කුමාර් පොන්නම්බලම් ශ්රී ලංකාවේ දේශපාලන විචාරකයින් අතර නිර්භීතම විචාරකයාය. ඔහු ජීවත් වූයේ සිංහල මිනිසුන් අතර කොළඹ නගරයේය. ඔහු ඇසුරු කළ යාලු මිත්රයින්ගෙන් වැඩි පිරිසක් ද සිංහලයෝ වූහ. සිංහලයින් අතර ජීවත්වෙමින් සිංහලයින් අතර දැඩි කෝපයට හේතුවී සිටින කොටි සංවිධානය වැනි ව්යාපාරයක් ප්රසිද්ධියේ ආරක්ෂා කරන්නට යාමේ ඇති භයානකකම දැන දැනමත් ඔහු නිර්භීත ලෙසත්, චතුර ලෙසත් සිය අදහස් පළ කළේය.
මෑත යුගයේදි දෙමළ ජාතීන්ට බලපාන ආකාරයෙන් ජනාධිපතිනිය කරන හැම ප්රසිද්ධ ප්රකාශයකටම වහාම පෙරළා ප්රසිද්ධියේ අභියෝග කරන ලද එකම පුද්ගලයා ඔහුය. ජනාධිපතිනිය දකුණු අප්රිකානු සංචාරයේදි ශ්රී ලංකාවේ දෙමළ ජනතාවට අදාළව කරන ලද සඳහනකට එරෙහිව ඔහු වහාම අභියෝගාත්මක ස්වරයේ පිළිතුරක් පුවත්පත්වලට ලීවා පමණක් නොව, එහි ජනාධිපතිනියට යවන ලද පිටපත තමා අතින්ම අරලියගහ මන්දිරයට ගෙන ගොස් එහි පොලිස් මුරපොළට භාර දෙන ලද බවද මීට පෙර අසන්නට ලැබී තිබුණි. ජනවාරි 3 වැනිදා ජනාධිපතිනිය ජාතිය අමතා කරන ලද කතාවෙන් ද, කොළඹ ජීවත්වෙමින් කොටි සංවිධානයට ආධාර කරන දෙමළ මිනිසුන් සඳහා අනතුරු ඇගවීමක් කළාය. එම අනතුරු ඇගවීමට එරෙහිව ද වහාම ඔහු සිය ප්රතිචාරය ලීවේය. එහෙත් ඔහුගේ මෙම ප්රතිචාරය පුවත්පත්වල පළවනවා දකින්නට ඉඩක් නොලැබෙන පරිදි ඔහු ඝාතනයට ලක්විය.
කුමාර් පොන්නම්බලම් කෙරෙන් පළවී ඇති සියලු දේශපාලන අදහස් පිළිගැනීමේ හැකියාවක් මට නැත. එහෙත් ඔහු කෙරෙන් පළවූ නිර්භීතභාවය අගය කළ යුතුය. අපේ රටට දේශපාලන විචාරකයින්ගේ අඩුවක් නැතත්, ශක්තිමත් පිටකොන්දක් ඇති අය ඉතාමත් අල්පය. නැත්නම් අපේ රටේ බොහෝ විචාරකයින් දේවල් විශ්ලේෂණය කරන්නේ හිතට එකගව නොව, ඒ නිසා තමන්ට පුද්ගලිකව විය හැකි ලාභ, අලාභ සැලකිල්ලට ගනිමිනි.
කුමාර් පොන්නම්බලම් ඝාතනය රටේ පවතින දේශපාලන නැඹුරුවේ වැදගත් අලුත් ප්රශ්න ගණනාවක් මතු කරයි. ඇත්තටම ඔහු ඝාතනය කළේ කවුද? ඒ පිටුපස තිබෙන දේශපාලනය කුමක්ද? එහි වගකීම භාරගත් කොටි විරෝධී ජාතික පෙරමුණ කුමක්ද? ඇත්තටම එවැනි සංවිධානයක් රටේ තිබේද? ත්රස්ත විරෝධී ජාතික පෙරමුණ නමින් එල්ටීටීඊ විරෝධී සංවිධානයක් රටේ ඇතත්, එය හා මේ කොටි විරෝධී ජාතික පෙරමුණ අතර, කිසිම සම්බන්ධයක් ඇති බවක් පෙනෙන්නට නැත. ත්රස්ත විරෝධී ජාතික පෙරමුණ තුළ පවා මෙම ඝාතන සිද්ධිය බලවත් සැකයක් ඇති කිරීමට හේතුවී තිබෙනවා මිස සංතෝෂයක් ඇතිකිරීමට හේතුවී නැත.
