ඉන්දියාවේ හසාරේගේ දූෂණ විරෝධී විප්ලවය හා ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අවුල

August 28, 2011
Publication:
People:
Discussing the non-violent struggle Anna Hazare is carrying on in India to win a new anti-corruption bill matters to us here too: through it we can understand not only India's future but the real nature of the tangle Sri Lanka faces in the same field.

අන්නා හසාරේ, දූෂණ විරෝධී නව නීති කෙටුම්පතක් දිනාගැනීම සඳහා ඉන්දියාවේ කරමින් සිටින අහිංසාවාදී අරගලය සාකච්ඡාවට ලක්කිරීම ශ්‍රී ලංකාවේ අපටද ඉතා වැදගත්ය. ඒ ආශ්‍රයෙන් ඉන්දියාවේ අනාගතය ගැන පමණක් නොව, ශ්‍රී ලංකාව මෙම විෂයයේදී මුහුණදී තිබෙන අවුලේ නියම ස්වභාවය අපට තේරුම් ගත හැකිය.

ඉන්දියාව ලෝකයේ තිබෙන විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රට වන අතර ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය ලෙස සැලකුණු මුළු බටහිර ලෝකයම (ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපීය රටවල්, ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය) එකට ගෙන ඒ ලෝකයේ පැවැත්වෙන මැතිවරණයක් හා ඉන්දියාවේ පැවැත්වෙන මහ මැතිවරණයක් විශාලත්වයෙන් එක සමානය. ඉන්දියාව බටහිර ලෝකයට වඩා වෙනස් ආකාරයකින් ප්‍රජාතන්ත්‍රවාදයට පිවිස, නිදහස දිනාගැනීම, ඉන්දියානු ජාතියක් ඇතිකර ගැනීම හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කරගැනීම දිග්ගැස්සුණු අහිංසාවාදී අරගලයක් තුළින් ඇතිකර ගන්නා ලද දේවල් ලෙස සැලකිය හැකිය.

ලංකාව ද ඉන්දියාව මෙන්ම බ්‍රිතාන්‍ය යටත්විජිතයක තත්ත්වයක සිටි රටක් වුවද අප නිදහස දිනාගත් ආකාරය මුළුමනින් ඉන්දියාව නිදහස දිනාගත් ආකාරයට වඩා වෙනස්ය. නිදහස දිනාගැනීම සඳහා කැරෙන අහිංසාවාදී මහජන අරගල ක්‍රියාවලිය තුළ, ඉන්දියානු ජාතියක් ද ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ද ඇතිකර ගත්තේය. අප නිදහස හිමිකර ගැනීමට සමත් වුවද ලාංකික ජාතියක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කරගැනීමට අසමත් විය. බ්‍රිතාන්‍යයන් ඉන්දියාවට තෑගි වශයෙන් දෙන්නට ගිය ආණ්ඩු ක්‍රමය ඉන්දියාව පිළිගත්තේ නැත. ඒ වෙනුවට ඉන්දියාව තමන්ට සුදුසු ආණ්ඩු ක්‍රමයක් ඇති කරගත්තේය. එය සිදුකැරුණේද හිතුවක්කාරී ලෙස නොව මහජනයාද සම්බන්ධ කරගන්නා දිග්ගැස්සුණු මහා සමාජ දේශපාලන සංවාද ක්‍රියාවලියක් ඔස්සේය.

එහෙත් ඊට වෙනස්ව අපි බ්‍රිතාන්‍යයන් අපට තෑගි වශයෙන් දුන් ආණ්ඩු ක්‍රමය ඒ ආකාරයෙන්ම මහත් සතුටු සිතින් යුතුව භාරගත්තෙමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා අපට ලියා දුන්නේ අයිවර් ජෙනින්ස්ය. එය ද මහජනයාද සම්බන්ධ කරගන්නා මහා සංවාද ක්‍රියාවලියක් ඔස්සේ තනාගන්නා ලද දෙයක් නොවීය.

අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇති කරගත් ක්‍රමය ඉතා සරලය. ඉන්දියාව ඔවුන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇති කරගත් ක්‍රමය ඉතාමත් සංකීර්ණය. ඉන්දියාව සිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තනන ව්‍යාපාරය හඳුනාගෙන තිබුණේ දේශපාලන විප්ලවය අවසන් කොට ඊළඟට සිදුවිය යුතුව තිබෙන සමාජ විප්ලවයේ ආරම්භය ලෙසය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කැරෙන ක්‍රියාවලිය ඔවුන් දැක්කේ ඊළඟට සිදුවිය යුතු සමාජ විප්ලවය සඳහා ඇතිකර ගන්නා සමාජ සම්මුතියක් ලෙසය. ඇමරිකන් ඉතිහාසඥයකු වන ග්‍රුන්විල් ඔස්ටින් විසින් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තුළ සිදුවූ වාද විවාද ඇතුළත් ඉන්දියාවේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය අළලා ඔයැ ෂබාස්බ ජදබිඑසඑමඑසදබ-ජදරබැරිඑදබැ දෙ ් භ්එසදබ නමින් පොතක් ලියා පළකර තිබේ. එම පොතට ඇතුළත් තොරතුරු අනුව ඉන්දියානු ව්‍යවස්ථාවේ නිර්මාතෘවරුන් අභිනවයෙන් ඇති කරන ශ්‍රේෂ්ඨාධිකරණය සලකා ඇත්තේ ඉන්දියානු සමාජ විප්ලවයේ භාරකාරයා ලෙසය. ඒ වගකීම හරියාකාරව ඉදිරියට ගෙනයෑමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකිවනු ඇත්තේ දේශපාලන ඇඟිලි ගැසීම්වලට ඉඩක් නැති ශ්‍රේෂ්ඨාධිකරණයක් ඇති කරගැනීමෙන් පමණක් බව අධිකරණ ක්‍රමය සඳහා ව්‍යවස්ථා සභාවේ අතුරු කමිටුවේ පිළිගත් පොදු මතය වී තිබේ. ඒ නිසා අතුරු කමිටුව සාකච්ඡාවට ලක් කර තිබෙන වැදගත්ම කාරණයක් වී ඇත්තේ දේශපාලන ඇඟිලි ගැසීම්වලට ඉඩක් නැති ශ්‍රේෂ්ඨාධිකරණයක් ඇති කරගන්නේ කෙසේද යන ප්‍රශ්නයයි. ඉන්දියාවේ දේශපාලන නායකයන් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේදී කොතරම් දුර දක්නට උත්සාහ කර තිබේද යන්න ඉන් පෙන්නුම් කරයි.

ඉන්දියානු ආණ්ඩු ක්‍රමය බලවත් අහිංසාවාදී මහජන අරගලයක ඵලයක් වීම හේතු කොටගෙන ආණ්ඩු ක්‍රමයේ සංවර්ධනය හා පෝෂණය කෙරෙහි ඉන්දියානු මහජනයාට බලපෑමට තිබෙන හැකියාව ඉන්දියානු ආණ්ඩු ක්‍රමයට ආවේණික වැදගත්ම ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. එහිලා ඉන්දියානු ජනමාධ්‍ය රඟපාන භූමිකාවද සැලකිල්ලට ගත යුතුව තිබෙන වැදගත්ම ලක්ෂණයකි. ඉන්දියාවේ පුරෝගාමී හා කීර්තිමත් පුවත්පත් කතුවරුන් ඇතුළු ජනමාධ්‍යවේදීන්ගෙන් වැඩි පිරිසක් ඉන්දියානු නිදහස් අරගලයට බලවත් ලෙස දායක වූ ඒ අරගලයේම අතුරු ඵලයක් ලෙස බිහිවුණු අය ලෙස සැලකිය හැකිය. ඔවුන් අපේ රටේ ජනමාධ්‍යවලට වඩා වෙනස්ව පැහැදිලි ජාතික දෘෂ්ටියකින් යුතුව හා සමාජ වගකීමකින් යුතුව ඉන්දියාවේ සමාජ විප්ලවය ඉදිරියට ගෙනයමින් සිටින පුරෝගාමී පිරිසක් ලෙස සැලකිය හැකිය. දැන් අපට මෙම කරුණුද හිතේ ඇතිව දූෂණ විරෝධී ශක්තිමත් නීති සම්පාදනයක් දිනාගැනීම සඳහා 74 හැවිරිදි අන්නා හසාරේ කරමින් තිබෙන අවිහිංසාවාදී අරගලය සාකච්ඡාවට ලක්කළ හැකිය.

