පරමාධිපත්‍යය සමග

August 6, 2000
Publication:
The editorial describes how the 209-page draft constitution was printed on 30 July, approved unread by the cabinet on 31 July and sent to the Supreme Court as an urgent bill without gazetting or public comment. A constitution is a social contract, it argues, not an emergency law like that passed after Sepala Ekanayake's hijacking; South Africa received some four million public submissions. With no public debate and votes being bought, the new constitution will deepen the country's problems.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතේ මුද්‍රණ කටයුතු අවසන් වූයේ ජූලි 30 වැනි ඉරිදාය. එය කැබිනට් ඇමතිවරුන් අතට පත් කෙරුණේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි එය පැවති ජූලි 31 වැනිදාය. කෙටුම්පතේ සිංහල පිටපත පිටු 209කි. එය මුද්‍රණය කරන්නට පෙර පිටපත කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ලක් නොවීය. සියලු කැබිනට් ඇමතිවරුන් යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කළේ එය නොකියවාමය. ඔවුන්ට එය කියවන්නට කාලයක් නොතිබුණි. කෙටුම්පත අග්‍රවිනිශ්චයකාරවරයා වෙත යොමු කරන ලද්දේ අගෝස්තු 02 වැනිදාය. කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ විමර්ශනයට ලක්කිරීම සිදුවූයේ අගෝස්තු 3 වැනිදාය.

සාමාන්‍ය ක්‍රමය අනුව සකස් කෙරෙන ඕනෑම පනත් කෙටුම්පතක් නීතිපතිගේ අධීක්ෂණයට ලක්විය යුතුය. පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට පෙර යටත් පිරිසෙයින් දවස් හතරකට පෙර ගැසට් පත්‍රයේ පළකළ යුතුය. ඒ මහජනතාවගේ දෑනගැනීම සඳහාය. ඒ කාලය තුළ අවශ්‍ය නම් පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණය ඉදිරියට යෑමේ අයිතිය මහජනයාට ඇත්තේය. ඉන්පසු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරගත යුත්තේ ද ව්‍යවස්ථාවට අනුකූලව හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුකූලවය. එහෙත් මීට වෙනස්ව මහජනතාවට දැනුම් දිමකින් තොරව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගත හැකි ක්‍රමයක් ද පවතී. අමාත්‍ය මණ්ඩලයේ අදහස අනුව ජාතියේ හිත සුව පිණිස හදිසි වැදගත්කමක් ඇති පනත් කෙටුම්පතක් ගැසට් කිරීමකින් තොරවම ජනාධිපතිට එම කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල ද යන්න සලකා බැලීම පිණිස ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකළ හැකිය. එවැනි අවස්ථාවකදි පැය 24ක් තුළ හෝ දවස් තුනක් නොඉක්මවන කාලයක් තුළ ඒ පිළිබඳ සිය නිරීක්ෂණයන් ජනාධිපතිවරයා හා කතානායක වෙත බාරදිමට ශ්‍රේෂ්ඨාධිකරණය බැඳී සිටින්නේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ජාතික වැදගත්කමක් ඇති හදිසි පනතක් ගණයෙහිලා සැලකිය නොහැකිය. පනතක් ලෙස සලකන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව එදිනෙදා අවශ්‍යතාවන් සලකා පාර්ලිමේන්තුව සකස් කරන ලද නීතිවලටය. සේපාල ඒකනායක ඉතාලි ගුවන් යානාවක් පැහැර ගෙන ශ්‍රී ලංකාවට පැමිණ අවස්ථාවේදි ඒ සඳහා ක්‍රියාකිරීමට අවශ්‍ය කරන නීති රටේ නොතිබුණු තත්ත්වයක් යටතේ ජාතික වැදගත්කමක් ඇති හදිසි කරුණක් ලෙස සලකා නීති සම්පාදනය කිරීමට ආණ්ඩුවට සිදුවිය. එවැනි නීති කෙටුම්පතක් ගැසට් කිරීමකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණයට යවා එහි ව්‍යවස්ථානුකූලභාවය සලකා පාර්ලිමේන්තුවේ අනිකුත් සියලු කටයුතු නවතා එය සම්මත කරගැනීම යුක්තිසහගතය.

එහෙත් රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඊට වෙනස්ය. එය පාලන ක්‍රමයක් සඳහා සමාජය ඇති කරගන්නා සමාජ සම්මුතියකට සමානය. එය සාමාන්‍ය පනතක් ලෙස සැලකිය නොහැකිය. ජාතික වැදගත්කමක් ඇති හදිසි පනතක් සම්මත කරගන්නා ආකාරයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම සඳහා ක්‍රියා කිරිමෙන්ම අපේ රටේ පවත්නා ප්‍රජාතන්ත්‍රවාදයේ තරම මනා ලෙස පෙන්නුම් කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ පරමාධිපත්‍යය බලය ඇත්තේ මහජනයාටය. රට පාලන බලතල, මූලික අයිතිවාසිකම්, ව්‍යවස්ථාදායකයට මහජන නියෝජිතයන් තෝරාපත් කරගැනීමේ බලය හා නීති සම්පාදන ක්‍රියාදාමයට හවුල්වීමේ අයිතිය ඊට ඇතුළත්ය.

