ජනාධිපතිනිය දූෂිත ද?

April 15, 2001
Publication:
As the President offers to answer opposition charges in Parliament herself, Ivan argues that a leader must dispel public suspicion created by her inner circle. He sets out the evidence that BOI chairman Thilan Wijesinghe sought a $1 million bribe over the Galle flour mill, Rajan Asirwatham's conflicted role in the Kotagala plantation sale, the unseen influence of Ronnie Peiris behind highway and Diyawanna projects, and the government's refusal to release ministers' asset declarations.

කටුනායක අධිවේගී මාර්ගය, ජයවර්ධනපුර ගොල්ෆ් පිටියට ඉඩම් වෙන්කරදිම, තිලාන් විජේසිංහගේ අල්ලස් ප්‍රශ්නය යනාදි ප්‍රශ්න මුල් කරගෙන තමාටත්, පොදුවේ ආණ්ඩුවටත් එරෙහිව විපක්ෂය එල්ල කරන චෝදනාවලට ඇමතිවරුන් අතින් සාර්ථක පිළිතුරු දිමක් සිදු නොවන නිසා පාර්ලිමේන්තුවට ගොස් තමාම ඒවාට පිළිතුරු දිමට අදහස් කරගෙන සිටින බව 04 වැනිදා පැවති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදි ජනාධිපතිනිය ප්‍රකාශ කළ බව පුවත්පත් වාර්තා කොට තිබුණි.

මේ ප්‍රශ්න පාර්ලිමේන්තුවට පමණක් සීමා වූ ප්‍රශ්න නොවන අතර පාර්ලිමේන්තුවෙන් පිටස්තර සාමාන්‍ය මහජනතාව අතර සේ ම ව්‍යාපාරික ලෝකය තුළ ද කතාබහට හේතුවී තිබෙන ප්‍රශ්න ලෙස සැලකිය හැකිය. තම රාජ්‍ය නායකයා හෝ රාජ්‍ය නායිකාව දූෂිත ද යන ප්‍රශ්නය අපේ සමාජයේ පමණක් නොව, වෙනත් ඕනෑම සමාජයක මහජනතාව අතර සාකච්ඡාවට ලක්වන ප්‍රශ්නයක් වන අතර, එම ප්‍රශ්නය සාකච්ඡා කිරිමේ අයිතියක් ද මහජනතාවට ඇත්තේය. රාජ්‍ය නායකයා හෝ නායිකාව දූෂිත වේය යන හැගීමක් මහජනතාව අතර ඇත්නම් හා ඒ හැගීම සාධාරණ නොවේ නම්, මහජනතාව අතර පවතින සැක දුරු කිරිමේ වගකීම වන්නේ ද රාජ්‍ය නායකයා හෝ රාජ්‍ය නායිකාවටය.

හොඳ හෝ නරක ඕනෑම රාජ්‍ය නායකයෙකුට තමන් ළගින්ම ඇසුරු කරන විශ්වාසදායක කණ්ඩායමක් සිටිය හැකිය. එම කණ්ඩායමේ අය රාජ්‍ය නායකයාට තිබෙන සමීප සම්බන්ධකම් ප්‍රයෝජනයට ගනිමින් අයථා ලෙස ධනය උපයන ප්‍රතිපත්තියක් අනුගමනය කරයි නම් හා රාජ්‍ය නායකයා ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඉදිරියේ ඇස් වසාගෙන සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කරයි නම්, එම සමීපතමයන් කණ්ඩායම පමණක් නොව රාජ්‍ය නායකයා ද මහජනයාගේ සැකයට හේතුවනු නොවැළැක්විය හැකිය.

දැනට දූෂණ චෝදනා එල්ල වී තිබෙන ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති තිලාන් විජේසිංහ මහතා මහජනයා දකින්නේ ද ජනාධිපතිනියගේ සමීපතමයන්ගේ කණ්ඩායමට අයත් පුද්ගලයෙකු ලෙසය. ඔහු එම තනතුර සඳහා තෝරාගන්නා ලද්දේ ජනාධිපතිනිය විසින්මය. ඔහු තෝරා ගැනීමේදි ජනාධිපතිනිය එම තනතුර සඳහා ගෙවන වැටුප රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමුවාය. ඒ සියල්ලට අතිරේකව ජනාධිපතිනිය තිලාන් විජේසිංහ ඉතාමත් කාර්යක්ෂම හා අවංක පුද්ගලයෙකු ලෙසට ප්‍රසිද්ධියේ හඳුන්වාදිමක් ද කර ඇත්තේය.

