විය හැක්කේ කුමක්ද?

September 3, 2000
Publication:
The editorial analyses the likely shape of the new Parliament. The People's Alliance held about 129 seats through the Muslim Congress, Ceylon Workers' Congress and EPDP, but splits in the first two and the EPDP's weak prospects in Jaffna threaten that base, while the JVP may win eight to ten seats. Neither major party is likely to pass 100 seats, and any result may push the executive presidency into crisis, possibly ending in a national government.

පාර්ලිමේන්තු මැතිවරණය නිසා ඇතිවන්නට යන නව පාර්ලිමේන්තුවේ සංයුතිය කෙබඳු වේද? පොදු පෙරමුණට තවදුරටත් පාර්ලිමේන්තුවේ බලය රැකගැනීමට හැකිවේද? නැතිනම් ඇතිවන්නට යන ප්‍රතිඵලය කුමක් විය හැකිද?

94 පාර්ලිමේන්තු මැතිවරණයේ දි පොදු පෙරමුණ පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද එකක පමණක් බලයක් හිමි ආණ්ඩුවක් ලෙස සැලකුනත් ඇත්ත වශයෙන් එය හැම විටම පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 33කට වැඩි බලයක් හිමිකරගෙන සිටියේ ය. පොදු පෙරමුණ ගොඩනැගී තිබුණු පක්ෂෂ 06ට ආසන 105ක් ලැබී තිබුණි. මුස්ලිම් කොංග්‍රසයට අංසන 07කි. කඳුරට පෙරමුණට ආසන 1කි. එම කණ්ඩායම් තුනේ එකතුව 113ක් වන විට එජාපයට තිබුණු ආසන 94න් වතු කම්කරු කොංග්‍රසයට හිමි මන්ත්‍රීන් 07ද ඊපීඩීපී මන්ත්‍රීන් 09 ද පොදු පෙරමුණු ආණ්ඩුවේ ක්‍රියාකාරි කොටස්කරුවන් වී සිටි තත්ත්වයක් තුළ පොදු පෙරමුණට තිබුණු පාර්ලිමේන්තු බලය 129ක් විය.

ප්‍රධාන විරුද්ධ පක්ෂෂය වන එජාපයට නිල වශයෙන් ආසන 94ක් ලැබී තිබුණත් ඉන් වතු කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීන් 07ක් පොදු පෙරමුණු ආණ්ඩුවට එකතු වී තිබුණු තත්ත්වයක් තුළ එජාපයට තිබුණු මන්ත්‍රී බලය 87කට සීමා වී තිබිණ. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට මන්ත්‍රීන් 05කි. ප්ලොට් ටෙලෝ එකතුවට 03කි. ජනතා විමුක්ති පෙරමුණට 01කි. ඒ අනුව විරුද්ධ පක්ෂෂයට ආසන 96ක් තිබුණත් එය ද පොදු එකගතාවක් ඇති විරුද්ධ පක්ෂෂයක් නොවී ය.

වාසුදේව, රවි හා චන්ද්‍රසේකරන් පසු කලක විරුද්ධ පක්ෂෂයට එකතුවීම නිසා ආණ්ඩු පක්ෂෂයේ ආසන සංඛ්‍යාව 126 දක්වා අඩු වී විරුද්ධ පක්ෂෂයේ ආසන සංඛ්‍යාව 99 දක්වා වැඩි වී තිබුණත් නැවත එජාපයෙන් 5 දෙනකු ආණ්ඩුවට එකතුවීම නිසා ආණ්ඩුවේ ගොඩ 131 දක්වා වැඩි වී විරුද්ධ පක්ෂෂයේ ගොඩ 94 දක්වා අඩු විය.