නීති සම්පාදන ක්‍රියාදාමයට මහජනයා සම්බන්ධ කරගැනීමකින් තොරවම ව්‍යවස්ථාදායකයට පමණක් සම්පාදනය කළ හැකි නීති ඇතත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිමේදි එම ක්‍රියාවලියට මහජනයා හවුල්කර ගැනීමෙන් තොරව ව්‍යවස්ථාදායකය පමණක් එය සම්පාදනය කොට නීතිගත කළ නොහැකිය. මහජන සහභාගීත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන විෂයෙහිලා සැලකෙන පිළිගත් මූලික ප්‍රතිපත්තියකි. දකුණු අප්‍රිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරිමේදි මුල් කෙටුම්පත මහජනතාව අතට පත්කොට එය සාකච්ඡාවට ලක්කිරීම හා අදහස් පළකිරීමට මහජනතාවට කිසියම් දිර්ඝ කාලයක් ලබාදුන්නේය. ඉන්පසුව අවසාන කෙටුම්පත සකස් කිරිමේදි පළකෙරුණු මහජන අදහස් මනා ලෙස සැලකිල්ලට ලක් කෙරෙන ක්‍රමයක් ක්‍රියාත්මක වූ අතර, ලිඛිත අදහස් පළකිරිම් පමණක් ලක්ෂ 40කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබුණිි. එම හැම ලිඛිත අදහස් පළකිරීමක්මත් අවසාන කෙටුම්පත සකස් කිරිමේදි සැලකිල්ලට ගන්නා ක්‍රමයක් ක්‍රියාත්මක විය.

එහෙත් අපේ රටේ ඒ කටයුතු මෙතෙක් සිදු කෙරුණු ආකාරය හා තවදුරටත් සිදුකෙරෙමින් තිබෙන ආකාරය ඊට වෙනස්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා මහජන සංවාදයක් නොවීය. ප්‍රධාන විරුද්ධ පක්ෂය හා සුළු ජාතික පක්ෂ සමග එක්තරා ප්‍රමාණයකට සාකච්ඡා සිදුවුවත් සමාජ බලවේග ලෙස සැලකිය හැකි තවත් සංවිධාන ගණනාවක් සාකච්ඡා ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීමක් සිදු නොවීය. සමස්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා කෙටුම්පත් නිලධාරින්ට ලබාදි තිබූ කාලය මාසයකටත් අඩුය. සරල පනතක් කෙටුම්පත් කිරීමට පවා සති දෙකක පමණ කාලයක් ගතවන තත්ත්වයක් ඉදිරියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැනි දැවැන්ත නීතියක් මාසයක් තරම් කෙටි කාලයකින් සාර්ථක ලෙස කෙටුම්පත් කළ හැකි යැයි සිතිය නොහැකිය. කැබිනට්ටුව ඒකමතිකව කෙටුම්පත අනුමත කළත්, එසේ කර ඇත්තේ මනා ලෙස කරුණු සලකා බැලීමකින් පසුව යයි කිව නොහැකිය. කෙටුම්පතට විරෝධය දැක්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගිය අයට පවා එසේ කරන්නට සිදුවූයේ ද කෙටුම්පත අධ්‍යයනය කරන්නට ප්‍රමාණවත් තරම් කාලයක් ලබා නොදිය. අවශ්‍ය තරම් කාලයක් ලබාදි නොතිබෙන තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුව පවා මේ කෙටුම්පත සම්මත කරගැනීමට පෙර, මනා ලෙස සලකා බලනු ඇතැයි සිතිය නොහැකිය. මේ සමස්ත ක්‍රියාවලියෙන්ම ජනතාව මුළුමනින් බැහැර කර තිබීම එම ක්‍රියාවලියට ආවේණික විශේෂතම ලක්ෂණය ලෙස ද සැලකිය හැකිය.

පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ එකගතාවක් ලබාගැනීමේදි ද, අවබෝධය වෙනුවට අල්ලස ප්‍රධාන සාධකයක් ලෙස ක්‍රියාකරමින් තිබෙන බවද දැකිය හැකිය. ආණ්ඩු පක්ෂයේ සියලු දෙනා කෙටුම්පත සම්මත කරගැනීමට ඡන්දය දෙනු ඇත්තේ එය රටේ සමස්ත අර්බුදයන්ට විසඳුමක් ලබාදෙන නව සම්මුතියක් ලෙස සලකා නොව,තමන්ට තිබෙන බලය රැකගැනීම සඳහා එසේ කිරීම අවශ්‍ය නිසාය. විරුද්ධ පක්ෂයෙන් කිසියම් පිරිසක් ඊට සහාය දෙන්නට යන බව පෙනෙන්නේ ද, එහි ඇති විශිෂ්ටභාවය සලකා නොව, ඒ වෙනුවෙන් ලැබෙන්නට යන ඉහළ මිල සලකාය. අවසාන විග්‍රහයේදි මේ ව්‍යවස්ථාව ද රටේ තිබෙන දෑවෙන ප්‍රශ්න විසඳලීමට ඉවහල් වන ව්‍යවස්ථාවක් වෙනුවට තිබෙන ප්‍රශ්න තව තව උග්‍ර කරන ව්‍යවස්ථාවක් බවට පත්වනු නොවැළැක්විය හැකිය.