හසාරේ මෙම අරගලයට අහසින් කඩා වැටුණු වීරයෙක් නොවීය. ඔහු යුක්තිය හා සමාජ සාධාරණත්වය පිණිස කැරෙන සටන් ඉතිහාසයට උරුමකම් කී ගාන්ධිවාදී ක්‍රියාධරයෙකි. ඔහු මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අහමද්නගර් දිස්ත්‍රික්කයේ දුප්පත් පවුලකින් පැවත එන හයවැනි පන්තියට පමණක් අධ්‍යාපනය ලබා තිබූ පුද්ගලයෙකි. 1937 වසරේ උපන් ඔහු වසර 15ක් ලොරි රියදුරකු ලෙස හමුදාවේ සේවය කොට සිය කැමැත්තෙන් විශ්‍රාම ගොස් එතැන් පටන් යුක්තිය සඳහා කැරෙන සමාජ අරගල වෙනුවෙන් තමන්ගේ මුළු කාලය ගතකළ එම සේවාව වෙනුවෙන් ගෞරවයට හේතුවන ජාතික සම්මාන ගණනාවක්ම හිමි කරගත් පුද්ගලයෙකි. මෙම අරගලය මහජන වැදගත්කමක් ඇති නීති සම්පාදනයක් දිනා ගැනීම සඳහා ඔහු කරන ලද දෙවැනි මැදිහත්වීම ලෙස සැලකිය හැකිය.

නීති සම්පාදන ක්‍රියාවලියකට ඔහුගේ පළමු මැදිහත්වීම සිදුවූයේ තොරතුරු ලබාගැනීමේ අයිතිය සහතික කැරෙන තොරතුරු පනතක් නීතිගත කරවා ගැනීම සඳහා කැරුණු මහජන අරගලයේදීය. තොරතුරු ලබාගැනීමේ අයිතිය වෙනුවෙන් ඉඳහිට හඬනගන සුළු පිරිසක් ශ්‍රී ලංකාවේද සිටින්නෝය. ඔවුහු එම අයිතිය දිනාගැනීමට සිහින දකින්නෝ ඉතා සරල හා පහසු ආකාරයකටය. එහෙත් ඉන්දියාව ඒ අයිතිය දිනාගත්තේ දශකයක් තරම් දීර්ඝ කාලයක් ඒ අයිතිය දිනාගැනීම සඳහා ක්‍රියාත්මක වූ බලවත් මහජන ව්‍යාපාරයක් ඔස්සේය.

තොරතුරු අයිතිය

ඉන්දියානු ආණ්ඩුව ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සඳහා වෙනම පරිච්ඡේදයක් වෙන් කොට ඇතත්, තොරතුරු ලබාගැනීමේ අයිතිය මූලික අයිතියක් ලෙස ඊට ඇතුළත් කොට නැත. ඒ නිසා එම අඩුව එක්තරා විශාල ප්‍රමාණයකට සම්පූර්ණ කළ යුතුව තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ පිළිබඳව කරන අර්ථනිරූපණයන් ඔස්සේය. ශ්‍රේෂ්ඨාධිකරණය තමන් වෙත පැවරුණු වගකීම හොඳින් ඉටු කළේය. ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවල සිදුවන කටයුතු පිළිබඳව තොරතුරු ලබාගැනීමට මහජනයාට තිබෙන අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ තිබිය යුතු මූලික අයිතියක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පළමුවරට අර්ථ නිරූපණයක් ඉදිරිපත් කරන ලද්දේ 1975 වසරේය. ඉන්පසු තවත් අවස්ථා ගණනාවකදීම ශ්‍රේෂ්ඨාධිකරණය ඒ ගැන වඩා විස්තීර්ණ අර්ථ නිරූපණ ගණනාවක් ප්‍රකාශයට පත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණ තුළ පමණක් අයිතියක් නීතියක් බවට පත්වන්නේ නැත. එය ව්‍යවස්ථාදායකය විසින් කළයුතු කාරියකි. ව්‍යවස්ථාදායකය එය සිය කැමැත්තෙන් නොකරන්නේ නම් ඒ අරමුණ දිනාගැනීම සඳහා ව්‍යවස්ථාදායකය කෙරෙහි බලපෑ යුත්තේ මහජනයාය.

