් කතා කර තිබේ. ලක්ෂ්මී කුසුමලතා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී ඇතත්, රෝහණ කුමාර සැගවී සිටී.
මේ ඝාතන සිද්ධියට පෙර වෙඩි තැබීම සිදුකළ නුපුල් කුමාර නමැති නමගිය අපරාධකරුවාගේ මූලික අයිතිවාසිකම් නඩුවක් සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා ක්රියාකර තිබෙන ආකාරය ඉතාමත් සැක උපදවන සුළුය.
නුපුල් කුමාරගේ මෙම පෙත්සම (S.C.F.R. 43/2000) මූලික විභාගයට ගැනුණේ 2001 පෙබරවාරි 19 වැනි දින සරත් එන්. සිල්වා, ප්රියන්ත පෙරේරා, ශිරාණි බණ්ඩාරනායක යන විනිසුරු මඬුල්ල ඉදිරියේය. නුපුල් කුමාර වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ ආචාර්ය ජයම්පති වික්රමරත්න මහතාය. පෙත්සමේ ලේඛනගත නීතිඥයා ලෙස එම්.බී.එස්. වීරකෝන් මහතාගේ නම සඳහන් වී තිබුණත්, තමා එම පෙත්සමේ ලේඛනගත නීතිඥයා නොවන බවත්, එහි සඳහන් අත්සන ද ව්යාජ අත්සනක් බවත් වීරකෝන් මහතා වගඋත්තරකරුවන්ගේ නීතිඥයන්ට දැනුම් දෙන ලදුව ඔවුන් ඒ බව විනිශ්චය මණ්ඩලයට දැනුම් දුන්නේය. පුදුමයට මෙන් නුපුල් කුමාරගේ අයදුම්පත විභාගයට ගැනීම ප්රතික්ෂේප කළා විනා, සිදුවී තිබුණු වංචාව ගැන කිසිදු පියවරක් නොගැනිණ. පෙත්සමේ ලේඛනගත නීතිඥයා ලෙස වීරකෝන් මහතාගේ නම සඳහන් වී තිබුණත්, නඩු පැවරිමේ ලේඛනයේ සඳහන් වී තිබුණේ නීතිඥ ගැස්ටන් ජයකොඩි මහතාගේ නමය. ඒ මහතා ද ජයම්පති වික්රමරත්න මහතාට සේම, අගවිනිසුරුවරයාට ද සමීප පුද්ගලයෙකි. මේ වංචාව පිළිබඳ මිරිහාන පොලිසියේ උප පොලිස් පරික්ෂක කේ.එස්. දර්ශන මහතා වංචා විමර්ශන අංශයට පැමිණිලිකර ඇතත්, විභාගයක් අරඹා නැත. පේරාදෙණිය රංජිත් බණ්ඩාර විජේකෝන් ඝාතනය පිළිබඳව පරික්ෂණ භාරව ක්රියා කරන පොලිස් කණ්ඩායම රෝහණ කුමාරගේ හොරණ නිවස පරික්ෂා කිරිමේදි රෝහණ කුමාර අගවිනිසුරුවරයා සමග එකට ගන්නා ලද ඡායාරූපයක් ද අත්අඩංගුවට ගත්තේය.
මේ කරුණු මීට පෙර ප්රසිද්ධ පුවත්පතක පළවුවත් අගවිනිසුරුවරයා අද දක්වා ඒ ගැන කිසිදු පැහැදිලි කිරීමක් කර නැත.