“රාවය”ට එල්ල වූ දුම් බෝම්බ ප්රහාරය ගැන විශේෂ ප්රකාශයක් නිකුත් කරමින් “ලියන දෙයකට ලියවිල්ලකින් පිළිතුරු දෙනවා විනා මේ අන්දමේ පහත් ක්රියා තමා කිසිසේත් අනුමත නොකරන බවත්, මේ ක්රියාව තමා සම්පූර්ණයෙන් ම හෙළා දකින අතර, සිද්ධියේ සත්ය කුමක්දැයි සොයා බලන ලෙස තමා ආරක්ෂක අංශවලට දැනුම් දි තිබෙන බවත් ජනමාධ්ය ඇමතිවරයා ප්රකාශ කර තිබේ.
මෙම ප්රහාරය දුම් බෝම්බ ප්රහාරයක් වූ බැවින්, කිසිවකුටත් අනතුරක් සිදු නොවූවත් අප එම සිද්ධිය දකින්නේ “රාවය”ට කරන ලද අනතුරු ඇගවීමේ සංඥාවක් වශයෙනි. රාජ්ය මාධ්ය (මුද්රිත හා විද්යුත්) පවත්වාගෙන යන රාවය විරෝධී වැඩපිළිවෙළ හා මේ සිද්ධිය අතර කිසියම් සම්බන්ධයක් ඇතැයි ද අපි විශ්වාස කරමු. ආණ්ඩුවේ සමහර අංශ “රාවය” දකින්නේ තමන්ගේ ආණ්ඩුව පරාජය කිරීම සඳහා පෙරමුණ ගෙන හා වෙහෙස නොබලා ක්රියාකරන පුවත්පතක් වශයෙනි. “රාවය” කෙරෙහි පවත්නා එම ආකල්පය හා මෙම අනතුරු ඇගවීමේ සංඥාව අතර සම්බන්ධයක් තිබෙනවා විය හැකි ය.
තමන් සම්බන්ධයෙන් විවේචනයන් හි යෙදෙන ජනමාධ්ය හා ජනමාධ්යකරුවන් සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ ප්රවේශය ඉතාමත් අහිංසක එකක් නොවන බව ද අපි දනිමු. “ලීඩර්” පුවත්පතේ කර්තෘ ලසන්ත වික්රමතුංග මහතාට එල්ල කරන ලද පහරදිම, නැවත ඒ මහතාගේ නිවසට එල්ල කරන ලද වෙඩි තැබීම, රෝහණ කුමාර ඝාතනය, එජාප විරෝධතා ව්යෘපාරයක් වාර්තා කරන්නට ගිය ඡායාරූප ශිල්පීන් විශාල පිරිසකට එල්ල කරන ලද ප්රහාරය, නිමලරාජන් ඝාතනය වැනි සිද්ධීන් අහඹු දේවල් ලෙස සැලකීමේ හැකියාවක් අපට නැත. ඒ හැම අවස්ථාවකදිමත් මේ සිටින ජනමාධ්ය ඇමතිවරයා හෝ හිටපු ජනමාධ්ය ඇමතිවරයා දැන් නිකුත් කරන ලද ප්රකාශ බඳු ප්රකාශ නිකුත් කළේ ය. රෝහණ කුමාර ඝාතනයේ දි ඊට වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරවන බව ප්රකාශ කළේ ය. එහෙත් සාධාරණව කිසිවක් සිදු නොවී ය. අවසානයේ සිය ජීවිත ආරක්ෂාව සඳහා සිය උපන් බිම ද අතහැර විදේශ රටකට පලායාමට රෝහණ කුමාරගේ බිරිඳට සිදුවූවේ ය.
පැරණි පාලන යුගය තුළ සිදුවූ ජනමාධ්ය මර්දනය ගැන ද අපට අමතක නැත. ඒ සමග දැන් වෙමින් තිබෙන්නේ කුමක් ද යන්න ද අපට අපැහැදිලි නැත.