එහෙත් දැන් තිලාන් පිළිබඳව රටට අසන්නට ලැබෙන කතාව ජනාධිපතිනිය දෙන ලද චරිත සහතිකවලින් කියවෙන කතාවට වඩා මුළුමණින් වෙනස්ය.

අල්ලස් හෝ දූෂණ කොමිෂන් අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර තිබෙන ආකාරයට ගෝල් ෆලවර් මිලිං නමින් ආරම්භ කිරීමට නියමිතව තිබූ ව්‍යාපාරයක් සඳහා තිලාන් එම ව්‍යාපාරයේ ආයෝජන ප්‍රවර්ධකයා ලෙස ක්‍රියාකළ රංජිත් අතුකෝරාල නමැති පුද්ගලයාගෙන් ඩොලර් මිලියනයක පගාවක් ලබාගැනීමට එකගත්වය ඇති කර ගෙන තිබුණේය. තිලාන්ගේ බිරිඳගේ නමින් නිව්යෝර්ක් වල බැංකුවක පවත්වාගෙන ගිය ගිණුමක එම මුදල තැන්පත් කරවා ගැනීම සඳහා තිලාන් එම පුද්ගලයාට බැංකුවේ ලිපිනය හා ගිණුම් අංකය සහිත තම අත්අකුරින් ලියන ලද සටහනක් ද ලබා දි තිබුණි. එම සටහනේ වන අකුරු ඔහුගේ අකුරු බව අත්අකුරු විශේෂඥයාගේ ද මතය වී තිබේ. ගෙවන්නට නියමිත ඩොලර් මිලියනයට ගෙවන අත්තිකාරමක් වශයෙන් රුපියල් මිලියන 02ක මුදලක් තිලාන් විසින් රංජිත් අතුකෝරලගෙන් ඉල්ලා තිබෙන අතර, රංජිත් අතුකෝරල සිය ගිණුමෙන් ලබාගත් එම මුදල තිලාන්ට ලබාදි දි තිබෙන බවට ද සාක්ෂි තිබේ.

තිලාන් මෙම ව්‍යාපෘතිය සඳහා විශේෂ උනන්දුවක් දක්වා ඇති බව අදාළ ව්‍යාපෘතියට සම්බන්ධ ලිපි ලේඛන අනුව පෙනී යයි. ජනාධිපතිනිය පවා එම ව්‍යාපෘතිය සඳහා විශේෂ උනන්දුවකින් ක්‍රියාකර ඇති බව ද ජනාධිපතිනිය සටහන් තබා ඇති සමහර ලේඛනවලින් පෙනී යයි. නීතිමය වශයෙන් කෙරෙන කටයුතු අවසන් වී නැතත්, ගාලු වරායෙන් අවශ්‍ය ඉඩම් ප්‍රමාණය මෙම ව්‍යාපෘතියට නිදහස් කර දෙන ලෙස ජනාධිපතිනිය ඉල්ලා තිබෙන අතර, ඊට අතිරේකව ආයෝජකයන් කොළඹ වරායෙන් ඉල්ලා තිබෙන ඉඩම් ප්‍රමාණය ද ඔවුන්ට නිදහස් කර දෙන ලෙස ජනාධිපතිනිය විසින් වරාය ඇමති අෂ්රොෆ් මහතාගෙන් ද ලිඛිත ඉල්ලීමක් කර තිබුණු බව ද පෙනී යයි.

තිලාන් විජේසිංහ තමන්ට එරෙහිව රංජිත් අතුකෝරල විසින් ඉදිරිපත් කරන අල්ලස් චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. ඒ සමග ඔහු රංජිත් අතුකෝරල ගැන ඉදිරිපත් කර තිබෙන කරුණුවලින් පෙන්නුම් කෙරෙන්නේ ආයෝජන මණ්ඩලය ප්‍රසිද්ධ හොරුන්ගේ ජනප්‍රිය තිප්පලක් වන බවය.

