කමල් අද්දරආරච්චි, රාවය හා කාන්තා ඉරණම

December 24, 2000
Publication:
Ivan recounts Ravaya's campaign after a magistrate who knew actor Kamal Addararachchi discharged him of raping a schoolgirl; the magistrate left for Australia and Kamal was indicted and sentenced by Shiranee Tilakawardane to ten years. The Court of Appeal has now acquitted him while calling his conduct ungentlemanly. Ivan argues that poor young women rarely get justice, citing a girl abused by a former police chief, a child-sex racket at a Beruwala children's home that led to a defamation case against Ravaya, and Lenin Ratnayake, sent on paid leave.

පාසල් වියේ ශිෂ්‍යාවක් දූෂණය කිරිමේ චෝදනාව යටතේ කොළඹ මහේස්ත්‍රාත් උසාවියේ සිනමා නළු කමල් අද්දරආරච්චිට එරෙහිව පවරා තිබූ නඩුවේදි නඩුව විභාග කළ විනිසුරුවරයා (චම්පා බුද්ධිපාල) විත්තිකරුට හා විත්තිකරුගේ හිතවතුන්ට තිබුණු හිතවත්කම් මත පිහිටා මූලික සාක්කි විභාගයේදිම කමල් නිදහස් කළ අවස්ථාවේදි පුවත්පතක් වශයෙන් අපි මහේස්ත්‍රාත්වරයාගේ නීති විරෝධී ක්‍රියාකලාපයට එරෙහිව කෑගැසුවෙමු. විපතට පත්ව සිටි එම අසරණ දැරියට යුක්තිය ඉටු කරන ලෙස අපි ඉල්ලා සිටියෙමු.

පුවත්පතක් වශයෙන් “රාවය”ට කමල් අද්දරආරච්චි සමග පුද්ගලික කෝන්තරයක් නොතිබුණි. එහෙත් කමල් අද්දරආරච්චි වැනි ජනප්‍රිය හා බලවත් පුද්ගලයකු ඉතාමත් අසරණ තත්ත්වයකින් තමන් ඉදිරියට එන රසිකාවියකගෙන් අයුතු ප්‍රයෝජනයක් ලැබීම සාධාරණ නොවේය යන්න “රාවයේ” මතය වී තිබුණි. අනෙක් අතට නඩුව විමසූ විනිසුරුවරයාගේ ක්‍රියාකලාපය සාධාරණ හෝ යුක්තිසහගත නොවීය. ඔහු කලාකරුවන් ළගින් ඇසුරු කළ එක්තරා ප්‍රමාණයකට රගපෑමට සම්බන්ධ පුද්ගලයෙකු විය. ඔහු කමල්ව පුද්ගලිකව දැන සිටියේය. කමල්ගේ කිට්ටු හිතමිතුරන් ද දැන සිටියේය. මහේස්ත්‍රාත්වරයාගේ බිරීඳගේ ජනප්‍රියම ගායකයා වූයේ ද කමල් ය.

මෙවැනි තත්ත්වයක් යටතේ තමන් හොඳින් දන්නා හඳුනන එවැනි පුද්ගලයෙකුගේ නඩුවක් තමන් ඉදිරියේ විභාගයට නොගැනීමේ යුතුකමක් මහේස්ත්‍රාත්වරයාට තිබුණත්, ඔහු එය නොසලකා තමන් ඉදිරියේ විභාගයට ගත්තා පමණක් නොව, මූලික සාක්ෂි විභාගයේදිම සැකයක් ඇතිවන ආකාරයට කමල් චෝදනාවලින් නිදහස් කළේය.

මේ තත්ත්වයට එරෙහිව “රාවය” කෑගැසුවේය. සිද්ධියට පසුබිම් වන තමන් විසින් සොයා ගන්නා ලද නඩු විභාගයට අදාළ ඇතැම් කාරණා සිය පාඨකයන්ට දැනුම් දුන්නේය. ඒ තත්ත්වය යටතේ නඩුව විභාග කළ මහේස්ත්‍රාත්වරයා රට අතහැර ඕස්ට්‍රේලියාවට පදිංචියට ගියේය. ඒ සමග නීතිපතිවරයාට මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුව නොසලකා කමල් අද්දරආරච්චිට එරෙහිව කොළඹ මහාධිකරණය ඉදිරියේ අධි චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට සිදුවිය.

