සතුරන් සේම මිතුරන්ද සැකයි

June 3, 2001
Publication:
Ivan describes a People's Alliance government paralysed by fear of a no-confidence motion. Its margin has shrunk from 37 seats before the 2000 election to nine, with no outside support, so six defections would bring it down. Thondaman, Hakeem and even S.B. Dissanayake are restive, the President accuses allies of taking LTTE money, and the Prime Minister blocked lifting the LTTE ban. The opposition must act before October, when the President may dissolve Parliament.

දැන් පොදු පෙරමුණු ආණ්ඩුව ඉන්නේ දේශපාලන වශයෙන් අන්ද මන්ද වූ තත්ත්වයක ය. විශ්වාසභංග යෝජනාවක් මගින් ආණ්ඩුව පෙරළා දැමීමට ක්‍රියාත්මක වන ව්‍යාපාරයක් පිළිබඳව ඇති කරගත් භීතියක් නිසා තමන්ගේ දේශපාලන සතුරන් කෙරෙහි පමණක් නොව දේශපාලන මිතුරන් කෙරෙහි ද අවිශ්වාසයෙන් බලන තත්ත්වයක ය. තැන්පත්ව හා තර්කානුකූලව කරුණු සලකා බැලීමේ හැකියාව ඒ නිසා ආණ්ඩුව මුළුමණින් අහිමි කරගෙන තිබෙන බවක් ද පෙනීයයි. ආණ්ඩුව සිය පාලන කාලය තුළ ක්‍රියාකර තිබෙන ආකාරය අහිංසක නොවන නිසා පාලන බලය අහිමිවීමක් ගැන බලවත් බියක් ඇතිකර ගැනීම ද ස්වාභාවික ය.

පොදු පෙරමුණු ආණ්ඩුව පක්ෂෂ විශාල ගණනකින් සමන්විත ආණ්ඩුවක් වනවා පමණක් නොව ස්ථාවර තාවයක් සඳහා අවශ්‍ය කරන තරම් බහුතර බලයක් නැති ආණ්ඩුවක් ලෙස ද සැලකිය හැකි ය. ආණ්ඩු වෙනසක් සඳහා පුද්ගලයන් හත් අට දෙනෙකුගේ වෙනස්වීමක් ප්‍රමාණවත් ය.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට පෙර පාලන කාල සීමාව තුළ ද නිල මට්ටමෙන් බලන විට ආණ්ඩුවට කැපී පෙනෙන තරම් බහුතර බලයක් නොතිබුණේ ය. පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට සම්බන්ධ වීමෙන් වැළකී පිටස්තරව සිටින පක්ෂෂ ගණනාවක් ආණ්ඩුවට ආධාර කරන තත්ත්වයක් තුළ සුවපහසු තත්ත්වයක සිටීමට ආණ්ඩුව සමත්ව තිබුණි.

එහෙත් දැන් පවතින තත්ත්වය ඊට සහමුලින් වෙනස් ය. පෙරමුණු ආණ්ඩුවට සම්බන්ධ පක්ෂෂ සංඛ්‍යාවේ වැඩිවීමක් ඇතත් පාර්ලිමේන්තුව තුළ හිමිකරගෙන සිටින ආසන සංඛ්‍යාවේ කැපි පෙනෙන අඩුවීමක් පවතී. පැරණි පොදු පෙරමුණු ආණ්ඩුවට පොදු පෙරමුණේ පක්ෂෂවලට හා පොදු පෙරමුණු රාමුවෙන් පිටස්තරව සිටි මුස්ලිම් කොංග්‍රසය හා වතු කම්කරු කොංග්‍රසය එක්ව ගත්කල පාර්ලිමේන්තු ආසන 120ක් හිමි වී තිබුණි. ආසන 09ක් හිමිකරගෙන සිටි ඊපීඩීපී පක්ෂෂය ද ආසන 05ක් හිමිකරගනෙ සිටි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ද ආණ්ඩුවෙන් පිටස්තරව ඉඳිමින් සහාය දෙන පිළිවෙතක් පවත්වාගෙන ගියහ. ඒ නිසා ආණ්ඩු පක්ෂෂය හා විරුද්ධ පක්ෂෂ අතර තිබූ වෙනසේ තරම ආසන 37ක් තරම් විශාල විය.