කොටි විරෝධී ජාතික පෙරමුණ මෙම ඝාතනයේ වගකීම භාරගැනීම පිණිස නිකුත් කළ ප්රකාශයෙන් වෙනත් අයට ද අනතුරු ඇගවීමක් කිරීමට අමතක කර නැත. මෙය තමන් ඉදිරියේ දියත් කරන්නට යන ක්රියාමාර්ගයක එක් පියවරක් බව ප්රකාශ කරන ඔවුන් කොටි සංවිධානයට සෘජු ලෙස හෝ අනියම් ලෙස ආධාර කරන අයට තවදුරටත් දඬුවම් දෙන බවද ප්රකාශ කරයි.
ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ දෙවැනි කැරැල්ල ඉදිරියට ගෙන ආ අවස්ථාවේදි ද “ප්රා”, “කළු බළල්ලු” යන විවිධ නම්වලින් යුත් ප්රචණ්ඩ ක්රියාකාරකම් සඳහා වන සංවිධාන ජාලයක් කරලියට ආවේය. එහෙත් ඒවා ඉබේ බිහිවූ ඒවා නොවන අතර සෘජු ලෙස ආණ්ඩුව විසින් ඇති කරන ලද සංවිධාන ජාලයක් විය. කොටි විරෝධී ජාතික පෙරමුණත් ඒ ආකාරයෙන් බිහිවූ සංවිධානයක් වේ නම් රටේ ඉදිරි අනාගතය පිළිබඳ පෙනෙන්නට තිබෙන චිත්රය භයානක වන බව අමුතුවෙන් කිවයුතු නැත.
කුමාර් පොන්නම්බලම් ඝාතන සිද්ධියෙන් පසුව ආණ්ඩුවේ ජනමාධ්ය ජනාධිපති ඝාතන තැතට අලුත් අර්ථකථනයක් දෙමින් තිබෙන ආකාරයක් ද දැකිය හැකිය. ඒ අර්ථකථනය අනුව ජනාධිපති ඝාතන උත්සාහය ප්රභාකරන්ට පමණක් සීමාවූ කුමන්ත්රණයක් නොව දකුණේ ද කිසියම් පිරිසක් සම්බන්ධවෙමින් දියත් වූ කුමන්ත්රණයකි. ඊට කොළඹ කෝටිපති ව්යාපාරික පිරිසක් ද සම්බන්ධය. ජනමාධ්යවේදින් කිහිපදෙනෙක්, රාජ්ය නිලධාරීන් පිරිසක්, යුද්ධ නිලධාරීන් පිරිසක් හා එජාපය ද සම්බන්ධය.
කොටි සංවිධානය රටේ ජන නායකයන් ඝාතනය කිරීමට උත්සාහ ගත් පළමු අවස්ථාව ලෙස මෙය සැලකිය නොහැකිය. එය ජන නායකයකු ඝාතනය කිරීමට ඔවුන් විසින් දරන ලද උත්සාහයක් අසාර්ථක වූ පළමු අවස්ථාව පමණය. මීට පෙර ජන නායකයන් ගණනාවක් මීට සමාන ආකාරයකින් හෝ වෙනස් ආකාරයකින් ඝාතනය කිරීමට ඔවුහු සමත් වූහ. එහෙත් ඒ කිසිම අවස්ථාවක ඒ ඝාතන චෝදනා තමන්ගේ විරුද්ධවාදින් වෙත පවරන තත්ත්වයක් සිදු නොවීය. එවැන්නක් සිදුවූ පළමු අවස්ථාව වන්නේ මෙයයි.
