නැවත ජයග්‍රහණය අනාගතය

December 26, 1999
Publication:
Ivan analyses Chandrika Kumaratunga's re-election, which he judges not entirely clean but not overturned by the malpractice in seats such as Hanguranketa and Dambulla. The LTTE bomb at her final rally swung sympathy her way and the anger at Prabhakaran fell on Ranil Wickremesinghe, yet her share of the vote fell sharply from 1994. He foresees clashes between pro- and anti-package forces in the People's Alliance, doubts she will give up the executive presidency as promised, and notes costly election pledges.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපතිවරණයේදී ලබාගත් ජයග්‍රහණය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිරිසිදු ජයග්‍රහණයක් නොවෙතත්, සිදුවූ දූෂණයන්ගේ පරීමාව ඇය ලැබු ජයග්‍රහණය මුළුමණින් නිශේධ කිරීමට හේතුවන තරම් විශාල වී යැයි ද කිවනොහැකිය. රට පුරාම එකම ආකාරයකින් නොවූවත්, හගුරන්කෙත, වත්තේගම, වාරියපොළ, දඹුල්ල වැනි සමහර මැතිවරණ කොට්ඨාශවල විශාල ප්‍රමාණයකින් දූෂණ සිදුවූයේය. එහෙත් කිසිවක් නැතිව වුවත්, ජයගත හැකි මහජන පෙළගැස්මක් අවසාන මොහොතේ ඇය වෙත හිමිවී තිබුණි.

මැතිවරණ ප්‍රචාරක කටයුතු පැවැත්වීම අවසන් කළ යුතුව තිබුණු දිනය වන විටත්, ජනාධිපතිනිය සිටියේ වාසිසහගත තැනක නොව අවාසිදායක තැනකය. එහෙත් අවසාන ප්‍රචාරක රැළියේදි ඇගේ ජීවිතය බිලිගැනීමට ක්‍රියාත්මක වූ උත්සාහය මහජනතාව අතර ඇය කෙරෙහි බලවත් අනුකම්පාවක් ඇතිකරමින් සමස්ත චිත්‍රයම නැවත ඇගේ වාසියට හේතුවන ලෙස ආපසු කරකැවීමට හේතුවිය.

කවර තරම් මතභේද තිබුණත් ඒ අවස්ථාව වන විට ඇය රටේ ජනතාවගේ නිල රාජ්‍ය නායිකාව වූවාය. අනෙක් අතට ඇයගේ ජීවිතය බිලිගැනීමට ක්‍රියාත්මක වූ ප්‍රභාකරන් හා ඔහුගේ කොටි සංවිධානය සිංහල ජනතාව තුළ වඩාත්ම වෛරයට හේතුවී සිටි පුද්ගලයා හා ආයතනය වූවේය. මේ ඝාතන ප්‍රයත්නය හා රනිල් වික්‍රමසිංහ අතර සෘජු සම්බන්ධයක් නොතිබුණත්, ප්‍රභාකරන්ට අවුරුදු දෙකක කාලයක් සඳහා උතුරේ පාලනය ලබා දිය යුතු බවට ඔහු විසින් කර තිබුණු ප්‍රකාශයත්, නැවත තමා රට ප්‍රභාකරන්ට දෙන්නට සූදානම් නැතත්, අවශ්‍ය නම් චන්ද්‍රිකා ප්‍රභාකරන්ට බාර දෙන්නට සූදානම් බවට කරන ලද ප්‍රකාශයත් නිසා එම විශේෂ අවස්ථාවේදි මහජනයා ප්‍රභාකරන් වෙත තිබූ කෝපය මුදාහරින ලද්දේ රනිල් හරහාය. එජාප පාලන යුගය තුළ සිදුවූ සාහසිකකම් මුළුමණින් අමතක කිරීමට තවමත් මහජනතාව සූදානම් නැති බවද මේ මැතිවරණ ප්‍රතිඵල පෙන්නුම් කරයි. ඒ නිසාම රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව ආරම්භයේ සිටම මහජනතාව අතර ව්‍යාකූලතාවක් තිබුණි. රනිල් ද, චන්ද්‍රිකා ද යන තෝරාගැනීමේදි කොතරම් අඩුපාඩුකම් තිබුණත්, චන්ද්‍රිකා වඩා හොඳ යැයි සිතන තත්ත්වයත් බෝම්බ සිද්ධිය ඇතිවන්නට පෙර සිටම මහජනතාව තුළ පැවති බවක් තැපැල් ඡන්ද ප්‍රතිඵල ආශ්‍රයෙන් පෙනී යයි.

