අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය පිළිබඳව ජනමාධ්ය ආරම්භ කර තිබෙන සංවාදයට කුමන ආකාරයකින් හෝ නීතීඥ සංගමයද එකතු වී තිබීම ඉතා යහපත්ය.
නීතීඥ සංගමය මේ විවාදයට එකතු වී තිබෙන්නේ අධිකරණ නිලධාරින්ගේ විනය පාලනය, සේවයෙන් පහ කිරීම හා ස්ථාන මාරු කිරිම් වලට අදාළව සති අන්ත පුවත්පත් දෙකක් (සන්ඩේ ලීඩර් හා රාවය) විසින් පළ කරන ලද අදහස් හෙළාදකින ප්රකාශයක් කරන ස්වරූපයෙනි. එහි ඊළග ප්රතිඵලය වූයේ වත්මන් නීතීඥ සංගමය අධිකරණයේ මතු වී තිබෙන අර්බුදය ඉදිරියේ පවත්වාගෙන යමින් සිටින ප්රතිපත්ති විරහිත ස්ථාවරය දෑඩි ලෙස ප්රශ්න කරන පිළිතුරු දෙකක් එම පුවත්පත් දෙක විසින් පළ කිරීමයි.
ඉන් එක් පුවත්පතක් (සන්ඩේ ලීඩර්) වත්මන් නීතීඥ සංගමයට එල්ල කරන එම විවේචන මැද සමහර නඩු සඳහා ශ්රේෂ්ඨාධිකරණයේ නීතීඥ මණ්ඩල තීත්දු කිරිමේ ක්රියාවලියට විශේෂ අවස්ථාවලදි ජනාධිපතිනියද සම්බන්ධ වන්නේ ය යන සැකයක් මතු කරන එක්තරා සිද්ධියක්ද හෙළිදරව් කොට තිබුණි.
මේ සිද්ධිය සිදුවී ඇත්තේ ජනාධිපතිවරණයේදී ජනාධිපතිනියගේ පත්වීමට එරෙහිව එජාපය විසින් ඉදිරිපත් කරන ලද ඡන්ද පෙත්සම ගැන සාකච්ඡා කිරීම පිණිස ජනාධිපතිනිය සිය ප්රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදි ප්රමුඛ පෙලේ නීතීඥ පිරිසක් සමග කරන ලද සාකච්ඡාවකදිය. පුවත්පත එහිදී හෙළිදරව් කොට තිබුණේ එම සාකච්ඡාවට සහභාගී වූ පුද්ගලයන්ගෙන් නීතීඥයන් දෙදෙනකුගේ නම් පමණය. මෙම සිද්ධියේ ඇත්ත නැත්තත් එය ඇත්තක් නම් එය විසින් මතුකරන මූලික ගැටලු පිළිබඳව ඵලදායක සංවාදයක් මතු කරගැනීම සඳහාත් එම සාකච්ඡාවට සහභාගී වී ඇති සියලු දෙනාගේ නම් හෙළිදරව් කිරීම වැදගත්ය. තිබෙන තොරතුරු අනුව නාම ලේඛනය මෙසේය.
ජනාධිපති නීතීඥ එච්.එල්. ද සිල්වා, නීතීඥ ඊ.ඩී. වික්රමනායක, ජනාධිපති නීතීඥ රංජිත් අබේසූරිය, ජනාධිපති නීතීඥ ආතර් සමරසේකර, ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා, ජනාධිපති නීතීඥ ඩී.එස්.විජේසිංහ, ජනාධිපති ලේකම් පී. බාලපටබැඳි, අධිකරණ ඇමති ජී.එල්. පිරිස් හා ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග.
සාකච්ඡාව ජනාධිපතිනිය විසින් තමාගේ තේරි පත්වීමට එරෙහිව එජාපය විසින් ගොනු කර තිබුණු පෙත්සම පිළිබඳ සාකච්ඡා කිරිමේ අරමුණින් කැඳවන ලද්දක් වුවද ජනාධිපතිනිය විසින් ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුට එල්ල කරන ලද පගා චෝදනාව ආශ්රයෙන් මතු වී තිබෙන ප්රශ්න පිළිබඳව ද එහිදී සාකච්ඡා වී තිබේ.
