අගවිනිසුරු ආශ්රයෙන් මතුවී තිබුණු අර්බුදය ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ තිබුණු බහුතර බලය අහිමි කරන තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබේ. දැන් පාර්ලිමේන්තුව තුළ බහුතර බලය ඇත්තේ ආණ්ඩු පක්ෂයට නොව විපක්ෂයට ය. එම තත්ත්වය පාර්ලිමේන්තුව හා විධායකය අතර මතුවන ගැටුමක් බවට වර්ධනය වීමේ හැකියාවක් පවතී.
දෝෂාභියෝගය ආශ්රයෙන් පාර්ලිමේන්තුව හා අධිකරණය අතර මතුවී තිබුණු ගැටුම ජයගැනීමට පාර්ලිමේන්තුව සමත් වූයේ ය. දැන් විපක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලැබී තිබෙන තත්ත්වයක් යටතේ එම අර්බුදය ජයගැනීම සඳහා විධායක ජනාධිපති විසින් පාර්ලිමේන්තුව පාලනය කරන්නට උත්සාහ දරන තත්ත්වයකට යොමුවනු ඇතැයි සිතිය හැකි ය. එම තත්ත්වය පාර්ලිමේන්තුව හා විධායක ජනාධිපති අතර ඇතිවන ගැටුමක් දක්වා වර්ධනය වීමට ඉඩ තිබේ.
පාර්ලිමේන්තුව හා අධිකරණය අතර ඇතිවූ ගැටුමෙන් පාර්ලිමේන්තුව ලැබූ ජයග්රහණය කෙරෙහි විපක්ෂයේ ක්රියාකාරිත්වය පමණක් නොව, පාර්ලිමේන්තු ක්රමය ගැන හැගීමක් ඇති ආණ්ඩු පක්ෂයේ ඇතැම් පිරිස් වලින් ලැබුණු සහාය ද බලපෑවේ ය.
පාර්ලිමේන්තුව හා ජනාධිපති ක්රමය අතර මතුවන්නට නියමිත ගැටුමේදි ද පාර්ලිමේන්තුවට ජයගත හැකිවනු ඇත්තේ එවැනි එක්සත් ක්රියාමාර්ගයක් ඉදිරියට ගැනීමට හැකි වේ නම් පමණ ය.
ජනාධිපති මහජන ඡන්දයෙන් තේරි පත්වන රටේ ප්රධාන විධායකයා වුවත්, මහජනයාගේ පරමාධිපත්ය බලය වඩා පුළුල් ආකාරයකින් නියෝජනය කරන්නේ ජනාධිපති නොව පාර්ලිමේන්තුවය. ඒ අර්ථයෙන් වඩා ප්රමුඛ වන්නේ ද ජනාධිපති නොව පාර්ලිමේන්තුවය.
දැන් මතුවී තිබෙන අර්බුදයේ දි පාර්ලිමේන්තුවේ කටයුතු මාස දෙකක් වැනි කාලයක් සඳහා අත්හිටුවීමේ බලයක් ජනාධිපති සතු ය. එහෙත් ඇතිවී තිබෙන අර්බුදයට විසඳුමක්සොයා ගන්නවා වෙනුවට පාර්ලිමේන්තුව තාවකාලිකව හෝ අත්හිටුවන ක්රියාමාර්ගයක් රට අරාජික තත්ත්වයකට පත් කිරීමට හේතුවිය හැකි ය. වහාම මැතිවරණයකට යාමේ වුවමනාවක් කිසිම පක්ෂයකට නැත. එම තත්ත්වය යටතේ මේ අර්බුදයට විසඳුමක්සොයා ගැනීමට පාර්ලිමේන්තුවට ඉඩ හැරිම විධායකයේ වගකීමකි. එසේ නොවෙතොත් එය අවසන් වනු ඇත්තේ විධායකය විසින් පාර්ලිමේන්තුව ගිල ගැනීමෙනි.
පාර්ලිමේන්තුවේ අභ්යන්තර ක්රියාකාරකම්වලට ඇගිලි ගැසීමේ ඉඩක් අධිකරණයට නොතිබිය යුතුවා සේ ම, විධායකයට ද නො තිබිය යුතු ය. ජනාධිපති ක්රමය ඇති කළේ ද පාර්ලිමේන්තුව ය. අවශ්ය නම් ජනාධිපති ක්රමය නැති කිරිමේ බලය ද පාර්ලිමේන්තුව සතු ය.