ජනාධිපතිවරණයට, පාර්ලිමේන්තු මැතිවරණවලට හෝ පළාත් සභා හා පළාත් පාලන මැතිවරණවලට තරග කරන අපේක්ෂකයින්ගේ ඔහුගේ බිරිඳ හා දරුවන්ගේ වත්කම් හා බැරකම් ප්රකාශනයක් මැතිවරණ කොමසාරිස්වරයාට ලබාදිය යුතුය. කියන නීතියක් රටේ පවතී. එහෙත් ඒ නීතිය රටේ ක්රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. වත්කම් හා බැරකම් නීතිය යටතට ගැනෙන පුද්ගලයන් එසේ නොකිරීම ප්රජා අයිතිය අහිමි විය යුතු තරම් බරපතල වරදක් ලෙස සැළකෙතත්, දේශපාලකයන් සම්බන්ධයෙන් පමණක් ඒ නීතිය අකුරටම ක්රියාත්මක නොකරන්නේ ඇයිද යන්න ප්රහේලිකාවකි.
මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන්ගේ වත්කම් හා බැරකම් ප්රකාශ ලබාගැනීමේ බලධාරියා වන්නේ මැතිවරණ කොමසාරිස්වරයා ය. ඒ නීතියට අනුකූලව ක්රියා නොකරන දේශපාලනඥයින්ට එරෙහිව නීති මගින් ක්රියා කිරිමේ වගකීම පැවරි ඇත්තේ ද මැතිවරණ කොමසාරිස්වරයාට ය. මැතිවණ කොමසාරිස්වරයා එම වගකීම හරියාකාරව ඉටු නොකරන්නේ නම්, ඒ වරදෙහි වගකීම යා යුත්තේ මැතිවරණ කොමසාරිස්වරයා වෙතය.
වත්කම් හා බැරකම් නීතිය අනුව මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන්ගෙන් පමණක් නොව, දේශපාලන පක්ෂවල තනතුරු උසුලන නිලධාරින්ගේ වත්කම් හා බැරකම් ප්රකාශ ලබාගැනීමේ වගකීම පැවරෙන්නේ ද මැතිවරණ කොමසාරිස්වරයාට ය. එහෙත් මැතිවරණ කොමසාරිස්වරයා ඔවුන් සම්බන්ධයෙන් පවා එම නීතිය ක්රියාත්මක කරන තත්ත්වයක් නොපවතී.
වත්කම් හා බැරකම් නීතිය දේශපාලකයින්ගේ පාරදෘශ්යභාවය සහතික කිරීම පිණිස පනවන ලද නීතියකි. ඒ අනුව ඒ නීතිය යටතට වැටෙන හැම පුද්ගලයකු විසින්මත් තමාට අයත්, තම බිරිඳට අයත් හා තම දරුවන්ට අයත් වත්කම් හා වගකීම් නිවැරදිව ප්රකාශ කළ යුතු ය. කිසියම් පුරවැසියකුට එම නීතිය යටතට වැටෙන පුද්ගලයකුගේ වත්කම් හා බැරකම් පිළිබඳ තත්ත්වයන් දෑනගැනීමට අවශ්ය නම්, බලධරයාට ඉදිරිපත් කරන අයදුම්පතක් මගින් නියම කරන ලද ගාස්තුවක් ගෙවා ඒවාහි පිටපත් ලබාගත හැකි ය.
මේ නීතිය වඩාත්ම බලපෑ යුත්තේ මහජන කටයුතුවල යෙදෙන, මහජන මුදලින් යැපෙන පුද්ගලයින් කෙරෙහි ය. එම නීතිය ඔවුන් දූෂිත ලෙස ධනය ඉපයීම පාලනය කිරීම පිණිස පනවන ලද නීතියකි. යම් පුද්ගලයකු සිය වත්කම් හා වගකීම්වල ඇත්ත වසන් කෙරෙන ලෙස ප්රකාශයක් දිම ප්රජා අයිතිය පමණක් නොව, ඊට අතිරේකව සිරදඬුවමකට ද යටත් කළ හැකි බරපතල වරදක් ලෙස සැළකේ.
1994 පාර්ලිමේන්තු මැතිවරණයට හෝ ඉන්පසු පැවති ජනාධිපතිවරණයට, පළාත් සභාවල මැතිවරණවලට හෝ පළාත් පාලන මැතිවරණවලට තරග කරන ලද කිසිවකුගෙන් අද දක්වා වත්කම් බැරකම් ප්රකාශ ලබාගැනීමට මැතිවරණ කොමසාරිස්වරයා ක්රියා කර නැත. එය දේශපාලකයන් කෙරෙහි ඇති කරගත් බිය නිසා කරන ලද වරදක් වශයෙන් මිස අනවබෝධය නිසා කරන ලද වරදක් ලෙස සැළකිය නොහැකි ය.
දැන්වත් මේ නීතිය අකුරට ම ක්රියාත්මක කිරීම මැතිවරණ කොමසාරිස්වරයාගේ වගකීමකි. 1994 පාර්ලිමේන්තු මැතිවරණයේ සිට ඉන්පසුව පැවති හැම මැතිවරණයකටම තරග කළ අපේක්ෂකයන් තමා වෙත නියම කරන ලද දිනයකට ප්රථම වත්කම් හා බැරකම් ප්රකාශ ලබාදිය යුතු බව කියන ප්රසිද්ධ දැන්වීමක් මගින් මේ අරමුණ සැපිරිය හැකි ය. ඊට අනුකූලව ක්රියා නොකරන අයට එරෙහිව නඩු පැවරිය හැකි ය.
ඒ සමග ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කරන සියලු අපේක්ෂකයින්ගෙන් සේ ම දේශපාලන පක්ෂවල නිලධාරි මණ්ඩල සාමාජිකයන්ගෙන් ද නීතියට අනුකූලව වත්කම් හා බැරකම් ප්රකාශ ලබාගැනීම පිණිස ක්රියා කිරීම මැතිවරණ කොමසාරිස්වරයාගේ වගකීමකි.