රක්ෂා නැතිකම උගත් තරුණ පරපුර පීඩා විඳින බරපතල සමාජ ප්රශ්නයක්ව තිබියදි ශ්රී ලංකාව හෙද සේවිකාවන් කේරළයෙන් ගෙන්වා ගන්නා තත්ත්වයකට පත්ව සිටින්නේය. එය අපේ රටේ දේශපාලන කළමනාකරණය ඇද වැටී තිබෙන බංකොළොත්භාවයේ තරම පෙන්නුම් කරන කදිම නිදර්ශනයකි.
සෞඛ්ය අමාත්යංශයේ ලේකම් තිලක් රණවිරාජා මහතාගේ ඇස්තමේන්තුවලට අනුව ඉදිරි පස් වසර තුළ ශ්රී ලංකාවට විදේශ රටවලින් ගෙන්වා ගැනීමට සිදුවනු ඇති හෙද සේවක සංඛ්යාව 5000කි. දැනටත් සුවසෙත රෝහල කේරළයෙන් ගෙන්වා ගත් හෙදියන් 200ක් සේවයේ යොදවා තිබෙන අතර, ඇපලෝ රෝහල ද තවත් හෙදියන් 200ක් කේරළයෙන් ගෙන්වා ගැනීමට නියමිතය. නවලෝක රෝහල ද කේරළයෙන් ගෙන්වා ගත් හෙදියන් 15ක් සේවයේ යොදවා ඇත.
රජයේ රෝහල් සඳහා අවශ්ය හෙද සේවක සංඛ්යාව 30,000කි. එහෙත් සේවයට යොදාගෙන ඇත්තේ හෙද සේවකයන් 14750ක් පමණය. රජයේ රෝහල්වල තිබෙන ඇඳන් සංඛ්යාව 58310කි. එක් හෙද සේවකයෙක් සඳහා වැටෙන ඇඳන් සංඛ්යාව 3.95කි. එවිට එක් වැඩ දිනක් සඳහා හෙද සේවකයෙකුට ඇඳන් 8කට සමාන ප්රමාණයක් ආවරණය කිරීමට සිදුවේ. පෞද්ගලික රෝහල්වල ඇඳන් 1760ක් සඳහා හෙද සේවකයෝ 4745ක් සිටිති. පෞද්ගලික රෝහල්වල එක් ඇඳක් සඳහා හෙද සේවකයන් 2.69ක් සේවයේ යොදා ඇති බව ඉන් පෙනී යයි. රජයේ රෝහල් සේවයේ ගුණාත්මක වශයෙන් දක්නට ලැබෙන පිරිහීම කෙරෙහි කිසියම් විශාල ප්රමාණයකට හෙද සේවකයන්ගේ හිගය ද බලපා ඇති බව පෙනී යයි.
හෙද සේවකයන්ගේ පමණක් නොව, ඖෂධවේදින්, විකිරණවේදින්, රසායනාගාර කාර්මිකයන්, කායික චිකිත්සකයන් වැනි අංශවල ද විශාල සේවක හිගයක් පවතී. රටේ පවතින ෆාමසි 90%ක්ම පවත්වාගෙන යන්නේ ඖෂධවේදින්ගෙන් තොරවය.
ලකුණු මදිකම නිසා වෛද්ය පීඨවලට ඇතුළත් විය නොහැකි අයගේ සංඛ්යාව විශාලය. මේ පිරිස් හෙද සේවකයන් ලෙස, ඖෂධවේදින් ලෙස, විකිරණ ශිල්පීන් ලෙස හා රසායනාගාර කාර්මිකයන් ලෙස පුහුණු කෙරෙන ක්රමයක් ඇති කළ නොහැක්කේ ඇයි? උගත් තරුණයන් සලකන්නේ හෙද සේවය ගරු කටයුතු සේවයක් ලෙසය. එහෙත් එවැනි අංශවලට එකතුවීමට අවස්ථාවක් නොදි අපි ඒ අවශ්යතාවන් විදේශ රටවල්වලින් සපුරා ගැනීමට බලාපොරොත්තු වේ නම්, එයින් පෙන්නුම් කෙරෙන්නේ රට පාලනය කරන පාලකයන්ගේ කාලකණ්ණභාවයේ තරම නොවේද?
කෝටි සිය ගණනින් වියදම් කොට පාලකයන්ට මහා මන්දිර ඉදිකර දිමට ධනය ඇතත්, රක්ෂා නැති රටක සෞඛ්ය සේවයේ ඉල්ලූමට සරීලන සේවක පිරිසක් පුහුණු කිරීමට අවශ්ය ආයතන ක්රමයක් ඇති කිරීමට රටට මුදල් නැත. එක්තරා පෞද්ගලික රෝහලක් පළපුරුදු පුහුණු හෙදියකට ගෙවන මාසික වැටුප රුපියල් 20,000ක මට්ටමක පවතී. හෙද සේවකයන් හා සෞඛ්ය සේවයේ කාර්මිකයන් සඳහා දේශීය වශයෙන් පමණක් නොව, ජාත්යන්තර වශයෙන් ද ඉල්ලූමක් පවතී. හෙද සේවය සඳහා පවතින වැඩ මුර ක්රමය නිසා යුරෝපා රටවල කාන්තාවන් හෙද සේවයට එකතුවීමට කැමති නැත. ඒ නිසා ආසියාතික හෙදියන් සඳහා ඒ රටවල ඉල්ලූමක් පවතී. අපි අපේ රටේ කාන්තාවන් ගෘහ සේවය සඳහා තොග ගණනින් යවනවා විනා, වඩා හොඳ වැටුප් ලබන එවැනි අංශ සඳහා තිබෙන ඉල්ලූමෙන් ප්රයෝජන ගැනීමට සූදානම් නැත.
රටට අවශ්ය හෙදියන් කේරළයෙන් ගෙන්වනවාට වඩා රක්ෂා නැති උගත් තරුණයන් කේරළයට යවා පුහුණු කරවා මෙරටට ගෙන්වා ගැනීම රටට ලාභදායකය. අපේ රක්ෂා නැතිකමේ ප්රශ්නය වඩාත්ම බලපා තිබෙන්නේ පුරුෂයන් සඳහා නොව, කාන්තාවන් සඳහාය. පුරුෂයන් සඳහා සේවා වියුක්ති අනුපාතිකය 6.7%ක් වනවිට, කාන්තාවන් සඳහා එය 13.0%කි.
රක්ෂා නැතිකමේ ගැටලුව තුළ ඇති පුපුරන සුළු බව යම් පමණකට හෝ මගහැරි ඇත්තේ මැදපෙරදිග රක්ෂා හා යුද්ධය නිසා ගම්බදව විවර වී ඇති රක්ෂා ඉඩ ප්රස්ථා නිසාය. අඩු උගත් කමක් ඇති අය අතර රැකියා විරහිතභාවය බරපතල ප්රශ්නයක් වී නැතත්, වැඩි උගත්කමක් ඇති අය අතර එය පුපුරන සුළු ප්රශ්නයක් බවට වර්ධනය වෙමින් පවතී. අ.පො.ස. සාමාන්ය පෙළ දක්වා අධ්යාපනයක් ලැබූ අය අතර සේවා වියුක්ති අනුපාතිකය 12.4%ක් වනවිට, උසස් පෙළ හා ඊට වැඩි අධ්යාපනයක් ලැබූ අය අතර, එය 19.6%කි. දේශපාලන කළමනාකරුවන්ගේ අවධානය අඩුවෙන්ම යොමුවී ඇත්තේ ද ඔවුන් කෙරෙහිය.