කාලයේ අෂ්රොෆ් තරම් දේශපාලන විවාදයට හේතුවූ දේශපාලන නායකයකු තවත් නැති තරම්ය. නිදහසින් පසු අපේ රටේ බිහිවූ සියලුම මුස්ලිම් දේශපාලන නායකයන් අතරින් වර්ණවත්ම මුස්ලිම් දේශපාලන නායකයා ලෙස සැලකිය හැක්කේ ද ඔහුය. බොහෝ මුස්ලිම් නායකයන්ට වෙනස්ව මුස්ලිම් අනන්යතාවක් වෙනුවෙන් පෙනී සිටීම හේතු කොටගෙන බොහෝ දෙනකු ඔහු ජාතිවාදි නායකයකු ලෙස දකින තත්ත්වයක් තිබුණත්, සිංහල දෙමළ වර්ගයා සමග එකට පෑහීමේ වැඩිම හැකියාවක් තිබූ එකම මුස්ලිම් නායකයා වූයේ ද ඔහු ය.
ඔහු කෙරෙන් ප්රකාශිත වූ විශේෂිත බව ඔහු ජීවත් වූ විශේෂිත පරිසරයෙන් උරුම කරගත්තක් ලෙස සැලකිය හැකිය. ශ්රී ලංකාවේ මුස්ලිම් ජනයා සිංහල ප්රදේශවලදි සිංහල ජනයා අතරත්, දෙමළ ප්රදේශවලදි දෙමළ ජනයා අතරත් විසිරි සිටින ජනවර්ගයකි. එහෙත් නැගෙනහිරදි පමණක් චිත්රය ඊට වෙනස්ය. එහිදී ප්රමාණයෙන් විශාල සමාජ කණ්ඩායමක් ලෙස එකට ඒකරාශි වී සිටි ආකාරයක් දෑකිය හැකිවිය. පිටස්තර ප්රදේශවල මුස්ලිම් ජනයාගේ පසුබිම වාණිජ වුවත්, නැගෙනහිර මුස්ලිම් ජනයාගේ පසුබිම කෘෂිකාර්මිකය. අෂ්රොෆ් මහතා වෙනත් මුස්ලිම් ජන නායකයන්ට වෙනස්ව මුස්ලිම් අනන්යතාවක් වෙනුවෙන් පෙනී සිටීම හා නැගෙනහිර මුස්ලිම් ප්රජාවට ආවේණික මෙම විශේෂිත ලක්ෂණ අතර පැහැදිලි සම්බන්ධයක් ඇති බව පෙනී යයි.
අෂ්රොෆ් මහතාගේ ආරම්භක දේශපාලන පසුබිම වාමාංශිකය. 88 ජනාධිපතිවරණයේ දි ප්රේමදාස මහතාට සහාය දෙන පිළිවෙතක් තුළ මුස්ලිම් කොංග්රසයට දක්ෂිණාංශික පෙනුමක් ලැබී තිබුණත්, එම ජනාධිපතිවරණයේ දි අෂ්රොෆ් මහතා දේශපාලන වශයෙන් දිග කන්නට සැලසුම් කර තිබුණේ ප්රේමදාස මහතාගේ එජාප සමග නොව, බණ්ඩාරනායක මැතිනියගේ ශ්රීලනිප සමගය. 88 ජනාධිපතිවරණයේ දි එජාප පාලනයට එරෙහිව එක්සත් වැඩපිළිවෙළකට වෙනත් පක්ෂ ගණනාවක් සමග අෂ්රොෆ් මහතා ද සම්බන්ධ වී සිටියේය. ගොඩනැගෙමින් තිබුණු එම දේශපාලන සන්ධානයට ශ්රීලනිප, ජනතා විමුක්ති පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, මුස්ලිම් කොංග්රසය, ද්රවිඩ සංගමය හා ලිබරල් පක්ෂය යන සංවිධාන ඇතුළත්ව සිටියේය. ජනාධිපතිවරණයට පෙරාතුව ප්රතිපත්තිමය වැඩපිළිවෙළක් ඇති කරගැනීම සඳහා දිග් ගැසුණු සාකච්ඡාවලියක් පැවතුන අතර, පරස්පර විරෝධී දේශපාලන ධාරා ගණනාවක් ප්රතිපත්තිමය වශයෙන් පොදු එකගතාවක් ඇති කරගැනීම පිණිස දරන ලද ප්රශංසනීය උත්සාහයක් විය.