එහෙත් අද පවතින චිත්‍රය ඊට වෙනස් ය. පොදු පෙරමුණට සම්බන්ධ පක්ෂෂ ආසන 117ක් හිමිකරගෙන සිටියත් ආණ්ඩුවට සම්බන්ධ නොවී පිටස්තරින් සිටින කිසිම පක්ෂෂයක් ආණ්ඩුවට ආධාර කරන ප්‍රතිපත්තියක් අනුගමනය නොකරයි. එජාපයේ ආසන සංඛ්‍යාව 94 සිට 89 දක්වා අඩු වී ඇතත් විපක්ෂෂයේ පක්ෂෂවල මුළු එකතුවේ ප්‍රමාණය 108 දක්වා වැඩි වී තිබේ. ඒ නිසා ආණ්ඩු පක්ෂෂය හා විපක්ෂෂය අතර තිබෙන වෙනසේ ප්‍රමාණය ද 09 දක්වා පහත වැටී තිබෙන අතර ආණ්ඩුවේ බිඳ වැටීමක් සඳහා දැන් අවශ්‍ය වන්නේ හය දෙනෙකුගේ වෙනසක් පමණ ය.

තොණ්ඩමන්, හකීම් වැනි පක්ෂෂ නායකයන් පමණක් නොව ආණ්ඩු පක්ෂෂයේ බොහෝ පිරිසක් සිටින්නේද අසංතෘප්තියෙනි. ජනාධිපතිනිය, කොටි සංවිධානයෙන් මුදල් ලබාගත්තේය යන චෝදනාව ඇගේ දේශපාලන සතුරන් ලෙස සැලකිය හැකි එජාප හා ජනතා විමුක්ති පෙරමුණට එල්ල කිරිමෙන් නොනැවතී සිය කඳවුරේම සිටින තොණ්ඩමන් වෙතත් හකීම් වෙතත් එල්ල කෙරෙමින් පවතී. තොණ්ඩමන් දැන් ඉන්නේ නිහඬව වුවත් නායකත්වය කෙරෙහි ඇති කරගත් කලකිරීම තවමත් අත්හැර නැත. තම පක්ෂෂයට හුරු පුරුදු එජාප සමග නැවත දිග කන තත්ත්වයකට යාමෙන් තම පක්ෂෂයේ තත්ත්වය වඩා යහපත් වනු ඇතැයි ඔහු කල්පනා කරයි. ආණ්ඩුව මුස්ලිම් කොංග්‍රසය සමග කරමින් සිටින සෙල්ලම ද ගින්දර සමග කරන සෙල්ලමකට සමාන ය. එම පක්ෂෂයට හිමි ආසන සංඛ්‍යාව 11කි. එම පක්ෂෂයට පමණක් වුවත් ඕනෑම මොහොතක ආණ්ඩුවේ බිඳවැටීමක් ඇතිකළ හැකි ය. පොදු පෙරමුණේ අනෙකුත් පක්ෂෂවලට අයත් ඇමතිවරුන් අතරද ඒකමතික භාවයක් නොපවතී. ජනාධිපතිනියට ඉතාමත් පක්ෂෂපාත යයි සැලකෙන එස්බී දිසානායක වැනි ඇමතිවරුන් පවා සිතන්නේ නායකත්වයේ වෙනසකින් තොරව පොදු පෙරමුණට අනාගතයක් නැති බව ය.