එම නඩුව විභාග කළේ එකල මහාධිකරණයේ ප්‍රධානියා ලෙසද දැන් අභියාචනාධිකරණයේ විනිසුරුවරියක් ලෙසද ක්‍රියාකරන ශිරානි තිලකවර්ධන මහත්මියයි. කමල් අද්දරආරච්චි වෙනුවෙන් හිටපු නීතිපති තිලක් මාරපන ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් ද, අතවරයට ලක්ව සිටි තරුණිය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ද පෙනී සිටියේය. අතවරයට ලක්ව සිටි තරුණය සේ ම විත්තිකාර කමල් අද්දරආරච්චි ද මේ නඩුවේදි සාක්කි දුන්නේය.

තමන් හමුවීමට පැමිණ මේ තරුණිය සමග ලිංගිකව හැසිරුණු බව කමල් ප්‍රතික්ෂේප නොකළේය. ඔහු අවධාරණයෙන් කියා සිටියේ එය තමන් විසින් බලහත්කාරයෙන් කරන ලද්දක් නොවන බවත්, ඇගේ ද කැමැත්තෙන් සිදුවූ දෙයක් බවත්ය.

නඩුව විභාග කළ මහාධිකරණ විනිශ්චයකාරවරිය කමල් සියලු චෝදනාවලට වරදකරු කරමින් ඔහුට දඬුවම් වශයෙන් බරපතල වැඩ ඇතිව අවුරුදු 10ක සිරදඬුවමක් ද, රුපියල් ලක්ෂ 10ක දඩයක් ද නියම කළේය. දඩ මුදලෙන් රුපියල් ලක්ෂ 9ක් ඇයට ගෙවිය යුතු වන්දිය විය.

මෙම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් විය. අභියාචනය විභාගයට ගැනුණේ අභියාචනාධිකරණ සභාපති හෙක්ටර් යාපා හා පී.එච්. කුලතිලක යන විනිශ්චයකාරවරුන් දෙදෙනා ඉදිරියේය. කමල් අද්දරආරච්චි වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ ඩී.එස්.එස්. විජේසිංහ ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයකි. තරුණය වෙනුවෙන් පාලිත ප්‍රනාන්දු මහතාය.

දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් වූ කරුණු සලකා බැලු විනිශ්චය මණ්ඩලය පසුගිය සිකුරාදා සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විත්තිකරු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේය.

ප්‍රකාශයට පත් කළ තීන්දුවේ කමල්ගේ හැසිරිම ගැන මෙසේ සඳහන් වේ.

“අවස්ථාවේ හැටියට විත්තිකරු ශීලාචාර මිනිසකු ලෙස හැසිරීලා නැහැ. මෙම තරුණිය නොමේරූ මෝඩ පාසල් සිසුවියකි. ඇය සිය කැමැත්තෙන් ම ඔහුට උදව් දිමට උත්සාහ කර තිබෙනවා.

විත්තිකරු ඇයට වඩා මේරූ පුද්ගලයෙකි. ඒ නිසා ඔහු සංයමයෙන් හැසිරිය යුතුව තිබුණා. මේ දුර්වලකම ඔහුට තිබුණත්, ඔහු ස්ත්‍රී දූෂකයකු ලෙස හැඳින්වීමට නීතියෙන් ඉඩක් නැත. ශීලාචාර ලෙස හැසිරීය යුතුව තිබුණා. එහෙත් ස්ත්‍රී දූෂකයකු ලෙස හඳුන්වන්න තරම් නීතිය අකාරුණාවන්ත නැහැ.”

මේ අනුව ජනප්‍රිය සිනමා නළු කමල් අද්දරආරච්චි ස්ත්‍රී දූෂණ විෂය පිළිබඳව ලෝකයට අලුත් පාඩමක් කියා දි ඇති බව පෙනේ. ස්ත්‍රී දූෂකයකු නොවී, ස්ත්‍රීන් දූෂණය කරන්නේ කෙසේද යන්න ඔහු කියා දි තිබෙන පාඩම ලෙස සැලකිය හැකිය.

