පොදු පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය අතර පොදු එකගතාවක් ඇති කරගැනීම සඳහා යොදාගෙන ඇති වැඩපිළිවෙළට ජනවාර්ගික අර්බුදයට විසඳුමක් ඇති කරගැනීමේ අවශ්යතාව ඇතුළත් නොවී එය ප්රජාතන්ත්රවාදය සඳහා වන න්යාය පත්රයකට පමණක් සීමා කර තිබීම දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ විරෝධයට හේතුවී තිබේ. ජනවාර්ගික ප්රශ්නයට විසඳුමක්ලබාදිම අන්සියලු දේට වඩා වැදගත් හා ප්රමුඛ වේ යැයි අන් දෙමළ දේශපාලන පක්ෂ සේ ම දෙමළ ජනතාව ද සිතන්නේ නම් සාධාරණ ය.
ජනවාර්ගික ප්රශ්නයට ඉක්මන් හා ස්ථිරසාර විසඳුමක්සොයාගැනීම දෙමළ ජනතාවගේ පැවැත්ම සඳහා පමණක් නොව, රටේම පැවැත්ම සඳහාත් අත්යවශ්ය බවට සැකයක් තිබිය නොහැකිය. එහෙත් ඒ ඉලක්කය සපුරාගත හැකිවනු ඇත්තේ යටත් පිරිසෙයින් ප්රධාන දේශපාලන පක්ෂ දෙක අතරවත්, ඒ සඳහා පොදු එකගතාවක් ඇති කරගත හැකිවේ නම් පමණය. ප්රධාන දේශපාලන පක්ෂ දෙක අතර පමණක් නොව, බල තරග බිමේ සිටින සියලු දේශපාලන පක්ෂ අතර එකිනෙකා කෙරෙහි සැකයෙන් හා වෛරයෙන් බලන තත්ත්වයක් පවතී. ඒ තත්ත්වයෙහි වෙනසක් ඇති කරන තෙක් ජනවාර්ගික ප්රශ්නය සඳහා පමණක් නොව, අන් කවර වැදගත් ප්රශ්නයක් සඳහාවත් මේ දේශපාලන පක්ෂ අතර පොදු එකගතාවකින් ක්රියාකරන තත්ත්වයක් ඇති කළ නොහැකිය.
බල තරගයේ යෙදි සිටින දේශපාලන පක්ෂ අතර ජාතික වැදගත්කමක් ඇති මූලික ප්රශ්න විසඳගැනීම සඳහා පොදු එකගතාවකින් ක්රියාකරන තත්ත්වයක් ඇති කළ හැකිවනු ඇත්තේ ඔවුන් එකිනෙකා කෙරෙහි පවත්නා පසමිතුරු ආකල්පවල වෙනසක් ඇති කළ හැකි නම් පමණය.
අප රටේ ප්රජාතන්ත්රවාදී ප්රවාහයේ සිට බලය සඳහා තරග කරන දේශපාලන පක්ෂ අතර පවත්නා සම්බන්ධතාවන්ගේ ස්වරූපය ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමයක් තුළ බලය සඳහා තරග කරන දේශපාලන පක්ෂ අතර තිබිය යුතු සම්බන්ධයන්ගේ ස්වරූපයට වඩා සහමුලින් වෙනස්ය. ඊට ප්රධාන හේතුව පාලන බලය ලබාගන්නා පක්ෂය සිරිතක් වශයෙන් විරුද්ධ පක්ෂ පීඩාවට පත්කිරීම පිණිසත් විරුද්ධ පක්ෂවල ක්රියාකාරිත්වය බෙලහීන කිරීම පිණිස රාජ්ය බලය යොදා ගන්නා වැරදි සම්ප්රදායයක් පැවතීමය.