රංජිත් අතුකෝරල ආයෝජන ප්‍රවර්ධකයකු ලෙස තිලාන්ට හඳුන්වාදි ඇත්තේ ඇමති මංගල සමරවීර මහතාය. එහෙත් තිලාන් විජේසිංහ කියන්නේ රංජිත් අතුකෝරල අංක එකේ තක්කඩියකු බවය. ගෝල් ෆ්ලවර් මිලිං ව්‍යාපෘතියට ලබාගෙන තිබු අනුමැතිය ගෝල්ඩ් කොයින් (Gold Coin) සමාගමට හරවා ඔවුන්ට අවශ්‍ය ඉඩමක් කොළඹ වරායෙන් ලබාදිම සඳහා රංජිත් අතුකෝරල අස්කර් මුසාජි මහතාගෙන් ඩොලර් මිලියන 2.5ක පගාවක් ඉල්ලා සිටි බවත්, එහිදී ලැබෙන එම අල්ලස බෙදාදිමට සිටි අය විස්තර කරමින් ඇමති මංගල සමරවීර, ජනාධිපති ලේකම් බාලපටබැඳි පමණක් නොව ජනාධිපතිනියගේ නම පවා සඳහන් කර ඇති බවත් තිලාන් පවසයි. සමස්ත කතාව එකට ගත්විට හොර රංචුවක් ගැන කියවෙන කතාවකට වඩා වෙනස් නැත. රංජිත් අතුකෝරල අංක එකේ තක්කඩියකු වී නම්, මංගල සමරවීර වැනි ඇමතිවරයකු එවැනි තක්කඩියකු තිලාන් විජේසිංහ මහතාට හඳුන්වාදුන්නේ ඇයිද යන ප්‍රශ්නය ද මතුවන්නේය.

රාජ්‍ය ව්‍යවසාය කොමිසමේ හිටපු සභාපති රාජන් ආශිර්වාදන් මහතා ද ජනාධිපතිනියගේ සමීපතම මිතුරෙකි. ඔහු ද අවංකභාවය අළලා ජනාධිපතිනියගේ ප්‍රසිද්ධ පැසසුමට ලක්වූ පුද්ගලයෙකි. එහෙත් ඔහු පිළිබඳව මීට පෙර හෙළිදරව් වී තිබෙන චිත්‍රය ද, තිලාන් ගැන හෙළිදරව් වී තිබෙන චිත්‍රයට වඩා වෙනස් නැත.

වතු පුද්ගලිකකරණය ක්‍රියාවලිය තුළ පැවති දූෂිත බව හා විශේෂයෙන්ම කොටගල වතු සමාගමේ කොටස් අලෙවි ක්‍රියාවලිය තුළ පැවති දූෂිත බව හෙළිදරව් කරන ප්‍රවෘත්තියක් “රාජන්ගේ පූද්ගලිකකරණයත් මගඩියක්” යන හිසින් රාවයේ (1996 ජනවාරි 28) පළවිය. ඉන්පසු පුවත්පත් වාර්තා කර තිබුණු ආකාරයට රාජන් ජනාධිපතිනිය හමුවී රාවයට එරෙහිව නඩු පැවරිමට ජනාධිපතිනියගෙන් අවසර ගත්තේය. ඉන්පසු නියෝජ්‍ය පොලිස්පති සුමනසේකර හමුවී සාපරාධී අපහාස නඩුවක් ආරම්භ කිරීම සඳහා කටඋත්තරයක් දුන්නේය. ඉන්පසු “ලීඩර්” හා “දිවයින” යන පුවත්පත් දෙකට ප්‍රකාශයක් කරමින් තමන්ගේ පිරිසිදු බව සනාථ කිරීම සඳහා එල්ල වී තිබෙන චෝදනා පරික්ෂා කිරීම පිණිස රාවය කර්තෘ සභාපති ලෙසද, නිහාල් ශ්‍රී අමරසේකර සාමාජිකයකු ලෙස ද නම් කරමින් එම චෝදනා ගැන සොයා බැලීමට විශේෂ පරික්ෂණ කොමිෂන් සභාවක් පත් කරන ලෙස ජනාධිපතිනියගෙන් තමා ඉල්ලා සිටින බව ප්‍රකාශ කර සිටියේය.