හැකි ඉක්මණන් සාකච්ඡාවකට යෑම මගින් විශ්වාස භංගයකට ඉඩක් නැති තත්ත්වයක් ඇති කිරීම ජනාධිපතිනියගේ උපාය මාර්ගය වී තිබුණත් දැන් ඒ උපාය මාර්ගය ද ක්‍රියාවට නැගිය නොහැකි තත්ත්වයක් ඇති වෙමින් පවතී. සාකච්ඡා අවශ්‍ය නම් තමන් කෙරෙහි පනවා තිබෙන තහනම ඉවත් කරන ලෙස කොටි සංවිධානය ඉල්ලා සිටී. ඊට අනුකූලව සීමිත කාලයක් සඳහා තහනම ඉවත් කිරීමට ජනාධිපතිනියට අවශ්‍ය වුවත් තහනම් ඉවත් කිරීමට එරෙහිව අගමැති, රත්නසිරි වික්‍රමනායකගෙන් එල්ල වූ බලවත් විරෝධය නිසා ඒ වැඩ පිළිවෙළ ද අත්හැර දැමීමට ජනාධිපතිනියට සිදුවිය. අවසානයේ එයින් සිදුවූයේ ඊපීඩීපීය හැර අනෙකුත් දෙමළ දේශපාලන පක්ෂෂ විශ්වාස භංග යෝජනාවකට එකතු කරවා ගැනීමට විපක්ෂෂයට ශක්තිමත් පදනමක් ලබාදිම ය. මුස්ලිම් කොංග්‍රසය වැනි පක්ෂෂයක් කෙරෙහි විශ්වාසය තබා ක්‍රියාකිරිමේ හැකියාවක් නැතැයි සිතන ආකල්පයක් ජනාධිපතිනිය තුළ ඇතත් එම පක්ෂෂයේ සහාය අතහැර සිය බලය රැකගන්නා සූත්‍රයක් ද ඇය ඉදිරියේ නැත.

විපක්ෂෂයේ පක්ෂෂවල පොදු වුවමනාව වී ඇත්තේ විශ්වාස භංග යෝජනාවක් මගින් ආණ්ඩුව පරාජය කොට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් තාවකාලික සර්ව පාක්ෂෂික ආණ්ඩුවක් ඇතිකර ගැනීම ය. විශ්වාසභංග යෝජනාවක් මගින් ආණ්ඩුව පරාජය කිරීමට විපක්ෂෂය සමත් වෙතොත් සර්ව පාක්ෂෂික ආණ්ඩුවක් ගොඩනගා ගැනීමේ ක්‍රියාවලියට ආණ්ඩු පක්ෂෂයෙන් වඩා පිරිසක් එකතුවීම මගින් එය විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම හෝ ප්‍රතිසංස්කරණය කෙරන ක්‍රියාවලියක් දක්වා දුර දිග යා හැකි බව ජනාධිපතිනිය දනී. නීති සම්පාදනය බලය හා මුදල් පාලන බලය ඇත්තේ පාර්ලිමේන්තුවට ය.

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා තාවකාලික සර්වපාක්ෂෂික ආණ්ඩුවක් ඇතිකර ගැනීමේ අදහස විපක්ෂෂයට ප්‍රායෝගික කරගත හැකිවනු ඇත්තේ ඔක්තෝබර් එළඹෙන්නට පෙර විශ්වාසභංග යෝජනාවක් මගින් ආණ්ඩුව පරාජය කළ හැකි වේ නම් පමණ ය. ඔක්තෝබරයෙන් පසුව අවුරුද්දේ කාල සීමාව අවසන් වී ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය ජනාධිපතිනියට ලැබෙන්නේ ය. ඔක්තෝබර් එළඹෙන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලයක් ජනාධිපතිනියට නැතත් හදිසි අවස්ථාවක දි පාර්ලිමේන්තු වාරය අවසන් කිරීම මගින් කල් ගැනීමේ හැකියාවක් ජනාධිපතිනියට ඇත්තේ ය. එහෙත් ඒ මගින් පාර්ලිමේන්තුව ක්‍රියා විරහිත තත්ත්වයක තබාගත හැක්කේ ද උපරිම වශයෙන් මාස දෙකක කාලයක් පමණ ය. ජූනිමස සිට ඔක්තෝබර් දක්වා තිබෙන කාල සීමාව මාස 05කි. ඔක්තෝබරයෙන් පසු අර්බුදයක් ඇතිවන ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය ජනාධිපතිනිය සතු වුවත් රටේ පවතින අවාසිදායක තත්ත්වය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරිමක් පොදු පෙරමුණට සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හේතුවනු ඇතැයි සිතිය නොහැකි ය.