එජාප පාලන බලයේ සිටියදි ශ්රීලනිප නායිකාවගේ ප්රජා අයිතිය අහිමි කිරිමෙන් නොනැවතී එම පක්ෂයේ අභ්යන්තර ආරාවුල් ඇති කොට එය කැබලි කිරිම පිණිසත් ශ්රීලනිප ක්රියාකාරිත්වය බෙලහීන කිරීම පිණිසත් උපරීම මට්ටමකින් රාජ්ය බලය යොදා ගත්තේය. ඉන්පසු බලයට පැමිණ පොදු පෙරමුණේ හැසිරිම ද ඊට වෙනස් නොවීය. පොදු පෙරමුණු ආණ්ඩුව එජාප නායකයාගේ ප්රජා අයිතිය අහිමි නොකළත් උපරීම මට්ටමකින් නින්දා අපහාස කළේය. එම පක්ෂය තුළ අභ්යන්තර ආරාවුල් ඇති කොට එය කැබලි කළේය. එම පක්ෂයේ ක්රියාකාරිත්වය බෙලහීන කිරීම පිණිස පක්ෂයේ ක්රියාකරුවන් හිංසාවට හා පීඩාවට ලක් කළේය. මේ දෙපක්ෂයම බලයේ සිටියදි ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙත් ද බොහෝ දුරට එක සමානය. 71 කැරැල්ල මර්දනය කිරීම හේතුවෙන් ජවි පෙරමුණට ශ්රීලනිපය සමග තිබුණු ස්වාභාවික වෛරය ශ්රීලනිපයට එරෙහිව උපරීම මට්ටමින් යොදා ගත්තේය. ඉන්පසු එම පක්ෂයේ මර්දනය තමන්ගේ පැවැත්මට අභියෝගයක් වනවිට එම පක්ෂය තහනම් කරමින් ඔවුන් කැළෑවට තල්ලුකළේය. පොදු පෙරමුණ ද ඊට සමාන ආකාරයකින් 89-90 කැරැල්ල මර්දනය කිරිමේ හේතුවෙන් එජපායට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ තුළ තිබූ ස්වාභාවික වෛරය එජාපයට එරෙහිව උපරීම මට්ටමකින් යොදා ගත්තේය. පළමු කැළෑ ගතවීමෙන් තමන්ට සිදුවූ හානිය පිළිබඳව ජවිපෙ ලබා තිබූ අත්දැකීම් හේතු කොටගෙන පොදු පෙරමුණු ආණ්ඩුව යටතේ ජනතා විමුක්ති පෙරමුණ නැවත කැළෑගත නොවූවත් කැළෑ ගත කිරීමට හේතුවන තරම් පීඩාවක් ජවි පෙරමුණට එරෙහිව යොදා ගත්තේය.
ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමයක් තුළ බලයට පත්වන පාලක පක්ෂයක් විරුද්ධ පක්ෂවල ක්රියාකාරිත්වය බෙලහීන කිරීම පිණිස රාජ්ය බලය ආයුධයක් ලෙස යොදා ගන්නේ නැත. රාජ්ය බලය ආයුධයක් කරගනිමින් බලහත්කාරයෙන් හා දූෂණයෙන් මැතිවරණ ජයගන්නේ නැත. මහජනයාගේ වැඩි කැමැත්ත ඇත්තේ වෙනත් පක්ෂයකට නම්, බලයේ සිටින පක්ෂය ජයග්රාහකයාට ඉඩදි ගෙදර යන්නේය. නැවත මහජන කැමැත්ත තම පක්ෂය වෙත ළගා වූ විට නැවත බලයට එන්නේය. මේ ධර්මතාව නිසාම පක්ෂ අතර බලය සඳහා තරගයක් තිබුණත්, එකිනෙකා කෙරෙහි වෛරයක් නොපවතී. ඒ නිසා පොදු එකගතාවකින් ක්රියාකිරීම අවශ්ය වන හැම අවස්ථාවකදිම පොදු එකගතාවකින් ක්රියාකිරිමේ හැකියාවක් ද පවතී. එහෙත් අපේ රටේ බලතරගයේ සිටින පක්ෂ අතර තිබෙන සහසම්බන්ධතාව ඊට වෙනස්ය. සිටිතක් වශයෙන් බලයට පත්වන හැම පක්ෂයක්මත්, විරුද්ධ පක්ෂවල ක්රියාකාරිත්වය බෙලහීන කිරීම පිණිසත් විරුද්ධ පක්ෂවල ක්රියාකරුවන් බියගැන්වීම පිණිසත් රාජ්ය බලය ආයුධයක් ලෙස යොදා ගනී. මේ නිසා බලයේ සිටින ආණ්ඩුවක් කරන ඉතා හොඳ දෙයකදි වුවත්, ඊට සහයෝගය දිමක් විරුද්ධ පක්ෂවලින් සිදු නොවේ. විරුද්ධ පක්ෂයක් ලෙස ක්රියාකරන්නට සිදුවීම හිංසාව හා පීඩාවට ලක්වීමට හේතුවක් වී තිබීම නිසාම ආණ්ඩුවක් ක්රියාවට නගන ඕනෑම දෙයකට හතුරු වෙමින් හැකි ඉක්මණන් බලයට පත්වීම එම හිංසාවෙන් හා පීඩාවෙන් ගැලවීමට තිබෙන එකම මග ලෙස සලකන ආකල්පයක් බලයෙන් පිටස්තරව සිටින විරුද්ධ පක්ෂවල පවතී.
