ගැටුමට සම්බන්ධ මූලික දෙපාර්ශවයම ඉල්ලා සිටින්නේ නම් පවතින අර්බුදයට විසඳුමක් සොයාදිමෙහි ලා තුන්වැනි පාර්ශවයක් ලෙස මැදිහත්වීමට තමන් සූදානම් යයි ඉන්දියාව ප්රකාශ කළේ මීට දින ගණනාවකට ඉහත දිය. එහෙත් ශ්රී ලංකා ආණ්ඩුව සේ ම කොටි සංවිධානය ද ඒ ඉදිරියේ තවමත් නිහඬය. ඊට යහපත් ප්රතිචාරයක් දක්වා ඇත්තේ ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව නැගී සිටි භික්ෂූන් වහන්සේලා පිරිසක් හා විරුද්ධ පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පමණය
ශ්රී ලංකාවේ පවත්නා අර්බුදය විසඳීිමෙහිලා පහසුකම් සපයන්නෙකු ලෙස ක්රියාකිරීමට ඉදිරිපත්වූ නොර්වේජියාව ද දැන් ඒ අදහස අත්හරින තැනකට පැමිණ සිටින්නේය. අපට අභ්යන්තරික වශයෙන් ප්රශ්නය විසඳා ගැනීමට බැරි තරමට අර්බුදය මෝරා ඇත්තේය. එහෙත් මේ අර්බුදයේදි ඉන්දියාව හැර වෙනත් බාහිර බලවතකුගේ මැදිහත්වීමක් ලබාගත නොහැකි හිරවූ තත්ත්වයකට ශ්රී ලංකාව වැටී සිටින්නේය. ඉන්දියාව කලාප බලවතා වන්නා සේ ම ශ්රී ලංකාවට සිටින ළගම අසල්වැසියාය. මේ අර්බුදයට විසඳුමක් ලබා දිමේ හැකියාවක් ඉන්දියාවට ඇතොත් එය ශ්රී ලංකාවේ යහපතට පමණක් නොව ඉන්දියාවේ යහපතට ද හේතුවේ. එහෙත් ඉන්දියාවද මේ අර්බුදයේ පාර්ශවකරුවෙකි. ඒ නිසාම කොතරම් බලවත් රටක් වුවත්, ඉන්දියාවට ද මේ අර්බුදයට විසඳුමක් ලබාදිමේ ඇත්ත හැකියාවක් නොපවතී.
යටත් විජිත යුගයේ විදේශීය පාලනයකට එරෙහිව පැවති ජාතිකවාදි ආවේගයන් නිදහසින් පසුව එකිනෙක ස්වදේශීය වර්ගයන්ට එරෙහිව ජාතිවාදි ආකාරයක් ගැනීමට තිබෙන ඉඩ ඇහිරිමේ වැදගත්කම අවබෝධ කරගැනීමට අපේ රටේ මුල් යුගයේ නායකයෝ අසමත් වූහ. සිංහල හා දෙමළ ජනතාවගෙන් අතිවිශාල බහුතරයට ඉංග්රීසි භාෂාව පිළිබඳ දැනුමක් නොතිබුණත් රටේ පාලන භාෂාව වී තිබුණේ ඉංග්රීසිය. ගම්බද සිංහල දෙමළ ගැමියෙකුට විදුලි පණිවුඩයක් ලැබෙන අවස්ථාවකදි පවා එහි ඉංග්රීසියෙන් ලියවී තිබෙන පණිවුඩයේ තේරුම දැනගැනීමට කියවා ගැනීමට ඉංග්රීසි දන්නා පුද්ගලයෙකු සොයා යායුතු තත්ත්වයක් රටේ තිබුණි. මේ තත්ත්වය ඉදිරියේ සිංහල දෙමළ භාෂා පමණක් දන්නා බහුතර ජනතාව, ආණ්ඩුවේ ආයතන සමග එදිනෙදා කරන ගනුදෙනුවලදි තමන් දන්නා ජාතික භාෂාවන්ගෙන් කටයුතු