ජනමාධ්‍ය නිදහසට එරෙහිව සාපරාධී අපහාස නීතිය

December 24, 2000
Publication:
Although its first media minister Dharmasiri Senanayake called the People's Alliance a government brought to power by journalists, it has reformed only parliamentary privilege law and, instead of repealing criminal defamation, filed twelve cases against editors, six of them against Ravaya. Sinha Ratnatunga and Lasantha Wickrematunge were convicted of defaming the President, who never testified. The editorial contrasts English practice and the Salman Rushdie episode, cites New York Times v. Sullivan, and notes that the 1996 recommendations of the R.K.W. Goonesekere committee were ignored.

ජනමාධ්‍ය නිදහස ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ අවශ්‍යයෙන්ම තිබිය යුතු මූලික ලක්ෂණයක් සේ සැලකුණත්, පිළිගත් ප්‍රමිති අනුව අද ශ්‍රී ලංකාව ඉන්නේ අඩුම ජනමාධ්‍ය නිදහසක් ඇති රටවල් කාණ්ඩය අතරේය. එහෙත් පොදු පෙරමුණ බලයට පැමිණ වහාම ප්‍රථම ජනමාධ්‍ය ඇමති ධර්මසිරී සේනානායක මහතා විසින් පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවේදි ප්‍රකාශ කරන ලද්දේ පොදු පෙරමුණු ආණ්ඩුව ප්‍රධාන කොට ජනමාධ්‍යවේදින් බලයට පත්කළ හැකි ආණ්ඩුවක් ලෙස සැලකිය හැකි බවය. ජනමාධ්‍ය නිදහස තහවුරු කිරීම පිණිස තමන් ඇති කරන්නට යන ප්‍රතිසංස්කරණ පිළිබඳව ද ඉතා සිත්ගන්නා සුළු කරුණු රාශියක් පොදු පෙරමුණේ මැතිවරණ ප්‍රකාශනයට ඇතුළත්ව තිබුණි. එසේ දෙන ලද පොරොන්දු අතරින්පොදු පෙරමුණු ආණ්ඩුව මේ දක්වා සම්පූර්ණ කර ඇත්තේ පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය ප්‍රතිසංස්කරණය කිරීම පමණය. පොරොන්දු වූ පරීදි සාපරාධී අපහාස නීතිය අහෝසි කරනවා වෙනුවට එම නීතිය යටතේ ජනමාධ්‍යවේදින්ට එරෙහිව වැඩිම නඩු ගණනක් පවරා තිබෙන ආණ්ඩුවක් ලෙස ද එය ඉතිහාසයට එකතුවන්නේය.

පොදු පෙරමුණු ආණ්ඩුව යටතේ මෙතෙක් පුවත්පත් කතුවරුන්ට එරෙහිව පවරා ඇති නඩු ගණන දොළහකි. ඉන් එකක් දීසන්ඩේ ටයිම්ස් කර්තෘ සිංහ රත්නතුංගට එරෙහිවය. තවත් එකක් “දි අයිලන්ඩ්” කර්තෘ ගාමිණී විජේකෝන්ට එරෙහිවය. තවත් දෙක බැගින් දීසන්ඩේ ලිඩර්” කර්තෘ ලසන්ත වික්‍රමතුංගට හා “ලක්බිම” හිටපු කර්තෘ බන්දුල පද්මකුමාරට එරෙහිවය. හයක් “රාවය”ට එරෙහිවය.

ජනාධිපතිනියට අපහාස කළේය කියන චෝදනාව යටතේ පමණක් කතුවරුන් තිදෙනකුට එරෙහිව නඩු පවරා තිබේ. ඉන් නඩු දෙකකින් මහාධිකරණය සිංහ රත්නතුංග හා ලසන්ත වික්‍රමතුංග වැරදිකරු කළේය. බන්දුල පද්මකුමාරට එරෙහිව පවරන ලද නඩුවෙන් මහාධිකරණය ඔහු නිදහස් කළත්, ආණ්ඩුව එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළේය. ආණ්ඩුවේ ක්‍රියාකාරකම් විවේචනය පුවත්පත් කතුවරුන් කෙරෙහි ආණ්ඩුව කෙරෙන් ප්‍රකාශ වී ඇති වෛරයේ ප්‍රමාණය ඉන් පෙන්නුම් කරයි.

සාපරාධී අපහාස නඩුවකදි අපහාසයට ලක්වූ පුද්ගලයා ඒ පිළිබඳව දෙන සාක්ෂිය ඉතා වැදගත් සාධකයක් කොට සැලකේ. එහෙත් මේ එකම නඩුවකවත් ජනාධිපතිනිය සාක්ෂි නුදුන්නාය. අනෙක් අතට ජනාධිපතිනිය ද තමන්ගේ සතුටට හේතුවී නැති පුවත්පත් කතුවරුන් පිළිබඳව මතභේදයට තුඩු දෙන ප්‍රසිද්ධ ප්‍රකාශ කර ඇතත්, ජනාධිපතිනියට මුක්තියෙන් ලැබී ඇති ආවරණය නිසාම ඒ කිසිම පුවත්පත් කතුවරයකුට ජනාධිපතිනියට එරෙහිව නඩු පැවරිමට ඉඩක් ලැබී නැත. එයින් පෙන්නුම් කෙරෙන්නේ නීතිය ඉදිරියේ සියලුදෙනා එක සමානයි කියන මූලධර්මය ජනාධිපතිනිය සම්බන්ධයෙන් පමණක් වලංගු නොවන බවය.