එජාප ආණ්ඩු කාලයේදි ජනවාර්ගික ප්රශ්නයට විසඳුමක් ලබාදිමට දරන ලද හැම උත්සාහයකටමත් ශ්රීලනිපය විරුද්ධ වූයේ ඒ නිසාය. ඉන්පසු පොදු පෙරමුණු ආණ්ඩුව ඊට විසඳුමක් ලබාදෙන්නට දරන උත්සාහයට එජාපය අවහිර කරන ප්රතිපත්තියක් අනුගමනය කළේද ඒ නිසාය. මේ නිසා මේ පක්ෂ අතර ජාතික වැදගත්කමක් ඇති ප්රශ්නවලදි පොදු එකගතාවකින් ක්රියා කළ හැකි තත්ත්වයක් ඇති කළ හැකිවනු ඇත්තේ බලයෙන් පිටස්තරව විරුද්ධ පක්ෂයක් ලෙස සිටින අවස්ථාවක හිංසාවන්ට හා පීඩාවන්ට ලක්වීමෙන් තොරව මහජන කැමැත්ත ඇත්නම් අවහිරයකින් තොරව තමන්ටත් බලයට ආ හැකි යැයි කියන විශ්වාසයක් විරුද්ධ පක්ෂ තුළ ඇති කිරීමට හේතුවන රාමුවක් ඇතිකර ගැනීමෙන් පමණය.
ඒ සඳහා තරග බිමේ සිටින සියලුදෙනා සමාන තැනකට ගෙන ඒමට හේතුවන ආකාරයටත්, මහජනයාගේ වැඩි විශ්වාසයක් දිනාගත් පක්ෂයට අවහිරයකින් තොරව පාලන බලය ලබාගත හැකි ආකාරයටත් තරග බිමත්, තරග නීති රිතිත්, ප්රතිසංස්කරණය කළ යුතුය. තරග බිමේ සිටින සියලු පක්ෂ අතර එකිනෙකා කෙරෙහි විශ්වාසයකින් හා ගෞරවයකින් ක්රියාකරන තත්ත්වයක් ඇති කළ හැකිවනු ඇත්තේ එවිට පමණය.
ඒ සඳහා ඇති කළ යුතුව තිබෙන ප්රතිසංස්කරණ අතර විධායකයේ දැඩි ග්රහණයට හසුවී තිබෙන අධිකරණය ඉන් නිදහස් කිරීම ප්රධානය. ප්රජාතන්ත්රවාදයේ පුනර්ජීවනයක් ඇති කිරිමේ අරමුණින් කවර තරමේ නව ආයතන ක්රම ඇති කළද එම ආයතන ආශ්රයෙන් ආරාවුලක් ඇතිවන හැම අවස්ථාවකදිම පිහිට පතන්නට සිදුවන්නේ අධිකරණයේය. ඒ නිසා අන් සියලු දේට ප්රථම අධිකරණය ස්වාධීන තැනකට ගැනීම ප්රධානය.
මැතිවරණ කොමිසමක් නොතිබියදි වුවත් ස්වාධීනව ක්රියාකරන ශ්රේෂ්ඨාධිකරණයක් තිබුණේ නම්, පසුගිය මැතිවරණයේ දි සිදුවූ හා සිදුවන්නට නියමිතව තිබූ බොහොමයක් අකටයුතුකම් වළකාගත හැකිවන්නට ඉඩ තිබුණි. වෙන්න යන දේවල් මොනවාදැයි එජාපය ඇතුළු වෙනත් විරුද්ධ පක්ෂ කල් තියා දැන සිටියත් සිදුවන්නට නියමිතව තිබෙන වැරදි ඇතිවීමට තිබෙන ඉඩ වළකන ලෙස ඉල්ලා ඔවුන් ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියට නොගියේ විධායකයේ දැඩි ග්රහණයට හසුවී තිබූ ශ්රේෂ්ඨාධිකරණයෙන් තමන්ට යුක්තිය ඉටුකරවා ගැනීමේ හැකියාවක් ඇතැයි කියන විශ්වාසය ඔවුන් තුළ නොතිබුණු නිසාය. ජනාධිපතිනිය ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ චෝදනා එල්ල වූ පුද්ගලයකුට ශ්රේෂ්ඨාධිකරණයේ ප්රධානියා බවට පත් කළේ බලහත්කාරි පාලනයක් සඳහා ශ්රේෂ්ඨාධිකරණය තමන්ට අවශ්ය තැනකට ගෙන ඒම අවශ්ය වූ නිසාය. ජනාධිපතිනියගේ එම දේශපාලන වුවමනාව නව අගවිනිසුරුවරයා හොඳින් ඉටු කළේය. ඒ නිසා ශ්රේෂ්ඨාධිකරණය ඇද වැටී තිබෙන කණගාටුදායක තත්ත්වයෙන් ගොඩගනිමින් නැවත ශ්රේෂ්ඨාධිකරණය ස්වාධීනව ක්රියා කරන තත්ත්වයකට ගත හැකිවනු ඇත්තේ එම තනතුරේ වෙනසක් ඇති කිරිමෙන් පමණය. පුද්ගලයා වෙනස් කිරිමෙන් නොනැවතී මින්මතු කිසිම පාලකයකුට පටු දේශපාලන වාසි සලකා එම ගරු කටයුතු තනතුරට නුසුදුසු පුද්ගලයන් පත්කිරීමට ඉඩ නොලැබෙන, හා සුදුසුම පුද්ගලයන් පමණක් පත්කිරීමට ඉඩ ලැබෙන ක්රමයක් ඇති කිරීමද වැදගත්ය. ඊට අතිරේකව ඇමරිකාවේ හා ඉන්දියාවේ ශ්රේෂ්ඨාධිකරණය මෙන් ශ්රී ලංකා ශ්රේෂ්ඨාධිකරණය ප්රජාතන්ත්රවාදී නිදහස ආරක්ෂා කිරීම හා ඔපවත් කිරීම වෙනුවෙන් දැනුවත්ව ක්රියාකරන ආයතනයක් බවට පත්කිරීමට හේතුවන විධි විධාන ද ඇති කළ යුතුය.