ඇති කර තිබුණු පළාත් සභා ක්රමය අහෝසි කරන අතර, උතුරු-නැගෙනහිර දෙමළ ජනතාවට බර තබන බලය බෙදාහැරිමේ වැඩපිළිවෙළක අවශ්යතාව ද එහිදී සාකච්ඡාවට ලක්විය. නැගෙනහිර මුස්ලිම් ජනයා සඳහා ද තමන්ගේ කටයුතු එක්තරා ප්රමාණයකට පාලනය කිරීමට ඉඩ ලබාදෙන දේශපාලන රාමුවක අවශ්යතාව මුල්වරට අෂ්රොෆ් මහතා විසින් ඉදිරියට ගෙනාවේ මේ සාකච්ඡාවලියේදිය. ජනතා විමුක්ති පෙරමුණ අවසාන මොහොතේ සාකච්ඡා ක්රියාවලියෙන් ඉවත් වෙමින් තමන් ආරම්භ කර තිබුණු අරගලය ඉදිරියට ගෙන යන ප්රතිපත්තියකට තල්ලුවී ගියේය. සාකච්ඡා ක්රියාවලියට සම්බන්ධ වී සිටි අන් සියලු පක්ෂ පොදු එකගතාවකට ආවත්, ගිවිසුම අත්සන් කරන දින අන් සියලු පක්ෂ නායකයන් ගිවිසුමට අත්සන් තැබූවත්, අෂ්රොෆ් මහතා පමණක් ඊට අත්සන් තැබීමෙන් වැළකී සිටියේය. ආගමික වැදගත්කමක් ඇති සිකුරාදා දිනක අත්සන් තැබීම අෂ්රොෆ් මහතාගේ අපේක්ෂාව විය. එහෙත් අෂ්රොෆ් මහතාගේ එම අහිංසක අපේක්ෂාවට ඉඩ නොලැබුණේය. ඒ වනවිට ක්රියාකාරි දේශපාලනයෙන් පිටස්තර තත්ත්වයක සිටි බද්යුදින් මහමුද් මහතා බණ්ඩාරනායක මැතිනිය හමුවී අෂ්රොෆ් මහතා මෙම ක්රියාදාමයට සම්බන්ධ කරගැනීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටියේය. බණ්ඩාරනායක මහත්මිය ඊට එකගවෙමින් අනපේක්ෂිත ආකාරයකට අෂ්රොෆ් මහතා පොදු වැඩපිළිවෙළින් බැහැර කිරීම නිසා අෂ්රොෆ් මහතා බෙහෙවින් කෝපයට පත්වී බණ්ඩාරනායක මැතිනියගෙන් පලිගැනීමේ අරමුණින් ප්රේමදාස මහතාට ප්රසිද්ධියේ ආධාර කරන පිළිවෙතකට තල්ලුවී ගියේය. ඒ මොහොතේ අෂ්රොෆ් මහතාගේ සහාය ලබාගැනීමට තරම් බණ්ඩාරනායක මහත්මිය ්යණාන්විත වී නම්, එම ජනාධිපතිවරණයෙන් 51%ක අවම සීමාව ලබාගැනීමට ප්රේමදාස මහතා අසමත්වන්නට ඉඩ තිබුණි.