පොදු පෙරමුණු ආණ්ඩුවේ පැවත්ම බොහෝ දුරට රඳ පැවතියේ ඊපීඩීපීය, මුස්ලිම් කොංග්‍රසය හා වතු කම්කරු කොංග්‍රසය යන කුළුණු තුන මත ය. එහෙත් මේ වන විට එයින් ප්‍රධාන කුළුණු දෙකක් ඉරි තැලී යන තත්ත්වයක් ඇති වී තිබේ. වතු කම්කරු කොංග්‍රසයෙන් 05 දෙනකු එජාපයට එකතු වී සිටින අතර මුස්ලිම් කොංග්‍රසයෙන් ද 02ක් එක්සත් ජාතික පක්ෂෂයට එකතු වී සිටී. ඊපීඩීපීයේ අනාගත තත්ත්වය ද අවිනිශ්චිත ය.

94 පාර්ලිමේන්තු මැතිවරණයේ දි යාපනය පැවතියේ කොටි සංවිධානයේ අණසක යටතේ ය. එහි මැතිවරණයක් පැවතියේ ද නාමික වශයෙන් පමණ ය. ඒ නිසා ඡන්ද 10744ක් සඳහා යාපනේ දිස්ත්‍රික්කයේ ආසන 10න් 9ක් ම තමන් වෙත දිනාගැනීමට ඊපීඩීපී ය සමත් විය. එහෙත් මෙවර මැතිවරණයට යාපනයට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ පමණක් නොව ද්‍රවිඩ සංගමය ද තරග කරයි. දෙවැනියාට කොටි සංවිධානයේ අනුග්‍රහය ලැබෙනු ඇතැයි ද කියනු ලැබේ. මේ තත්ත්වය යටතේ ඊපීඩීපීයට යාපනෙන් ආසන 02ක් වත් ලබාගත හැකිවේද යන්න සැක සහිතය.

මුස්ලිම් කොංග්‍රසයේ හා වතු කම්කරු කොංග්‍රසයේ ඇති වී තිබෙන දෙකඩවීම් හා ඊපීඩීපියට මුහුණ දෙන්නට සිදුවන අවාසිදායක තත්ත්වය පොදු පෙරමුණේ අවාසියට හේතුවනු නොවැළැක්විය හැකි ය.

ආණ්ඩුවට මුස්ලිම් කොංග්‍රසය හා වතු කම්කරු කොංග්‍රසය යන පක්ෂෂවලට ස්වාධීනව තරග කරන්නට ඉඩ නොදි පොදු පෙරමුණෙන් ම තරග කරන තත්ත්වයක් ඇති කිරීමට අවශ්‍ය වී ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵලවලින් පසු ජයග්‍රාහී පක්ෂෂයට ඔවුන්ට එකතුවීමට තිබෙන හැකියාව නැති කිරීම සඳහා ය. එහෙත් මේ පක්ෂෂ පෙරමුණෙන් තරග කිරිමෙන් ලබාගත හැකි වාසි ඇතිවා සේ ම අවාසි ද පවතී.

උතුරේ ආසන 16න් 12ක් ම තිබුණේ ආණ්ඩුව අත ය. එහෙත් මෙවර ඊපීඩීපී ය හා මුස්ලිම් කොංග්‍රසය උතුරේ දිස්ත්‍රික්ක දෙකෙන් ලබාගන්නා ආසන සංඛ්‍යාව 04 දක්වා අඩුවිය හැකි ය. එම තත්ත්වය පොදු පෙරමුණේ අවාසියට බලපානු නොවැළැක්විය හැකි ය.