මේ නඩු තීන්දුව නිසා කමල්ගේ ජනප්‍රියභාවය තව තවත් ඉහළ යනු ඇති බවට සැකයක් නැත. ඒ ගැන අපට සංතෝෂවීමට හෝ කණගාටුවීමට හේතුවක් නැත. එහෙත් ඉතා වැදගත් වනුයේ අතවරයට ලක්වූ තරුණියගේ අනාගතය කුමක් වනු ඇත්ද යන්නයි.

මේ තරුණිය අතවරයට ලක්වන අවස්ථාව වනවිට හරියටම ඇගේ වයස කුමක්දැයි අපි නොදන්නෙමු. පුවත්පත්වල පළවූයේ ඇය 16 හැවිරීදි බවය. ඇගේ වයස අවුරුදු 16ට අඩු වී නම්, දූෂණය සිදුවූයේ ඇගේ කැමැත්තෙන් ම වුවත් එය ස්ත්‍රී දූෂණයක් ලෙස අධිකරණය සැලකිය යුතු ය.

ඇය කමල් සමග එකට එක්වනුයේ ඇගේ කැමැත්තෙන්ම වුවත්, පාසල් යන වයසේ සිටි සිසු දැරියකගේ මුළු මහත් අනාගතයම කාලකණ්ණ කිරීමට හේතුවන ක්‍රියාවක් මෙතරම් සරල ආකාරයකින් සැලකීම සාධාරණද?

මෙය ඉනෝකාට පමණක් නොව, ඇය වැනි දුප්පත් තරුණියන්ට බොහෝවිට මුහුණ දෙන්නට සිදුවන ඛේදජනක තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.

හිටපු පොලිස් ප්‍රධානියකුගේ අතවරයට ලක්වූ සඳරේඛාට මුහුණ දෙන්නට සිදුවූ අවසාන ඉරණම ද ඊට සමානය. මූලික නඩු විභාගයේදි නීතිපති මැදිහත් වී එම නඩුව ඉවත් කරගත් අවස්ථාවේදි ද අපි පුවත්පතක් වශයෙන් අතවරයට ලක්වූ එම පුංචි දැරියගේ ආරක්ෂාව වෙනුවෙන් හඬ නගා කෑගැසුවෙමු. ඒ නිසා රටේ ඇතිවු බලවත් විරෝධය හේතු කොටගෙන, ජනාධිපති විජේතුංග මහතාගේ නියමය අනුව හිටපු පොලිස් ප්‍රධානියාට එරෙහිව මහාධිකරණය ඉදිරියේ නැවත නඩු පැවරිමට නීතිපතිට සිදුවිය. නඩු විභාගය ඉදිරියට යමින් තිබෙන අවස්ථාවක, විත්තිකාර පොලිස් ප්‍රධානියා මරණයට පත්වීම නිසා නඩුව ඉදිරියට ගෙනයාම ඉබේම අවසන් විය. ඉන්පසු අතවරයට ලක්ව සිටි සඳරේඛාට සිය ජීවිතය ගෙවන්නට සිදුවූයේ කන්‍යා සොයුරියක් විසින් පවත්වාගෙන ගිය ළමා නිවාසයකය. පොදු පෙරමුණ බලයට පත්වීම සඳහා ගෙනයන ලද ප්‍රචාරක වැඩපිළිවෙලේ දි සඳරේඛාගේ මේ කතාව ඉහළ මට්ටමකින් ප්‍රයෝජනයට ගත්තේය. සඳරේඛාගේ ඇස් වැසූ ඡායාරූපය වෙළෙඳ දැන්වීම් සඳහා ද ප්‍රචාරක පෝස්ටර් සඳහා ද මහා ඉහළින් යොදා ගත්තේය. එහෙත් බලයට පත්වීමෙන් පසුව පෙදු පෙරමුණට ඒ අහිංසක දැරිය මුළුමණින් ම අමතක විය.