1990 දශකය ආරම්භ වන විට තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටින බිම් මට්ටමේ සංවිිධාන රාශියක් ඉන්දියාවේ ගොඩනැගී තිබුණු අතර රාජස්ථානයේ ක්‍රියාත්මක වූ ගොවීන්ගේ හා ගොවි කුලීකරුවන්ගේ සංවිධානයක් (ඵණීී) ඒ අරමුණ වෙනුවෙන් පුරෝගාමී හා කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකරමින් තිබුණේය. එම සංවිධානය රාජස්ථානයේ පංචායත් බලප්‍රදේශවල ප්‍රසිද්ධ සාකච්ඡා සභා ක්‍රමයක් පවත්වාගෙනයමින් සිටියේය. මෙම සාකච්ඡා සභාවලට ප්‍රදේශයේ මහජන නියෝජිතයෝ ද, රාජ්‍ය නිලධාරීහු ද මහජනයා ද සහභාගි වූහ. එම සභාවල සාකච්ඡාවලට ලක් කැරුණු වැදගත් මාතෘකාවක් වූයේ ගම් මට්ටමේ සංවර්ධන කටයුතු සඳහා වෙන් කැරෙන මුදල් හා ඒවා වියදම් කැරෙන ආකාරයයි. මෙම සාකච්ඡා මණ්ඩප ක්‍රමය නිසා ග්‍රාමීය සංවර්ධන කටයුතු සඳහා වෙන් කැරෙන මුදල්වලින් සැලකිය යුතු පංගුවක් දූෂිත ලෙස ගසාකෑම්වලට ලක්වන බව ග්‍රාමීය ජනතාව තේරුම් ගත්තේය. ඒ තත්ත්වය පාලනය කිරීම සඳහා තිබෙන හොඳම ක්‍රමය තොරතුරු ලබාගැනීමේ අයිතිය දිනාගැනීම බව මහජනයාට ඒත්තු ගැන්වූ විට ඔවුහු තොරතුරු ලබාගැනීමේ අයිතිය වෙනුවෙන් සටන් කරන ක්‍රියාකාරී සමාජ බලවේගයක් බවට පත්වූහ.

ඒ සමග ඵණීී ව්‍යාපාරය රාජස්ථානයේදී තොරතුරු ලබාගැනීමේ අයිතිය වෙනුවෙන් මහජනයාද සම්බන්ධ කරගනිමින් අහිංසාවාදී ඍජු සටන් ක්‍රියාමාර්ග මෙහෙයවන සංවිධානයක් ලෙස ක්‍රියාකරන්නට විය. ඒ නිසා ඇතිවූ මහජන බලපෑමේ ප්‍රතිඵලයක් වශයෙන් රාජස්ථානයේ මහ ඇමතිවරයා 1995 අප්‍රේල් 5 වැනිදා ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරමින් ග්‍රාම සංවර්ධනයට අදාළ වාර්තාවල ඡායා පිටපත් නොමිලේ ලබාදෙන ක්‍රමයක් ඇති කිරීමට සහතික වුවත් එම ප්‍රතිපත්තිය ප්‍රායෝගික කිරීම සඳහා නීති පැනවීමක් හා නියෝග කිරීමක් සිදු නොවීය. ඉන්පසුද ආණ්ඩුවේ විවිධ ප්‍රකාශකයන් ඒ ගැන විවිධ දේ කීවද ඵලදායී කිසිවක් සිදුනොවීය. අවසානයේ තොරතුරු දිනාගැනීමේ අයිතිය ගැන උනන්දුවක් දක්වන සියලු සංවිධාන එකතු වී 1997 මැයිවලදී ජායිපූර්හි ආණ්ඩුවේ ලේකම් කාර්යාලය ඉදිරියේ එම අයිතිය ලබාදෙන තෙක් අඛණ්ඩව පවත්වාගෙන යන විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළේය. එම විරෝධතා ව්‍යාපාරයට ලැබුණු අතිවිශාල මහජන සහාය තොරතුරු දැනගැනීමේ අයිතිය දිනාගැනීමට ජනතාව දක්වන උනන්දුවේ ප්‍රමාණය පෙන්නුම් කළේය. එම විරෝධතා ව්‍යාපාරය 52 වැනි දිනයේදී අවසන් කරන ලද්දේ රාජස්ථාන් ආණ්ඩුව නීතිගත කිරීම සඳහා සකස් කරන ලද තොරතුරු පනතේ කෙටුම්පත ප්‍රකාශ කිරීමත් සමගය.

තොරතුරු අයිතිය දිනාගැනීමේ රැල්ල ඉන්පසු අනෙක් ප්‍රාන්තවලටද පැතිරුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් පිළිවෙළින් තමිල්නාඩුවටද, කර්ණාටකයටද, දිල්ලියට හා ඇසෑමයටද ඒ අයිතිය ලබාදෙන්නට සිදුවිය.

