මාධ්ය නිදහස කෙරෙහි මේ තරම් වෛරසහගත ආකල්පයකින් බලන ආණ්ඩුවක් මීට පෙර කවදාවත් තිබුණේ නැති තරම් ය. ආණ්ඩුව කියන්නේ තමන් විසින් ලබාදෙන ලද ජනමාධ්ය නිදහසින් ජනමාධ්යවේදින් අයුතු ප්රයෝජන ගනිමින් සිටින බව ය. ආණ්ඩුව ජනමාධ්යවේදින් දකින්නේ ද ජන ජීවිතයට එකතුවී සිටින විෂඝෝර සර්පයින් පිරිසක් ලෙස ය. තමන් ඒ කිසිවෙක් මරන්නේ නැති බවත් එහෙත් ඔවුන්ට එරෙහිව නීත්යනුකූලව කළහැකි හැමදෙයක් ම කිරීමට පසුබට නොවනා බවත් ය.
ජනමධ්ය නිදහස දෙන ලද්දේ තමන් විසින් යැයි කියන කතාවේ කිසිම ඇත්තක් නොපවතී. එජාප පාලන මුල් යුගයේ ජනමාධ්ය නිදහස කෙරෙහි පීඩාකාරි බලපෑමක් තිබූ බව සත්යයකි. ඒ පීඩාකාරි බලපෑම නොසලකා නොබියව ආණ්ඩුවේ වැරදි ක්රියාකාරකම් විවේචනය කරන පුවත්පත් ගණනාවක් ද එකල රටේ තිබුණි. “රාවය” මාසික සගරාවක් වශයෙන් එළිදැක්කේ ජේආර්. ජයවර්ධන පාලනයේ අවසාන කාලයේදි ය. එය සති අන්ත පුවත්පතක් බවට මාරු කරන ලද්දේ ප්රේමදාස ජනාධිපතිවරයා පාලන බලයේ සිටි යුගයේදිය.
ජේආර්. ජයවර්ධන පාලන යුගය පිළිබඳවත්, ඉන්පසු බිහිවූ ප්රේමදාස පාලන යුගය ගැනත් රාවයෙන් ඉතාමත් බලවත් විවේචන කෙරුණු බව රහසක් නොවේ. සමහරවිට එදා ඒ පළවූ විවේචන අද පොදු පෙරමුණු ආණ්ඩුව ගැන පළවන විවේචනයන්ටත් වඩා කර්කෂක විය. රාජ්ය බැංකු කොල්ලයක් ගැන, ආණ්ඩුවේ ඉඩම් කොල්ලයක් ගැන, එයාර් බස් ගනුදෙනු ගැන මුල්වරට හෙළිදරව් කිරිම් කරන ලද්දේ රාවයෙනි.
ප්රේමදාස ජනාධිපතිවරයා තුළ රාවය පිළිබඳ හිතවත් ආකල්පයක් නොතිබුණත්, ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රජයේ ඉඩම් කොල්ලකමින් සිටින බවට රාවයෙන් කරන ලද හෙළිදරව්වෙන් පසුව ඒ ගැන සොයා බැලීමට ප්රේමදාස ජනාධිපතිවරයා නිලධාරි කමිටුවක් පත් කරන ලද බව ද කිව යුතු ය. ආණ්ඩුවේ දේශපාලකයන් ඉතාමත් අසාධාරණ ආකාරයකින් ආණ්ඩුවේ ඉඩම් අත්පත් කරගැනීමක් සිදුකර ඇති බැවින් ඒ ඉඩම් ආපසු පවරා ගැනීම පිණිස ක්රියාකිරීම මගින් සිදුවී ඇති ඒ වරද නිවැරදි කළයුතු බව නිලධාරී කමිටුවේ නිර්දේශය විය. ප්රේමදාස ජනාධිපතිවරයා ඒ ඉඩම් ආපසු පවරා ගැනීම සඳහා වන නීති, රිති සම්පාදනය කරන තත්ත්වයකට ද යොමුවී සිටියේ ය. ඒ තත්ත්වයෙහි වෙනසක් ඇතිවුයේ දෝෂාභියෝගයක් එල්ලවීමත් සමග ය.
ජනමාධ්ය නිදහස කිසියම් පාලකයකු විසින් තෑගි කරන ලද්දක් නොව ජනමාධ්යවේදින් විසින්ම සටන් කොට දිනාගන්නා ලද්දකි. චන්ද්රිකා කුමාරතුංග මහත්මිය බලයට එන අවස්ථාව වනවිට දැන් තියෙන තරම් නිදහසක් රටේ තිබුණි. එය චන්ද්රිකා කුමාරතුංග පාලනය විසින් අමුතුවෙන් ලබාදෙන ලද්දක් නොව ඒ වනවිටත් ගොඩනැගී හා ලබා තිබූ නිදහසකි. චන්ද්රිකා කුමාරතුංග පාලනය ඒ ලැබී තිබුණු නිදහස කිසියම් කාලයක් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට ඉඩ හැරියා මිස ඔවුන් අතින් වැඩිදුරටත් එය පුළුල් කිරීමක් සිදු නොවී ය.
එහෙත් වයඹ පළාත් සභා මැතිවරණයෙන් ආරම්භ වී දැන් වඩා පුළුල් ආකාරයකින් පෙන්නුම් කෙරෙමින් තිබෙන වෛරසහගත ආකල්පය මීට පෙර බලයේ සිටි කිසිම පාලක පිරිසක් වෙතින් මේ තරම් ප්රමාණයකින් පෙන්නුම් කර නැති බව ද කිව යුතු ය. ජනමාධ්ය වෙතින් එල්ල වෙන විවේචන මැද ඉවසීමෙන් ක්රියාකිරීමට අවශ්ය තැන්පත්කමක් චන්ද්රිකා ආණ්ඩුවට නැති බව පැහැදිලිය. එය ජනමාධ්ය නිදහසට පමණක් නොව සමස්ත ප්රජාතන්ත්රවාදී නිදහසටම එල්ල වී තිබෙන බලවත් අභියෝගයක් ලෙස සැලකිය යුතු ය. ජනමාධ්යවේදින්ගෙන් බලාපොරොත්තුවන්නේ ජනාධිපතිනිය ජාතිය අමතා කතා කරන ලද අවස්ථාවේදි ලූෂන් රාජකරුණානායක හෝ ජනදාස පිරිස් වෙතින් පළවූ ආකාරයේ හීන දින හැසිරීමක් නම් රටේ ප්රජාතන්ත්රවාදී නිදහස කම්මුතු වන දිනය ද බොහෝ ඈතක නොවනු ඇත.