මේ පාර්ලිමේන්තු මැතිවරණය මහජනයාගේ විශ්වාසයට හා පිළිගැනීමට හේතුවන ආකාරයට නිදහස්ව හා සාධාරණව පැවැත්වීමට අසමත් වුවහොත් මහජනතාව මේ දේශපාලන ක්රමය කෙරෙහි ඇති විශ්වාසය මුළුමණින් අත්හරින තත්ත්වයකට තල්ලුවී යෑම නොවැළැක්විය හැකි ය. එහි අවසාන ප්රතිඵලය වී ඇත්තේ අරාජිකත්වයයි.
ආණ්ඩුව පුන පුනා කියන්නේ තමන්ගේ පාලන කාලය තුළ නිදහස් හා සාධාරණ ආකාරයකින් මැතිවරණ හයක් ම පැවැත්වූ බවත්, ඒ ආකාරයෙන් ම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයත් නිදහස්ව හා සාධාරණව පැවැත්වීමට වග බලා ගනු ඇති බවත් ය.
පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පවත්වන ලද හැම මැතිවරණයක් ම නිදහස් හා සාධාරණ නැත. 1997 පළාත් පාලන මැතිවරණයේ සිට පැවති හැම මැතිවරණයක්ම අඩු වැඩි වශයෙන් දූෂිත වූ බව මහජනතාව දන්නේ ය. 1997 පළාත් පාලන මැතිවරණයේ දි පමණක් ආයුධ සන්නද්ධව ඡන්ද පොළවල්වලට කඩා වැදි බලහත්කාරයෙන් ඡන්දය පාවිච්චි කිරිමේ සිද්ධීන් 100කට වැඩි ගණනක් සිදුවිය. ඒ ක්රියාවලියේ උච්චතම අවස්ථාව ප්රකාශ වූයේ වයඹ පළාත් සභා මැතිවරණයේදි ය. ඉන්පසු 99 පැවති ජනාධිපතිවරණය ද නිදහස් හා සාධාරණ නොවී ය. එය වයඹ මෙන් ගොරහැඩි ආකාරයකින් කරන කොල්ලයක් වෙනුවට ඉතා සියුම් හා මටසිළුටු ආකාරයකින් කෙරෙන කොල්ලයක් වූයේ ය.
මහා පරිමාණයේ මැතිවරණ දූෂණවලට සම්බන්ධ අයට වැඩි වැඩියෙන් උසස් තනතුරු ලබාදෙන පිළිවෙතක් මිස ආණ්ඩුව එවැනි පුද්ගලයන් කිසිවෙකුට දඬුවම් කරන පිළිවෙතක් අනුගමනය කර නැත. වයඹ මැතිවරණය දූෂිත මැතිවරණයක් බව ආණ්ඩුව පිළිගත්තත් ඊට වගකිවයුතු කිසිවෙකුට ආණ්ඩුව දඬුවම් කළේ නැත.
දැන් ආණ්ඩුව කියන්නේ ඉදිරි මැතිවරණයත් පෙර මැතිවරණ පැවති ආකාරයට ම පවත්වන බව නම්, ඒ තුළ දරුණු අනතුරු ඇගවීමක් පවතී. මැතිවරණ කොල්ලයක් ඇතිවීම වැළැක්වීමට මැතිවරණ කොමසාරිස්වරයා දරන උත්සාහයට දැඩි ක්රෝධයකින් යුතුව පහර දෙන පිළිවෙතකට ආණ්ඩුව තල්ලුවීමෙන් පෙනී යන්නේ ද ආණ්ඩුව මහජන කැමැත්ත කෙරෙහි නොව වෙනත් දේවල් ගැන විශ්වාසය තබා ක්රියා කරන බවය. මැතිවරණයට පෙර ස්වාධීන මැතිවරණ කොමිසමක් ඇති කළ යුතු බවට යුරෝපා සංගමයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම පවා නොසළකා හැරිමෙන් පෙනී යන්නේ ද ආණ්ඩුවේ නායකයන් මොන මොන දේ කිව්වත්, නිදහස් හා සාධාරණ මැතිවරණයක් කෙරෙහි නම් විශ්වාසය තබා නැති බව ය.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් දිනාගැනීම වෙනුවෙන් වෙන කොයිකවරදාවත් නොතිබුණු අවදියක් මහජනතාව අතරින් මතුවෙමින් තිබීම දැනට පෙනෙන්නට තිබෙන යහපත්ම ලක්ෂණයයි. සියලු ආගම්වලට අයත් පූජ්ය පක්ෂ ඒ අරමුණ වෙනුවෙන් පෙරමුණ ගෙන සිටින බවක් ද පෙනී යයි.
නැවත රටේ අතිවිශාල ලේ වැගිරෙන තත්ත්වයක් ඇතිවීම වැළැක්විය හැක්කේ නිදහස් හා සාධාරණ ඡන්දයක් දිනාගැනීමෙන් පමණ ය. පක්ෂ භේදයෙන් තොරව ඒ අරමුණ දිනාගැනීම වෙනුවෙන් තමන්ට කළ හැකි උපරිම දේ කිරීම සිවිල් මහජනතාවගේ වගකීමය.