එහිදී අන්නා හසාරේට සටන් කරන්නට සිදුවූයේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ආණ්ඩුව සමගය. එහි මහ ඇමතිවරයා මෙම විෂයේදී දිගින් දිගට ඒ අයිතිය ඉල්ලා සටන් කරන මිනිසුන්ට බොරු කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටියේය. එහිදී ඇතිව තිබූ හිරවීම නැති කළ පුද්ගලයා වූයේ අන්නා හසාරේය. ඔහු කෙටුම්පත් කළ තොරතුරු පනතක පිටපත් අත ඇතිව එය නීතිගත කරවා ගැනීම සඳහා 2003 ජූලිවලදී මුම්බායිවලදී මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය. ඔහුගේ එම මාරාන්තික උපවාසයට මහජනයාගේ අතිවිශාල සහායක් හිමිවිය. මාරාන්තික උපවාසයේ 12 වැනි දිනයේදී ඉන්දියානු ජනාධිපතිවරයා මැදිහත් වී කෙටුම්පතට අනුමැතිය දී එය නීිතිගත කිරීමට නියෝග කිරීම නිසා හසාරේ සිය අරගලය ජයග්‍රාහී ලෙස අවසන් කළේය. පසුව 2005 වසරේදී මධ්‍යම ආණ්ඩුව සම්මත කරගන්නා ලද තොරතුරු පනත සකස් කිරීම සඳහා පාදක කොටගත් බව කියන්නේද හසාරේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය සඳහා ඉදිරිපත් කරන ලද කෙටුම්පතය.

දූෂණයට එරෙහි අරගලය

දූෂණය ඉහවහා ගිය රටවල් අතර, ඉන්දියාව ඉන්නේ ඉහළම තැනකය. දූෂණ මර්දනය සඳහා ඉන්දියාවේ තිබෙන සාම්ප්‍රදායික ආයතන ක්‍රමය ශ්‍රී ලංකාවේ ඒ සඳහා තිබෙන ආයතන ක්‍රමයට වඩා කාර්යක්ෂම වුවත් ඉන්දියාවේ සිදුවන දූෂණවල ප්‍රමාණයේ හා පරිමාවේ විශාලත්වය අනුව එම ආයතනවල ක්‍රියාකාරීත්වය ගැන මහජනයා අතර ඇත්තේ විශාල අතෘප්තියකි. ඉන්දියාවේ දූෂණ මර්දනයේදී ප්‍රධාන වගකීම පැවරී ඇත්තේ මධ්‍යම විමර්ශන බියුරෝවටය. බලපෑම් එල්ල වන අවස්ථා ඇතත් ආණ්ඩුවට සම්බන්ධ බලවතකු සම්බන්ධයෙන් වුවද සාධාරණ හේතු ඇති විට පරීක්ෂණයක් ආරම්භ කිරීමට බියුරෝව මැලිවන්නේ නැත. 2007දී බියුරෝව විසින් නඩු පවරන ලද නඩුවලින් 67.7%ක්ද, 2008දී 66.2%ක් ද වැරදිකරුවන් වූහ. එහෙත් ඉන්දියාවේ දූෂණ සිදුවන ප්‍රමාණයට ගැළපෙන තරමේ විශාල ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීමට බියුරෝව සමත් වීයැ”යි කිව නොහැකිය. ඉන්දියාවේ ව්‍යාප්තව පවත්නා දූෂණ ගැන මහජනයා අතර ක්‍රියාකාරී විරෝධයත් පවත්නා අතර දූෂණ මර්දනය සඳහා විකල්ප ආයතන ක්‍රමයක් දිනාගැනීමේ අරමුණින් දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන මහජන ව්‍යාපාරයක් ඉන්දියාවේ පවතී.