එහෙත් මේ සියලු වාසිදායක සාධක තිබියදිත් චන්ද්‍රිකා 50%ට එකක් හෝ වැඩි සීමාව පසුකරන ලද්දේ ආන්තික වශයෙනි. 94 ජනාධිපතිවරණයේදී ඇය ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 43.05%ක් ද, ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 62.28%ක්ද ලබාගැනීමට සමත් වුවත් මේ ජනාධිපතිවරණයේදී ඇයට ලබාගත හැකිවුයේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 38.60%ක්ද ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 51.12%ක් ද පමණය. ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව අනුව ඇය ලබාගත් ඡන්ද සංඛ්‍යාවේ අඩුවීම 6.45%කි. ලබාගත් වලංගු ඡන්ද සංඛ්‍යාවේ ප්‍රතිශතයක් වශයෙන් ඇය ලබාගත් ඡන්ද අනුපාතයේ අඩුවීම 11.16%කි. ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 109ක් ව තිබූ අවස්ථාවකත් ඇය 94දි ඡන්ද ලක්ෂ 47ක් ලබාගැනීමට සමත් වුවත්, ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 117ක් දක්වා වර්ධනය වී තිබුණත්, මේ අවස්ථාවේ ඇය ලබාගෙන ඇත්තේ ඡන්ද ලක්ෂ 43ක් පමණය. අනුකම්පාවේ සාධකය සමග ගත්තත්, ඇයගේ මහජන බලපදනමේ ශක්තිය 94 තිබුණු තත්ත්වයට වඩා දුර්වල වී තිබෙන බව ඉන් පෙනී යයි.

තුන්වැනි විකල්පය ලෙස පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණ ලබාගන්නා ඡන්ද සංඛ්‍යාවේ පිරිහීමක් ඇතිවීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ද පොදු පෙරමුණ ශ්‍රේණියට ඇතුළත් කලකිරීමට පත්ව සිටි සමහර ජනයා ආණ්ඩුවට විරෝධය පළකිරිමේ මාර්ගයක් වශයෙන් ජනතා විමුක්ති පෙරමුණට පෙර ඡන්දය දි ඇතත්, මේ විශේෂ අවස්ථාවේදි ඒ සියලුදෙනා ජනතා විමුක්ති පෙරමුණට දෙන සහයෝගය අතහැර නැවත තමන් දන්නා හඳුනන, පොදු පෙරමුණු ආණ්ඩුව රැකගන්නා පිළිවෙතක් අනුගමනය කර ඇති බවය. වාසුදේව නානායක්කාර මහතාට ලැබෙන ඡන්ද සංඛ්‍යාවේ සේ ම, කටුගාන ඡන්ද අනුපාතිකයේ ශීඝ්‍ර පිරිහීමක් ඇති කිරීමට හේතුවී ඇත්තේ ද එම තත්ත්වයමය.

ඉතාමත් අමාරු අවස්ථාවක නැවත දෙවන වරටත් ජනාධිපති ධුරය හිමිකර ගැනීමට ජනාධිපතිනිය සමත් වී ඇතත්, ඇය විසින් සිය ජයග්‍රහණය සඳහා එකතු කරගන්නා ලද පරස්පර විරෝධී බලවේගයන් තවදුරටත් එකට තබා ගැනීම, ඉතා පහසුවනු ඇතැයි සිතිය නොහැකිය.

