ආගමික නායකයන්ගේ මැදිහත් වීමක් අත්‍යවශ්‍ය ය

June 3, 2001
Publication:
The editorial welcomes the Inter-Religious Council formed by Buddhist, Catholic, Hindu, Muslim and Christian leaders to press politicians to put the country right. It argues that politics, not religion, now determines every aspect of life and is leading to ruin through rigged elections, politicised institutions and ethnic mistrust, and asks religious leaders to back deep reform of the political system rather than bless those who win by fraud.

ශ්‍රී ලංකාවේ ජනතාව අදහන ප්‍රධාන ආගම් ලෙස සැලකිය හැකි බෞද්ධ, කතෝලික, හින්දු, මුස්ලිම් හා ක්‍රිස්තියානි යන ආගමික නායකයන් එකතු වී සර්ව ආගමික සමුළුවක් ඇති කර ගනිමින් රට යහපතට ගැනීම පිණිස සියලු දේශපාලන නායකයන් අමතන ඔවුන්ට බලපෑම් කරන තත්ත්වයකට යොමු වී සිටීම ඉතාමත් අගේ කළයුතු ප්‍රයත්නයක් ලෙස සැලකිය හැකි ය.

අද රටේ ජන ජීවිතයට අදාළ හැම ලොකු කුඩා දෙයක් කෙරෙහිම බලපාන හා ඒවා අවිනිශ්චිත කරන සාධකය බවට පත්ව තිබෙන්නේ ආගම් නොව දේශපාලකයන්ය ය. ආගමික නායකයන් නොව දේශපාලනඥයන් ය. ආගමික නායකයන් නොව දේශපාලකයන් ය. එහෙත් රට දිගින් දිගට ම දේශපාලන වශයෙන් ගමන් ගනිමින් තිබෙන්නේ ප්‍රගතිය කරා නොව විනාශය කරා ය.

රාජ්‍ය පාලනය දිගින් දිගට ම ඉතාමත් නින්දා සහගත තැනකට ගමන් ගනිමින් පවතී. දේශපාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී වී ඇත්තේ නාමික තරමකට පමණ ය. මහජනයා විසින් රාජ්‍ය පාලකයන් නිදහස් ඡන්දයෙන් තෝරා පත්කරන ක්‍රමයක් වෙනුවට තක්කඩිකමින් හා බලහත්කාරයෙන් ඡන්ද දිනාගන්නා ක්‍රමයක් ක්‍රියාත්මක වේ. අධිකරණය, රාජ්‍ය සේවය, පොලිස් සේවය පමණක් නොව දිළිඳු සහනාධාර ක්‍රම පවා දැඩි දේශපාලනකරණයකට හසු වී තිබෙන බව හා තව තවත් ඒ අංශවල එම ග්‍රහණය වර්ධනය වෙමින් තිබෙන බව දැකිය හැකි ය. ජාතීන් එකිනෙකා කෙරෙහි විශ්වාසයක් හා ගෞරවයකින් ජීවත් වන ක්‍රමයක් වෙනුවට එකිනෙකා කෙරෙහි සැක කරනා ඔවුහු ඔවුනට වෛර කරන තත්ත්වයකට තල්ලු වෙමින් සිටින්නාහ.

මේ තත්ත්වයෙහි වෙනසක් ඇති කරමින් රට නැවත යහපත් තත්ත්වයකට ගෙන ආ හැකි වනු ඇත්තේ සමස්ත දේශපාලන ක්‍රමයම ගැඹුරට දිව යන ප්‍රතිසංස්කරණයකට යොමු කිරිමෙන් පමණ ය. මේ අරමුණ ජය ගැනීම සඳහා බලවත් ලෙස මැදිහත් වී ක්‍රියා කරන තත්ත්වයකට සියලු ආගමික නායකයන් යොමු වේ නම්, තක්කඩිකමින් ජය ගන්නා දේශපාලකයන්ට ආශිර්වාද කරන පිළිවෙතක් වෙනුවට තක්කඩිකම්වලට ඉඩක් නැති ක්‍රමයක් ඇති කරන ක්‍රියාමාර්ග වෙනුවෙන් පෙනී සිටින තත්ත්වයකට ආගමික නායකයන් යොමු වේ නම් ඒ යහපත් අරමුණ ජයගැනීම ද අමාරු විය නොහැකි ය. ලෝකෝත්තර ජීවිත කෙරෙහි ලෞකික ජීවිත බලපායි. ඒ නිසා ආගමික නායකයින් සමාජයේ ලෝකෝත්තර ජීවිත කෙරෙහි පමණක් නොව ලෞකික ජීවිත යහපත් කිරීම කෙරෙහි ද බලපෑ යුතු ය.