ජනාධිපතිනිය ඉලක්ක කොට එල්ල වූ බෝම්බ ප්රහාරයෙන් පසුව කොළඹ නගරයේ කිසියම් ව්යාපාරික පිරිසක් සංතෝසයෙන් ෂැම්පේන් පානය කළ බව කියන කතාවක් ද පුවත්පත්වල පළවී තිබුණි. එය ද ඝාතන කුමන්ත්රණයක් තිබූ බව ඔප්පු කිරීම පිණිස යොදාගනිමින් තිබෙන සාධකයකි. තිබෙන දේශපාලන මතිමතාන්තර මොනවා වුණත්, ජන නායකයකු විපතට පත් අවස්ථාවක එවැනි හැසිරීමක් අනුමත කළ නොහැකිය. එහෙත් ජන නායකයකු විපතට පත් අවස්ථාවක සමාජයේ සමහර අය විසින් ප්රීතිය ප්රකාශ කළ වෙනත් අවස්ථා ද තිබුණි. ජනාධිපති ප්රේමදාස ඝාතනය කෙරුණු අවස්ථාවේදි කොළඹ නගරයේ බොහෝ ප්රදේශවල සතුට පළකිරීම පිණිස රතිඤ්ඤා පත්තු කෙරිණ. සමහර අය සංතෝසයට කිරිබත් කෑ බව ද කියනු ලැබේ. එහෙත් එදා රතිඤ්ඤා පත්තු කළ අය ප්රේමදාස ඝාතන කුමන්ත්රණයේ කොටස්කරුවන් පිරිසක් ලෙස හංවඩු ගැසීමක් සිදු නොවීය.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ජනමත විචාරණයට පෙර මෙවැනි කුමන්ත්රණ කතාවක් කරලියට ගත්තේය. ඒ ජනමත විචාරණයට එරෙහිව ක්රියාත්මක වන පුවත්පත් හා ප්රමුඛ පුද්ගලයන් නිහඬ කරනු සඳහාය. පුවත්පත් ආයතන දෙකක් සීල් තැබුවේය. විජය කුමාරතුංග ඇතුළු විරුද්ධ පක්ෂ නායකයින් පිරිසක් අත්අඩංගුවට ගත්තේය. සමහරවිට පොදු පෙරමුණු ආණ්ඩුව ද පාර්ලිමේන්තු මැතිවරණයට පෙර කරදරකාරයන් අතර සිටින ප්රමුඛයන් කිහිපදෙනා නිහඬ කරවීම අවශ්ය වේ යැයි කල්පනා කරනවා විය හැකිය.
කොටි විරෝධී ජාතික පෙරමුණ නමින් පෙනී සිටින අභිරහස් සංවිධානයක් කුමාර් පොන්නම්බලම් වැනි ප්රකට හා ප්රමුඛ දෙමළ නායකයකු ඝාතනය කිරිමෙන් නොනැවතී කොටි සංවිධානයට සෘජු ලෙස හෝ අනියම් ලෙස සම්බන්ධයක් ඇති අය සම්බන්ධයෙන් ද එවැනිම ක්රියාමාර්ගයක් අනුගමනය කරන බවට ප්රකාශ කර තිබියදි ආණ්ඩුවේ ජනමාධ්ය ආණ්ඩුවේ නායකයින්ගේ විරෝධයට හේතුවී සිටින ප්රමුඛ පිරිසක් එයට ඈඳා ජනාධිපති ඝාතන කුමන්ත්රණයක් පිළිබඳ කතාවක් නිර්මාණය කිරිමෙන් නොනැවතී ඒ සියලුදෙනා ප්රභාකරන්ගේ ආධාරකරුවන් ලෙස හංවඩු ගසන තත්ත්වයකට යොමුවී තිබෙන්නේ ඉතාමත් අහිංසක හැගීමකින් නම් විය නොහැකිය. සැප්තැම්බර්වලට පෙර පාර්ලිමේන්තු මැතිවරණයකට යායුතුව තිබුණත්, ආණ්ඩුව නොවැදගත් අනන් මනන් කතා කරමින් සිටිනවා මිස මැතිවරණ දූෂණ පිළිබඳව දිගින් දිගට එල්ලවෙමින් තිබෙන චෝදනා සඳහා සලකා මැතිවරණ ක්රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය හා ගෞරවය තහවුරු කිරීමට හේතුවන ඉක්මන් ක්රියාමාර්ගයක් කෙරෙහි අවධානය යොමු කර තිබෙන බවක් පෙනෙන්නට නැත.