එහෙත් “රාවය” චෝදනා කළ කොටගල ගනුදෙනුව පිරික්සා බැලීම පිණිස විනිමය පාලකවරයා පරික්ෂණයක් අරඹා එම ගනුදෙනුවට සම්බන්ධ පාර්ශ්වයන්ට කෝටි 54ක දඩයක් නියම කිරීමත් සමග රාවය එල්ල කරන ලද චෝදනාව තහවුරු වී රාජන්ගේ කට ද වැසුණේය.

කොටගල වතු සමාගමේ කොටස් අයිතියෙන් 51%ක් ජෝර්ජ් ස්ටුවට් සමාගමට රුපියල් මිලියන 102කට විකුණන විට, එම වතු සමාගම පෙර වර්ෂයේ උපයා තිබුණු ශුද්ධ ලාභයේ ප්‍රමාණය රුපියල් මිලියන 100 ද ඉක්මවීය. ජෝර්ජ් ස්ටුවට් සමාගම තමන් මිලදි ගත් කොටස් අයිතිය පැය 24ක් යන්නටත් මත්තෙන් මැලේසියන් සමාගමකට රුපියල් මිලියන 204කට විකුණා රුපියල් මිලියන 102ක ශුද්ධ ලාභයක් හිමිකර ගත්තේය. ඉන්පසු මැලේසියන් සමාගම ද, තමන් මිලදි ගත් කොටස් අයිතිය රුපියල් මිලියන 300කට ලංකෙම් සමාගමට විකුණා රුපියල් මිලියන 96ක ශුද්ධ ලාභයක් හිමිකර ගත්තේය.

ජනාධිපතිනියට ඉතාමත් සමීප පුද්ගලයකු ලෙස සැලකුණු හා ඉතාමත් අවංක පුද්ගලයකු බවට ජනාධිපතිනියගේ ප්‍රශංසාව හිමි කරගෙන සිටි මේ පුද්ගලයා සම්බන්ධයෙන් මේ ගනුදෙනුවේදි හෙළිදරව් වූ ඉතා වැදගත් කරුණු සමහරක් මෙසේය.

රාජන් ආශිර්වාදන්ගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වු රාජ්‍ය ව්‍යවසාය කොමිසම නීති උපදේශක කටයුතුවලදි නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලබාගැනීමෙන් බැහැර වී ජූලියස් ඇන්ඩ් ක්‍රීසි සමාගම සිය නීති උපදේශක ආයතනය බවට පත් කරගෙන තිබුණේය. රාජන් ආශිර්වාදන් මහතා ජූලියස් ඇන්ඩ් ක්‍රීසි සමාගමේ අධ්‍යක්ෂවරයකු විය.

කොටගල වතු සමාගමේ 51%ක කොටස් හිමිකම ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමට විකුණන විට එම සමාගමේ කළමනාකරණ හා මූල්‍ය ප්‍රතිව්‍යූහ කටයුතු මෙහෙයවා තිබුණේ ලංකා බැංකුවේ ආයෝජන හස්තය ලෙස සැලකිය හැකි මර්චන්ට් බැංකුවය. ලංකා බැංකුවේ සේ ම මර්චන්ට් බැංකුවේ ද සභාපති වූයේ රාජන් ආශිර්වාදන් මහතාය.

ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම තමන් මිලදි ගත් කොටස් අයිතිය මැලේසියන් සමාගමට විකුණන ගනුදෙනුවේ බැංකුකරු හා අතරමැදියා ලෙස ක්‍රියා කර තිබුණේද මර්චන්ට් බැංකුවය.

ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම මිලදි ගත් කොටස් අයිතිය මැලේසියන් සමාගමට පැවරිම සඳහා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන තිබුණේද රාජන් ආශිර්වාදන් මහතාට සම්බන්ධ සමාගමක් වන සෙක්රීටීස් ඇන්ඩ් රෙජිස්ට්‍රාස් යන සමාගමයි. එම සමාගමේ 98.8%ක හිමිකම තිබුණේ සීමාසහිත ඉන්ඩස්ට්‍රියල් ඇන්ඩ් කොමර්ෂල් කන්සල්ටන්ස් නමැති සමාගමටය. එහි හිමිකම හා පාලනය තිබුණේ රාජන් ආශිර්වාදන් ජේ‍යෂ්ඨ හවුල්කරුවකු ලෙස ක්‍රියා කළ ෆෝඩ් රෝඩ්ස් තොර්ටන් සමාගමටය.