අවසාන ප්‍රචාරක රැළියේදි ඇතිවූ බෝම්බ සිද්ධිය ජනාධිපතිනිය තුළ ප්‍රභාකරන් කෙරෙහි බලවත් වෛරයක් ඇති කිරීමට හේතුවී තිබෙනු නොඅනුමානය. එහෙත් ප්‍රභාකරන් යුදමය වශයෙන් මෙල්ල කිරීමට දරන අලුත් උත්සාහයක් වෙතොත්, එය තව තවත්, අලුත් ප්‍රශ්න ඇතිකරමින් සමස්ත අර්බුදය තවදුරටත් තීව්‍ර කිරීමට හේතුවනු නොඅනුමානයි. ප්‍රභාකරන්ට එරෙහිව බලවත් යුද්ධයක් ඉදිරියට ගෙනයාමේ නව අභිලාෂයක් ඇය තුළ ඇතිවීම ස්වභාවිකය. පොදු පෙරමුණ තුළ සිටින ප්‍රභාකරන් විරෝධී බලවේගයන්ද ඇය තව තවත් එවැනි උත්සාහයක් වෙත තල්ලුකිරීමට යොමුවීමද නොවැළැක්විය හැකිය. එහෙත් යුද්ධ පෙරමුණේ අලුතෙන් ඇතිවී තිබෙන පසුබෑම ඒ සඳහා දරන ප්‍රයත්නයකට බලවත් අභියෝගයක් වනු නොවැළැක්විය හැකිය.

මෙම ජනාධිපතිවරණයෙන් පසු තමන් පැකේජය ක්‍රියාවට නගන බව ජනාධිපතිනිය පුන පුනා කීවාය. එහෙත් පොදු පෙරමුණට අලුතෙන් එක්වී ඇති පිරිස අතර, පැකේජයට පක්ෂ නොවන බලවත් පිරිසක් ද සිටී. සුසිල් මුණසිංහ, දිනේෂ් ගුණවර්ධන වැනි පිරිස් එවැනි උත්සාහයකට කවර මට්ටමකින්වත් සහයෝගය නොදෙනු ඇති අතර, එවැනි අය පොදු පෙරමුණට එකතු වී සිටින තත්ත්වයක් තුළ, පොදු පෙරමුණු ආණ්ඩුව තුළ මුහුණු සගවාගෙන සිටි පැකේජ විරෝධී ඇමතිවරුන් ද ඔවුන් සමග පැකේජ විරෝධී කල්ලියක් ලෙසට සංවිධානය වන තත්ත්වයකට තල්ලු වීමද නොවැළැක්විය හැකිය. එයින් මතුවිය හැකි නොවැළැක්විය හැකි ප්‍රතිඵලයක් වනු ඇත්තේ පැකේජ විරෝධී පිරිස් හා පැකේජයට පක්ෂ පිරිස් අතර, ගැටුමක් නිර්මාණය වීමය. පැකේජවාදි පිරිස් තවදුරටත් සුළු ජාතීන් කෙරෙහි සහනදායී ආකල්පයකින් ක්‍රියා කරන තැනක පොදු පෙරමුණු ආණ්ඩුව තබාගැනීමට උත්සාහ කරනවිට පැකේජ විරෝධී පිරිස් පොදු පෙරමුණු ආණ්ඩුව ඊට ප්‍රතිවිරුද්ධ මගක තබාගැනීමට උත්සාහ කරන තත්ත්වයකට යොමුවීම නොවැළැක්විය හැකිය.

තමන් බලයට පැමිණ වහාම මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කොට දැනටමත් පිළියෙල කොට ඇති ව්‍යවස්ථා කෙටුම්පත ක්‍රියාවට නගන බවට දෙන ලද පොරොන්දුවක් ද පවතී. එය අවංක අභිලාෂයකින් කරන ලද්දක් නම්, ජනාධිපතිකම අතහැර අගමැති පුටුවට ඒමට ඇය හිත හදාගත යුතුය. එහෙත් අවුරුදු පහක විධායක ජනාධිපති ක්‍රමයක රස බැලු ඊට හුරුපුරුදු වී සිටින නායිකාවක් ජනාධිපති පුටුව අතහැර අගමැති පුටුවට මාරුවනු ඇතැයි සිතිය නොහැකිය. එවැනි මාරුවක් සිදුවුවත්, විධායක ජනාධිපතිකම තරම් බලවත් නොවන එවැනි තනතුරක් මගින් සාර්ථක දේශපාලන පැවැත්මක් හිමිකර ගත හැකිද යන්න සැකසහිතය.