ශ්රේෂ්ඨාධිකරණය තුළ කැළඹිල්ලක් ඇති කිරීමට හේතු වූ මේ පගා කතාව ජනාධිපතිනිය ප්රකාශ කර තිබුණේ එජාප සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැති දිනක දිය (2000 අප්රේල් 06). අධිකරණය දූෂිත බවත් කොටි සංවිධානයට සම්බන්ධව රඳවාගෙන සිටි පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමකදි කිසියම් ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු එම සැකකරුගෙන් ලබා ගත් පගාවක් මත එම පුද්ගලයා නිදහස් කර යවන ලද බව ජනාධිපතිනිය එහිදී ප්රකාශ කර තිබුණු අතර එම පුවත පුවත්පත්වලද පළ විණ. ශ්රේෂ්ඨාධිකරණය එම පුවත පළ වූ පුවත්පතේ කර්තෘගෙන්ද, කර්තෘ තොරතුරු ලබාගත් සාකච්ඡාවට සහභාගී වූ එජාප නියෝජිතයින් ගෙන්ද දිවුරුම් පෙත්සම් ලබා ගනිමින් ශ්රේෂ්ඨාධිකරණයේ සියලු සාමාජිකයන්ගෙන් අත්සන් සහිතව ජනාධිපතිනිය වෙත යවන ලද ලිපියක් මගින් පගාවක් ගත් විනිශ්චයකාරවරයෙකු සිටී නම් ඔහු නම් කරන ලෙස ඉල්ලා සිටියහ. එහෙත් ජනාධිපතිනියගෙන් ඊට පිළිතුරක් නොලැබීම හේතු කොටගෙන ශ්රේෂ්ඨාධිකරණය මේ අවස්ථාව වන විට නැවත ඒ ගැන සිහි කැඳවීමක් යවා තිබුණි. ඒ සඳහා තමන් කුමක් කළ යුතුද යන්න එහි සිටි නිතීඥයන්ගෙන් කරුණු විමසීමක් කළේය.
ජනාධිපතිනියගේ මේ පගා චෝදනාවට හේතු වී තිබුණේ එල්.ටී.ටී.ඊ. යට සම්බන්ධ පුද්ගලයෙකු ලෙස සලකා අත් අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටි සතාසිවම් වින්සේන්ද්ර රාජන් නමැති ව්යාපාරිකයා ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළවය. සාධාරණ හේතු නොමැතිව රඳවා තබා ගැනීමෙන් තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ප්රකාශ කරමින් ඔහු විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමින් අත්අඩංගුවෙන් නිදහස් කරන ලෙසට නියෝග කරන ලෙසට අතුරු තහනමක් ඉල්ලා තිබුණි. පෙත්සම විභාග කර තිබුණේ හිටපු අගවිනිසුරු ජී.පී.එස්.ද සිල්වා මහතා, ප්රියන්ත පෙරේරා හා ශිරාණ බණ්ඩාරනායක යන ත්රි පුද්ගල විනිශ්චය මණ්ඩලයක් මගිනි. ජනාධිපතිනිය විසින් කැඳවන ලද එම සාකච්ඡාවට සහභාගී වූ ෆයිස් මුස්තාපා මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා විය. පෙත්සම්කරු ඉල්ලා තිබු අතුරු තහනම ලැබී තිබුණු අතර අතුරු තහනම් තීන්දුව ලියා තිබුණේ විනිසුරු ප්රියන්ත පෙරේරා මහතාය.
කුමන හේතුවක් නිසා හෝ සාකච්ඡාවට සහභාගී වූ නීතිඥයන් වැඩි දෙනෙක් මේ ප්රශ්නය ගැන අදහස් පළ කිරිමෙන් වැළකී සිට ඇති අතර එච්.එල්. ද සිල්වා මහතා පමණක් තමන් ඒ ගැන දරන අදහස ඍජුව පළකර ඇති බව දැනගන්නට තිබේ.
පගා චෝදනාව එල්ල වී තිබෙන විනිශ්චයකාරවරයා ජනාධිපති ඡන්ද පෙත්සම විභාග කිරීමට පත්කර ඇති විනිසුරු මඩුල්ලට ද ඇතුළත්ව සිටීය යන ප්රශ්නය සංවාදයට ලක් වී ඇත්තේ ඉන් අනතුරුව ය. ජනාධිපතිනියගේ ක්ෂෂණක ප්රතිචාරය වී ඇත්තේ ජනාධිපති ලේකම් බාලපටබැඳි මහතා මැදිහත්ව අගවිනිසුරු සමග සාකච්ඡා කොට එම විනිශ්චයකාරවරයා විනිශ්චය මණ්ඩලයෙන් ඉවත් කිරීම පිණිස ක්රියාකළ යුතු බව ය.
මෙය ජනාධිපතිනිය තමාට අදාළ නඩුවක විනිශ්චය මණ්ඩලයක් තමාට මනාප ලෙස වෙනස් කර ගැනීමට දරන ලද මැදිහත්වීමකට සමාන ය. ඉතාමත් ප්රමුඛ පෙළේ නීතිඥ පිරිසක් ඉදිරියේ කිසිදු චකිතයකින් තොරව එසේ කිරිමෙන් පෙන්නුම් කෙරෙන්නේ ද මෙවැනි මැදිහත්වීම් ඉතාමත් සාමාන්ය දේවල් ලෙස සලකන ආකල්පයක් ජනාධිපතිනිය තුළ සේම ජනාධිපති ලේකම් හා අධිකරණ ඇමති තුළ ද තිබී ඇති බව ය. අගවිනිසුරු ධූරය දරන සරත් සිල්වා මහතාට පොදු පෙරමුණු ආණ්ඩුව සමගත් එහි නායිකාව සමගත් තිබෙන දේශපාලන සම්බන්ධකම් ඒ සැකය තවදුරටත් තහවුරු කිරීමට හේතු වේ.
