අලිමංකඩ අත්හැරිම උපාය මාර්ගික හේතු මත ගන්නා ලද තීරණයක් ය යන්න යුද හමුදාපතිවරයාගේ මතය වී තිබේ. කඳවුර අතහැර යාමට තීන්දු කරන අවස්ථාව වනවිට කඳවුර පවත්වාගෙන යාමට අවශ්ය බාහිර සැපයුම් විශේෂයෙන්ම බීමට ගන්නා ජලය,ආහාර ලබාගත නොහැකි තත්ත්වයකට කඳවුර හිරකරන තත්ත්වයකට ගෙනඒමට කොටි සංවිධානය සමත් වී තිබෙන බව පෙනේ. ඒ අවස්ථාවේදි කඳවුර අත්නොහැරියේ නම් කඳවුර අත්හැර යාම නිසා ඇතිවූ විනාශයට වඩා වැඩි විනාශයක් ඇතිවන්නට ඉඩ තිබුණු බව ඇත්තකි. එහෙත් යුද්ධ හමුදාවක් උපාය මාර්ගික හේතු මත හෝ කඳවුර අත්හැර යාමට සිදුවීමෙන් පෙනීයන්නේ යාපනයේ පාලනය සඳහා තිබිය යුතු අත්යවශ්ය කොන්දේසියක් අත් හැරීමට සිදුවී තිබෙන බවය.
යාපනය අර්ධද්වීපයට ඇතුළු වන මුවදොර ලෙස සැලකෙනුයේ අලිමංකඩය. මිලිටරි දෘෂ්ටි කෝණයකින් අලිමංකඩ යාපනයේ බලය සඳහා අත්යවශ්ය මර්මස්ථානයක් ලෙස සැලකේ. අලිමංකඩ හමුදා කඳවුර සෙබළුන් 15,000ක් හෝ ඊට වැඩි සංඛ්යාවකගෙන් සමන්විත දැවැන්ත හමුදා සංකීර්ණයක් බවට හරවා තිබුණේ ද උපාය මාර්ගික අර්ථයෙන් ඊට ලැබී තිබුණු අතිවිශාල වැදගත්කම නිසාය. අලිමංකඩ අල්ලා ගැනීමට මීට පෙර කොටි සංවිධානය විසින් දරන ලද හැම ප්රයත්නයක්මත් ව්යර්ථ කිරීමට යුද්ධ හමුදාවන් සමත් වුවත් අවසානයේ මෙවර එය අත්හැරීමට සිදුවීමෙන් පෙන්නුම් කෙරෙන්නේ නැවත යාපනයේ පාලනය කොටි සංවිධානය අතට පත්වන දිනය බොහෝ ඈත නොවන බවය.
යාපනය අල්ලා ගැනීම තමන් ලැබූ අතිවිශාල ජයග්රහණයක් ලෙස උදම් අනන අවස්ථාවක එය උපාය මාර්ගික අර්ථයෙන් සිය කැමැත්තෙන් විශාල හිරවීමක් කරා යන ගමනක් ලෙස දකින පිරිසක් ද රටේ සිටියහ. යාපනය අල්ලා ගැනීමේ සිද්ධිය විසින් ඇති කරන ලද ආශ්වාදය එවැනි විශ්ලේෂණයකට අවමානයක් නොලැබෙන තත්ත්වයක් ඇති කොට තිබුණි. යාපනය අල්ලා ගැනීමේ ප්රයත්නයට එරෙහිව කොටි සංවිධානය තමන්ගේ මුළු ශක්තිය යොදා සටන් කරනු ඇතැයි අපේක්ෂා කෙරුණත් කොටි මුළු ශක්තිය යොදා සටන් කරන ක්රියාමාර්ගයකට නොගොස් යුද්ධ හමුදාවන්ට භූමිය අල්ලා ගන්නට ඉඩදි වන්නියට පළා යන පිළිවෙතක් අනුගමන කළහ.
යුද්ධ හමුදාව යාපනය අල්ලා ගන්නා ලද්දේ යාපනයට ඇතුළු වන මුව දොරේ සිට වව්නියාව දක්වා පහළට ඇති විශාල බිම් තීරුවේ පාලනය සිය ආධිපත්යයට නතුකර ගැනීමෙන් තොරවය. ඒ නිසා යාපනයේ සිටින සේනාවන්ට හා එහි වෙසෙන ජනතාවට අවශ්ය සියලු බාහිර සැපයුම් යවන්නට සිදුවූයේ මුහුදෙන් හා ගුවනිනි. යාපනය පවත්වාගෙන යාමට අවශ්ය සියලු සැපයුම් මුහුදෙන් හෝ ගුවනින් සපයන්නට සිදුවන තත්ත්වයක් තුළ මුහුදෙන් හා ගුවනින් කරන ප්රවාහනය වෙනුවෙන් පමණක් අතිවිශාල වියදමක් දරන්නට සිදුවූ අතර ගුවනින් හා මුහුදින් කෙරෙන ප්රවාහනයන් අනාරක්ෂිත තත්ත්වයකට පත්වීමත් සමග යාපනේ පැවැත්ම සඳහා ගොඩබිම් සැපයුම් මාර්ගයක ඇති වැදගත්කම තේරුම් ගනිමින් සැපයුම් මාර්ගයක් අල්ලා ගැනීම සඳහා අතිවිශාල ප්රයත්නයක නිරත වුවත් එම ප්රයත්නය ව්යර්ත කිරීමට කොටි සමත් වූහ. සුදුසු අවස්ථාවක යාපනය අර්ධද්වීපය හිරකරන තත්ත්වයකට ගෙන ඒම මුල සිටම කොටින්ගේ උපාය මාර්ගික අරමුණ වූ බව පෙනෙන්නට තිබෙන අතර යාපනයට පහළින් ඇති බිම් තීරුව ක්රමයෙන් නිදහස් කරගැනීමකින් තොරව එක එල්ලේම යාපනය අල්ලා ගැනීම කවදා හෝ හිරවන තත්ත්වයක් සිය කැමැත්තෙන් නිර්මාණය කරගැනීමට සමාන විය.
