ඉන්දියානු මැදිහත්වීමක් නොවැළැක්විය හැකි බව පෙනෙන්නට ඇතත්, මේ අවස්ථාවේදි ඉන්දියානු ඒ මැදිහත්වීම කරන්නට යන්නේ කවර මුහුණුවරකින් ද යන්න නොපැහැදිලිය
යාපනේ අර්ධද්වීපය තුළ උත්සන්න තත්ත්වයක තිබු එල්ටීටීඊ ප්රහාර අඩපණ කිරීම පිණිස ඉන්දියානු ගුවන් හමුදාවේ සහාය ලබාගැනීමට ජනාධිපතිනිය උත්සාහ කළත්, ඉන්දියානු අගමැතිවරයා ජනාධිපතිනියගේ එම ඉල්ලීම ප්රතික්ෂේප කිරීම නිසා ඒ ආකාරයෙන් ආධාර ලබාගත හැකි අන් විකල්ප මාර්ග වෙත යොමුවීමට ශ්රී ලංකාවට සිදුවිය.
එහෙත් මේ අර්බුදයට බාහිර බලවතෙක් අත පොවනවා දකින්නට ඉන්දියාව කැමති නැත. අභ්යන්තරික වශයෙන් මේ ප්රශ්නය විසඳ ගැනීමේ හැකියාවක් ද දැන් ශ්රී ලංකාවට නැතිය යන්න ඉන්දියාවේ මතය වී තිබේ.
නොර්වේජියානු සාම වැඩපිළිවෙළට ඉන්දියාව එක එල්ලේ විරුද්ධ නොවූවත්, ඒ පිළිබඳව ඉන්දියාව තුළ විශ්වාසයක් ද නොතිබුණේය. මේ අර්බුදයට පාකිස්තානය මැදිහත් වනවා දකින්නට ඉන්දියාව කොහෙත්ම කැමති නැත. ඊශ්රායලය සමග අලුතෙන් කෙරෙමින් තිබෙන ගනුදෙනු ද ඉන්දියාවේ සංතෝෂයට හේතුවී නැත.
ගැටුමට සම්බන්ධ පාර්ශවයන් දෙක වෙතින්ම ඉල්ලීමක් කෙරෙන්නේ නම් මැදිහත්කරුවකු වශයෙන් ප්රශ්නය විසඳා දිමට ඉදිරිපත්වීමට තමන් සූදානම් බව ඉන්දියාව ප්රකාශ කර ඇත්තේ ඊශ්රායලය ඇතුළු පිටස්තර බලවේගයන්ගෙන් කෙරෙන අතපෙවීම් අවම කිරීම පිණිසය.
එහෙත් ඉන්දියාව කර තිබෙන ඉල්ලීමට ගැටුමට සම්බන්ධ පාර්ශවයන් දෙකම තවමත් කිසිම ප්රතිචාරයක් දක්වා නැත. ඔවුන් කිසිවෙක් ඊට සුභදායී ප්රතිචාරයක් දක්වනු ඇතැයි ද සිතිය නොහැකිය.
ඉන්දියාව තුළ බෙදුම්වාදි හැගීම් උත්සන්න කිරීමට හේතුවන ආකාරයේ බෙදිමක් ශ්රී ලංකාවේ ඇතිවනවා දකින්නට ඉන්දියාව කැමති නැත. අනෙක් අතට ශ්රී ලංකාවේ දෙමළ අභිලාෂයන් පිළිබඳ අනුකම්පා සහගත ආකල්පයක් ද ඉන්දියාව තුළ පවතී. කොටි සංවිධානය විසින් ඉන්දියානු නායකයකු ඝාතනය කළේය යන කාරණාව ඉන්දියාව මුළුමණින්ම අමතක නොකරනු ඇතත් ඉන්දියාව දෑඩි කොටි විරෝධී ආකල්පයක පිහිටා ක්රියාකරනු ඇතැයි ද සිතිය නොහැකිය.