සමස්ත චිත්‍රයේ වෙනසක් ඇති කිරීමට හේතුවන ඊළග සාධකය වනු ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණයි. ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුවේ තිබුණු ආසන සංඛ්‍යාව 01කි. 99 ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණයක් ලෙස සලකතොත් ජවි පෙරමුණට ලැබෙන ආසන සංඛ්‍යාව 6කි. ජනාධිපතිවරණයෙන් පසුව පසුගිය කාලයේ මතු වූ අර්බුද වලදි වැඩිම ධෛර්යක් පෙන්නුම් කිරීමට සමත්වූ පක්ෂෂය ජනතා විමුක්ති පෙරමුණ වී සිටින තත්ත්වයක් යටතේ මෙවර මැතිවරණයේ දි එම පක්ෂෂයට ද ආසන 8-10ක් අතර ප්‍රමාණයක් ලබාගත හැකිවනු ඇතැයි උපකල්පනය කළ හැකි ය. එය එසේ වෙතොත් ප්‍රධාන පක්ෂෂ දෙකෙන් එකම පක්ෂෂයකටවත් ආසන 100 සීමාව තරණය කළ හැකිවනු ඇතැයි සිතිය නොහැකි ය. එහි තේරුම වනු ඇත්තේ ප්‍රධාන පක්ෂෂ දෙකෙන් ජයග්‍රාහී වන කවර කණ්ඩායමකටවත් සියලු කුඩා පක්ෂෂවල ආධාරයෙන් මිස එක් අතිරේක කුඩා පක්ෂෂයක සහයෝගයෙන් පමණක් ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි තත්ත්වයක් ඇතිවීමට වැඩි ඉඩක් තිබෙන බව ය.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ප්‍රධාන පක්ෂෂ දෙක ලබන ප්‍රතිඵලය කුමක් වුවත් පාර්ලිමේන්තු මැතිවණයෙන් පසු ජනාධිපති ක්‍රමය විශාල අර්බුදයකට තල්ලු කරන තත්ත්වයක් නිර්මාණය වීම නොවැළැක්විය හැකි ය. ප්‍රධාන පක්ෂෂ දෙක අතර ඇත්තේ ළග ළග තරගයකි. බෙලහීන තත්ත්වයක තිබූ විරුද්ධ පක්ෂෂ ව්‍යාපාරයට ආණ්ඩුව විසින්ම ශක්තියක් ලබාදිමෙන් පසුව පවත්වනු ලබන මෙම මැතිවණයේ දි ළග ළග තරගයකින් පොදු පෙරමුණ එජාපයට පරාජය වීමේ ඉඩක් ද පවතී. එසේ වුවහොත් තමන්ට වඩා ඉහළින් බලයක් තිබෙන්නට ඉඩ හැරිමට එක්සත් ජාතික පක්ෂෂය කැමති වනු ඇතැයි සිතිය නොහැකි ය. තමන් ජයග්‍රාහී වුවහොත් ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව එම පක්ෂෂය දැන් සිටම කියන්නේ ඒ නිසා ය. පොදු පෙරමුණ සුළුවෙන් හෝ පරාජය වුවහොත් තමන් ලද පරාජයේ වගකීම ජනාධිපතිනිය වෙත පවරමින් ජනාධිපති ක්‍රමයට එරෙහිව නැගී සිටින තත්ත්වයකට ඔවුන් ද යොමුවිය හැකි ය. පොදු පෙරමුණේ මැති ඇමතිවරුන් බොහෝ දෙනකු ජනාධිපති ක්‍රමය ඉවසාගෙන සිටින්නේ ඊට ඇති කැමැත්ත නිසා නොව ඊට එරෙහිව නැගී සිටීමට තිබුණු බිය නිසා ය. එහෙත් ජනාධිපති ක්‍රමය ඔවුන් බොහෝ දෙනකු නින්දාවට ලක්කර ඇති අතර ඔවුන් තමන් තුළ ඇති කෝපය මුදාහැරිමට එය අවස්ථාවක් කරගැනීමට ද ඉඩක් පවතී. ජනාධිපති ක්‍රමයට එරෙහිව ගොඩනැගෙන එවැනි කැරැල්ලක් පාර්ලිමේන්තුවේ පොදු එකගත්වයක් ඇති කිරීමට හේතු වී සමහර විට එය එම සියලු දෙනාගේ සහභාගිත්වයෙන් ගොඩනගන ජාතික ආණ්ඩුවකින් ද කෙළවර විය හැකි ය.