ඇය විසින් බලය ලබාගැනීම සඳහා ජනතාව සතුටු කිරීම පිණිස පොරොන්දු සමුදායක් ද දුන්නේය. ගොවි නියාමකයින් සියලුදෙනා ජනවාරි වල සිට ස්ථිර කරන බවට පොරොන්දු වූවාය. පොලිස් සේවයේ වැටුප් ද ජනවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දෑමීය. විශාල පිරිසකට ජනවාරි වල සිට ක්‍රියාත්මක වන පරිදි රැකියාවල් ද ලබා දුන්නාය. මේ සියල්ල ඒ විශේෂ අවස්ථාවේදි ඡන්ද ලබාගැනීමේ අරමුණින් කරන ලද පොරොන්දු වෙතත්, දැන් ජයග්‍රහණය ලැබී තිබෙන තත්ත්වයක් තුළ ඒ පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු නොකළහොත්, එම පොරොන්දු කෙරෙහි බලාපොරොත්තු ඇතිව සිටින ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකදි ඇයට එරෙහිව ක්‍රියාකරන තත්ත්වයකට තල්ලුවීම නොවැළැක්විය හැකිය. අනෙක් අතට එසේ දෙන ලද සියලු පොරොන්දු ඉටු කරන්නට යන ක්‍රියාමාර්ගයක් ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විරෝධයට හේතුවීමද නොවැළැක්විය හැකිය.

මේ ජයග්‍රහණයත් සමග ඉක්මණින් හෝ ප්‍රමාද වී ඇය පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතුය. ජනාධිපති ධුරය අහෝසි කොට පාර්ලිමේන්තුවේ අගමැති පුටුවේ අසුන් ගැනීමේ අදහසක් ඇය තුළ ඇත්නම්, තමන්ට පහසුවෙන් පාලනය කළහැකි, තමන්ට පක්ෂපාත දේශපාලන කණ්ඩායමක් ද ඇය නිර්මාණය කොට ගත යුතුය. ජනාධිපතිකමේ සිටින කෙනෙක්, පෙරළා දෑමීමේ හැකියාවක් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට නැතත්, අගමැතිකමේ සිටින පුද්ගලයෙක් අවශ්‍ය නම් වහා වෙනස් කිරිමේ හැකියාවක් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමට ඇත්තේය. එයින් අනතුරක් ඇතිවීම වළකා ගත හැකිවනු ඇත්තේ තමන්ට අවනත, තමන්ගේම කණ්ඩායමක් සිටින්නේ නම් පමණය. ඇය පොරොන්දු වූ පරිදි ජනාධිපති ධුරය අතහැර පාර්ලිමේන්තුවේ අගමැති පුටුවේ අසුන් ගැනීමේ අදහසක් ඇය තුළ ඇත්නම්, ආරක්ෂක පියවරක් වශයෙන් මේ පාර්ලිමේන්තු මැතිවරණයේදි තමන්ට මනාප කණ්ඩායමක් තෝරාපත් කරගැනීම පිණිස ඇය ක්‍රියාකරනු ද නොවැළැක්විය හැකිය. ඒ සඳහා තමන් අකමැති තමන්ට පහසුවෙන් පාලනය කළ නොහැකි පිරිස් කපා හැරිමේ ක්‍රියාමාර්යකට යොමුවීමට ඇයට සිදුවනු ඇති අතර, ඒ සඳහා දරන කවර මට්ටමේ උත්සාහයක් වුවත්, නව අභ්‍යන්තර භේද ඇති කිරීමට හේතුවනු ද නොවැළැක්විය හැකිය.