කළහැකි තත්ත්වයක් ඇති කරදිම ඉතා අවශ්ය වී තිබුණි. එහෙත් එහිදී බණ්ඩාරනායක මහතා එම තත්ත්වය පුළුල්ව නොසලකා බලය ලබාගැනීමේ අරමුණ සඳහා සිංහල ජනතාවගේ සතුටට හේතුවන ලෙස සිංහල භාෂාවට පමණක් රාජ්ය භාෂා තත්ත්වයක් ලබාදිම නිසා දෙමළ ජනතාව අතෘප්තිමත් තත්ත්වයකට තල්ලු කළේය. ඉන්පසු දෙමළ ජනතාවට ඉංග්රීසි භාෂාව වෙනුවට සිංහල භාෂාවෙන් ලැබෙන විදුලි පණිවුඩ කියවා ගැනීමට සිංහල දන්නා අයකු වෙත යායුතු තත්ත්වයක් ඇති කළේය. සිංහල පමණක් දෙමළ ජනතාව අතර අතිවිශාල කලකිරීමක් ඇතිකිරීමට හේතුවී නම්, ඉන්පසු තමන් බණ්ඩාරනායක යුගයක ඇති කළ විශ්ව විද්යාල ප්රවේශ සඳහා පනවන ලද ප්රමිතිකරන නීති ආපසු හැරි සටන් කරන තත්ත්වයකට දෙමළ තරුණ පරපුර යොමු කළේය. සිංහල වර්ගවාදි ආවේගයන් විසින් විටින් විට දෙමළ ජනතාවට එරෙහිව මුදාහැර තිබුණු කෘරත්වය විසින් සිංහල අභිලාෂයන්ට එරෙහිව දෙමළ අභිලාෂයන් වෙනුවෙන් කුරිරු ආකාරයකින් සටන් කරන ප්රභාකරන් කෙනෙකු ජනිත කිරීමට හේතුවී තිබුණි. එසේ ජනිත වන ප්රභාකරන්ට ආවේණික යුද්ධ අධිපතියකු ලෙස තහවුරුවීමට අවශ්ය කරන කිරි ලබාදෙන ප්රධාන උල්පත ලෙස ක්රියාකරනුයේ ඉන්දියාවය. එය එසේ සිදුවූයේ ජේ.ආර්. ජයවර්ධන විසින් ක්රියාවට නගන ලද ඉන්දියානු විරෝධී ප්රතිපත්තිවල සෘජු ඵලයක් වශයෙනි.
ශ්රී ලංකා ආණ්ඩුවට යුද්ධමය වශයෙන් අභියෝගයක් වන ආකාරයට ප්රභාකරන්ගේ කොටි සංවිධානය ඇතුළු උතුරේ ගරිල්ලා සංවිධානවලට බලවත් ලෙස නැගී සිටීමට අවශ්ය පුහුණුව, තාක්ෂණ දැනුම හා අවශ්ය කරන මූලික ආයුධ ලබාදුන්නේ ඉන්දියාවය. ජල අභ්යන්තරයේ කරන පිපිරිම්වල සිට ගුවන් නාශක පහරදිම් දක්වා වන තාක්ෂණ දැනුම ලබාදුන්නේ ද ඉන්දියාවය. ජේ.ආර්.ජයවර්ධන මට්ටු කිරිමේ අරමුණින් කරන මේ සෙල්ලම ශ්රී ලංකාවේ පැවැත්මට පමණක් නොව ඉන්දියාවේ පැවැත්මට ද බලවත් තර්ජනයක් විය හැකි බව හෝ අඩුම වශයෙන් එහි ප්රතිඵලයක් වශයෙන් ඉදිරියේ සිය පුත්රයාගේ ජීවිතය අහිමි විය හැකි බව තේරුම් ගැනීමටවත් එදා ඉන්දිරා ගාන්ධි මැතිනිය අසමත් වූවා.. තමන් විසින්ම පෝෂණය කරන ලද ගරිල්ලා ව්යාපාරයකට එරෙහිව අවසානයේ ඉන්දියාව නැගී සිටියත් එම ප්රශ්නය තව තවත් උග්ර කිරීමට මිස විසඳුමක් ඇති කිරීමට හේතුවූයේ නැත.
