සිව්වන වරටත් ජනාධිපතිවරණයක් පැවැත්විණ. එයින් පොදු පෙරමුණ ජය ලැබුවේ ය. එහෙත් එම ජයග්රහණයේ අව්යාජභාවය කොතරම් ද යන සැකයක් පොදුවේ සියලු විරුද්ධ පක්ෂ තුළ ඇතිවී තිබේ.
මැතිවරණය පැවැත්වුණේ හැගීම්බර ආවේගාත්මක පරිසරයක් රටේ ගොඩනැගී තිබෙන අවස්ථාවක ය. ජනාධිපතිනියගේ ජීවිතය බිලිගැනීමට දරන ලද වියරු ප්රයත්නයකින් ඇය තුවාල ලබා දිවි ගලවා ගැනීමේ අනුවේදනීය සිද්ධිය ඊට හේතුවී තිබුණ.
මෙම ජනාධිපතිවරණයේදිත් ඡන්ද පත්රිකා පැහැර ගැනීමේ සිද්ධීන් හැම දිස්ත්රික්කයකින්ම පාහේ වාර්තා වන බව පැෆරල් සංවිධානය ප්රකශ කරයි. විපක්ෂ ඡන්ද පොළ නියෝජිතයින්ට පහරදි එළවා දැමීමේ සිද්ධීන් ද විශාල ගණනාවක් වාර්තා වී තිබේ. විරුද්ධ පක්ෂ ඡන්ද පොළ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් තොරව ඡන්දය පැවති ඡන්ද මධ්යස්ථානවල සංඛ්යාව කොතරම් ද යන්න තවමත් වාර්තා වී නැත. එහෙත් එවැනි ඡන්ද මධ්යස්ථානවල පැවති ඡන්ද විමසීම් කවර මට්ටමකින්වත් සාධාරණව පැවැත්වී යයි සිතිය නොහැකි ය. ඡන්ද පත්රිකා පැහැර ගැනීමේ වැඩපිළිවෙලක් ක්රියාත්මක වී නම් එය වංචා කිරිමේ අරමුණෙන් මිස වෙනත් අරමුණක් ඇතිව කළා විය නොහැකි ය.
සමහර ඡන්ද මධ්යස්ථානවලට ආයුධ සන්නද්ධව කඩා පැන තොග වශයෙන් හොර ඡන්ද පාවිච්චි කිරිමේ සිද්ධීන් ඇතැම් ප්රදේශවලින් වාර්තා වන බව මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව ද පිළිගනී. එහෙත් එසේ තොග වශයෙන් හොර ඡන්ද පාවිච්චි කිරිම් සිදුවූ ඡන්ද මධ්යස්ථානවලදි පෙට්ටිවලට තොග වශයෙන් බහාලු හොර ඡන්ද හඳුනාගෙන ඒවා ඡන්ද පෙට්ටිවලින් ඉවත් කිරීමක් සිදුකර තිබේද යන්න ගැන තවමත් පැහැදිලි කිරීමක් කර නැත. වයඹ පළාත් සභා මැතිවණයේදි ඡන්ද කොමසාරිස්වරයා ඇතැම් ඡන්ද මධ්යස්ථානවල ඡන්ද පෙට්ටි මුළුමණන් අවලංගු කළා පමණක් නොව ආයුධ සන්නද්ධව ඡන්ද පොළවල්වලට කඩා වැදි තොග වශයෙන් හොර ඡන්ද පාවිච්චි කළ ඡන්ද පෙට්ටිවලින් හඳුනාගත් හොර ඡන්ද ඉවත් කිරීමක් ද සිදුවූයේ ය. එහෙත් මේ මැතිවරණයේදි ඒ හැමදෙයක් ගැනම වැඩ බලන මැතිවරණ කොමසාරිස්වරයා මුළුමණන් නිශ්ශබ්දය.