ලංකෙම් සමාගම මැලේසියන් සමාගමෙන් කොටස් අයිතිය මිලදි ගන්නා විට, ලංකෙම් සමාගමේ අධ්‍යක්ෂවරයකු වූ ආර්. සේනාධිරාජා මහතා රාජන් ආශිර්වාදන් මහතා අධ්‍යක්ෂවරයකු වශයෙන් ක්‍රියා කළ හා රාජ්‍ය ව්‍යවසාය කොමිසමේ නීති උපදේශක ආයතනය ලෙස ක්‍රියා කළ ජූලියස් ඇන්ඩ් ක්‍රීසි සමාගමේ ජේ‍යෂ්ඨ හවුල්කරුවා වූයේය.

කොටගල වතු ගනුදෙනුව පමණක් නොව, රාජ්‍ය ව්‍යවසාය කොමිසම යටතේ සිදුවූ සමස්ත පුද්ගලිකකරණ ක්‍රියාවලියම දූෂිතය. නිහාල් ශ්‍රී අමරසේකර මහතාගේ ගණන් බැලීමකට අනුව අගලවත්ත, හොරණ, කෑගල්ල, කොටගල, බොගවන්තලාව හා කැලණවැලි වතු සමාගම් හය පුද්ගලිකකරණයෙන් පමණක් රජයට සිදුවී ඇති අලාභය රුපියල් මිලියන 2398කි.

අනෙක් අතට රාජ්‍ය වතු සඳහා කළමනාකරණ සමාගම් තෝරාගත් ආකාරය පිළිබඳව පොදු පෙරමුණට විශාල විවේචනයක් තිබුණු අතර, එජාප පාලන කාලයේ අයථා ගනුදෙනු පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිසම වෙත පවරා තිබුණු එක් වගකීමක් ද එය විය. එහෙත් පුදුමයට මෙන් රාජන් ආශිර්වාදන් මහතා ජනාධිපති කොමිසම වෙත පවරා තිබුණු ඒ කාර්ය භාරය ද නොසලකා චෝදනා එල්ල වී තිබුණු වතු කළමනාකරණ සමාගම්වලටම එම වතු පවරා දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

සමීපතමයන්ගේ කණ්ඩායමේ සිටින ජනාධිපතිනියගේ සමීපතම පුද්ගලයා ලෙස සැලකිය හැකි රොනී පිරිස් රගපාමින් තිබෙන භූමිකාව තිලාන්ගේ හා රාජන්ගේ භූමිකාවට වඩා වෙනස්ය. ඔහු ආණ්ඩුවේ කිසිම නිල තනතුරක් නොඋසුලයි. සමීපතමයන්ගේ කණ්ඩායම තුළ සිටින වඩාත්ම බලවත් පුද්ගයා ඔහුය. භීෂණ කාලයේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එංගලන්තය බලා පලා ගිය අවස්ථාවේදි ඇයට රැකවරණය දුන් පුද්ගලයා ලෙස සැලකෙන්නේ රොනී පිරිස්ය. එහෙත් එකල ඔහු ධනවත් හෝ කැපී පෙනෙන තත්ත්වයක් හිමි කරගත් ව්‍යාපාරිකයකු නොවීය. එහෙත් අද තත්ත්වය ඊට වෙනස්ය. ව්‍යාපාරීක ලෝකයේ කතා කරන ආකාරයට රාජ්‍ය අනුමැතිය අවශ්‍ය දැවැන්ත ව්‍යාපාර පිටුපස සිටින ලෙකුම සෙවණැල්ල වනුයේ ඔහුය. අධිවේගී මාර්ග ව්‍යාපෘතිවල සිටින අතරමැදියා ලෙස සැලකෙන්නේ ද ඔහුය. විවාදයට හේතුවී තිබෙන දියවන්නා ඔය ව්‍යාපෘතිය පිටුපස සිටින ප්‍රධාන පුද්ගලයා වන්නේ ද ඔහුය.