දරුණු අලාභ ඇති කරගනිමින් හෝ යුද්ධ හමුදාවට අලිමංකඩ අත්හැර පලායාමට තවත් කඳවුරක් තිබුණේය. එහෙත් දැන් තිබෙන එකම කඳවුරද අතහරින්නට සිදුවුවහොත් එහි සිටින පනස් දහසකට ආසන්න හමුදාවන්ට හෝ පොලිසියට පලායාමට තවත් තැනක් නැත.
දැන් යුද්ධය ගමන් කරමින් තිබෙන දිශාව අනුව යාපනය අර්ධද්වීපයේ පාලනය කොටි අතට මාරුවීම නොවැළැක්විය හැකිය. එහිදී පලාලි හමුදා කඳවුර ආණ්ඩුවේ හමුදාවන් අත තිබෙන්නට ඉඩ හරින ප්රතිපත්තියක් මගින් කොටි යාපනයේ පාලනය සියතට ගනී නම්, ඇතිවිය හැකි අලාභය ඉතා විශාල නැතත්, එයින් තෘප්තිමත් නොවී පලාලි හමුදා කඳවුර ද කොටු කොට පහර දෙන ප්රතිපත්තියකට ගියහොත් ඇතිවිය හැකි විනාශය ඉතා විශාලය.
නෝර්වේ රාජ්යය පහසුකම් සපයන්නෙකු ලෙස තබාගනිමින් කරන්නට නියමිත සාම සාකච්ඡාවලින් ද යහපත් ප්රතිඵලයක් ඇති කරනු ඇතැයි සිතිය නොහැකිය. අප අපේක්ෂා කරන දේවල් හා ඔවුන් අපේක්ෂා කරන දේවල් අතර ගැලපීමක් නොපවතී. දැන් ඔවුන් ඉන්නේ ජයග්රාහී තැනකය. ආණ්ඩුව ඉන්නේ පරාජිත තැනකය. ශ්රී ලංකා ආණ්ඩුව අදහස් කරන සරල බලය බෙදාහැරිමේ වැඩපිළිවෙළකින් ඔවුන් තෘප්තිමත් වනු ඇතැයි සිතිය නොහැකිය. වෙන්වීමකින් මෙපිට ඔවුන් එකග වනවා නම් එකග විය හැක්කේ ඔවුන් මීට පෙර ද ප්රකාශ කර ඇති පරිදි කොන්ෆෙඩරේෂන් තත්ත්වයකට පමණක් විය හැකිය. උතුරු නැගෙනහිර දෙමළ ජනතාව ජීවත් වන ප්රදේශ සඳහා තවත් පාර්ලිමේන්තුවක් යන්න එහි තේරුමයි. එවැනි විසඳුමක් සඳහා එකගවිය හැකි මානසික පරස්පරයක් සිංහල සමාජය තුළ නොපවතී. එම තත්ත්වය ඉදරියේ වෙන්වීමක් ඇතිවීම ද නොවැළැක්විය හැකිය. වෙන්වීමක් ඇතිවීම වැළැක්වීම සඳහා යුදමය වශයෙන් මේ මොහොතේ දරන කවර ප්රයත්නයක් වුවත් සාර්ථක ප්රතිඵල ඇති කිරීමට හේතුවනු ඇතැයි ද සිතිය නොහැකිය. අනිවාර්ය යුද්ධ සේවය වැනි දෑඩි ක්රියාමාර්ගයකින් පවා එවැනි ප්රයත්නයක් පරාජය කළ හැකිවනු ඇතැයි සිතිය නොහැකිය.
රට ගමන් කරමින් තිබෙන්නේ ඉතාමත් අනතුරුදායක තැනකටය. රට වැටී තිබෙන්නේ ගැඹුරු ළිඳකට නොව පතුළක් නැති ළිඳකටය. එහෙත් රටේ සියලු දේශපාලන නායකයන් සිටින්නේ අඳුරේ අතපතගාන තැනකය. ඥාණාන්විත වී නම් බේරාගත හැකි තත්ත්වයක තිබූ ප්රශ්නයක් දෙකඩවීමක් ඇති කරවන තරම් දුරදිග යන තත්ත්වයකට ඉඩ හැරීම ගැන ශ්රී ලංකාවේ අනුවන දේශපාලන නායකයන් පමණක් නොව සමාජය ද වගකිව යුතුය. ලී ක්වාන් යූ ප්රකාශ කර ඇති පරිදි වාර්ගික ආවේගයන් කළමනාකරණයට ඇති නොහැකියාව ශ්රී ලංකාවේ නූතන සියලු දේශපාලන නායකයන්ට ආවේණික කැපී පෙනෙන දුර්වලතාවකි. ඒ නිසාම ශ්රී ලංකාව අනාගත ඉතිහාසයට එකතුවීමට නියමිතව ඇත්තේ මෝඩකම නිසා විනාශ මුඛයට ගිය දිර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන එහෙත් සුන්දර රටක් වශයෙනි.