මේ අතර සඳරේඛා කතාවට අලුත් පරීච්ඳෙදයක් එකතු කරමින් තමා දූෂණය කළේ පොලිස් ප්‍රධානියා නොව, තම පියා විසින් බවට සඳරේඛා මීගමුව උසාවියට කරන පාපොච්චාරණයක් පිළිබඳ වාර්තාවක් පොල්ගෙඩි අකුරින් පුවත්පත්වළ පළවිය. ඒ සමග ඉතාමත් නීතිගරුක පොලිස් නිලධාරියකු “රාවය” විසින් මරා ගත් බව කියන, කියවන්නා තුළ මහත් කම්පාවක් ඇති කරන ආකාරයේ දිර්ඝ විවරණයක් ද ජනප්‍රිය පුවත්පතක පළවිය.

සඳරේඛාගේ පියා හා මල්ලී ජීවත් වූයේ තැනින් තැන යමින් ලී කැටයම් වැඩ කිරිමෙනි. මේ පුවත පළවීමත් සමග ඔවුන් දෙදෙනාගේ ජීවිතවලට කණකොකා හැඬුවේය. ඔවුන් දෙදෙනා නැවතුම් ගෙන සිටි පන්සලට කඩා වැදුණු වාහනයකින් පැමිණි පිරිසක් ඒ දෙදෙනාට පමණක් නොව, පන්සලේ විහාරාධිපතිට ද පහර දුන්නේය. සඳරේඛාගේ පියා කියන ආකාරයට ලෙඩවී එක්තැන් වී සිටි සඳරේඛාගේ ආච්චිට කරන ලද පහරදිම් හේතු කොටගෙන ඇය මරණයට පත්වූවාය. සඳරේඛා හිටපු පොලිස් ප්‍රධානියා වෙත මෙහෙකාරකමට බාරදි තිබුණේ ඇගේ එම ආච්චීය.

සඳරේඛාගේ පියා හා මල්ලී මේ කාලය තුළ තැනින් තැන සැගවී සිටින අතර, ඉඳහිට “රාවය”ට ද ආහ. තමන්ට සිදුවී ඇති මෙම අපහාසය ගැන ඔවුහු හඬා වැළපුණහ. ඇතැම් විට ඒ ගැන පොදු පෙරමුණට පමණක් නොව, ජනාධිපතිනියට ද ශාප කළහ.

මේ අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳරේඛාගේ මේ නව පාපොච්චාරණය පිළිබඳව පරික්ෂණයක් ඇරඹීය. පරික්ෂණයේදි සොයා ගන්නා ලද කරුණු ඉතාමත් පුදුමසහගතය. එය සඳරේඛා සිය කැමැත්තෙන් කරන ලද පාපොච්චාරණයක් නොව, ඇය රැකවරණය ලබමින් සිටි කන්‍යාරාමයේ ප්‍රධාන කන්‍යා සොහොයුරියගේ පෙළඹීම මත කරන ලද පාපොච්චාරණයකි. කන්‍යා සොයුරියට හිටපු පොලිස් ප්‍රධානියාගේ පවුලේ අය සමග සමීප සම්බන්ධයක් ද තිබී ඇත.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද මෙම පරික්ෂණ නිගමන ද පුවත්පත්වල පළවුවත්, එයට සඳරේඛාගේ බොරු පාපොච්චාරණයට ලබාදුන් ආකාරයේ ප්‍රමුඛතාවක් ලබාදි නොතිබුණි. ඒ නිසාම පළමු ප්‍රවෘත්තිය මගින් ඇති කර තිබුණු විනාශකාරි බලපෑම අහෝසි කිරීමට එය හේතුවී නොතිබුණි.