දූෂණ මර්දනය සඳහා පුළුල් බලතල ඇති මහජන ඔම්බුඩ්ස්මන්වරයකු යටතේ ක්‍රියාත්මක වන ස්වාධීන ආයතන ක්‍රමයක් පිළිබඳව අදහස බලවත් ලෙස කරළියට එන්නේ දූෂණ විරෝධී මහජන ව්‍යාපාරය විසින් 1968දී ප්‍රකාශයට පත් කළ ජන ලෝක්පාල් පනත් කෙටුම්පත නිසාය. මෙම කෙටුම්පත ලෝක් සභාව වෙත ඉදිරිපත් කරන ලදුව 1969දී එය එහි අනුමැතිය දිනාගැනීමට සමත්වුවත් එයට රාජ්‍ය සභාවේ අනුමැතිය නොලැබුණි. ඉන්පසු ඒ ආශ්‍රයෙන් නැවත අලුතෙන් සකස් කළ කෙටුම්පත් ගණනාවක් 1971, 1977, 1985, 1989, 1996, 1998, 2001, 2005, 2008 යන වසරවල ව්‍යවස්ථාදායකය වෙත ඉදිරිපත් කරන ලැබූවත් මොන මොන හේතු නිසා ඒවාට අනුමැතිය ලැබුණේ නැත.

හසාරේගේ මැදිහත්වීම

දිගින් දිගට මෙම කෙටුම්පත නීතිගත කිරීමෙන් වැළකී සිටීම දූෂණ විරෝධී මහජන ව්‍යාපාරවල දැඩි විරෝධයට හේතුවී තිබුණු අතර ඉන්දියාවේ මෑත කාලයේ අසන්නට ලැබුණු ඇමරිකන් ඩොලර් බිලියන 40ක ආදායමක් ඉන්දියාවට අහිමි කිරීමට හේතුවූ විදුලි සංදේශ ඇමතිට චෝදනා එල්ල වූ 2ඨ හිමිකම් පැවරීමේ සිද්ධිය හා පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල භාරව ක්‍රියාකළ ප්‍රධානියාට එල්ල වූ දූෂණ චෝදනා ද දූෂණ විරෝධී ව්‍යාපාර ඉන්දියාවේ ගෙනයන උද්ඝෝෂණවල හඬ උත්සන්න කිරීමට හේතුවී තිබුණි. මේ තත්ත්වය ඉන්දියානු ආණ්ඩුවට තිබෙන පිළිගැනීම පමණක් නොව දූෂණයෙන් තොර පිරිසිදු නායකයකු ලෙස අගමැති මනමෝහන් සිං අත්පත් කරගෙන තිබුණු පිළිගැනීමද දුර්වල කිරීමට හේතුවී තිබුණි. ආණ්ඩුව ජන් ලෝක් පාල් පනතේ අලුත් සංස්කරණයක් නීතිගත කිරීම සඳහා කරළියට ගෙනාවේ රටේ ගොඩනැගෙමින් තිබුණු මෙම විශේෂ වටාපිටාව යටතේය.

ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත මුල් ජන් ලෝ්ක්පාල් පනතට වඩා බොහෝ වෙනස්වීම හේතු කොටගෙන එම පනත් කෙටුම්පත දූෂණයට එරෙහි ඉන්දියානුවන්ගේ ව්‍යාපාරයේ දැඩි විරෝධයට හේතුවිය. අන්නා හසාරේ ප්‍රශ්නයට මැදිහත්වන්නේ මේ අවස්ථාවේදීය. ආණ්ඩුව ඉදිරිපත් කර තිබුණු පනත් කෙටුම්පතේ මූලික දෝෂ ගෙනහැර දක්වන සංදේශයක් හසාරේ අගමැති ඇතුළු ඉන්දියාවේ සියලු දේශපාලන නායකයන් වෙත යැවීය. එහෙත් කිසිවකු එය ගණන් ගත්තේ නැත. ඉන්පසු 2011 අප්‍රේල් 5 වැනිදා හසාරේ දිල්ලියේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය. උපවාසයේ පළමු දිනයේම ඉන්දියානු ජනතාවගේ දැවැන්ත ක්‍රියාකාරී සහායක් ලබාගැනීමට හසාරේ සමත් විය. හසාරේගේ සත්‍යග්‍රහ ව්‍යාපාරයට සහයෝගය පළකිරීමට දශ ලක්ෂ ගණන් ජනයා විවිධ ආකාරවලින් විවිධ ක්‍රියාවන්ට සම්බන්ධ විය. සත්‍යග්‍රහයේ හතරවැනි දිනයේදී හසාරේ ඇතුළු දූෂණයට එරෙහි ඉන්දියානුවන්ගේ ව්‍යාපාරයේ නියෝජිතයන් පස්දෙනකු හා රජයේ නියෝජිතයන් පස්දෙනකු ඇතුළත් දස පුද්ගල කමිටුවක් වෙත කෙටුම්පත අලුතෙන් සකස් කිරීමට භාරදීමට අගමැතිවරයා එකඟවීම නිසා හසාරේ සිය සත්‍යග්‍රහය අත්හැරියේය.