සරත් සිල්වා මහතා අධිකරණ තලයේ බලවත්ම පුද්ගලයා බවට පත්වන්නේ දේශපාලන හේතු මත ය. සරත් සිල්වා මහතා ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස ක්රියාකරමින් සිටි අවස්ථාවක ජනාධිපතිනිය සිය සැමියාගේ (විජය කුමාරතුංග) ඝාතනය පිළිබඳව පත් කරන ලද කොමිසමට ද සරත් එන්. සිල්වා මහතා කොමසාරිස්වරයකු වශයෙන් පත් කළා ය. ඒ කොමිෂමේ සාමාජිකයකු ලෙස ක්රියාකරන අතරතුර සරත් එන්. සිල්වා මහතා සිය භාරකාරත්වයෙන් පවත්වාගෙන යන ආයතනයක් සඳහා රජයට පවරාගත් ඉඩමක් ජනාධිපතිනියගෙන් ඉල්ලා සිටියේ ය. ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ජනාධිපතිනියගේ ස්වාමියාගේ ඝාතනය පිළිබඳව ජනාධිපතිනිය පත්කළ කොමිසමක කොමසාරිස්වරයකු ලෙස ක්රියාකරමින් සිටින අවස්ථාවක එවැනි ඉල්ලීමක් කිරීම සදාචාර විරෝධී ක්රියාවක් ලෙස සැලකිය හැකි වුවත් ජනාධිපතිනිය ද එම සදාචාර විරෝධී ඉල්ලීමට ඉඩ දෙමින් තමාගේ ස්වාමියගේ ඝාතනය පිළිබඳ පරීක්ෂෂා කිරීමට තමා විසින්ම පත් කළ කොමසාරිස්වරයකුට ඔහු ඉල්ලා සිටි ඉඩම ලබා දුන්නා ය. කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිනිය නිලවශයෙන් බාර දුන් පසු දිනම සරත් සිල්වා මහතා නීතිපති ධූරයට පත්කරන ලද අතර ඉන් පසු සරත් සිල්වා මහතාට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයට යවන ලද පෙත්සම් දෙකක් ශේ්රෂ්ඨාධිකරණයේ විමර්ෂනයට ලක් වෙමින් තිබෙන අවස්ථාවක ඒ බව ද නොසලකා ජනාධිපතිනිය සරත් සිල්වා මහතා අගවිනිසුරු ධූරයට පත් කළාය. ඉන් පසු මේ සාකච්ඡාවේ දි ජනාධිපතිනිය සිය ලේකම් අමතා තමාගේ විරෝධයට හේතු වී සිටි විනිසුරුවරයා ජනාධිපති ඡන්ද පෙත්සම විභාග කිරීමට පත් කර තිබුණු විනිශ්චය මණ්ඩලයෙන් ඉවත් කරන ලෙසට දැනුම් දෙන ලෙස කියා පෑමෙන් පෙන්නුම් කෙරෙන්නේ ද ක්රමානුකූලව විධායකය හා අධිකරණය අතර තිබිය යුතු බල බෙදිම අහෝසි වී අධිකරණය විධායකයේ පාලනයට යටත් තත්ත්වයට පත්ව තිබෙන ප්රමාණයයි.
පිළිගත් සම්ප්රදායන්ට පටහැනිව යමින් ජනාධිපතිනිය චෝදනා ලාභී තත්ත්වයක සිටි පුද්ගලයෙක් අගවිනිසුරු ධූරය වැනි ඉතාමත් ගරු කටයුතු ධූරයකට පත් කිරීම මගින් සමස්ත අධිකරණයම පහසුවෙන් නිමාවක් දැකිය නොහැකි අර්බුදයකට අධිකරණය තල්ලු කළේ ය. ඉන්පසු පගා මත ක්රියා කරන විනිශ්චයකාරවරයකු ශ්රේෂ්ඨාධිකරණයේ සිටින බව ප්රකාශ කිරීම මගින් අධිකරණයේ මතු වී තිබුණු අර්බුදය තවත් උග්ර කළේ ය. අධිකරණයේ නැති වී යමින් තිබෙන ගෞරවය හා ස්වාධීනත්වය නැවත තහවුරු කරන්නේ කෙසේද යන්න අද රට ඉදිරියේ විසඳ ගැනීමට තිබෙන එක් ප්රධාන ගැටළුවකි.
අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය වෙනුවෙන් ක්රියා කිරිමේ වැඩිම වගකීමක් ඇත්තේ නීතිඥ සංගමයට ය. එහෙත් ඔවුන් තිබෙන වැරදි ජයගන්නවා වෙනුවට ලැබෙන තාවකාලික වාසි සලකා තිබෙන වැරදි ආරක්ෂෂා කරන පිළිවෙතක් අනුගමනය කරයි නම් මහජනයා විසින් නීතිඥ සංගමය තවත් විකටයන්ගේ සංගමයක් ලෙස සලකා ක්රියාකරන යුගය බොහෝ ඈතක විය නොහැකි ය.