ඉන්දියාව වෙතින් ප්රකාශ වී ඇති වෙනම රාජ්යයක් ඇති කිරීමට ඉඩ නොදෙන ප්රතිපත්තියක් සිංහල ජනතාවගේ සංතෝෂයට හේතුවිය හැකිවුවත්, ප්රභාකරන්ගේ එකගතාවකට හේතු විය නොහැකිය. අනෙක් අතට ඉන්දියාව පිළිගන්නා දෙමළ නිජබිම් සංකල්පය මත පිහිටා උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ගොඩ නගන සීමිත ස්වයං පාලනයක් එක්තරා ප්රමාණයකට දෙමළ ජනතාවගේ සංතෝෂයට හේතුවිය හැකි වුවත්, සිංහල ජනතාවගේ පිළිගැනීමට හේතුවිය නොහැකිය. අවසානයේදි ඉන්දියානු මැදිහත්වීමක් පෙර පරිදිම සිංහල ජනතාවගේ සේ ම දෙමළ ජනතාවගේ ද විරෝධයට හේතුවන තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකිය.
දැන් අර්බුදය තිබෙන්නේ කිසිවෙකුටත් විසඳිය නොහැකි හිරවූ තැනකය. ගැටුමට මුල්වී ඇති පාර්ශවයන්ගේ අභිලාෂයන් අතර නොපෑහීමක් පවතී. දැන් තිබෙන තත්ත්වය යටතේ ප්රභාකරන් පරාජය කිරීමට බාහිර බලවතුන්ගේ ආධාර ලබාගැනීමකට ද ඉන්දියාවෙන් ඉඩක් නොලැබේ. ඉන්දියාව තිබෙන තෙක් ප්රභාකරන්ට ද සිය අරමුණ ජයගත නොහැකිය. කොතරම් බලවත් රටක් වුවත්, ප්රභාකරන් පරාජය කිරීමට ඉන්දියාව දරන උත්සහයක් ඉන්දියාවේ නැති අවුල් ඇති කිරීමට හේතුවනු ඇත. ප්රභාකරන් උතුර අල්ලා ගත්තත්, යුද්ධය ඉන් අවසන් වන්නේ නැත. මහත් අමාරුකම් මැද වුවත්, තවදුරටත් යුද්ධය ඉදිරියට ගෙන යාමේ හැකියාවක් ශ්රී ලංකා ආණ්ඩුවට ද ඇත්තේය.
මේ ප්රශ්නයට ස්ථිර සාර විසඳුමක් ලබාදිය හැකි ප්රවේශයක් කිසිම දේශපාලන පක්ෂයක් කෙරෙන් ප්රකාශ වී නැත. හැම කෙනෙක් ම ක්රියාකරමින් සිටිනුයේ පටු හා ආත්මාර්ථකාමී ආකාරයකටය. පාර්ලිමේන්තු මැතිවරණය තෙක් කවර මිලක් ගෙවා හෝ යාපනය අල්ලා ගෙන සිටීම පොදු පෙරමුණේ අභිලාෂය වී තිබේ. මැතිවරණයට පෙර යාපනේ ඇද වැටීමක් ඇතිවුවහොත් තමන්ට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය අමාරුවකින් තොරව ජයගත හැකිවනු ඇතැයි එජාපයේ කල්පනාව වී තිබේ. මේ අර්බුදයේ විනාශකාරි වර්ධනයට සිංහල දේශපාලන පක්ෂ පමණක් නොව දෙමළ දේශපාලන පක්ෂ ද වගකිව යුතුය. ඔවුන් විටින් විට බලයට එන සිංහල දේශපාලන පක්ෂ කෙරෙන් ප්රකාශ වී ඇති වර්ගවාදි අගතියට එරෙහිව ප්රතික්රියා කර ඇත්තේ ද වර්ගවාදි ආකාරයටය. ඒ තත්ත්වය අවුල තව තවත් උග්ර කිරීමට හේතුවිය අවුලට සම්බන්ධ කිසිම පාර්ශවයකට හෝ ඒ ඒ පාර්ශවයනට අයත් කිසිදු දේශපාලන පක්ෂයකට හෝ අවුල ජයගැනීමට අවශ්ය කරන දැක්මක් පෙන්නුම් කිරීමට හැකිවී නැත. එක්කෝ සමාජයට ප්රඥාව තිබිය යුතුය. නැතිනම් ප්රඥාවන්ත නායකයින් සමාජයට සිටිය යුතුය. ඒ දෙකින් එකක් හෝ නැති කල සියලු දෙනා පොදු විනාශයකට ගොදුරුවීම නොවැළැක්විය හැකිය. සමහරවිට සියලුදෙනාට දැනුම හා ප්රඥාව පහළ වනු ඇත්තේ ඉන්පසුව ය.