තමන්ට එරෙහිව මහාධිකරණය දෙන ලද තීන්දුවට එරෙහිව “සන්ඩේ ටයිම්ස්” කර්තෘ අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළත්, ඉන් සිදුවුයේ ද පැරණි තීන්දුව තවදුරටත් තහවුරු වීම පමණය. ඒ ගැන අභියාචනාධිකරණය දෙන ලද තීන්දුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශන නිදහස පිළිබඳ උපදේශක ආයතනයක් ලෙස ක්‍රියා කරන “ආටිකල් 19” හෙළා දැක්කේය. සාපරාධී අපහාස නීතිය ජනමාධ්‍යවේදින්ට එරෙහිව යොදා ගැනීමට එරෙහිව පවත්නා ලෝක මතයේ ස්වභාවය එයින් පෙන්නුම් කරයි.

අපහාස කළ ජනමාධ්‍යවේදින්ට එරෙහිව සිවිල් නීතිය මිස සාපරාධී අපහාස නීතිය යොදා නොගත යුතුය යන්න අද ශිෂ්ට ලෝකය පිළිගත් මූලික මූලධර්මයකි. ලෝකයේ බොහෝ රටවල් සාපරාධී අපහාස නීතිය අවලංගු කොට ඇත්තේ ද ඒ නිසාය. සාපරාධී අපහාස නීතියේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින න්‍යායවාදින් බොහෝවිට ඒ ගැන කියන්නේ සාපරාධී අපහාස නීතිය එංගලන්තයට හොඳ නම්, ශ්‍රී ලංකාවට ද නරක විය නොහැකි බවය. එක් අතකින් සාපරාධී අපහාස නීතිය යොදා ගැනීමේදි එංගලන්තය යොදාගෙන තිබෙන විධිවිධාන ශ්‍රී ලංකාවට වඩා වෙනස් වන අතර, අනෙක් අතට සාපරාධී අපහාස නීතිය අවලංගු කර නැතත්, එංගලන්තය ද ජනමාධ්‍යවේදින්ට එරෙහිව සාපරාධී අපහාස නීතිය යොදා ගැනීම අත්හැර දමා දැන් දශක දෙකකටත් වැඩිය. එහෙත් 1990දි එංගලන්තයේ නීතිපති දෙපාර්තමේන්තුව ඉංග්‍රීසි ජනතාවගේ ගෞරවයට හේතුවී සිටි සල්මන් රූෂ්ඩිගේ ආරක්ෂාව පිණිස මේ තත්ත්වය පාවිච්චි කිරීමට උත්සාහයක් ගෙන තිබුණි. ඒ සල්මන් රූෂ්ඩි අවමානයට ලක් කෙරෙන ආකාරයට පාකිස්තානයේ නිෂ්පාදනය කළ International Guerrillas යන වීඩියෝ චිත්‍රපටයට එරෙහිවය. තමන්ගේ ආරක්ෂාව සඳහා එංගලන්ත නීතිපති දෙපාර්තමේන්තුව සාපරාධී අපහාස නීතිය යොදා ගන්නේ නම්, තමන් අධිකරණයට ඉදිරියට ගොස් විත්තියට පක්ෂපාතීව සාක්ෂි දෙන බව රූෂ්ඩි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම නිසා සිය අභිප්‍රාය ඇත්හැරිමට එංගලන්ත නීතිපති දෙපාර්තමේන්තුවට සිදුවිය. අනෙක් අතට එංගලන්තයේ නීතිපතිට ශ්‍රී ලංකාවේ නීතිපතිට මෙන් සාපරාධී අපහාස නීතිය ආණ්ඩුවේ පටු අරමුණු වෙනුවෙන් යොදාගත නොහැකිය. ශ්‍රී ලංකාවේදි සාපරාධී අපහාස නීතිය යටතේ පුද්ගලයකුට එරෙහිව නඩු පවරනවාද නැද්ද යන්න අවසාන වශයෙන් තීන්දු කරන්නේ නීතිපතිය. එහෙත් එංගලන්තයේදි නීතිපතිට සිය අභිමතය අනුව පමණක් එය කළ නොහැකිය. මහාධිකරණය ඉදිරියට ගොස් නඩු පවරන්නට නියමිත චූදිත පක්ෂය ද ඉදිරියේ නඩු පැවරිමක් සිදුකිරීමට තරම් බරපතල අපහාසයක් සිදුවී ඇති බව සනාථ කරමින් නඩු පැවරිමක් සඳහා අවශ්‍ය අනුමැතිය අධිකරණයෙන් ලබාගත යුතුය.