මේ ප්‍රවෘත්තියත් සමග සඳරේඛාගේ පියා හා සහෝදරයා සිය දුවණිය බැලීමට ඇය නැවතුම් ගෙන සිටි ළමා නිවාසයට ගියහ. ඒ වනවිට ඇය කන්‍යා සහෝදරිය පවත්වාගෙන ගිය ළමා නිවාසයෙන් ඉවත් කොට ළමා ආරක්ෂක කොමසාරිස් දෙපාර්තමේන්තුව යටතේ ඇති රන්මුතුගල ළමා නිවාසයට යවා තිබුණි. එහෙත් නිවාස පාලිකාව ඇය බැලීමට ඔවුන්ට අවසර නුදුන්නේය. ඉන්පසුව ඔවුහු නැවත අඬාගෙන රාවයට ආහ. සිය දියණිය බැලීමට අවස්ථාවක් ලබාදෙන ලෙස පියා හැඬූ කඳුළින් ඉල්ලා සිටියේය. ළමා ආරක්ෂක කොමසාරිස් රනුග්ගේ මහතාට ද දුරකතනයෙන් කතා කොට ඒ සඳහා අවසරය ලබාදෙන ලෙස ඉල්ලා සිටියත්, උසාවි නියෝගයකින් හැර තමන්ට ඒ සඳහා අවසර දිය නොහැකි බව කියා සිටියේය. ඉන්පසු අපි නීතිඥයන් සමග කථා කළෙමු. උසාවි නියෝගයක් ලබාගත හැකි බවත්, ඒ සඳහා පියා සඳරේඛාගේ උප්පැන්නය ඉදිරිපත් කරමින් තමා සඳරේඛාගේ පියා බව ඔප්පු කිරීම අවශ්‍ය බවත් ප්‍රකාශ කර සිටියේය. එහෙත් ඒ වනවිට සඳරේඛාගේ උප්පැන්න සහතිකය තබා ඔවුන් සතු කිසිවක් ඔවුන්ට ඉතිරිවී තිබුණේ නැත. ඇයගේ උපන් දිනය වැනි තොරතුරු ද පියා හෝ ඇගේ මල්ලී දැන සිටියේ ද නැත. රන්මුතුගල සිටින ඇය හමුවීමට පුවත්පතකට හෝ රාවයට අවස්ථාවක් ලබාදෙන ලෙස ළමා කොමසාරිස්වරයාගෙන් රාවය ඉල්ලා සිටියත් ඊට ද ඉඩ නොලැබුණේය.

එවැනි ඛේදජනක දෑ ගැන අපට කියන්නට තිබෙන එකම කතාව එය පමණක් නොවන බව ද කිව යුතුය.

බෞද්ධ සම්මේලනයට අයත් බේරුවල ළමා නිවාසයක් ආශ්‍රයෙන් පවත්වාගෙන ගිය ලිංගික ජාවාරම පිළිබඳ සිද්ධිය ඊට දැක්විය හැකි තවත් නිදසුනකි. මෙම ළමා නිවාසය බෞද්ධ සම්මේලනයට අයත් වුවත්, එහි පාලනය පවත්වාගෙන ගියේ බේරුවල අලුත්ගම හෝටල්කරුවන්ගේ සංගමයක් මගිනි. මේ ළමා නිවාසයේ සිටින කුඩා ළමුන් ලිංගික වුවමනාවන් සඳහා සංචාරක විදේශිකයන්ට විකුණන ජාවාරමක් පවත්වාගෙන යන බවට තොරතුරු දැනගන්නට ලැබී අප ඒ විස්තර හෙළිදරව් කරන පුවතක් පළ කළෙමු. එහි ප්‍රතිඵලයක් වශයෙන් පොලිසිය පරික්ෂණයක් ආරම්භ කළේය. වයස අවුරුදු 5 සිට 11 දක්වා වන වයස් පරාසයට අයත්, කුඩා ළමුන් ගණනාවක් දූෂණයට ලක්වී තිබෙනවා පමණක් නොව, ඉන් සමහරකුට සමාජ රෝග ද වැළඳී තිබුණු බව වෛද්‍ය පරික්ෂණවලදි හෙළිවිය. ඊට වගකිවයුතු තෝරුන් හා මෝරුන් අතහැර නිවාස පාලිකාව ඇතුළු කිහිපදෙනකුට පමණක් නඩු පවරන ලදි. ඒ සමග අප විසින් කරන ලද හෙළිදරව්ව සත්‍ය හා වැඩදායක හෙළිදරව්වක් වී තිබියදිත්, පොලිස්පතිවරයා වෙනුවෙන් “රාවය”ට එරෙහිව සාපරාධී අපහාස නඩුවක් පැවරිමට තරම්, පොදු පෙරමුණු ආණ්ඩුව කෘතඥ වූ බව ද සඳහන් කළ යුතුය. දෙමාපියන්ගේ පවා හරි පිළිසරණක් නැති මෙවැනි අසරණ ළමුන් විපතට පත්වන අවස්ථාවලදි ඔවුන් සඳහා යුක්තිය ඉටුවීමක් සිදුවුවහොත් එය සිදුවන්නේ ඉතාමත් කලාතුරකින් අවස්ථාවක පමණය.