පාර්ලිමේන්තු අවට භූමිය සංවර්ධනය කිරීමට ආයෝජකයකු සොයා ගැනීමට ආණ්ඩුවට අවශ්‍ය වී නම්, ආණ්ඩුව කළ යුතුව තිබුණේ තිබෙන අවශ්‍යතාව ප්‍රසිද්ධ කොට ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවීමක් ඔස්සේ සුදුසු ආයෝජකයකු සොයාගැනීමය. එහෙත් දියවන්නා උයන ව්‍යාපෘතිය සඳහා ආයෝජකයන් තෝරා ගැනීම සිදුවී ඇත්තේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉතාමත් හිතුවක්කාරි ආකාරයටය. ආයෝජකයාට භූමිය ලබාදි තිබෙන කොන්දේසිය සමස්ත ගනුදෙනුව පිළිබඳවත් බලවත් සැකයක් ඇති කිරීමට හේතුවේ.

ජනාධිපතිනිය පෙබරවාරි 8 වැනිදා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මගින් ව්‍යාපෘතිය සඳහා ලබාදෙන ඉඩම් ප්‍රමාණය අක්කර 136කි. ආයෝජකයා මාස 06ක් ඇතුළත ව්‍යාපෘතියේ වැඩ ආරම්භ නොකළහොත් ගිවිසුම අහෝසි වී භූමිය නාගරික සංවර්ධන අධිකාරිය සතුවිය යුතු බව ජනාධිපතිනියගේ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙතත්, අවුරුදු 03කට කිට්ටු කාලයකට පසුත් ආයෝජකයා කිසිම වැඩ ඇරඹීමක් නොකර තිබියදිත් හිමිකම අහෝසි කොට භූමිය අත්පත් කරගන්නවා වෙනුවට 2001 ජනවාරි 3 වැනිදා ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවක් මගින් නාගරීක සංවර්ධන ඇමතිවරයා ආයෝජකයාට කිසිම ගෙවීමකින් තොරව කඩුවෙල ප්‍රාදේශීය සභාවට ලබාදි තිබූ අක්කර 84ක් ද එම ව්‍යාපෘතියට එකතු කර දෙන්නේය.

අක්කර 136යේ වටිනාකම ලෙස තක්සේරු කොට ඇත්තේ රුපියල් දශ ලක්ෂ 300කි. ආයෝජකයා ගංවතුර පාලනය සඳහා දශ ලක්ෂ 100ක් වියදම් කිරීමට නියමිත බව ප්‍රකාශ කරමින් ඉඩමේ වටිනාකමින් එම දශ ලක්ෂ 100 ද ඉවත් කරයි. එවිට ආයෝජකයාට ඉඩම ලැබෙන මිල රුපියල් දශ ලක්ෂ 200කි. එවිට ආයෝජකයාට පර්චසයක් ලැබෙන්නේ රුපියල් 919ක් වැනි මිලකටය. ඒ මිලද ඔහු වහාම ගෙවිය යුතු නැත. ගෙවිය යුත්තේ වසරකට මුළු වටිනාකමින් 02%ක් පමණය.

එහෙත් කිසිම ගෙවීමකින් තොරව ලැබෙන මේ ඉඩම්වල තට්ටු නිවාස ව්‍යාපෘති ඇති කොට හෝ ඒ ව්‍යාපෘති ඇති කිරීමට කැමති අයට මේ ඉඩම් සින්නක්කරව විකිණීමේ අයිතිය ද ආයෝජකයා සතුය. මෙය කිසිම ගෙවීමකින් තොරව තෝරාගත් පුද්ගලයකු බිලියන ගණනකින් මුදල් උපයා ගැනීමට සාදා දි තිබෙන කදිම ක්‍රමයකි.