ජනමාධ්‍ය වැඩි වැඩියෙන් රාජ්‍ය පාලනයට සම්බන්ධ පුද්ගලයන් විවේචනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ යහපැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස නූතන ලෝකය සලකයි. ඒ නිසාම ඒ හේතුව මත ජනමාධ්‍යවේදින්ට දඬුවම් පැමිණවීමට තිබෙන ඉඩකඩ සීමා කරන විධිවිධාන ද ශිෂ්ට ලෝකය පවත්වාගෙන යයි. රාජ්‍ය පාලකයෙකුට හෝ රාජ්‍ය පාලනයට සම්බන්ධ දේශපාලනඥයකු පිළිබඳව කරන හෙළිදරව්වකදි ඊට සත්‍ය තොරතුරු ඇතුළත් නොවී ඒ නිසා රාජ්‍ය පාලකයාට හෝ දේශපාලකයාට අපහාසයක් වූ පමණන් ජනමාධ්‍යවේදින්ට දඬුවම් පමුණුවන අධිකරණ සම්ප්‍රදායයක් ශිෂ්ට ලෝකයේ නොපවතී.

පළකරන වාර්තාවක් වැරදි වන අවස්ථාවලදි එම වාර්තාවේ එන කරුණු අසත්‍ය බව දැන දැනම හා චේතනාන්විතව අපහාසයක් කිරිමේ අරමුණ ඇතිව සිදුකළ බව ඔප්පු කිරීම ද ජනමාධ්‍යවේදියකු වරදකරුවකු කිරීමට අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස අද ශිෂ්ට ලෝකය පිළිගනී. ජනමාධ්‍යවේදින්ගේ ආරක්ෂාව සඳහා මේ මූලධර්මය පළමුවෙන්ම තහවුරු කරන ලද්දේ 1964දි New York Times පුවත්පතට එරෙහිව Sullivan නඩුවේදිය.

පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පත්වූ වහාම ජනමාධ්‍ය නිදහස තහවුරු කිරීම සඳහා ඇති කළ නීති ප්‍රතිසංස්කරණ මොනවාදැයි සොයා බලා නිර්දේශ කරනු පිණිස 1995 ජනවාරිවලදි ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර (සභාපති), ශිරාණ බණ්ඩාරනායක, රොහාන් එදිරීසිංහ, ජයම්පති වික්‍රමරත්න, කේ. ජාවිඩ් යුසුෆ්, වික්ටර් ගුණවර්ධන, ලුෂන් රාජකරුණානායක යන අයගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලද අතර, එම කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව 1996 මැයි 27 වැනි දින ජනමාධ්‍ය ඇමතිවරයා වෙත භාර දෙන ලදි. සාපරාධී අපහාස නීතිය අහෝසි කළ යුතුය, නැත්නම් හිතුවක්කාරි නඩු පැවරිම්වලට ඉඩක් නොලැබෙන ආකාරයට නඩු පැවරිමේ විධි විධාන එංගලන්තයේ පවතින තත්ත්වයට සමාන තත්ත්වයකට ගෙනා යුතුය යන්න සාපරාධී අපහාස නීතිය පිළිබඳ කමිටුවේ නිර්දේශය විය. එහෙත් ආණ්ඩුව එම කමිටු නිර්දේශ ක්‍රියාත්මක කරනවා වෙනුවට, අවලංගු කළ යුතුව තිබෙන යල් පැනගිය නීති යොදාගනිමින් ජනමාධ්‍යවේදින් දඩයම් කිරිමෙන් ප්‍රීතියක් භුක්ති විඳින බව පෙනේ. ශ්‍රී ලංකාව මෙම විෂය ක්ෂේත්‍රයේ ඇතිකර ගෙන තිබෙන ජාත්‍යන්තර සම්මුතිවල එන ප්‍රතිපත්තිවලට අනුව නම්, සාපරාධී අපහාස නීතිය යටතේ පුවත්පත් කතුවරුන්ට එරෙහිව පවරන ලද නඩුවල නීත්‍යනුකූල වලංගුභාවයක් නොපවතී. මේ විෂය ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව ඇතිකර ගෙන තිබෙන ජාත්‍යන්තර ගිවිසුම්වලට අනුකූලව රටේ නීති වෙනස් කර නැතත්, මෙවැනි නඩු විමසීමේදි ජාත්‍යන්තර ප්‍රඥප්තිවල එන මූලධර්ම සැලකිල්ලට ගැනීම ඉතා වැදගත්ය. සාපරාධී අපහාස නීතිය යටතේ මේ කතුවරුන් සියලුදෙනා වැරදිකරුවන් කළහැකි වුවත්, ඔවුන් කිසිවෙකු කවදා හෝ ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියට ගියදාකට ආණ්ඩුවට හිනා වෙනවා වෙනුවට ලැජ්ජාවට පත්වන්නට සිදුවනු නොඅනුමානය.