ලෙනින් රත්නායක මහේස්ත්‍රාත්වරයාට එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල කෙරුණු අවස්ථාවේදි ද එය මහජනයා සැලකුවේ විශ්වාස කිරීමට පහසු නැති ත්‍රාස්‍යජනක කතාවක් ලෙසය. එහෙත් අප එම හෙළිදරව්ව කරන්නට පෙර, මහේස්ත්‍රාත්වරයා අතින් විපතට පත්වී සිටි එම කාන්තාව ඒ බව අධිකරණ කොමිසම් සභාවට සේ ම, මානව හිමිකම් කාර්ය සාධක බලකායට ද පැමිණිලි කර තිබුණි. එහෙත් ඇය දුප්පත් ගම්බද කාන්තාවක් වීම හේතු කොටගෙන හා වරදකරු රටේ ඉතා බලවත් පුද්ගලයන්ට කිට්ටු සම්බන්ධකම් ඇති නඩුකාරවරයකු වීම නිසා ඒ කිසිම ආයතනයක් ඇයට සාධාරණය ඉටු කිරීමට ඉදිරිපත් නොවීය. අඩුම වශයෙන් රටේ තිබෙන කාන්තා සංවිධානවත් ඇය කියන ශෝකජනක කතාවේ ඇත්තක් තිබේදැයි සොයා නොබැලූවේය. එහෙත් “රාවය” නොකඩවා දිගින් දිගට ඒ ගැන කෑගැසීම නිසා “රාවය” කරන චෝදනාව ගැන කරුණු සොයා බැලීමේ වැදගත්කම නීතිඥ සංගමයේ සභාපතිවරුන්ගේ සම්මේලනයක්, හිටපු අගවිනිසුරුවරයාට අවධාරණය කරනු ලදුව අධිකරණ සේවා කොමිසම ඒ ගැන සොයා බැලීම සඳහා අභියාචනාධිකරණයේ විනිසුරුවන් තිදෙනකුගෙන් සමන්විත පරික්ෂණ කමිටුවක් පත් කළේය. පරික්ෂණ කමිටුව ඉදිරියේ මහේස්ත්‍රාත්වරයා සේ ම, මහේස්ත්‍රාත්වරයා අතින් අතවරයට ලක්වූ කාන්තාවන් දෙදෙනා ද සාක්ෂි දුන්හ.

පරික්ෂණ කමිටුව මහේස්ත්‍රාත්වරයා සියලු චෝදනාවලට වරදකරු කළත්, අධිකරණ සේවා කොමිසම මහේස්ත්‍රාත්වරයා සේවයෙන් පහකරනවා වෙනුවට කළේ, පඩි සහිතව අනිවාර්ය නිවාඩු යැවීමය. ඒ මගින් මහේස්ත්‍රාත්වරයාට වැඩ නොකර ගෙදර සිටිමින් පඩි ලබාගැනීමට අවස්ථාවක් ලැබී ඇතත්, ඔහු අතින් විපතට පත්වූ කාන්තාවන්ට තවමත් යුක්තිය ඉටුවී නැත. ඉනෝකා, සඳරේඛා, බේරුවල දැරියන්, මහේස්ත්‍රාත්වරයා අතින් දූෂණයට ලක්වූ කාන්තාවන් දෙදෙනා යන සියලු දෙනාගේ අවසාන ඉරණම හා ගමන් මග එක සමානය.