94 පාර්ලිමේන්තු මැතිවරණයේ දි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය සමග මුස්ලිම් කොංග්රසය වෙනුවෙන් අෂ්රොෆ් මහතා ඇති කරගෙන තිබුණු එකගතාවට පටහැනිව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ ක්රියාවලියේ දි පොදු පෙරමුණට ආධාර නොකරන පිළිවෙතක් අනුගමනය කළේ නම්, පොදු පෙරමුණට ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි තත්ත්වයක් පවා ඇතිවන්නට ඉඩ තිබුණි. පොදු පෙරමුණේ පක්ෂවලට ලැබී තිබුණේ ආසන 105ක් පමණය. 113ක අවමයක් සඳහා අවශ්ය කරන ආසන 8න් 7ක්ම ලබාදෙන ලද්දේ අෂ්රොෆ් මහතාය. 94 පාර්ලිමේන්තු මැතිවරණ ප්රතිඵල ප්රකාශ කිරිමෙන් පසු අෂ්රොෆ් මහතා කොළඹට ආවේ ජනාධිපති විජේතුංග විසින් යවන ලද හෙලිකොප්ටරයකිනි. එජාප ආණ්ඩුවක් ගැටගසා ගැනීම පිණිස අෂ්රොෆ් මහතාගේ සහාය ලබාගැනීම එහි අරමුණ විය. එහෙත් අෂ්රොෆ් මහතා විජේතුංග ජනාධිපතිවරයා වෙත යනවා වෙනුවට චන්ද්රිකා වෙත යමින් ඇයට ආණ්ඩුවක් ගොඩනගා ගැනීමට අවශ්ය පදනම ලබා දුන්නේය.
අෂ්රොෆ් මහතා ප්රසිද්ධියේ ජනාධිපතිනිය හා පොදු පෙරමුණ ආරක්ෂා කරමින් කතා කළත්, ඒ මහතාට ජනාධිපතිනිය පිළිබඳවත්, පොදු පෙරමුණු ආණ්ඩුවේ ක්රියාකාරකම් පිළිබඳවත් දැඩි විවේචනයක් තිබුණි. අෂ්රොෆ් මහතා තුළ ප්රේමදාස ජනාධිපතිවරයා පිළිබඳව අතිවිශාල ගෞරවයක් තිබුණත්, ජනාධිපතිනිය පිළිබඳව එවැනි විශ්වාසයක් හෝ ගෞරවයක් නොතිබුණි. ජේ.ආර්. ජයවර්ධනගේ පළමු පස් අවුරුද්ද, බිහිසුණු නොවූවත් දෙවැනි පස් අවුරුද්ද ඉතාමත් බිහිසුණු වූවා සේ ජනාධිපතිනියගේ දෙවැනි පස් අවුරුද්දක් ඉතාමත් බිහිසුණු විය හැකිය යන අනතුරු ඇගවීම පළමුවරට ප්රකාශ කළ පුද්ගලයා වනුයේ ද අෂ්රොෆ් මහතාය.
සිදුවූ වරදක් පෙන්වා දුන් විට එය පිළිගැනීමට තිබුණු හැකියාව අෂ්රොෆ් මහතා වෙත පැවති යහපත් ගුණාංගයකි. අෂ්රොෆ් මහතා අගවිනිසුරු සරත් සිල්වා මහතාගේ මිත්රයෙකි. සරත් සිල්වා මහතා අගවිනිසුරු ධුරයට පත් කළ අවස්ථාවේදි එම පත්කිරීමට එරෙහිව එල්ලවූ විවේචනවලදි අෂ්රොෆ් මහතා පළමු අවස්ථාවේදි සිය මිත්රයා ආරක්ෂා කරන පිළිවෙතක පිහිටා ක්රියා කළේය. එහෙත් ඒ ගැන කරුණු පෙන්වාදිමෙන් පසුව සිද්ධියට අදාළ සියලු ලියකියවිලි තමන් වෙත ගෙන්වා පරික්ෂා කර බලා එය නොහොබිනා පත්කිරීමක් බව නිගමනය කළා පමණක් නොව, ඒ බව ප්රසිද්ධියේ ප්රකාශ කළේය.
පක්ෂයක් වශයෙන් මුස්ලිම් කොංග්රසය මුළුමණින් ද, පොදු පෙරමුණේ කොන් තුනෙන් එක් කොනක් ද, රැඳී තිබුණේ අෂ්රොෆ් මහතාගේ උරහිස මතය. අෂ්රොෆ් මහතාගේ අභාවය මුස්ලිම් කොංග්රසය කෙරෙහි මුළුමණින් ද, පොදු පෙරමුණ කෙරෙහි කිසියම් විශාල ප්රමාණයකට ද බලපානු නොවැළැක්විය හැකිය.