ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට දි ඇති පොරොන්දුව ඉටු කරන්නේ කවදා ද?

January 2, 2000
Publication:
Ivan recalls that Chandrika Kumaratunga promised at every rally to tear up J.R. Jayewardene's constitution and enact the People's Alliance draft. He traces the demand to abolish the executive presidency from the Premadasa impeachment and the SLFP's 1988 and 1994 manifestos, notes the government's silence since winning, and argues that with UNP cooperation the next parliamentary election could be held under a parliamentary system.

තමා මෙම ජනාධිපතිවරණයෙන් ලබන ජයග්‍රහණයෙන් පසු ජේආර්. ජයවර්ධනගේ බහුබූත ව්‍යවස්ථාව ඉරා දමා පොදු පෙරමුණ විසින් සකස් කරනු ලැබ ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත නීතිගත කරන බව ජනාධිපතිනිය වෙතින් මේ ජනාධිපතිවරණයේ හැම වේදිකාවකදිම ප්‍රකාශ කෙරිණි.

තමාගේ ජයග්‍රහණයෙන් පසුව පාර්ලිමේන්තුවේ සිටින එජාපයේ තවත් මන්ත්‍රීන් පිරිසක් පොදු පෙරමුණට එකතු වනු ඇති බව හා එවිට පාර්ලිමේන්තු මැතිවරණයකට යන්නට ප්‍රථම තුනෙන් දෙකේ ඡන්දයකින් නව ව්‍යවස්ථාව සම්මත කරගැනීමට තමන්ට හැකිවනු ඇති බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණිි.

ජේ.ආර්. ජයවර්ධන විසින් ඇති කරන ලද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට නැවත පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් ඇති කරගැනීමේ අවශ්‍යතාව ගැන සමාජ අවධානය යොමුවී තිබුණේ එක්දාස් නවසිය අනූගණන් මුල සිටය. එම කතිකාව බලවත් ලෙස සමාජය ඉදිරියට ආවේ ජනාධිපති ප්‍රේමදාස මහතාට එරෙහිව ඉදිරිපත්වූ දෝෂාභියෝගයේ ප්‍රතිඵලයක් වශයෙනි.

විධායක ජනාධිපති පාලන ක්‍රමය අහෝසි කොට යළි පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට යෑමේ අවශ්‍යතාවය 1988 ජනාධිපතිවරණයේදී ද ශ්‍රීලනිප සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් අවධාරණය කෙරිණි. ඉන්පසු 94 පොදු පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ද එය අවධානයට ලක් කරනු ලැබිණි. එහෙත් කවර හේතුවක් නිසා හෝ පොදු පෙරමුණ ඒ පොරොන්දුව ඉටු නොකළා පමණක් නොව එය ඉටු කිරීමට අවංක උත්සාහයක ද නොයෙදුණේ ය. ඉන්පසු පොදු පෙරමුණු ආණ්ඩුවක් යටතේ ද නැවත ජනාධිපතිවරණයක් පවත්වන්නට සිදුවූ අතර එහිදී පොදු පෙරමුණ කියා සිටියේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට අවශ්‍ය තුනෙන් දෙකේ බලයක් සඳහා එජාප සහාය නොදුන් නිසා ව්‍යවස්ථාව වෙනස් කිරීමට නොහැකි වූ බවකි. එහෙත් මේ ජනාධිපතිවරණයේදී පොදු පෙරමුණ ලබන ජයග්‍රහණයෙන් පසුව නොපමාව ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා ක්‍රියාකරන බව ද කීය.

එහෙත් දැන් පොදු පෙරමුණ ජයගෙන ඇතත්, ව්‍යවස්ථාව වෙනස් කරන්නේ ද නැද්ද යන ප්‍රශ්නය පිළිබඳව මුළුමණින් නිහඬය. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කොට යළි පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ඇති කිරිමේ අවංක වුවමනාවක් ඇත්නම් ඒ සඳහා දරන උත්සාහයකට මේ අවස්ථාවේ එජාපය පවා අවහිර කරනු ඇතැයි සිතිය නොහැකි ය. එම කාරණය හදිසි අවශ්‍යතාවක් ලෙස සළකා ක්‍රියාකළ හැකිනම් ඊළග පාර්ලිමේන්තු මැතිවරණය පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් සඳහා වන මැතිවරණයක් බවට හැරවිය හැකි ය. ආණ්ඩුවට අවශ්‍ය නම් අනුපාත ඡන්ද ක්‍රමයේ ද වෙනසක් ඇති කළ හැකි ය.

තනි පුද්ගලයෙකු අත අනවශ්‍ය තරමට බලතල ඒකරාශී වන්නට ඉඩ හරින ක්‍රමයක් ප්‍රජාතන්ත්‍රවාදී විය නොහැකි ය. රාජ්‍ය පාලකයා හා මහජනතාව අතර අතිවිශාල පරතරයක් ඇති කිරීමට ද එය හේතුවී තිබේ.

මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා ක්‍රියාකිරීම පොදු පෙරමුණු ආණ්ඩුවේ වගකීමක් වන අතර පෙර පරිදි නැවත වරක් එය බොරු පොරොන්දුවක් බවට පත්කළහොත් පොදු පෙරමුණු ආණ්ඩුවට කවදා හෝ ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නට සිදුවීමද නොවැළැක්විය හැකි ය.