මහජනයා සිය පරමාධිපත්යය බලය අභ්යාස කරනුයේ ඡන්දය පාවිච්චි කිරිමෙන් නම් මහජන කැමැත්ත පිරිසිදු ලෙස ප්රකාශයට පත් කෙරෙන ඡන්ද ක්රමයක් තිබිය යුතු ය. ඡන්දය මෙහෙයවන යාන්ත්රණය ස්වාධීන හා මහජනයාගේ ගෞරවයට හේතුවන්නක් විය යුතුවා සේ ම මහජනයාට සිය හිතට එකගව ඡන්දය පාවිච්චි කළ හැකි පරිසරයක් ද තිබිය යුතු ය.
මේ රටේ ක්රියාත්මක වන ඡන්ද යාන්ත්රණය තුළ දේශපාලන පක්ෂවලට අයත් ඡන්ද පොළ නියෝජිතයන් ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කළේ ය. ඡන්දය දිම පිණස එන ඡන්දදායකයන් සැබෑ ඡන්දදායකයින් ද යන්න හඳුනාගැනීමේ වගකීම මුළුමණන් පැවරි ඇත්තේ ඔවුන්ටය. නිදර්ශනයක් වශයෙන් සිරිපාලගේ ඡන්දය ඒ නමින් වෙනත් කෙනෙකු පාවිච්චි කරන්නේ දෑයි හඳුනාගනු ලබන්නේ ඔවුන් විසිනි. එහෙත් මීට පෙර පළාත් පාලන හා පළාත් සභා මැතිවරණවලදි මෙන්ම මේ ජනාධිපතිවරණයේදි ද සමහර මැතිවරණ කොට්ඨාශවලදි විරුද්ධ පක්ෂවලට අයත් ඡන්ද පොළ නියෝජිතයින් මුළුමණන් එම ඡන්ද මධ්යස්ථානවලින් පිටමං කොට තිබුණ. එහි තේරුම එවැනි මධ්යස්ථානවලදි ඡන්දය පාවිච්චි කරන්නන්ගේ අනන්යතාව හඳුනාගැනීමට විරුද්ධ පක්ෂවලට අවස්ථාවක් ලබා නොදුන් බවය. එසේම නිල මැතිවරණ යාන්ත්රණයේදි වෙනස්කම් ඇති කොට තිබුණ. වැඩ බලන මැතිවරණ කොමසාරිස් ධුරයට පත්කර තිබුණේ මැතිවරණ කටයුතු ගැන මනා පළපුරුද්දක් නැති මුළුමණන් පිටස්තර පුද්ගලයෙකි. එය බැලු බැල්මට මහජනයා තුළ සැකයක් ඇති කිරීමට හේතුවේ. පුරප්පාඩුව පිරවීමේ බලයක් ජනාධිපතිනියට තිබුණත්, එය පිරවිය යුතුව තිබුණේ පිටස්තරින් නොව අභ්යන්තරයෙනි. පිළිගත් මැතිවරණ නීති නොසලකා නව පත්වීම් ලබාදිමේ මැතිවරණ ක්රියාවලියට සම්බන්ධ නිලධාරින් මාරු කිරිම් වැනි සිද්ධීන් ද සිදුවිය. ආණ්ඩුවේ මාධ්ය ආයතන මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදාගත් ආකාරය ද මුළුමණන් නීතියට පටහැනිය.
පවතින ක්රමය තුළ මහජන නියෝජිතයන් තෝරාපත් කරගැනීම සිදුවන්නේ මහජන ඡන්දයෙන් නම් ඒ ක්රියාවලියට අවශ්ය යාන්ත්රණය ස්වාධීන විය යුතුවා සේ ම සිතට එකගව නිදහසේ ඡන්දය පාවිච්චි කළහැකි පරිසරයක් ද සහතික කළ යුතු ය.
දෑන් දෙවැනි වරටත් පොදු පෙරමුණ ජනවරමක් ලබා ඇති බැවින් අඩුම වශයෙන් පාර්ලිමේන්තු මැතිවරණයකට යන්නට පෙරාතුව තමන්ට හෝ පිටස්තර පක්ෂයකට ඡන්ද දූෂණවලට නිරතවීමට අවස්ථාවක් නොලැබෙන පරිදි මැතිවරණ යාන්ත්රණය ප්රතිසංස්කරණයකට ලක්කිරීම ආණ්ඩුවේ වගකීමකි.