දස පුද්ගල කමිටුව රැස්වීම් ගණනාවක් එක්ව පවත්වනු ලැබුවත් දෙපිරිසට පොදු එකඟතාවක් ඇති කරගැනීමට නොහැකිවීම නිසා නියෝජිත දෙපිරිස වෙන් වෙන්ව පනත් කෙටුම්පත් දෙකක් සකස් කළෝය. එම පනත් කෙටුම්පත් දෙකම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව එකඟ වී තිබුණි. එහෙත් ආණ්ඩුව අවසානයේ ඇති කරගෙන තිබුණු එම එකඟතාවට පටහැනිව යමින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළේ කැබිනට් ඇමතිවරුන් පස්දෙනකු ඇතුළත් ආණ්ඩුවේ නියෝජිත පිරිස සකස් කළ කෙටුම්පත පමණය.

හසාරේ තමන්ගේ දෙවැනි මාරාන්තික උපවාසය අරඹන්නේ එම තත්ත්වයට එරෙහිවය. එය රටේ ත්‍රිරෝද රියදුරන්ගේ සිට ඉහළම බුද්ධිමතුන් දක්වා වන සියලුම සමාජ ස්ථරවල සහාය දිනාගන්නා දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්විය. එය දූෂණය හා දූෂණ මර්දනය පිළිබඳව දැවැන්ත කථිකාවක් ඉන්දියාව තුළ ඇති කළේය. ඒ කාර්යයට ඉන්දියාවේ ජනමාධ්‍ය ද ඉතාමත් ප්‍රශස්ත ගණයේ දායකත්වයක් ලබාදෙන ලදි. මෙම ලිපිය ලියන මොහොත වන විට හසාරේ සත්‍යග්‍රහයේ 9 වැනි දින වන අතර ඔහුගේ බර කිලෝ පහමාරකින් අඩුවී තිබෙන අතර උපවාසය ඔහුගේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය බලවත් ලෙස දුබල කිරීමට හේතුවී තිබේ. ඒ නිසා සත්‍යග්‍රහය තවදුරටත් ඉදිරියට ගෙන ගියහොත් ඔහු මරණයට පත්විය හැකි බවද වෛද්‍යවරුන්ගේ මතය වී තිබේ. හසාරේ ජනමාධ්‍ය හරහා ජනතාව ඇමතුවේය. තමාගේ ජීවිතයට වඩා ජන් ලෝක්පාල් පනත පිරිසිදු අර්ථයෙන් සම්මත කරගැනීම ඉන්දියාවට වැදගත් වන බව කිවේය. තමා ඇතුළු පස්දෙනාගේ කමිටුව කෙටුම්පත් කළ පනත නීතිගත කරන තෙක් තමා සත්‍යග්‍රහය අත්නොහරින බවද කීවේය. තමාගේ ඉරණම කුමක් වුවත් ජනතාව හිංසාකාරී තැනකට නොයා යුතු බවත් ගාන්ධිගේ ඉගැන්වීම් පිළිපදිමින් තමා නැතිව වුවත් මෙම සටන ජයග්‍රහණය තෙක් ඉදිරියට ගෙනා යායුතු බවත් කියා සිටියේය. බලහත්කාරයෙන් තමා මෙම ස්ථානයෙන් රැගෙන යෑමට උත්සාහ කළහොත් ඊට ඉඩ නොදෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර අගමැතිවරයා මුදල් ඇමති මුකර්ජි යොදා ගනිමින් හසාරේගේ අනුමැතිය ලත් නියෝජිත පිරිසක් සමග සාකච්ඡා කළේය. සුළු සංශෝධන කිහිපයක් ඇතිව හසාරේ ඇතුළත් පස්දෙනාගේ කමිටුව සකස් කරන ලද කෙටුම්පත නීතිගත කිරීමට ආණ්ඩුව කැමැත්ත පළ කළේය. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පනතෙන් ඉවත් කොට ඔවුන් සඳහා වෙනම ක්‍රමයක් ඇතුළත් පනතක් ඉදිරියට ගෙන ඒමට ආණ්ඩුව ඉදිරිපත් කළ යෝජනාවට හසාරේ විරුද්ධ නොවීය. දේශපාලකයන් ඇතුළු ඉහළම රාජ්‍ය නිලධාරීන්ට පමණක් මේ නීතිය සීමා කිරීම සුදුසු බව ආණ්ඩුවේ මතය වී තිබෙන අතර හසාරේ තාමත් ඊට එකඟ නැත. මේ ලිපිය මුද්‍රණයට යන අවස්ථාව වන විට ප්‍රශ්නය අවසානයක් කරගැනීම සඳහා ආණ්ඩුව සර්වපාක්ෂික සාකච්ඡාවක්ද කැඳවා තිබේ. ඒ අනුව මෙම ලිපිය ලියන 24 වැනිදා සවස වන විට හසාරේ සිය සත්‍යග්‍රහය ජයග්‍රාහී ලෙස අවසන් කරනු ඇතැ”යි සිතිය හැකිය.

