ප්‍රජාතන්ත්‍රවාදයට සීල් තැබීම

May 28, 2000
Publication:
Ivan argues that freedom of expression is the gateway to democracy and that modern practice allows only narrow, court-imposed limits for national security. He criticises emergency regulations used to seal the Jaffna paper Uthayan and the Leader group, including Irida Peramuna for a story it never carried, for six months though emergency powers lapse monthly. He places this beside earlier sealings of Aththa, Davasa and Eelanadu and ties it to plans to extend Parliament.

ප්‍රජාතන්ත්‍රවාදී නිදහසේ මුල් මුවදොර ලෙස සැලකෙනුයේ ප්‍රකාශන නිදහසයි. ප්‍රකාශන නිදහස අහෝසි කිරීමත් සමග සමාජ සංවාදයන් ද ඇන හිටින්නේ ය. ඊට සමානුපාතික ප්‍රමාණයකට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය ද හැකිළෙන්නේ ය.

ප්‍රකාශන අයිතිය රජ ගෙදරට හා පල්ලියට පමණක් සීමා වූ යුගයක් ද ඈත අතීතයේ තිබුණි. එකල ගව රැලක් හා මිනිස් සමාජය අතර විශාල වෙනසක් නොතිබුණි. සත්‍ය ගවේශණයට ඇති අයිතිය මූලික මිනිස් අයිතියක් ලෙස තහවුරු වූයේ ප්‍රංශ විප්ලවයත් සමග ය. එහෙත් ඉන් පසුත් තවත් බොහෝ කාලයක් යන තෙක් විශේෂ තත්ත්වයන් යටතේ ප්‍රකාශන නිදහස පාලනය කිරිමේ අයිතියක් රජයන්ට ලැබී තිබුණි. එහෙත් දැන් අප ජීවත් වන නූතන ලෝකය ප්‍රකාශන නිදහස පාලනය කිරීමට රජයන්ට ඇති අයිතිය ප්‍රතික්ෂෙෂ්ප කරයි. සමහර රටවල කවර විශේෂ තත්ත්වයක් යටතේ වුවත් ප්‍රකාශන නිදහස පාලනය කළ නොහැකි ය. ඇමරිකාව ඊට නිදර්ශනය. ඉතාමත් බිහිසුණු ප්‍රතිඵල ඇති කරන ලියවිල්ලක් වුවත් ප්‍රකාශයට පත් කිරීම ඇමරිකාවේ වැළකිය නොහැකි ය. එවැනි අවස්ථාවක දි කළ හැකි එකම දේ පළ කරන ලද ලියවිල්ල නීති විරෝධී වේ නම් ඊට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීම පමණ ය.

ආණ්ඩුව පනවා ඇති හදිසි නීති රෙගුලාසි මගින් ප්‍රකාශන නිදහස සීමාරහිත ආකාරයකින් පාලනය කිරිමේ අයිතිය තමන් වෙත පවරාගෙන තිබෙනවා පමණක් නොව පනවන ලද එම නීතියට දත් ඇති බව කියාපෑම පිණිස පුවත් පත් ආයතන දෙකක් ද සීල් තබා තිබේ. ආණ්ඩුව කියන්නේ දෙවැනි ලෝක යුද්ධය පැවති අවස්ථාවේ දි පුවත් පත් පාලනයක් එංගලන්තය වැනි සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී රටකටත් අවශ්‍ය වී නම් රට මුහුණ දි තිබෙන තත්ත්වයන් යටතේ එවැන්නක් අපට ද අවශ්‍ය වී තිබෙන බව ය. අද අප ජීවත් වන්නේ දෙවන ලෝක යුද්ධය පැවති යුගයේ පැවති ලෝකයේ නොවන බවත් හැම දස වසරකටම වරක් තරම් වේගයකින් වෙනස්වන නවීන ලෝකයක බවත් ආණ්ඩුවේ මේ ප්‍රකාශකයන් තේරුම්ගෙන ඇති බවක් පෙනෙන්නට නැත.

ඩඩ්ලි සේනානායක ආණ්ඩුව 1966 ජනවාරි වල දි “ඇත්ත”ට සීල් තැබුවේ ය. එහෙත් ඉන් දින කිහිපයකට පසුව “ඇත්ත” පත්තරයම “මව්බිම” නමින් වෙනත් මුද්‍රණාලයකින් ප්‍රකාශයට පත් විය. ඉන් පසු සිරීමා බණ්ඩාරනායක ආණ්ඩුව “දවස” පුවත් පත් ආයතනය සමග ඇති කරගත් ආරවුලක් කෙළවර වූයේ ද “දවස” පුවත් පත් ආයතනයට සීල් තැබීමෙනි. ඉන් පසු ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව ද 82 ජනමත විචාරණය ජයගැනීමට අවශ්‍ය කොන්දේසියක් ලෙස සලකා .ඇත්ත” පුවත් පත් ආයතනයට හා යාපනේ “ඊලනාඩු් පුවත් පත් ආයතනයට සීල් තැබුවේ ය. දැන් ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද තමන්ගේ සංතෝෂයට හේතු නොවන ජනමාධ්‍ය ආයතනවලට සීල් තබන වැඩ පිළිවෙළක් මගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට සීල් තබන බිහිසුණු අත්හදා බැලීමක යෙදි සිටින බව පෙනේ.