එහෙත් ශ්රී ලංකා ආණ්ඩුව ඉන්දියාව නොසලකා කොටි ව්යාපාරය මර්දනය කිරීම පිණිස ඊශ්රායලය වැනි බලවතකු සෘජු ලෙස මේ අර්බුදයට මැදිහත් කරගන්නා පිළිවෙතක් ඉදිරියේ ඉන්දියාව නිහඬව බලා සිටිනු ඇතැයි ද සිතිය නොහැකිය. ඉන්දියාව සමග ඇති කරගත් ගිවිසුම අදටත් වලංගු ය. ඒ නිසා ඉන්දියාවට මේ අර්බුදයට මැදිහත්වීමට අවශ්ය නම් එය වැළකීමේ හැකියාවක් ද අපට නැත.
එහෙත් පවතින අර්බුදය වර්ධනය වී තිබෙන ආකාරය අනුව ඉන්දියානු මැදිහත්වීමක් පවා ප්රශ්නයට විසඳුමක් ලබාදිමට සමත් වනු ඇතැයි සිතිය නොහැකිය.
ඉන්දියාව හිතන මතන ආකාරය ශ්රී ලංකා ආණ්ඩුව සිතන මතන ආකාරයට සේ ම කොටි සංවිධානය හිතන මතන ආකාරයටත් වෙනස්ය. ආණ්ඩුව ඉදිරිපත් කර ඇති කලාප සභා විසඳුමකට කොටි සංවිධානය එකග වනවා නම්, එකග වනවා ඇත්තේ ඉන්දියානු මැදිහත්වීමක් ඉදි.යේ මේ අවස්ථාවේදි ඉන් එපිට යා නොහැකි තත්ත්වයක් ඇති බව කොටි සංවිධානයට පෙනේ නම් පමණය. කොටි සංවිධානයේ සැබෑ ඉලක්කය වෙනම රාජ්යයක් නොවේ නම්, කොන්ෆෙඩරේෂන් තත්ත්වයට සමාන තත්ත්වයකි. එහෙත් එතරම් දුර දිග යන විසඳුමකට ඉන්දියාව අනුග්රහය දක්වනු ඇතැයි සිතිය නොහැකිය. කලාප මට්ටමේ විසඳුම වුවත් ක්රියාවට නැංවීමට හැකි දේශපාලන පරිසරයක් රටේ නොපවතී.
ආණ්ඩුව ඉන්නා තැන ඉතාමත් දුර්වලය. අනෙක් අතට පාර්ලිමේන්තු මැතිවරණයකට ඇත්තේ තවත් මාස තුනක් තරම් කාලයක් පමණය. එතරම් කෙටි කාල සීමාවක් තුළ ඉන්දියානු මැදිහත්වීමක් යටතේ පවා මෙවැනි සංකීර්ණ ප්රශ්නයකට විසඳුමක් ඇති කරගැනීම අසීරුය. අනෙක් අතට ඉන්දියානු මැදිහත්වීමක් ඉදිරියේ පෙනෙන්නට තිබෙන තත්ත්වයන් යටතේ පවා යාපනේ අල්ලා ගැනීමේ අරමුණ වෙනුවෙන් කොටි සංවිධානය මුදාහැර තිබෙන යුද්ධ වැඩපිළිවෙළ ආපස්සට යනු ඇතැයි ද සිතිය නොහැකිය.
මේ පවතින අර්බුදයේදි ආණ්ඩුවට යම් ශක්තියක් ලැබෙනු ඇත්තේ අලිමංකඩින් අත්පත් කරගත් පරාජයට හිලව් කළ හැකි ආකාරයෙන් කැපී පෙනෙන ජයග්රහණයක් යුද්ධ පෙරමුණෙන් අත්පත් කරගත හැකි වේ නම් පමණය. එවැනි ජයග්රහණයක් සඳහා බාහිර බලවතකු යම් ප්රමාණයකට හෝ මෙහෙයුම් කටයුතුවලට සම්බන්ධ කරවා ගැනීම අත්යවශ්ය වනමුත් එවැනි ක්රියාවලියකට ඉඩදි ඉන්දියාව නිහඬව බලා සිටිනු ඇතැයි ද සිතිය නොහැකිය.