දේශපාලන බලපෑම් මත හෝ වෙනත් හේතු නිසා නීතියට අනුකූලව ක්රියා නොකරන උසස් රාජ්ය නිලධාරින්ට එරෙහිව පැමිණිලි කළ හැකි හා ඒ පැමිණිලි විමසා බලා වැරදිකරුවන් වන අයට දඬුවම් පමුණුවන ආයතන ගත ක්රමයක් ඇතිකරගැනීම ද අප වැනි රටකට ඉතා වැදගත්ය. බලයට පත්වන කවර පක්ෂයකටවත් විරුද්ධ පක්ෂ හෝ විරුද්ධ පක්ෂවල අනුගාමිකයන් පීඩාවට ලක්කිරීමට ඉඩ නොලැබෙන නීති ඇතිකර ගැනීම ද ඉතා වැදගත් ය.
යෝජිත කොමිෂන් සභා හතර ඇති කරගන්නවාට අතිරේකව ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එකතුවී තවදුරටත් ආයුධ සන්නද්ධව ක්රියාකරන තත්ත්වයක සිටින දේශපාලන පක්ෂ නිරායුධ කිරීම ද ඉතා වැදගත්ය. ඔවුන් තමන් අත ඇති ආයුධ තමන්ගේ ආරක්ෂාව සඳහා යොදා ගන්නවාට අතිරේකව තමන් සමග තරග කරන දේශපාලන පක්ෂ පීඩාවට පත්කිරීම සඳහා ද යොදා ගනී. ඔවුන්ට ආරක්ෂාව අවශ්ය නම්, ඒ ආරක්ෂාව ලැබිය යුත්තේ පොලිසිය හා හමුදාව වැනි නිල ආරක්ෂක ආයතනවලිනි. පොලිසිය හා හමුදාව වැනි නිල ආයතනවලින් ආරක්ෂාව ලබාගෙන ඇති දේශපාලකයන්ට පවා ඒ බලය සිය ආරක්ෂාවට අතිරේකව විරුද්ධවාදින් පීඩාවට පත් කිරීමට ලැබී තිබෙන ඉඩකඩ ද අහුරන ක්රමයක් ඇති කරගත යුතුය.
ප්රජාතන්ත්රවාදයේ පුනර්ජීවයක් ඇති කිරීමට හේතුවන ආකාරයට ප්රමාද නොවී අවශ්ය කරන එම ප්රතිසංස්කරණ ඇතිකර ගැනීමට හැකිවේ නම් තරග බිමේ සිටින දේශපාලන පක්ෂ අතර, එකිනෙකා කෙරෙහි ඇති වෛරසහගත ආකල්පය ඉවත් කොට එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් හා විශ්වාසයෙන් යුතුව ක්රියාකරන තත්ත්වයක් ඇති කළ හැකිය. ජනවාර්ගික ප්රශ්නයට සාධාරණ විසඳුමක් සඳහා තරග බිමේ සිටින දේශපාලන පක්ෂ අතර පොදු එකගතාවක් ඇතිකර ගැනීමේ අරමුණ ජයගත හැකිවනවා ඇත්තේ තරග බිමේ සිටින දේශපාලන පක්ෂ අතර පවත්නා පසමිතුරු සම්බන්ධයේ එවැනි යහපත් වෙනසක් ඇති කරගත හැකිවේ නම් පමණය.