ජාතික ආරක්ෂෂාවට අදාළ ප්‍රශ්නවල දි ඉතාමත් සීමිත ආකාරයකින් ප්‍රකාශන නිදහස සීමා කිරිමේ එක්තරා සුළු ඉඩක් නූතන ලෝකයේ ද ඇතත් එසේ පනවනු ලබන සීමාවන් ඉතාමත් සීමාසහිත රාමුවක් තුළ පමණක් රජයට සම්බන්ධ ආයතනයක් විසින් නොව අධිකරණය විසින් පැනවිය යුතුය යන්න ඒ සඳහා පිළිගත් ජාත්‍යන්තර මූලධර්මය වන්නේ ය. මේ මූලධර්මයට සම්බන්ධ ජාත්‍යන්තර ගිවිසුමකට ද ශ්‍රී ලංකාව ඇතුළත් ය. එහෙත් දැන් ක්‍රියාවට නගමින් තිබෙන වාරණ නියෝග ඒ පිළිගත් සියලු ජාත්‍යන්තර මූලධර්මවලට පටහැනි ය.

්උදයන්” පුවත් පත පළ කෙරෙමින් තිබුණේ යාපනේ ය. යාපනය සමග තිබුණු විදුලි සංදේශ සම්බන්ධතා බිඳවැටී තිබුණු තත්ත්වයක් තුළ වාරණ නීතිවලට අසුවන පුවත්, බලධාරියා වෙත එවීමේ කිසිම හැකියාවක් තිබී නැත. “උදයන්” පුවත් පත ඒ බව හමුදා බලධාරින් වෙත ද දැනුම් දි තිබිය දි බලධාරීයාගේ වගකීම ඉටු කිරීමට සුදුසු පුද්ගලයකු යාපනේට පත් කරනවා වෙනුවට “උදයන්” පුවත්පතට සීල් තැබීම කවර මට්ටමකින්වත් සාධාරණ විය නොහැකි ය.

සීල් තැබීමකට හේතුවන ආකාරයට හදිසි නීති නියෝග උල්ලංඝණය කර ඇත්තේ “සන්ඩේ ලීඩර්” පුවත් පත පමණක් නම් එකම ආයතනයකින් වුවත් වෙනත් කර්තෘවරයකු යටතේ ප්‍රකාශ කෙරෙන “ඉරීදා පෙරමුණ”ට ද අදාළ වන සීල් තැබීමක් කිසිසේත් ම සාධාරණ විය නොහැකි ය. සීල් තැබීමට හේතු වූ “සන්ඩේ ලීඩර්” පුවත් පතේ පළකොට තිබූ මුල් පුවතට සමාන පුවතක් “ඉරීදා පෙරමුණේ” පළකොට තිබුණේ නැත.

අනෙක් අතට ජනාධිපතිනිය පනවා ඇති හදිසි නීති නියෝග බලපාන්නේ එක් මාසයක කාලයක් සඳහා පමණ ය. එය තවදුරටත් දිර්ඝ කිරීමට අවශ්‍ය නම් එය පාර්ලිමේන්තුව අනුමත කළ යුතු ය. එවැනි තත්ත්වයක් යටතේ බලධාරියාට සීල් තබන ආයතනයක් සීල් තැබිය හැක්කේ එක් මාසයක කාලයක් සඳහා පමණ ය. අවශ්‍ය නම් එම නියෝගය ඉන් පසු හැම මසකට වරක් ම දිර්ඝ කළ හැකි ය. බලධාරියාට ජනමාධ්‍ය ආයතනයක් සීල් තැබීමට බලය ඇත්තේ එක් මාසයක කාලයක් සඳහා පමණක් වුවත් බලධාරියා පුවත් පත් ආයතන දෙක සීල් තබා ඇත්තේ හය මාසයක කාලයක් සඳහා ය. එය නීතියට පටහැනි ය.

වාරණ නියෝගවල හරි වැරැද්ද කුමක් වුවත් බලධාරියාට ඒකාධිපතියකු ලෙස ක්‍රියාකළ නොහැකි ය. ඔහු තමන්ට ලැබී තිබෙන අභිමත බලය පාවිච්චි කළ යුත්තේ නීතියට අනුකූලව හා සියලු දෙනා සඳහාම වන සමාන ආකාරයකට ය. එහෙත් බලධාරියාග් ක්‍රියාකලාපය ඊට වෙනස් ය.

රටේ වෙමින් තිබෙන දේවල බරපතලකම මහජනතාවට වසන් කොට ඉදිරියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය මගහැර පාර්ලිමේන්තුවේ නිල කාලය දිර්ඝ කර ගැනීම මගින් ආණ්ඩුවේ පැවැත්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයකින් තහවුරු කර ගැනීම මේ දරදඬු වාරණ නීතිවල සැබෑ අරමුණ වී තිබෙන බව පැහැදිලි ය. පක්ෂෂ භේදයෙන් තොරව පාර්ලිමේන්තුවේ බහුතර පිරිසක් පාර්ලිමේන්තු මැතිවරණයකට නොගොස් පාර්ලිමේන්තුවේ නිල කාලය දිර්ඝ කරනවාට කැමති ය. ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක කැමැත්තක් ලබාගත හැකි වෙතොත් ජනමත විචාරණයකට යාමෙන් තොරවම අරමුණ ජයගත හැකි මාර්ග වේ යයි ආණ්ඩුව කල්පනා කරන බවක් ද පෙනේ. යුද්ධයේ සියලු බර මහජනයා වෙත පටවන ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අත දිගහැර කප්පම් ගෙවන ප්‍රතිපත්තියක් පවත්වාගෙන යමින් සිටින්නේ ද ඒ සඳහා ය. ඒකාධිපතිත්වයක් ගැන සිහින දැකීම පහසු ය. එහෙත් ඒ අරමුණ කරා ළගාවීම හිතන තරම් ලේසි නැත