ඉන්දියාව නැවත ගාන්ධිවාදයට

හසාරේට මෙවැනි සටනක් ආරම්භ කොට ජයග්‍රාහී ලෙස ඉදිරියට ගෙනයෑමට හැකිවූයේ, මහත්මා ගාන්ධි විසින් ඉන්දියාවට හඳුන්වාදී ස්ථාපිත කර තිබූ අහිංසාවාදී දේශපාලන සටන් සම්ප්‍රදාය හා ඊට ඉන්දියාවේ තිබුණු අතිවිශාල පිළිගැනීම නිසාය. යුක්තිසහගත අරමුණක් වෙනුවෙන් කැරෙන අහිංසාවාදී අරගලයක් ඉන්දියානු ජනතාවගේ හදවත් කැළඹීමට පත් කරයි. හසාරේ ගාන්ධිගේ සම්ප්‍රදාය නැවත ඉන්දියානුවන්ට මතක් කොටදී එයට නව ජීවනයක් ලබා දුන් පුද්ගලයා ලෙස සැලකිය හැකිය. එහිදී ඉන්දියානු ජනතාවට හසාරේගේ උගත්කම, කුලය ඔහුගේ ආගම යනාදී දේවල් වැදගත් නොවීය. ඔවුන්ට වැදගත් වූයේ ඔහු කරන සටනේ අරමුණය. ඉන්දියානුවෝ මීමැසි පොදියක් මෙන් ඔහු වටකොට ගත්තෝය. ඔහුට ආරක්ෂාව හා ශක්තිය ලබා දුන්නේය.

හසාරේගේ මේ සටන මේ ආකාරයෙන් අනාගතයේ ඉන්දියාවේ සිදුවන්නට නියමිත සටන් රැල්ලකට ආරම්භයක් මිස, අවසානය වනු ඇතැ”යි සිතිය නොහැකිය. හසාරේ ගාන්ධිගේ අභාවයෙන් පසුව නැවත ඉන්දියාව ගාන්ධිවාදයේ මහා දේශපාලන සම්ප්‍රදායට කැන්දාගෙන ගියේය. ඉදිරියේ ඇතිවන එවැනි සටන් තුළ ඉන්දියානු ආණ්ඩු පාලනයේ හැඩතල ද බොහෝ වෙනස්වීමට ඉඩ තිබේ. ඉන්දියාවේ මැතිවරණ කොමිසම වැනි මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ස්වාධීන දූෂණ මර්දන ආයතනයක් ඇති කර ගැනීමට ඉන්දියාව සමත් වෙතොත් ආණ්ඩුකරණයේ දක්නට ලැබෙන දූෂිත තත්ත්වය ජයගැනීමට හැකිවනු ඇතැ”යි සිතිය හැකිය. එවැනි තත්ත්වයකට මාරුවීමට හැකි වුවහොත් ඉන්දියාව දේශපාලන අර්ථයෙන් ලෝකයේ තිබෙන අසිරිමත්ම රට බවට පත්වීමට ද ඉඩ තිබේ.

ඉන්දියාවේ තොරතුරු දිනාගැනීමේ හා දූෂණ මර්දනය සඳහා සිදුවූ සටන්, එම විෂය ක්ෂේත්‍රයන් දෙකේදී ශ්‍රී ලංකාවේ සිදුවූ සටන් සමග සැසඳීමක් කිරීම ඉතා වැදගත්ය. අපේ රටේ යුක්තිය සඳහා කැරෙන සටන්වලට ආවේණික බරපතළ සීමා ඒ මගින් හඳුනාගත හැකිය. මේ ලිපියේ ඊළඟ කොටසෙන් කරුණු සාකච්ඡා කරනුයේ ඒ ගැනය.

(මතු සම්බන්ධයි)

##