යාපනේ දැන් පවතින අවිනිශ්චිත තත්ත්වය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදි ආණ්ඩුවේ අවාසියට මිස වාසියට හේතුවනු ඇතැයි සිතිය නොහැකිය. ඒ නිසා යුද්ධ පෙරමුණේ ලබා ගන්නා කැපී පෙනෙන ජයග්රහණයකින් තොරව පාර්ලිමේන්තු මැතිවරණයක් වෙත ආණ්ඩුව යොමුවනු ඇතැයි ද සිතිය නොහැකිය. විධායක ජනාධිපති ධුරය ඇත්තේ පොදු පෙරමුණ අතේ වුවත්, පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලබන පරාජයක් විධායක ජනාධිපති ක්රමයේ පැවැත්ම පවා අභියෝගයට ලක් කරන තත්ත්වයක් ඇති කරනු නොවැළැක්විය හැකිය.
මේ තත්ත්වය ඉදිරියේ ආණ්ඩුව තිබෙන අර්බුදය හේතුවක් කරගනිමින් පාර්ලිමේන්තුවේ නිල කාලය දිර්ඝ කරගන්නා පිළිවෙතකට තල්ලු වනු ඇතැයි සිතිය හැකිය. එහෙත් එවැනි වැඩපිළිවෙළක් ජයගැනීම ද අසීරුය. එජපාය තුළ ඒකමතික භාවයක් නොපතිනවා සේ ම පොදු පෙරමුණ තුළ ද ඒකමතික භාවයක් නොපවතී. තොණ්ඩමන්ගේ කම්කරු කොංග්රසය තුළ තොණ්ඩමන්ගේ මුණුපුරාට එරෙහිව කැරැල්ලක් පවතී. කම්කරු කොංග්රසය පොදු පෙරමුණට ගැට ගසා තිබෙන හූය ලෙස ක්රියාකරනුයේ තොණ්ඩමන්ගේ මුණුපුරාය. ඊශ්රායල් සබඳකම් ගැන මුස්ලිම් කොංග්රසය තුළ පවතින්නේ ද අතෘප්තියකි. පොදු පෙරමුණට තවදුරටත් ඉදිරියට යාමට අවශ්ය නම්, ඊට නව නායකත්වයක් අවශ්ය වේ යයි සිතන හා ඒ අනුව ක්රියාකරන්නට උත්සාහ කරන පිරිසක් ද පොදු පෙරමුණ තුළින් මතුවෙමින් පවත්නා තත්ත්වයක් ද පවතී.
යුද්ධ තත්ත්වයක් යටතේ පනවා ඇති දැඩි නීති රිති විරුද්ධ පක්ෂවල ක්රියාකාරිත්වය අවම කිරීම පිණිස යොදා ගනිමින් තිබෙන බවක් පැහැදිලිව පෙනී යයි. මේ නීති රිති නිසා මහජනයා දේශපාලන වශයෙන් සංවිධානය කිරිමේ ඉඩක් ලැබී ඇත්තේ ආණ්ඩු පක්ෂයට පමණය. අන් සියලු පක්ෂවලට මහජනයාට කරුණු කීම, ඔවුන් සංවිධානය කිරීම තහනම්ය. පාර්ලිමේන්තු මැතිවරණයක් ඉදිරියේ තබාගෙන ක්රියාවට නගා ඇති මේ මර්දන අණ පනත්වලට එරෙහිව ශක්තිමත් විරෝධයක් මතු කිරීමට එජාප හෝ විපක්ෂයේ වෙනත් කිසිම පක්ෂයක් සමත් වී තිබෙන බවක් ද පෙනෙන්නට නැත.
එහෙත් ආණ්ඩුවට මේ මර්දන නීති රිතිවලින් යම් පමණක හෝ රැකවරණයක් ලැබෙනවා නම් ලැබෙනු ඇත්තේ ද තමන් යුද්ධ පරාජයක් ඇති නොවන තත්ත්වයක තබා ගැනීමට හැකිවේ නම් පමණය.