ආණ්ඩුවට ශ්රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙතෙක් ඇති කරන ලද විශාලතම කැබිනට් මණ්ඩලය ඇති කරගැනීමට හැකිවී ඇතත්, ක්රියාකාරි බහුතරයක් සඳහා අවශ්ය අවම මන්ත්රී සංඛ්යාවක් නැතිකමේ ප්රශ්නය ආශ්රයෙන් ඇතිවී තිබෙන අස්ථාවරභාවය ඒ මගින් සම්පූර්ණ කරගැනීමට හැකිවනු ඇතැයි සිතිය නොහැකි ය. සියලු දෙනා එකට තබාගැනීමේ අරමුණ ජයගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ ඉතිරි සියලුදෙනාට නියෝජ්ය ඇමති පදවි ද දිය හැකි ය. එහෙත් ආණ්ඩුවට සිටින මුළු සංඛ්යාව 116කි. ඇද වැටීමක් සඳහා අවශ්ය වනු ඇත්තේ පුංචි කුණාටුවක් පමණ ය.
පවතින ව්යවස්ථාව යටතේ එකම පක්ෂයකටවත් ස්ථාවර ආණ්ඩුවක් ඇති කරගැනීමේ හැකියාවක් නැති අවස්ථාවක පවා ජනාධිපතිනියට වසරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි ය. විසුරුවා හැරීමක් සිදුවිය හැක්කේ පාර්ලිමේන්තුව ස්වකැමැත්තෙන් විසිර යාමක් කරන්නේ නම් පමණය.
මේ තත්ත්වය ඉදිරියේ කළහැකිව තිබුණු හොඳම දේ පවතින දේශපාලන ක්රමය පුළුල් ප්රජාතන්ත්රීයකරණයකට ලක්කිරීමට හේතුවන ප්රතිසංස්කරණ වැඩපිළිවෙළක් සඳහා පොදු එකගතාවක් ඇතිකර ගනිමින් තාවකාලික පදනමක පිහිටා සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිකර ගැනීම ය. දේශපාලන ක්රමය පුළුල් ප්රතිසංස්කරණයකට ලක්කිරිමෙන් තොරව රටට එක අඩියක්වත් තවදුරටත් ඉදිරියට යා නොහැකි ය. මැතිවරණ ක්රමය දූෂණයෙන් හා බලහත්කාරයෙන් කුණුවී තිබෙන අතර, මහජනයාගේ ගෞරවයට හේතුවන ප්රතිසංස්කරණයකින් තොරව මහජනයා තවදුරටත් පවතින මැතිවරණ ක්රමය කෙරෙහි විශ්වාස කරනු ඇතැයි සිතිය නොහැකි ය. මැතිවරණ ජයගැන්මට බලහත්කාරය හා ප්රචණ්ඩත්වය අත්යවශ්ය කොන්දේසියක් බවට පත්ව තිබෙන අතර, එය ක්රමයෙන් ආයුධ සන්නද්ධ මංකොල්ලකාර කණ්ඩායම් කිහිපයක් අතර කෙරෙන බිහිසුණු පොරයක් බවට වර්ධනය වෙමින් පවතී.
ජයග්රහණයකදි වඩා බලවත් තනතුරු ලබන වීරයන් බවට පත්වන්නේ ද කොල්ලකරුවෝ ය. මැතිවරණයක් ඉතාමත් බලහත්කාරි ආකාරයකින් හෝ ජයගනියි නම් එම ප්රතිඵලය නීත්යනුකූල දෙයක් ලෙස සැලකිය යුතු තත්ත්වයක් තහවුරු වෙමින් පවතී. මේ තත්ත්වය ඉදිරියේ ප්රජාතන්ත්රවාදය හාස්යජනක දෙයක් බවට පෙරළෙමින් තිබෙන අතර, මේ තත්ත්වයෙහි වෙනසක් ඇති කිරීමට හේතුවන ව්යූහමය ප්රතිසංස්කරණයක් මගින් ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමයට පුනර්ජීවනයක් ලබාදිමට අසමත් වෙතොත්, රට තව තවත් කාලකණ්ණිබාවයට පත්වනවා මිස යහපත් අනාගතයක් දිනාගැනීමට හැකිවනු ඇතැයි සිතිය නොහැකි ය.
මේ තත්ත්වයෙන් යම් පමණකට හෝ රටට ගොඩ ආ හැකිවනු ඇත්තේ කිසිම පක්ෂයකට ස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යා නොහැකි අස්ථාවර තත්ත්වය සැලකිල්ලට ගනිමින් ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමයේ පුනර්ජීවනයක් ඇති කිරීමට හේතුවන ප්රතිසංස්කරණ වැඩපිළිවෙළක් සඳහා පොදු එකගතාවක් ඇති කරගන්නේ නම් පමණ ය. එයින් රටේ පවතින දේශපාලන අස්ථාවරභාවයට විසඳුමක් ලැබෙනවා සේ ම රටට අලුත් ආරම්භයක් ඇති කිරීමට අවශ්ය ප්රතිසංස්කරණ ක්රියාමාර්ගයකට මනා අවස්ථාවක් ලැබෙන්නේ ය.