රාජ්‍ය නායකයාට සමීප අයට ඒ සමීපකම විකිණීමෙන් පමණක් වුවත්, කෝටි ගණනින් මුදල් ඉපයීමේ හැකියාවක් පවතී. රාජ්‍ය අනුමැතිය අවශ්‍ය ව්‍යාපෘතිවලදි එවැනි පුද්ගලයන් සඳහා විශාල ඉල්ලූමක් පවතී. රාජ්‍ය නායකයාට හෝ නායිකාවට තිබෙන සමීපකම ආයුධයක් කරගනිමින් අයථා ලෙස ධනය ඉපයීමට සිය මිතුරන්ට ඉඩ නොහැරිම රාජ්‍ය නායකයන් හා රාජ්‍ය නායිකාවන් සතු වගකීමකි. එහෙත් එවැනි පාලනයක් අපේ රටේ පවතී ද? ජනාධිපතිනියට කිට්ටු හිතමිතුරන් ජනාධිපතිනියට තිබෙන සම්බන්ධකම් ආයුධයක් කරගනිමින් උපරිම ලෙස ධනය උපයන්නේය යන්න ව්‍යාපාරික ලෝකය තුළ පවත්නා පිළිගැනීමයි. චැනල් නයින් අපවාදයේදි ද නියම ආයෝජක ප්‍රවර්ධකයා ලෙස ක්‍රියා කළ ලක්ෂ්මන් හුළුගල්ල මගහැර එම ව්‍යාපෘතියට අනුමැතිය ලබාදිම වෙනුවෙන් සනත් ගුණතිලකට අනියම් ලෙස කොටස් අයිතියක් ලබාදෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වී ඇති බව පැහැදිලිව දැකිය හැකිය.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ රාජ්‍ය නායකයා හෝ නායිකාව සිය දේපළ හා ධනය මහජනයාට විනිවිදව දෑකිය හැකි තත්ත්වයක තබාගත යුතුය. පොදු අරමුදල් සමග ගනුදෙනු කරන පුද්ගලයන් සඳහා වත්කම් හා බැරකම් පිළිබඳ නීතියක් ක්‍රියාත්මක වන්නේ ද ඒ විනිවිදභාවය සහතික කිරීම සඳහාය.

එහෙත් රටේ අවාසනාවකට ඒ නීතිය ක්‍රියාත්මක වන්නේ ද ලොක්කන් සඳහා නොව සොක්කන් සඳහා පමණය. තිලාන් විජේසිංහ වසර හයක්ම ආයෝජන මණ්ඩලයේ සභාපතිත්වය දරා ඇත්තේ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමකින් තොරවය. රාජන් ආශිර්වාදන්, සනත් ගුණතිලක වැනි අය තනතුරු දැරුවේ වත්කම් හා බැරකම් ප්‍රකාශ කර දැයි සොයා බැලුවොත් ලැබෙන පිළිතුර සමාන විය හැකිය. තමන් පිහිටුවන ආණ්ඩුවක් යටතේ රාජ්‍ය නායකයාගේ සිට ඇමතිවරුන් දක්වා වන සියලු දෙනා තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ, මහජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කරන පිළිවෙතක් ක්‍රියාවට නගන බවට පොදු පෙරමුණ සිය මැතිවරණ ප්‍රකාශයෙන් ජනතාවට පොරොන්දු වූයේය. එහෙත් එක් වසරක් සඳහා හෝ එම පොරොන්දුව ඉටු කළේ ලක්ෂ්මන් ජයකොඩි ඇමතිවරයා පමණය. වත්කම් හා බැරකම් නීතිය අනුව ජනාධිපතිනියගේ සිට වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටින ඕනෑම පුද්ගලයකු හෝ වත්කම් හා බැරකම් ප්‍රකාශයක් අවශ්‍ය ඕනෑම පුද්ගලයකු ඉල්ලුම් කොට නියමිත මිලක් ගෙවා මිලදි ගත හැකිය. අඩු වශයෙන් පොදු පෙරමුණු ආණ්ඩුව නීතියෙන් සලසා තිබෙන එම ප්‍රතිපාදනයවත් ලබාදිමට සූදානම් නැත. ජනාධිපතිනියගේ හා කැබිනට් ඇමතිවරුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉල්ලා විධිමත් ලෙස ඉදිරිපත් කෙරෙන ඉල්ලුම් පත් නොසලකා සිටින ප්‍රතිපත්තියක් දැන් කලක සිට ජනාධිපති ලේකම් කාර්යාලය පවත්වාගෙන යයි. එයම ඉල්ලුම්කරුවන් තුළ අපේ රටේ පාලකයන් දූෂිත වේය යන හැගීමක් ඇති කිරීමට හේතුවේ.